සුළගේ හමනා පිළිතුර

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

මාවත් කීයක් තරණය කළ යුතුද ඔහු
ඔබ ඔහුට මිනිසකු යයි කීමට කලින්?

සාගර කීයක් තරණය කළ යුතුද සුදු පරෙවි දෙන
වැලි තලයක ඇය නිද්‍රාවක් ලැබීමට කලින්?

ඔව්, කී වරක් පියඹා යා යුතුද කාලතුවක්කු උණ්ඩ
ඒවා සදාකලටම පිටුදැකීමට කලින්?

පිළිතුර මා මිතුර ඇත හමන සුළඟේ
පිළිතුර ඇත හමන සුළඟේ…

බොබ් ඩිලන් මේ ගීතය ලියන්නේ 1962 දී, නිකුත් කරන්නේ 1963 දී.
විරෝධාකල්ප ගීතයක් ලෙස ප්‍රචලිත මේ ගීතය භාෂා රැසකට පරිවර්තනය කොට ගයා තිබෙනවා.

අවුරුදු ගණනකට පෙර ගාමිණී හත්තොට්ටුවේගම මහතාගේ වීදි නාට්‍ය කණ්ඩායම මේ ගීතයේ ඡායනුවාදයක් මුල් ගීතයෙන් වෙනස්වූ සරල තනුවක් මත ගයනවා අසා තිබුණත්, ඒ වචන හරියටම මතක නැති නිසා හැකිතාක් දුරට අර්ථය රැකගත් පරිවර්තනයකුයි මා ඔබ වෙනුවෙන් ඉහතින් කළේ.
මෙම පද රචනාව තුළ මිනිසාගේ පැවැත්ම, අනෙකාගේ දුක පිලිබඳ සංවේදීතාව, යුද්ධය, සාමය සහ නිදහස පිළිබඳ වාගාලංකාර ප්‍රශ්න කිහිපයක් අසන ඩිලන් පිළිතුර ඇත්තේ හමන සුළගේ බව පවසනවා..

මෙහි අර්ථය කුමක්ද? ඩිලන් සුළඟේ ඇතැයි පවසන පිළිතුර කුමක්ද?

මේ පවසන්නේ පිළිතුර සුළඟ විසින් ඔබ ඉදිරිපිටට ගෙනත් තබා ඇති නිසා ඉතා සුපැහැදිලි බවද?
නැතිනම් සුළඟ මෙන් හසුනොවන නොපෙනෙන අපැහැදිලි ප්‍රපංචයක් බවද?

මෙයට පැහැදිලි පිළිතුරක් ඩිලන් කිසි විටෙක දෙන්නේ නැහැ.

මයිකල් ගැරී විසින් රචිත බොබ් ඩිලන් පිළිබඳ ලිපි එකතුවේ තැනෙක ඩිලන් මේ පිළිබඳ කරන ලද ප්‍රකාශයක් සඳහන් වුනත් එහිදීත් ඔහු පවසන්නේ පිළිතුර ඇත්තේ හමන සුළගේ බවයි.

විරෝධාකල්ප ගී අතර අග්‍රගන්‍ය ගීයක් ලෙස සැලකෙන මෙම ගීතය පළමුවරට ගයනා කිරීමට පෙර ‘මෙය විරෝධාකල්ප ගීයක් නෙවෙයි, මම විරෝධාකල්ප ගී ලියන්නේකුත් නෙවෙයි’ යනුවෙන් ඩිලන් පැවසූ බව සමහර මූලාශ්‍ර වල සඳහන්වෙනවා.

ඩිලන් විසින් මුලින් ගැයූ විට එපමණ ප්‍රසිද්ධියට පත් නොවුනත් පීටර්, පොල් සහ මේරි කණ්ඩායම විසින් 1963 දී ඔවුන්ගේ ගීත ඇල්බමයකට ඇතුළත් කිරීමෙන් පසු මෙම ගීය ඉතා ජනප්‍රිය වෙනවා.

ජන සංගීතයේ නියුතු ශිල්පියෙක් ලෙස හඳුනාගෙන සිටි බොබ් ඩිලන්ගේ සංගීත දිවියේ සහ ගීත රචනා චාරිකාවේ මෙන්ම ලෝක විරෝධාකල්ප ගී ඉතිහාසයේත් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස මේ ගීය හැඳින්වෙනවා.

රොබර්ට් ඇලන් සිමර්මන් (Robert Allen Zimmerman) ලෙස 1941 දී උපත ලබන මේ ගේය පද රචකයා, සංගීතඥයා, සහ ජනප්‍රිය මෙන්ම විරෝධාකල්ප සංස්කෘතියේ සලකුණක් වන කලාකරුවා සමග ජුවාන් පාවුළු පාප් වහන්සේ උත්සවයකට සහභාගී නොවිය යුතු බව පසු කලෙක XVI වන බෙනඩික්ට් ලෙස පාප් කිරුළ දරූ, එවකට කාදිනල්වරයෙකු වූ ජෝශප් රැට්සින්ගර් විසින් වරෙක පවසන්නේ ඩිලන් යනු සාවද්‍ය ශාස්තෘවරයෙකු බව පවසමින්.

ගීත රචනය යනු සාහිත්‍යයදැයි යන කුකුසට පැහැදිලි පිළිතුරක් දෙන නොබෙල් කමිටුව 2016 දී සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය බොබ් ඩිලන්ට පුද කරනවා…

මේ කියවන ඔබ ද්විභාෂික නම් බොබ් ඩිලන්ගේ නොබෙල් දේශනය

සහ නොබෙල් භෝජන සංග්‍රහයේදී ඇමරිකානු තානාපතිනිය විසින් කියවන බොබ් ඩිලන්ගේ පණිවිඩය

නොවරදවා අසන්නැයි මා යෝජනා කරනවා.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත