ගමක විපරිනාමය

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

විශ්වවිද්‍යාලයේ අවසන් විභාගය සමත්ව රැකියාවක් සොයමින් තැන තැන කරක් ගසමින් සිටි ගන්ධබ්බ කාලයේ මගේ මිතුරෙකු කදිම ආරාධනාවක් කළේය. ගුරු විද්‍යාලයේ පුහුණුව සම්පූර්ණ කළ ඔහුට පත්වීම ලැබුණේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාසලකටය. පාසල පිහිටා තිබුණු ගම කැලෑබද පුරාණ ගමකය.

“හරි ලස්සන ගමක්. මිනිස්සුත් ඒ වගේමයි. අහිංසකයි. ලෙන්ගතුයි. බිත්තරයක් සත තුනයි. පැණි දොඩම් ගෙඩියක් සත හතරයි. කන බොන දේවල් හිඟයක් නැහැ. ඇවිත් මාස දෙක තුනක් නවතින්න” ඔහු මට ආරාධනා කළේය.

මාතරින් මොනරාගලට යන බසයක නැගී මොනරාගල සිට බිබිලට යන බස්රියෙන් බකිණිගහවෙල හන්දියේ බැස්ස මම ලඳු කැලෑව මැදින් හැතැප්ම තුනක් පමණ පයින් ගොස් ගමට ලඟා වුණෙමි. මගේ මිතුරා කිව්වා සේ එය සැබැවින්ම සුන්දර ගමකි. ගමේ එක් මායිමක සෙමින් සෙමින් ගලා බසින ගංගාවකි. ගම ඉහත්තාවේ කැලෑ රොද ගැමියන් හැඳින්වූයේ රොද ලෙසිනි.

මාතර මට ගම්මු බස වහරන විදිහ මෙන්ම ඇතැම් වචනද නුහුරු විය.

“මහත්තයා කොහා?”

ඒ ඇසුවේ මහත්තයා කොහෙන්ද ආවේ යන්නයි.

“මම තිරසාරෙන් ගනරත් බංඩා එක්ක දබරයි. මීට පස්සෙ ඒක එක්ක කිසිම පයිරුපාසනමක් නැහැ” ආයෙත් කීවේය.

මාතර මට ආත්තම්මා හා මුත්තා මේ ගමේ මිනිසුන්ට බූඩා හා බූඩීය. කෙල්ල ගැටිස්සිය. ස්ත්‍රී ලිංගය ලෙල්ලය. පනු ගිරවා ගබ්බලයා වූ අතර දිමියා දිම්බාය. විසිකරනවා වෙනුවට මේ මිනිස්සු ගහම්මැන්නෝය. අපට අඹ හා පැපොල් දෙකටම ඔවුන් කීවේ අඹ කියාය.

ගමේ පවුල් අතරෙන් හතරෙන් තුනක් රත්නායක මුදියන්සේලාය. ඉතිරි හතරෙන් එක දිසානායක මුදියන්සේලාය. ගැමි පිරිමි අතර ගනරත් බංඩලා, කලු බංඩලා, සුදු බංඩලා, රතු බංඩලා, නිලමෙලා, හේරත් බංඩලාය. ගමේ ගැහැණු වැඩිදෙනා සුදු මැණිකෙලා, රතු මැණිකෙලා, කලු එතනලා, සුදු එතනලාය.
මගේ මිත්‍රයා ගමේ පාසලේ විදුහල්පතිය. එකම ගුරුවරයාය. ඒ වගේම පාසලේ මුල් ගුරුවරයාය. එය තනි ගුරුවරයාගේ පාසලක් වූ අතර බාලාංශයේ සිට අටවැනි ශ්‍රේණිය දක්වා ළමයින් හැත්තෑවක් පමණ සිප් සතර හැදෑරුවෝය.

අප ලැගුම් ගත්තේ පාසලේ කන්තෝරු කාමරයට යාබද ගබඩා කාමරයේය. පොළ දවසට මම නිදි පැදුරේ හිඳ පාසල සමීප කරත්ත පාරේ යන කරත්ත ගණන් කළෙමි. කෙසෙල්, මඤ්ඤොක්කා, බතල වැනි ගැමියන්ගේ අතිරික්ත භව භෝග පුරවාගත් කරත්ත හත අටක් උදේ පාන්දරම මැදගම පොළට යයි. ගැමියෝද බඩු පුරවා ගත් මලු හිසින් ගෙන උදේ පොළට යති.

සවස ඔවුන් ආපසු එනවිට මලුවල ඇත්තේ තුනපහ, දියලුණු, කරවල වැනි ගමේ නැති කළමනා විතරය. ඉතිරි සියල්ලෙන් ගම ස්වයංපෝෂිතය.

★ ★ ★

අවුරුදු පනහකට පසු දැනුදු මම ඒ ගමට යන්නෙමි. එදා කරත්ත පාර අද කාපට් අතුල පාරකි. ගමේ හැම ගෙදරකම විදුලිය සපයා ඇති අතර නල ජලය සපයන වැඩ පිළිවෙළක්ද ක්‍රියාවට නැගෙමින් පවතියි.
දැන් ගමේ ගනරත් බංඩලා, සුදු මැණිකෙලා නැත. දැන් ඉන්නේ මධුෂංකලා, තේජාන්ලා, නලින්ලා, උපුල්ලා, සඳුන්ලා, අසිතලා වගේම කාංචනා, අචලා, පියුමි, සඳමාලිලා.

පොළ දවසට දැන් කරත්ත වෙනුවට ත්‍රීවීලර්වල, අත්ට්‍රැක්ටර්වල රබර් ෂීට්, ගම්මිරිස්, කොකෝවා ආදී වෙළඳ භෝග පටවා ගෙන ගම්මු පොළට යති. ඒවා විකුණා අල, බතල, මඤ්ඤොක්කා, එළවලු, තුනපහ රැගෙන ගමට එති. එදා ගමේ කිසිවෙකුට ඉහින් බහින රෝගයක් තිබුණේ නැත. එදා උණ, හෙම්බිරිස්සාව, එහෙම නැත්නම් අම්මලාගේ රෝග වැනි රෝග ඉඳහිට හැදුණත් ගම්මු නිරෝගීව සිටියෝය.

දැන් ගමේ වැඩිහිටියන්ගෙන් බාගයක් දියවැඩියාකාරයෝ. ඉතිරි බාගයට රුධිර පීඩනය නැත්නම් කොලෙස්ටරෝල්ය. වෙනදා පයින් හැතැප්ම හත අටක් ඇවිද මැදගමට ගිය ගැමියෝ දැන් හන්දියට යන්නට බස්රියක් එනතුරු වරුවක් බලා සිටිති.

මේවා පමණක් නොව ගමේ බසද වෙනස් වී තිබේ.

මා දන්නා හඳුනන ගෙදරකට ගිය මම එකල තරුණියක්ව සිටි දැන් මහලු වියේ පසුවන සෝමාවතීගෙන් “අතු මඩුව කොහේදැ”යි ඇසීමි.

“මහත්තයා වොෂ් එක්ක දාන්න නම් වොෂ්රූම් යන්න ටොයිලට් යනවා නම් අන්න අතන ටොයිලට් එක තියෙනවා” ඇය කීවාය.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත