සම්මාන හා අවමාන

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

මේ ගෙවී යන්නේ සැප්තැම්බරයයි. සාහිත්‍ය ලෝලීන්ට සාහිත්‍ය මාසයයි.

පොත් නිකුත් වීම්, දොරට වැඩීම්, එළිදැක්වීම්, ජනගත කිරීම්, පූජා කිරීම්, බොහොමයක් ඉලක්ක ගත වන්නේ සාහිත්‍ය මාසයටයි.

සාහිත්‍ය මාසය පුරා පැවැත්වෙන මෙවන් උත්සව, සම්භාෂණ කොතෙක්ද යත් එකම දින ස්ථාන කිහිපයක පැවැත්වෙද්දී මේ පිළිබඳ උනන්දුවක් දක්වන කෙනෙකුට සහභාගී වන්නේ කවරකටදැයි තෝරා ගන්නට නොහැකි තරම්. සමහරු තැන් දෙක තුනකට එක දාන්න යනවා. ඒ කියන්නෙ ඒවයේ දේශන කරන අය පව්…! කවුරුත් දේශන අහන්නෙ නෑ. එක දාලා සංග්‍රහයක් විඳින්න ගමන් දොඩමළු වෙන්න තමයි එන්නේ.

ඒ එක්කම පොත් හල් හිමියෝද ප්‍රකාශකයෝද සාහිත්‍ය මාසයේදී 30% – 40% ආදී වශයෙන් වට්ටම් ලබා දිය හැකි නම් වසරේ අනෙක් මාස වලදී එසේ ලබා දිය නොහැක්කේ මන්දැයි යමෙකු ප්‍රශ්න කරන්නටත් ඉඩ තියෙනවා..

මෙසේ වට්ටම් ලබා දෙන්නේ පොතක මිල නියම කෙරෙන්නේ වෙළෙන්දාට ඉතා විශාල ලාභයක් හිමි වන පරිදි බැවින් වෙන්නෝනෑ. පොතක් ලියන ලේඛකයාට පොතක අලෙවි වටිනාකමින් 10% ක් හිමි වෙද්දී පොත් හල් හිමි මුදලාලිට 40%ක වට්ටමක් ලබා දිය යුතුයි. දැන් සමහර පොත් හල් හිමි මුදලාලිලා විශේෂයෙන් කතෘ ප්‍රකාශකයන්ගෙන් 50% ක් දක්වා ඉහළ වට්ටම් ලබා ගන්නා බව ද ප්‍රචලිතයි. ඒ දෙන්නේද දෙන්නම් කාසි ක්‍රමයටය. ඒ මුදල් කවදා ලැබේදෝයි දන්නේ මුදලාලිම පමණය.

මේ අල්ල පනල්ලේ හොඳම අල කලංචි සිද්ධ වෙන්නේ සම්මාන ප්‍රදානයේදීය. දැන් ප්‍රධාන පෙළේ සාහිත්‍ය සම්මාන උළෙල 4ක් සාහිත්‍ය මාසයේදී සිදු වෙනවා. ආණ්ඩුව දෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන, පොත් ප්‍රකාශකයින්ගේ සංගමය ප්‍රකාශකයින්ගේ පොත් සඳහා පමණක් දෙන ස්වර්ණ හා රජත පුස්තක සම්මාන, ගොඩගේ ප්‍රකාශකයින් පිරි නමන ගොඩගේ සම්මාන හා විද්‍යෝදය විශ්වවිද්‍යාලය සංවිධානය කරන විද්‍යෝදය සම්මාන ලෙස මේ උත්සව සාහිත්‍ය මාසයේදී පැවැත් වෙනවා..

මේවායේ හරිම අලකලංචි සිද්ධ වෙන එක දැන් දැන් සාමාන්‍යයයි. සම්මාන අවමාන වී ලේඛකයින් අවමානයට ලක් කෙරෙන එක හැම වසරකම කුමක් හෝ සම්මාන උළෙලක දී සිදු වන තරමට මේ සෙල්ලම දුර දිග ගොස් තියෙන බවයි පෙනෙන්නේ.

බොහෝ සම්මාන උත්සව මෙන්ම සම්මානද කල්ලිවාදී වෙලා. සංවිධානය කරන්නේ කල්ලියක්. තෝරන්නේ තවත් කල්ලියක්. බහෝ විට සම්මාන ලැබෙන්නේද කල්ලියකටයි. අතරින් පතර කල්ලි වලින් පිට එක්කෙනෙකුට දෙන්නෙකුට දෙනවා තමයි. හැබැයි ඒකෙන් අර චෝදනාව අහෝසි වෙන්නෙ නෑ.

සමහර සම්මාන විනිශ්චය මණ්ඩලය කවරක් තේරුවත් දෙන්නේ සංවිධානය කරන කල්ලියට අවශ්‍ය එකාටයි.

මෙහි කූටප්‍රාප්තිය සිද්ධ වුණේ මෙවර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන වලදී.

හොඳම කෙටිකතා පොත උදේ එකක්. හවස් වන විට තව එකක්. හොඳම නවකතාවට සම්මාන ලැබූ ලේඛකයාට හොඳම කෙටිකතා පොතටද සම්මාන දී වැඩේ ගොඩ දා ගත්තේ හොඳම කෙටිකතා පොතට මුලින් සම්මාන හිමි වූ ලේඛකයාට හොඳම තීරු ලිපි සම සම්මානයක් දෙමිනුයි. හොඳම කවියට උදේ නියමිතව තිබූ සම්මානය සවස් වන විට වෙන කෙනෙකුටයි. හොඳම ගීත රචනා කතෘට හිමි සම්මානය සුන්නද්දූලි වී දූරීන්භුත වී ගියේ මෙවර එවන් සම්මානයක් දෙන්නේ නෑ..උත්සවයට එන්න එපා කියලා ගීත රචනා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන රත්න ශ්‍රී ට දන්වමිනුයි. හැබැයි කලින් දවසක එන්න කියලා ආරාධනා කරලා තිබුණා කියලයි ආරංචිය.

සම්මාන දෙන උන්ටත්, තෝරන උන්ටත්, සම්මාන ඔලුවේ තියාගෙන යන උන්ටත් මඩු වලිගයෙන් තලලා මදි කියන්න හිතෙන්නේ ඔය වෙලාවටයි. සම්මාන අවමාන වී කොමඩි වී කක්කා ගොඩක් බවට පත් වී ඇත්තේ ඔන්න ඔය ආකාරයටයි.

මෙහෙම ගියොත් ලේඛකයෙකුට සම්මාන ලැබුණා කිව්වම අහන්න වෙන්නේ “ඊයා..ඒවත් ලැබුණද..” කියලයි.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත