සී සික් හා ෂිකේ ෂික්….

Anchor-alochana-column

නාවික හමුදාවේ මාස තුනක පුහුණුව පැවතියේ ත්‍රිකුණාමලයේ නාවික හා සමුද්‍රයීය විද්‍යා පීඨයේදී. එය කෙටියෙන් හැඳින් වූයේ NMA නමින්. (එයින් කියැවුණේ Naval and Maritime Academy යන්නෙහි මුල’කුරුයි.)

NMA හි විවිධ පාසල් පැවැත්වුණා. අප අනුයුක්ත වූයේ ඉංජිනේරු පාසලටයි. ඉංජිනේරු පාසල ප්‍රධාන වශයෙන් නාවික ඉංජිනේරු (Marine Engineering) අධ්‍යාපනය ලබා දීම මූලික කොට ගත්තා. ඊට අමතරව විදුලි ඉංජිනේරු (Electrical Engineering) පාසල, සන්නිවේදන (Communication) පාසල, ගනරි (Gunnery) පාසල යනාදී වශයෙන් විවිධ අංශ සඳහා පාසල් වෙන් වී තිබුණා.

පුහුණු වන වෙඩි පිටිය (Firing range) පිහිටියේ තරමක් දුරින් මුහුද අද්දර කැළෑවේයි. සරඹ හා පෙළපාළි පුහුණු වීම (Drill and Parade) සඳහා පෙරේඩ් ග්‍රවුන්ඩ් (Perade Ground) නමින් වූ පිටිය පිහිටියේ නාවික හා සමුද්‍රයීය විද්‍යා පීඨයේ එක් කෙළවරකයි.

දිනපතා උදෑසන ශරීර සුවතා (Physical Training – PT) හි යෙදෙන්නට  ඒ සඳහා නියමිත වූ සුදු කොට කලිසම, සුදු ටී ෂර්ට් එක, සුදු කැන්වස් සපත්තු පැලඳ ගෙන උදේ පාන්දරින් අවදි වී සැතපුම් කිහිපයක් දිව යමින් දවස ආරම්භ කළ අපි, එම කාර්යය  අවසන් කළේ අවි ගබඩාව (Armoury) ඉදිරි පිට පෙළ ගැසෙමිනුයි. පමාවී පැමිණියේ නම් හෝ අතර මගදී හොරට පී.ටී. (PT) කර අසු වූයේ නම් දඬුවම් ලෙස තුවක්කු දෑතින් ඔසවාගෙන එහා මෙහා දිවීමේ දඬුවමට යටත් වන්නට සිදු වුණා.

අනතුරුව නේවාසික නිවස්නය වෙත යන අපට මුහුණ දොවා උදේ ආහාර ගෙන පුහුණු වන නිලධාරීන් සඳහා වූ ඇඳුම් හැඳගෙන පෙරේඩ් ග්‍රවුන්ඩ් (Perade Ground) වෙත යන්නට ඉතිරි වුණේ ඉතා කෙටි කාලයක්.

එසේම දිවා ආහාරය සඳහා ද ලැබුණේ නිශ්චිත කෙටි කාලයක්. සවස ඉංජිනේරු පාසලේ හා ප්‍රයෝගික ක්‍රියාකාරකම් අවසානයේ නිවස්නයට පැමිණ තේ පානය කොට ඒ හාම ක්‍රීඩා කටයුතු වලට සහභාගී වීම සඳහා ක්‍රීඩා පිටියට යා යුතු වුණා. ඇඳිරි වැටෙන විට ආපසු පැමිණ කාමර අස්පස් කොට, බූට් සපත්තු පොලිෂ් කොට, ඇඳුම් මැද රාත්‍රියේ කාර්යභාර නිලධාරියාගේ නිරීක්ෂණ සඳහා සුදානම් විය යුතු වුණා. ඒ නිරීක්ෂණ වලදී වඩාත් අවධානයට ගත්තේ පිරිසිදු කම, සපත්තු මුහුණ පෙනෙන පරිදි පොලිෂ් කර තිබීම, හා පිළිවළට වැඩ කටයුතු කිරීමයි. පිළිවෙළ යන්න කොතරම් සියුම් ලෙස නිරීක්ෂණය කළේද යත් නිදන ඇඳේ බෙඩ් ෂීට් එකක රැල්ලක් හෝ තිබුණොත් දඬුවම් හිමි උණා. පිරිසිදුකම කොතරම් සියුම්ව නිරීක්ෂණය කළේ ද යත් ජනෙල් කවුළුවක් ඇඟිලි තුඩින් අල්ලා දූවිලි බිඳක් සොයා ගත්තොත් දඬුවම් හිමි වුණා.

මේ හැම දෙයක් මගින්ම නිසි වේලාවට වැඩ කිරීමටත්, ඉතා පිරිසිදුව හා ක්‍රමවත්ව දෛනික ජීවිතය පවත්වා ගෙන යාමටත් අපව හුරු කළා. (අද දක්වාම නිදන ඇඳේ රැලි ඇත්නම් ඒවා සකසන්නටත්, පොරවන රෙදි, සරම ගුලි නොකොට නමා තබන්නටත් මා පුරුදුව සිටින්නේ මේ පුහුණු කිරීමේ ප්‍රතිඵල ලෙසයි.) 

උදේ පෙරඩ් ග්‍රවුන්ඩ් එකට ගිය පසු පැයක් පමණ සරඹ හා පෙළපාළි පුහුණු කළා. විශේෂයෙන්ම විසිර යාමේ පෙළපාළිය සඳහා පියවර තබන හැටි, කඩුව රඳවා ගන්නා හැටි, ආචාර පවත්වන හැටි යනාදී සියල්ල පුහුණු කළේ ප්‍රධාන පුහුණු නිලධාරී රත්නතුංගයි. G.I. රත්නතුංග (Gunnery Instructor) යනු ඉතා දැඩි දඬුවම් දෙමින් වැරදි නිවැරදි කළ ප්‍රධාන සුළු නිලධාරියායි. (Chief Petty Officer). සුළු අතපසු වීමකට දඩුවම වුණේ දෑතින් T – 56  මැෂින්ගන් දෙකක් හෝ A K 47 රයිෆලය ඔසවා ගෙන පිට්ටනිය වටා රවුම් 10-15-20 යනාදී ලෙස දිවීම ඇතුළු දඬුවම්.

අප පුහුණු වුණේ කාන්තා නැවියන් සමඟ සමාන්තරව නිසා ඔවුන් බලා සිටිද්දී දඬුවම් විඳිනවා යනු පොළොව පළාගෙන යන්නට තරම් සිතෙන ලැජ්ජාකාරී අවස්ථාවක් වුණා. කිසියම් කාන්තා නැවියක අපට හිනා වුණේ නම් ඇයටද  ලබා දුන්නේ එවන්ම දඬුවමක්.

පෙරඩ් එකේදී අප නිල ඇඳුම හැඳ සිටින ආකාරය සුක්ෂමව නිරීක්ෂණය වුණා. නිල් පාට නිල ඇඳුම පුහුණු වීමේදී අඳින්නා සේම කාර්යාල කටයුතු වලට වෙන් කොට තිබුණේ සුදු ඇඳුමක්.

Anchor-Alochana-uniforms-naviනිල් පැහැ නිල ඇඳුම සමන්විත වුණේ මේ ආකාරයටයි. නිල් පැහැ ඇත දිගු කමිසය, නිල් පැහැ දිගු කලිසම, නිල් බඳ පටිය, කළු බූට් සපත්තු (මැනවින් පොලිෂ් කළ යුතුයි.) සපත්තුවට පහළින් සුදු ඇන්ක්ලට් (Anklets)(එය කුණු නොතැවරෙන සේ නිතිපතා වර්ණ ගැන්විය යුතු වුණා.), බ්‍රාසෝ යොදා දිලිසෙන්නට පොලිෂ් කළ නිල ලාංඡනය රැගත් හිස් පළදනාව (Cap) හෝ (Beret), උරහිස් පළදනාව (epaulet) යි.

උරහිස් පළඳනාව මගිනුයි කිසියම් නිලධාරියෙකුගේ නිලය (Rank) හඳුනා ගත්තේ. උරහිස් පළඳනාවේ වූ හීන් පටි සංඛ්‍යාව අනුව නිලයත්, පටි අතර වර්ණය අනුව අයත් වන අංශයත් පිළිබිඹු වුණා.

උප ලුතිනන්ට එක පටියක්ද, ලුතිනන්ට පටි දෙකක්ද ආදී වශයෙන් වෙන් වුණා. අප අතර උප ලුතිනන්ලා මෙන්ම ලුතිනන්ලාද සිටියේ මා වැනි සමහරු උපාධිය සම්පුර්ණ නොකොට හමුදාවට බැදී සිටි නිසයි. උප ලුතිනන් ලෙස බඳවා ගත් උපාධි අපේක්ෂකයින් උපාධිය සම්පූර්ණ කළ පසු ලුතිනන් තනතුරට පත් කරන්නට නියමව සිටියා. 

 

(ඡායාරූපය 2)

 

 
දෙවන රූප සටහනේ දැක්වෙන්නේ නාවික හමුදා නිලයනට සමාන්තරව යුද හා ගුවන් හමුදා නිලයනට අදාළ උරහිස් පළඳනාවේ අඩංගු ලාංඡනයි. ඊට පහළින් ඇති රූපාවලියෙන් පෙන්නුම් කරන්නේ නාවික හමුදා නිලධාරීන් සඳහා භාවිතා වන විවිධ නිල ලාංඡනයි.

උරහිස් පළඳනාව (epaulet) කළු පාටයි. එහි පටි අතර කළු තීරුවක් වූයේ නම් විධායක (Executive), රතු පාට වූයේ නම් වෛද්‍ය (Medical), මෙරුන් පාට නම් ඉංජිනේරු (Engineering), කොළ පාට වූයේ නම් විදුලි   (Electrical), සුදු පාට වුයේ නම් සැපයුම් (Supplies) ආදී වශයෙන් ඒ ඒ අංශ වර්ගීකරණයට ලක් වුණා.

නාවික හමුදාවේ පුහුණුවේ පළමු අදියර, එනම් මාස 03ක් අවසානයේ අපට නියමිත වූයේ මුහුදු පුහුණුවයි. (Sea Training) 

මා අනුයුක්ත කොට තිබූ එඩිතර නෞකාව ඒ වන විට රඳවා තිබුණේ උතුරු ආරක්ෂණ කලාපයේ බව පැවසූ අපගේ පුහුණු භාර නිලධාරීවරයා උදයේ පිටත් වන ජයසාගර නැවෙන් එඩිතර බලා පිටත් විය යුතු බව දැන්වූවා. මා මෙන් පුහුණුවට යන ආධුනික නිලධාරීන් කිහිප දෙනෙකු ජයසාගර නැවේ යාත්‍රා කළා.

විවිධ ආයතන හා නැව් වලට අනුයුක්තව පුහුණුවට ගිය  අප ලබා දී තිබූ රෙදි බෑගයක ඇඳුම් පුරවාගෙන කරේ එල්ලාගෙන ජයසාගර නැවට ගොඩ වුණා. එකට පුහුණු වූ ආධුනිකයින් කිහිප දෙනෙකුම ජයසාගර නැවට ගොඩ වූයේ ජයසාගර නෞකාවේ මෙන්ම උතුරු ආවේක්ෂණ කලාපයේ රඳවා තිබූ  සාගරවර්ණ, එඩිතර, අභීත නෞකා මෙන්ම කරෙයිනගර් හි පිහිටි “එළාර” නාවික කඳවුර බලා පිටත් වන්නටයි. 

මුහුදේ රළ පහරට හසුව එහාට මෙහාට පැද්දෙමින් ආ ගමන මගේ හිසේ කරකැවිල්ල ඇති කළා. “ඕකට කියන්නේ සී සික් (Sea Sick)” ජයසාගර නැවේ  සිටි නිලධාරියෙකු පැවසුවා. “ගනන් ගන්නෙපා. දෙතුන් වතාවක් එහාට මෙහාට sail(යාත්‍රා) කළාම ඕක හරියනවා.”

ජිවිතයේ ප්‍රථම වතාවට නෞකාවක නැගී ලංකාවේ නැගෙනහිර මුහුද තරණය කළ මා රෑ බෝ වන විට කන්කසන්තුරේ මුහුදේ නැංගුරම් ලා තිබූ  එඩිතර නෞකාව සමීපයට ළඟා වුණා. එඩිතර නෞකාව උතුරු මුහුදේ නැංගුරම් ලා තිබුණේ වෙනත් නැව් හා බෝට්ටු වලට අවශ්‍ය ඉන්ධන, ආහාර හා වෙනත් සේවා ලබා දෙන මව් නෞකාවක් (Mother Ship) ලෙසයි. 

Jayasagara Ship-alochana-column-henry-warnakulasooriya (ජයසාගර නෞකාව)

ජයසාගර නෞකාව, එඩිතර නෞකාවට යාබදව නැවැත් වූවා. එය හැඳින්වූයේ Alongside යනවා යනුවෙන්. නැව් දෙකේ බඳවල් එකිනෙක හේත්තු කොට නැවත්වූයේ fenders ආධාරයෙන්. ෆෙන්ඩර්ස් යනු විශාල ටයර්, සිලින්ඩරාකාර රබර් කුට්ටි වලින් නිමවූ නැව් බඳේ යකඩ එකට ඇතිල්ලෙන්නේ නැති වෙන්න සැකසූ අධාරකයි.

මා එඩිතර නෞකාවට ගොඩ වූයේ ලණු ඉණිමගක එල්ලීගෙනයි.ඊට හේතුව එඩිතර, ජයසාගරට වඩා තරමක් උසින් වැඩි වීමයි.

එඩිතර නෞකාව සාපේක්ෂව විශාලයි. මා කෙලින්ම මට වෙන් කළ කාමරයට කැඳවාගෙන ගියා. ඒ කැබින් (Cabin) එක ඇඳක්, කුඩා මේසයක් යාබද නානකාමරය හා වැසිකිළියක් සහිත පුංචි ඉඩක්. ලුණු මිශ්‍ර සුළඟේ තෙත් ගතිය නිසා ඇඟ ලුණු ගතියෙන් ඇලී තිබුණ නිසා මා හොඳින් ස්නානය කර අවසන් වද්දීම රාත්‍රී ආහාරයට වෝඩ් රූම් (ward room) එන ලෙස සහකාර නැවියෙකු පැමිණ කියා සිට මා කැඳවාගෙන ගියා.

මා වෝඩ් රූම් වෙත යද්දී කොට කලිසම් හා ටී ෂර්ට් හැඳ සිටි උසස් නිලධාරීන් දෙදෙනෙකු ආහාර ගනිමින් සිටියා. ඒ නැවේ අණ දෙන නිලධාරී (CO) හා ඉංජිනේරු නිලධාරී (EO) බව හඳුන්වා දුන්නා. මා සිටියේ බමන හිසින් යුතුවයි. මොකෝ සී සික්ද?  CO ඇසුවා. මට ආහාර අනුභව කරන ලෙස නියෝග ලැබුණා.

උණු බත්, පොල්සම්බල සමඟ කරවල බැඳුමක්. මා පෙරේතකමටත් එක්ක බඩ පිරෙන්න කෑවා. “No liquor for Trainees” අණදෙන නිලධාරියා එසේ පැවසුවේ ඉංජිනේරු නිලධාරියා සමඟ විස්කි වඩියක රස බලන ගමන්. 

ආහාර ගෙන අවසන් වීමත් සමඟ මගේ හිස කරකැවිල්ල උපරිමයට ළඟා වී මට වමනය ගියා. ආහාරයට ගත් බත්, පොල් සම්බල්, කරවල බැඳුම රැගත් වමනයෙන්  word room එකේ සින්ක් එක පිරුණා. මට “ෂිකේ ෂික්” කියා හිතුණා.    

එඩිතර නෞකාවේ  අණ දෙන නිලධාරී කොමාන්ඩර් රසී(Z)ක් හෝ ඉංජිනේරු නිලධාරී  ලුතිනන් කොමාන්ඩර් සුනිල් සාන්ත මුවින් නොබැන ඉවසා සිටීමෙන් පෙන්නුම් කළේ ඔවුනගේ පරිණතබවයි.

සෙස්ස පස්සට…

2 Responses

  1. 1999 දි මා මුලින්ම වෙලද නාවිකයෙක් ලෙසින් උතුරට යනකොට එඩිතර නෞකාව කන්කසන්තුරය වාරයේ ගිලි තිබුනා. Wheel house එක පමණක් වතුරෙන් ඉහලට මතුව තිබුනේ. මුහුදෙන් ප්‍රහාරයක් එල්ලවුවොත් කියා එය මුරපොලක් ලෙසින් බාවිතා කරනු දකින්නට ලැබුනා. එඩිතර නැව ගිලුනේ කොයි කාලයකද?

    1. 1995 ජූලි16 තරම කන්කසන්තුරේ මුහුදු තීරයේදී මරාගෙන මැරෙන මුහුදු කොටි ප්‍රහාරයකින් විනාශ වුණා.

Comments are closed.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත