නැව් වලට නම් තැබීම

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
Anchor-alochana-column

මා නාවික හමුදාවේ අධිකාරිලත් නිළධාරියෙකු ලෙස බැඳුණු අසූව දශකයේ මැද භාගයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව නෞකා හා යාත්‍රා රැසක් වූවා.

ත්‍රිකුණාමලය නාවික හා සමුද්‍රයීය විද්‍යාපීඨයේ මූලික පුහුණුව ලබද්දී නාවික හමුදාවට අයත් නැව් පිළිබඳ රූ සටහන් හා ඡායාරූප මගින් දැනුමක් ලබා තිබුණත් එකී නැව් හා විවිධ යාත්‍රා සජීවීව දැක ගන්නටත් ඒවායේ නැගී මුහුදු ගමනේ යෙදෙන්නටත් අවකාශ ලැබුණේ මුහුදු පුහුණුවත් සමගයි.

රාත්‍රී මුර සංචාරය කරන කුඩා කූගර් (Cougar) බෝට්ටු, ‘තාරාවා’, ‘සේරුවා’, ‘කොරවක්කා’ වැනි නම් වලින් හැඳින්වූ වෙරළාසන්න සංචාරක බෝට්ටු (Offshore Patrol Boats), ‘ජගතා’, ‘රක්ෂක’, ‘සූරයා’, ‘වීරයා’ වැනි නම් වලින් හැඳින්වූ වේගවත් ප්‍රහාරක බෝට්ටු (Fast Gun Boats), වේගවත් ප්‍රහාරක යාත්‍රා විශේෂයක් වූ සුපර් ඩෝරා (Super Dvora – Fast Attack Crafts), ‘හංසයා’, ‘ලිහිණියා’ නම් වූ මගී ප්‍රවාහන යාත්‍රා (Passenger Craft), ගොඩබිම් මෙහෙයුම් සඳහා භටයින් ප්‍රවාහනය කළ වේගවත් යාත්‍රා විශේෂයක් වූ ලෑන්ඩිං ක්‍රාෆ්ට්ස් (Fast Landing Crafts), ‘ජයසාගර’, ‘සාගරවර්ණ’ නම් වලින් හැඳින්වූ කොළඹ නැව් තටාකාංගනයේ නිර්මාණය කළ වෙරළාසන්න සංචාරක නෞකා (Offshore Patrol Vessels), ආවේක්ෂණ කලාපයේ මෙහෙයුම්වල හා සංචාරයේ යෙදෙන විවිධ යාත්‍රා වලට ඉන්ධන, ආහාරපාන ඇතුළු පහසුකම් සැපයූ ‘එඩිතර’, ‘අභීත’, ‘වික්‍රම’ යන නම්වලින් හැඳින්වූ මව් නෞකා (Mother Ships) සහ කන්කසන්තුරේ වරාය හා අවට නැංගුරම් ලා තිබූ ජපානයෙන් කුලියට ගත් විශාල නෞකා විශේෂයක් වූ “මාරු” නාමයන්ගෙන් හැඳින් වූ ඉන්ධන හා ආහාර ගබඩා ලෙස ක්‍රියා කළ නෞකා දෙකක් ද ඒ අතර වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා වලට නම් තැබීමේදී ඒ ඒ යුගවල සිටි පාලකයින්ගේ නම් යෙදීමේ සම්ප්‍රදායක්ද ඇති වී තිබුණා.

නාවික හමුදා කඳවුරු මෙන්ම නෞකා ද ඈත ඉතිහාසයේ මෙන්ම මෙරට පාලනය කළ රජවරුන්ගේ හා යෝධයන්ගේ මෙන්ම මෑත රට කරවූ පාලකයන්ගේ නම් වලින්ද ආභාෂය ලබා නම් කොට තිබෙනවා.

‘ගැමුණු’, ‘එළාර’, ‘රංගල’ වැනි කඳවුරු මෙන්ම ‘පරාක්‍රම’, ‘ගජබාහු’ වැනි නෞකා ද මුල් යුගයේ නම් ලැබුවේ රජවරුන් සිහිපත් කරමින්.

ඉන්පසු හැත්තෑව සමගි පෙරමුණ රජය සමයේ චීනයෙන් ගෙන්වන ලද වේග ප්‍රහාරක බෝට්ටු ‘සූරයා’, ‘වීරයා’, ‘රණකාමී’ හා ‘දක්ෂයා’ ලෙස නම් තබා ඇත්තේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක නමේ මුල් අකුරු යොදාගෙනයි.

අසූව දශකයේ මුල් භාගයේ නාවික හමුදාවට අලුතෙන් ලැබුණු වේග ප්‍රහාරක බෝට්ටු ‘ජගතා’ හා ‘රක්ෂක’ ලෙස නම් තැබුවේ එවකට ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධනගේ නමේ මුල් අකුරු යොදා ගෙනයි.

‘ජයසාගර’, ‘සාගරවර්ධන’ යාත්‍රා දෙකට නම් තැබුවේද ජයවර්ධන නාමය සනිටුහන් වන ආකාරයටයි.

මේ ආකාරයෙන් රටේ පාලකයා සතුටු කරන්නට හෝ ඔහුට ගෞරවයක් ලෙස අලුතින් අධිකාරියට පත් වෙන නෞකා නම් කිරීමට ඒ ඒ යුගවල සිටි නාවික හමුදාපතිවරුන් පියවර ගනු ලැබුවා.

මා නාවික හමුදාවට බැඳෙන විට නාවික හමුදාපති ලෙස කටයුතු කළේ රියර් අද්මිරාල් අශෝක ද සිල්වා. ඉන්පසු පත් වූ රියර් අද්මිරාල් එච්. ඒ. සිල්වා, වසර 5කට පසු මා නාවික හමුදාවෙන් ඉවත් වන විටද ඒ ධූරයේ රාජකාරි කළා.

ඉන් අනතුරුව නාවික හමුදාපති බවට පත් වී ඝාතනයට ලක් වූ රියර් අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු තමයි මා නාවික හා සමුද්‍රයීය විද්‍යාපීඨයට පුහුණුව සඳහා ඇතුළත් වන විට එහි කොමඩාන්ට් (Commandant) ලෙස සේවය කළේ. පසුව කොමඩාන්ට් ලෙස කොමාන්ඩර් එන්. ජී. ඒ. ප්‍රනාන්දු පත් වුණා. අරාලි තුඩුවේ බෝම්බ පිපිරීමෙන් බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමග ජීවිතක්ෂයට පත් වූ කපිතාන් මොහාන් ජයමහ කොමඩාන්ට් ලෙස පත්වූයේ අනතුරුවයි. මගේ සේවා කාලය තුළ කපිතාන් එච්.බී.ඒ.සී. තිසේරාද කොමඩාන්ට් ලෙස කටයුතු කළා.

මා එඩිතර නෞකාවේ මුහුදු පුහුණුව ලබන්නට අනුයුක්ත කරන අවස්ථාවේ අප සමගම පුහුණුව ලැබූ සරත් ජයතිස්ස විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස පුහුණුව සදහා එම නෞකාවටම අනුයුක්ත කරනු ලැබුවා. නෞකාවේ විධායක නිලධාරියා වූ එවකට ලුතිනන් කොමාන්ඩර් ජයනාත් කොළඹගේ නිවාඩුව හමාර වී සේවයට වාර්තා කළේ සතියකට පමණ පසුවයි. දැනට විදෙස් කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ මා මුලින් දැන හඳුනා ගත්තේ එඩිතර නෞකාවේදී.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත