කොරෝනා නිවසට නොගෙන ඒමට නම්/ Keeping Corona away from home – Professor Manuj Weerasinghe

IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කොවිඩ් –19 පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ “කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මනුජ් වීරසිංහ විසින් කොරෝනා නිවසට නොගෙන ඒමට ගත යුතු ක්‍රියා මාර්ග මොනවා දැයි පහදා දීම” සඳහා කරන ඉදිරිපත් කිරීම ඇතුළත් වීඩියෝව ඉහතින් දැක්වේ.

Professor Manuj Weerasinghe, Professor in Community Medicine at the Faculty of Medicine of the University of Colombo, explains the steps to take to ‘keep corona away from home’. This video is produced by the Institute of Multimedia Education under the guidelines of the Sri Lanka Medical Association for the COVID – 19 public awareness programme.

කොරෝනා පරදවමු – කොරෝනා නිවසට නොගෙන ඒමට නම්…. 

නව කොරෝනා වෛරසය සමඟ පෙරට වඩා වෙනස් වූ ආකාරයකට එදිනෙදා ජීවිතය හා බැඳුණු කටයුතු පවත්වාගෙන යාමේදී ක්‍රියා කළ යුතු වෙනවා. ඔබ රැකියාවට යාමට, වෙනත් ආයතනයකින් සේවාවක් ලබා ගැනීමට මෙන්ම ඔබට හා පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය වෙළඳ භාණ්ඩ ලබා ගැනීම ආදී ලෙස අත්‍යවශ්‍යම කටයුතු වලටවත් ඔබට නිවසින් පිටතට යාමට සිදු වෙනවා. මෙලෙස ඔබ නිවසින් පිටතට යාමේදී ඔබව මෙම වෛරසයට නිරාවරණය වීමේ අවදානම ඉතා වැඩියි. එවිට යළිත් ඔබ නිවස වෙත පැමිණීමේදී ඔබත් සමඟ කොරෝනා වෛරසය ඔබ නොදැනුවත්වම නිවසට රැගෙන යාම සිදුවිය හැකියි. එය ඔබගේත්, ඔබේ ආදරණීයයන්ගේත් ජීවිත වලට අනතුරුදායක විය හැකියි. නමුත් පරීක්ෂාකාරී ලෙස කටයුතු කිරීම හරහා ඔබට  මේ අවදානම වළක්වා ගැනීමට හැකියාව තියෙනවා. ඒ සඳහා ඔබ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙම වීඩියෝව මගින් පැහැදිලි කරනු ලබනවා.

පෙර වීඩියෝ වල පැහැදිලි කළ පරිදි මෙම වෛරසය මේද තට්ටුවකින් ආවරණය වී ඇති බැවින් අවම තත්පර විස්සක්වත් දෑත් සබන් යොදා සේදීම මගින් කොරෝනා වෛරසය විනාශ කළ හැකියි. ඔබට නිවසේදී නම් එය පහසුවෙන් පිළිපැදීමට හැකියාව පවතිනවා. ජලය හා සබන් සොයා ගැනීමට අපහසු නම් සියයට හැත්තෑවක හෝ ඊට වැඩි ඇල්කොහොල් සාන්ද්‍රණයක් සහිත දෑත් පිරිසිදු කාරකයක් විෂබීජහරණයට යොදා ගත හැකියි. නමුත් ඔබ නිවසින් පිටතට යාමේදී  එසේ යනු ලබන ස්ථානයෙන් ඔබට මෙම පහසුකම් සපයා ගත හැකිද යන්න පිළිබඳ ඔබ සිතා බැලීම ඉතා වැදගත් වනවා. 

එම නිසා,

ඔබ නිවසින් පිටතට යන්නේ නම්,
  • දෑත් පිරිසිදුකාරක ද්‍රාවණයක් 
  • මුව ආවරණයක් 
  • අත් පිස්නාවක්

ඔබගේ ගමන් මල්ලට දමා රැගෙන යාමට අමතක නොකරන්න.

වෙළඳ භාණ්ඩ මිලදී ගැනීමට පිටතට යන්නේ නම්,
  • රෙදි බෑගයක්, ප්ලාස්ටික් උරයක්, හෝ වේවැල් කූඩයක් 

ද ඉහත සඳහන් ද්‍රව්‍ය සමඟ රැගෙන යන්න.

රැකියාව සඳහා පිටතට යාමේදී සහ ඔබගේ රැකියා ස්ථානයේදී,
  • කණ්ඩායමක් ලෙස රාජකාරී කටයුතු වල නිරත වන්නේ නම් මුව ආවරණ පැළඳ සිටිය යුතුමයි.
  • පෙර පුරුදුව සිටියා වුවද වර්තමාන තත්ත්වය යටතේ එක්ව ආහාර ගැනීමෙන් හා ආහාර එකිනෙකා සමඟ බෙදාගෙන අනුභව කිරීමෙන් වළකින්න.
  • තනි තනිව ආහාර ගත යුතු අතර වෙන් වශයෙන් ආහාර රැගෙන යාමට නොහැකිනම්, ආහාර පාන පරිභෝජනට ඔබටම වෙන් වූ කෝප්පයක් හා පිඟානක් රැකියා ස්ථානයට රැගෙන යන්න.
ඉහළ අවදානම් කාණ්ඩ වලට අයත් වන්නේ නම්, එනම්…
  • ඔබ හෘද, ශ්වසන, වකුගඩු, දියවැඩියා හෝ ඇදුම වැනි නිදන්ගත රෝග වලින් පෙළෙන්නේනම් මෙන්ම ඔබ වයස්ගත නම් මෙම රෝගය මාරාන්තික විය හැකි බව අප මීට ඉහත වීඩියෝවකින් පැහැදිලි කළා. එම වීඩියෝවට පහත සබැඳිය හරහා ඔබට ප්‍රවේශ විය හැකියි.
  • එමනිසා  ඉහළ අවදානම් කාණ්ඩ යටතට ගැනෙන පුද්ගලයින් හැකිතාක් දුරට තම නිවස තුළම රැඳී සිටිය යුතුයි.
පිටතට ගොස් නිවසට පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වන්නේ,
  • නිවසින් පිටත පාවහන් ගලවා තබා නැවත භාවිතයට පෙර පිරිසිදු කර ගැනීම.
  • පිටතට යාමේදී පැළදගෙන සිටී ඇදුම් ආයිත්තම් ඉවත් කර නැවත භාවිතයට පෙර පිරිසිදු කර ගැනීම.
  • පිටතට ගොස් පැමිණි විට ස්නානය කිරීම මගින්ද අවදානම අඩු කර ගත හැකියි.
  • ඔබගේ ගමන් මලු මෙන්ම, වෙළද භාණ්ඩ රැගෙන පැමිණියේ නම් ඒවා නිවසේ වෙනත් කිසිවකු අතට නොදී වෙනමම ස්ථානයක තබා භාවිතයට ගන්න.

එමගින් නව කොරෝනා විෂබීජයට ඔබ හා ඔබේ පවුලේ සාමාජිකයන් නිරාවරණය වීම වළක්වා ගත හැකියි.

IME ආයතනය, සහ ආලෝචනා කොවිඩ් 19 වසංගතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා SLMA මාර්ගෝපදේශ වලට අනුකූලව නිර්මාණය කරන ලද වීඩියෝ මාලාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මනුජ් වීරසිංහ විසින් “කොරෝනා නිවසට නොගෙන ඒමට ගත යුතු ක්‍රියා මාර්ග මොනවා දැ”යි පහදා දීම සඳහා ඉදිරිපත් කිරීම ඇතුළත් වීඩියෝව නරඹන ලද ඔබට පහත දක්වා ඇති සබැඳිය හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක විසින් වසංගත සමයකදී ව්‍යාපාර පවත්වා ගෙන යා යුත්තේ කෙසේ දැයි පහදා දීම සඳහා කරන ඉදිරිපත් කිරීම ඇතුළත් වීඩියෝව සඳහා ප්‍රවේශ විය හැක.


කොවිඩ් –19 පිළිබඳ නිවැරදි දැනුම ලබා ගැනීම සඳහා මෙම නිල වීඩියෝ මාලාව නරඹන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙය නැරඹීමෙන් නොනැවතී මෙම වීඩියෝවේ අඩංගු කරුණු කාරණා හොඳින් අවබෝධයට ගෙන ඒවා පිළිපැදීම සමාජමය හා ජාතික වගකීමක් බව අපි ඔබට මතක් කර දීමට කැමැත්තෙමු. එසේම මේ දැනුම අන් අය වෙත බෙදාහැරීමට ද දායක වන ලෙස ඉල්ලා සිටිමු.

පහත සඳහන් සබැඳි හරහා පෙර  වීඩියෝ නැරඹිය හැක.

  1. කොරෝනා යනු / What is Corona – Dr Shirani Chandrasiri
  2. කොරෝනා පරදවමු – අත් සේදීම – Hand Washing – Dr Shirani Chandrasiri
  3. කොරෝනා පැතිරීමේ දාමය බිඳීම / Breaking the chain of corona transmission – Professor Saroj Jayasinghe
  4. මුව ආවරණ නිවැරදිව පැළඳීම – Wearing Face Masks Correctly – Professor Shyam Fernando
  5. කැස්ස හා කිවිසුම් යැවීමේදී ආචාරශීලී වීම / Coughing & Sneezing etiquette – Professor Shyam Fernando
  6. ඉහළ අවදානමකින් යුතු කණ්ඩායම් | High Risk Groups – Professor Shyam Fernando


අප සියලුදෙනා කොවිඩ් 19 වසංගතය පරාජය කිරීමට දැනුවත්ව පෙළ ගැසෙමු. 

වර්ගීකරණය
සංරක්‍ෂිත