බලු අනාථාගාරයේදී දුටු දෙව් දුව…

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
Alochana-Aa-giya-katha-Thusith-abeynayake-Goddess in dog Shelter

මේ කතාව කීමට පෙර පුරෝකථන ලෙස බලු කතා කිහිපයක් කිව යුතුව තිබේ. රාහුල හන්දියේ වළ බැස්සවුන් මෝටර් සයිකල් අනතුරකින් පසු මට බල්ලා යන සුරතල් නම යෙදු කතාව මේකට අදාළම නැත.

මාතර අපේ ගෙදර හැමදාමත් පාහේ අඩුම ගණනේ බල්ලන් දෙන්නෙකු වත් විසීය. බොබී, බ්‍රැන්ඩි, චෙරි, ප්‍රේමදාස වැනිවුන් කවදාවත් ජිවිතයේ අමතක නොවන ආදරණීය මතක අප අතර රඳවා තබා නික්ම ගොසිනි. උං හිටියේ ගෙදරින් පිටතය. සාලයට වැදී පුටු යට රිංගා ගන්නේ අවරුදු සමයට රතිඤ්ඤා පත්තු වෙන කොට පමණි. පුංචිම කාලයේ දී නම් බෝල ගෙඩි වැනි උංව පෙරළෙමින් ( අපි තාත්තට බල කොට උංට ත්‍රිපෝෂ ගෙන්වා කැවිමු . උං මහත් වන්නේ බලාගෙන ඉන්නකොට පෙනෙන තරම් ඉක්මනිනි.) අපේ කකුලුත් පුටු කකුලුත් විකූ ඔවුන් ලොකු වෙන කොට ඉබේටම වාගේ වත්තටත්, උංට ම සිමා කර ගන්නා දේශ සිමා ඇති ලෝකයකටත් කොටු විය. අප මිදුලට බසින වෙලාවට අප ළඟට විත් කෙලි සෙල්ලමේ යෙදෙමින් හුරතල් වන්නට උං පුරුදු විය.

මෙරටට පැමිණ ටික කලකින් මල්ලීට බොහෝ සේ උපකාර කළ ලොයිඩ් අන්කල්ට කෑමකට ආරාධනා කළෙමු. මල්ලී එවිට නැවතී සිටියේ කුඩා කාමර දෙකක නිවසක නිසා ඉඩ කඩ තිබූ අපේ නිවසට ඔවුන් දෙදෙනාට ආරාධනා කළෙමු.

එදා හවස ඒ ඇන්ටි දුරකතනයෙන් මා විමසා ඇගේ බල්ලා ගෙන එන එක ප්‍රශ්නයක් දැයි විමසීය. ආවරණය කළ පසුපස මිදුලක් ඇති නිසා බල්ලා ඒ පැත්තට දාන්න පුළුවන් යැයි සිතු මම ප්‍රශ්නයක් නොවන බව පැවසීමි. සතුටට පත් ඇය එසේ නොවූවා නම් බල්ලා තනිව තබා ආ නොහැකි නිසා ඇය නොපැමිනෙන්නට සිතා සිටිය බව කීවාය.

සැන්දෑවේ ඔව්හු පැමිණියහ. ඇන්ටි අතේ හිම ගුලියක් වන් බලු පොදියකි. ඒ මා ඔඩොක්කු කුක්කෙකු දුටු පළමු වරය.

කුඩා බල්ලා මිත්‍රශීලීය. ඇන්ටිගේ අතෙන් නොබසින තරමය. ඔහු මෝල්ටිස් නම් වර්ගයට අයත් එකෙකි.
ඉන්පසු නිතර නිතර ඔවුන් හමුවූ නිසා මම මේ මිනිස්-බලු සබඳතා ගැන බොහෝ දේ දැනගතිමි.

ඒ සබඳකම අපි ලංකාවේ දුටු දේට වඩා පියවරක් දෙකක් ඉදිරියට ගිය සබැඳියාවකි.

බල්ලෙකු හදන්නට අසාවෙන් හිටියත් ඒ සඳහා ආර්ථික හැකියාවක් නොතිබුණ, නිසාත් රුචිරගේ බලවත් අකමැත්ත නිසාත් කාලය ගෙවී ගියේය. බල්ලෙක් ගෙනෙමුයි කියන ඉල්ලීම නැවත අවේ පුතාට අවරුදු 10
පමණ කාලයේ සත් හැවිරිදි දුවගෙනි.

අම්මා කැමති දවසක අපි එකෙක් ගෙනෙමු කියමින් බලු පැටවුන් නැරඹීම අපි අසාවෙන් කළෙමු. එකල හැම සුපිරි වෙළඳ සංකීර්ණයකම පාහේ සුරතල් සතුන් විකුණන කඩ තිබිණි. මිල නියම වුණ බලු පැටවුන් කූඩුවල දමා තිබිණි. අපි තුන් දෙනා හැම විටම අලුතින් එන පැටවුන් බලමින් සුරතල් කරමින් උං අතර ගැවසුණෙමු. ඊළඟ සතියේ කඩේ යන විට උන් නැත. අලුත් පැටව් උංගේ තැන ගෙන තිබේ. අපි අලුත් එවුන් අත ගාන්නෙමු.

දැන් කඩවල පැටවුන් විකිණීමට නොහැකි ලෙස නීති වෙනස් කර ඇත්තේ බලු පැටවුන්ව බෝ කරන ෆාම් ගැන බල්ලන්ට ආදරය කරන මිනිසුන් හා සත්ත්ව සුබසාධක සංවිධාන නැගූ හඬ නිසාය. දැන් පැටව් බෝ කළ හැක්කේ ලිය පදිංචි බෝ කරන්නන්ට පමණි. ඒ සත්ත්ව සුබසාධනය දැඩි ලෙස ක්‍රියාත්මක වන නීති මාලාවක් යටතේය.

නිවාඩුවකට පැමිණි අවස්ථාවක නූපේ හන්දියේ විකුන්නනට සිටි බලු පැටවුන් සහ කුරුල්ලන් දුටු මගේ දුව ඇඬුවාය. මේ රට හරි කුරිරු රටක් යැයි කිවේ ඇගේ අත්දැකීම වලට අනුවය.

කලක් ගතවිණි. වරක් කූඩුවකට අලුත් බලු පැටියෙක් ඇවිත් හිටියේය, ඌ එතරම් දැකුම්කලු හෝ කඩවසම් නැත. කුඩාය .

පැටවුන් විකිණීමේදී උන්ගේ තෝම්බුවට වැඩි අගයක් ලබෙයි. වංශය මිශ්‍ර නොවූ තරමට මිලත් ඉල්ලුමත් අධිකය. ඌට එතැනින්ද ලකුණු අඩුය. වර්ගය කලවම්ය, fag නමින් හැදින්වෙන කුඩා මුහුණ පැතැලි චීනයේ රජ පෙළපත් වල සුරතලයට හැදු වර්ගයේත් මෝල්ටිස් වර්ගයේත් තවත් චීන බලු වර්ගයකත් මිශ්‍රණයකි. ඒ මදිවාට ඌට දිග දිවකුත් තිබේ. හැම විටම ඇඟිලි පුරුකක් පමණ දිවක් එළියට ඇදී තිබේ. අසලට ගිය හැම විටෙකම උගේ දිග දිවෙන් මගේ අත්ල නොකඩවා ලෙවකයි.

මම දරුවන් දෙදෙනාටත් බලු පැටියා පෙන්වීමි. විශාල ප්‍රමාණයේ හස්කි වර්ගයේ බල්ලෙකු ගන්නට සිහින මවන පුතා “මූත් නරක නැහැ…ඒත් අම්ම අපිට බල්ලෙක් ගන්න දෙන්නේ නැහැ” කියා කීවද දුව කිව්වේ දැන්ම සල්ලි ගෙවන ලෙසය.

සාමාන්‍යයෙන් පැටවකු සති 2 වත් කුඩුවේ නොසිටියි. කෙනෙකු උන් මිලදී ගනී. නැතහොත් වෙනත් මිනිසුන්ගේ ඇස ගැටෙන පරිදි වෙනත් කඩයකට දමයි. නමුත් මේ බල්ලා සති 4කටත් වැඩ කාලයක් එතනම හිඳිමින් ම ගිය විට අත ලෙවකයි.

එදා මගේ නිවාඩු දිනයේ මා සාප්පු සංකීර්ණයට ගියේ දුවට අලුත් චිත්‍ර පොතකුත් ගෙදරට නැවුම් කිරි ලීටර 2 හා බිත්තර ගෙනෙන්ටය. අතේ සල්ලි තිබුණේත් ඒ තරමට පමණි.
සත්තු කඩේ ඇත්තේ හරියටම කිරි කඩේ ඉස්සරහය. මම මුලින්ම අර බලු පැටියා බලන්නටත් ඌ ලවා අත
ලෙවකා උගන්නටත් ගියෙමි. තවත් සුදු ජාතික ගැහැනියක් එතැන සිටියාය.

මම ඇය කතාවට අල්ලා ගතිමි. ඇය බල්ලන් ගැන බොහෝ දේ දන්නා අයෙකි. මේ මිශ්‍රණයෙන් බිහිවෙන බල්ලන් අතිශය මිත්‍රශීලි වන බවත් ඒ තරම් හොඳ සත්ත්ව යහළුවන් ලෝකයේ කිසිම තැනකින් වත් නොලැබෙන බවටත් ඇය මට කීවාය.

මේ අතර කඩේ මැනේජර් ලෙස වැඩ කරන වයස 20 ක් පමණ පිරිමි ළමයාද අපේ කතාවට එකතු විය.
“මෙතනට තිස්සෙම පැටව් එනවා….යනවා… හැබැයි මං මූට මාර ආදරෙයි … මම හැමදාම රෑට ජර්සිය අස්සේ දාගෙන මූ ගෙදර අරන් යනවා.. මූට මොලේ තියනවා.. මම සල්ලි එකතු කර ගන්න කල් තමයි මෙච්චර දවසක් තිය ගත්තේ. ඒත් උඹට සල්ලි තියනවනම් මූ ගනින්… උඹ මූට අදරෙයි කියලා මම දැකල තියනවා…” හේ මට කීය.

“පොඩ්ඩක් හිටපන්…”කී මම බැංකුවට ගියෙමි.
ගෙවමින් පවතිනා නිවාස ණයෙන් අපදා සඳහා කෙතරම් මුදලක් ආපසු ගන්නටව පුලුවන්දැයි විමසුවෙමි. බල්ලා ගේ ගණනට වඩා ඩොලර දෙතුන් සියයක් ආපදාවකදී මට ලබා ගත හැක. මට ඒ ප්‍රමාණවත්ය.
“වැට කඩා වැටුණ ඊයේ රෑ ..” මම බැංකුවට කීවෙමි. වැට කඩා වැටීම අපදාවකි.

මම ඒ සල්ලි ගත්තෙමි … සල්ලි ගෙවා බල්ලා ගත්තෙමි….
මම සල්ලි දීල ගත්ත හොඳම දේ තමයි අපේ මයිලෝ..
මයිලෝ මේ ලියන මොහොතේත් මගේ උණුසුමට තුරුලුව මගේ ළඟය.

තිරිසන් සතෙකු නිසාත්… ඔහුට අප හැර වෙන කිසිවෙකු නැති නිසාත් සියලුම ආදරය අපිටම දෙන මයිලෝට අපිත් ඒ සියලු දේ දෙනු ඇතැයි සිතමි.

මට කීමට ඇති කතාව පටන් ගන්නේ මෙතැනින්ය.
මේ රටේ සුරතල් සතුන් සඳහා වූ සුබසාධන සංවිධාන ගණනාවක් තිබේ. මහලු වයසට පත්ව මහලු නිවාසයකට යන ඔබට ඔබේ සුරතලා මෙවන් සංවිධානයකට බාර දී සැනසිල්ලේ ඇස් පියා ගත හැකිය.
අතරමං වූ සතුනට රැකවරණය ලැබේ. වැඩිපුර උපදින පැටවුන් ගෙනැවිත් බාර දිය හැක.
නමුත් රඳවා තබා ගන්නා කාලයට සීමාවක් තිබේ. අනෙක් සුරතල්සතුන් අවැසි අයට පැමිණ ඔවුන් රැගෙන යා හැකිය. එලෙස නව නිවසක් හමු නොවනා සතුන් උපරිම කාලය පසුවූ පසු නිර්වින්දන එන්නතක් මගින් මරණයට පත් කරනු ඇත.

එනිසා බොහෝ අය සුරතල් සතුන් සොයා එතනට යයි.

මම ධනවතෙකු නොවෙමි. අවරුදු 50 පසු කර ඇතත් කවදාවත් සාංඝික දානයක් නොදුන්නෙක්මි.
බල්ලන්ට ඇති ආදරයත් උන්ට උදව් කිරීමේ ආසාව නිසාත්, අතමිට යහමින් ඇති වෙලාවල් කලාතුරකින් ආ විට මුදලක් ඉතිරි කරගත් විට මගේ නිවස ළඟ තිබෙන ගෙවල් නැති බල්ලෝ සංවිධානයට කීයක් හෝ දී එන්නෙමි.

මගේ ලෙයින් ජාතක වූ ළමයින් දෙදෙනෙකු ඇති මම ළමයෙකු ගැන කියනා හොඳම කතාව මේ යැයි සිතමි.

එදා මා හිටියේ බලු කෑම ගැනීම සඳහා මට ඉතිරි වූ මුදලක් බලු අනාථාගාරයට දෙන්නටය. මට කලින් පෝලිමේ දෙදෙනෙක් සිටියහ. දෙදෙනාම බල්ලන් දෙදෙනෙකු අරන් හදාගන්නට යන ගමන්ය . මුල් දැරිය අත සුන්දර සුරතල් බලු පැටියෙකි. බිල් පත් ගෙවා ඉවර වෙන්නට පෙර ලොමින් පිරීගත් පුංචි පැටියා අලුත් අයිතිකාරියගෙන් හාදු දෙතුන් සියයක්වත් ලැබීය.

මා ඉදිරියෙන් සිටි ගැහැණියත් ඇගේ 11 වයස් කිව හැකි දියණියත් අල්ලාගෙන සිටි කර පටියේ කෙළවර සිටියේ වයස්ගත දුර්වර්ණ වූ නිදා සිටි දුඹුරු වර්ණ වූ විශාල බල්ලෙකි.

මම මව සමග කතාවකට මග පාදා ගතිමි.

මේ අනාථාගාර වලට එන මහලු බල්ලන් බොහෝ වෙලවලාට ඔවුන්ගේ ස්වාමි වරුන් මහලු නිවාස වලට ඇතුළත් වන මහල්ලන්ගේය. බල්ලන්ද මහලුය.

“දුවට වයස 7 දී අපිත් ආවේ පැටියෙක් ගන්න තමයි. පැටව් අසලම කුඩුවේ වයසක බල්ලෙක් හිටියා. දුව ඌ ගැන ඇහුවම එයාගේ අයතිකාරයා මහලු නිවාසෙට ගිය බවත්, තව සති දෙකක් බලලා කිසි කෙනෙක් බාර නොගත්තහොත් නිහඬ කරන බවත් කිව්වා. ඒ ඇරුණාම මෙවැනි වයසක බල්ලෝ අරන් යනවා නම් එයාලගේ අහාර සහ සියලුම ප්‍රතිකාර වලට යන වියදම නිවසෙන් දෙන බවත් කිව්වා. දුව බල්ලාගේ කූඩුව ළඟ දන ගහගෙන ගොඩක් වෙලා උගේ මුණ බලන් හිටියා. පස්සේ මෙහෙම කිව්වා.”

“අම්මේ මට ඕන මෙයාව…මන් මෙයා මැරෙන කල් බලා ගන්න ඕන. අම්මා මට උදව් කරනවා නේද??

“ඉතින් අපි ඒ බල්ලව අරන් ගිහින් ආදරෙන් බලා ගත්ත. නිදා ගත්තේ දූගේ ඇඳ පාමුල. එයා දුවත් එක්ක ඉක්මනට එකතු වුණා. දොස්තර දැන් ඇති කියනකල් අපි එයා බලාගත්තා” ඇය කියවාගෙන ගියාය.

මට ඇය ගැන මහත් ආදරයක් ඇති විය. පුංචි වයසකදී එවැනි හැඟීමක් පහළ වන්නට ඇගේ සිත කරුණාවෙන් පිරී තිබිය යුතුය.

අම්ම නොනවත්වා කතාවේය.

“උඹට කියන්න අද මේ අරන් යන්නේ හත් වෙනියා.”

මා දෙව් දුවක් සජීවීව දුටු පළමු දවස එයයි.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

One Response

  1. කෙතරම් කාර්ය බහුල වූවත් උඹ ලියන මේ දේවල් කියවන්න මම හරි ආසයි. මේක කියවද්දි වෙලාව රෑ 1:30 යි. උඹ ඒ ලියන ශෛලියට මං වශී වෙලා කිව්වොත් වඩාත් හරි.
    මහත්වරුන්ගේ කතා වලට වඩා බලු කතාවක ගතයුත්ක් තියෙනවා කියල දැනෙනවා.
    ලස්සන සහ දරණීය ආටිකල් එකක්.
    නියමයි..!
    “ආදරය දෙන්නෝ – ආදරය ලබන්නෝය”
    =======================

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත