“අද විශ්ව විද්‍යාලවලවත් ව්‍යාකරණ හරියට දන්නා කෙනෙක් ඉන්නවා ද?” සම්මානිත මහැදුරු ජේ. බී. දිසානායක

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

එතුමන් ගැන – 

සුන්දර වූ අහඹු කෙළෙහිගුණ දැක්වීමක ඵලයක් ලෙසින් හෙතෙම සත්කෝරළයේ දී උපත ලබන්නේ 1937 අප්‍රේල් 16 වනදාය. ඒ වසන්ත සමයයි. ලංකාවේ වසන්තය ගහකොළ පලබරින් යුක්ත සැණකෙළි අලංකාරය පැතිරෙන සමයකි. එ බැවින් ම එවන් දින වකවානුවල ඉපදුණු නිසා දෝ ඔහු ද හැමදාටම ප්‍රියමනාපය. හමුවූ තැනක සැණකෙළි රසය ද අඩු නැත. මුලින් ම මහනුවර ධර්මරාජයට යන ඔහු අවසානයේ පේරාදෙණියට යන්නේ කොළම ආනන්ද විද්‍යාලයෙන්ය. 1961 දී පළමු පෙළ ගෞරව සාමාර්ථයක් ලබා ගන්නා ඔහු සිය විශ්ව විද්‍යාලයේ ම සිංහල අංශයේ කතිකාචාර්යවරයෙකු වන්නේ මහදුරු ඩී. ඊ. හෙට්ටිආරච්චි මහතුන්ගේ ඉල්ලීමට ය. මහාචාර්ය ඇම්. බී. ආරියපාල හා ආනන්ද රාජකරුණා යටතේ සිය සිංහල භාෂා ඥාණය වර්ධනය කර ගන්නා ඔහු (1963-65) ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් “වාග් විද්‍යාව” පිළිබඳව සිය ශාස්ත්‍රපති උපාධිය ලබයි. ඉන් පසු මහා බ්‍රිතාන්‍යයෙන් සිය ආචාර්ය උපාධිය හිමි කරගන්නා ඔහු දැනට මෙරට සිටින වාග්විද්‍යාව මගින් සිංහල බස පිළිබඳ නූතන සම්මානිත මහාචාර්ය වරයාය. ඔහු සිංහල ව්‍යාකරණය පිළිබඳ කියූ බොහෝ දෑ මෙරට සමාජයේ විටෙන් විට උඩු යටිකුරු කිරීම් සනිටුහන් කළේය. අදටත් හිතට එකඟව, සිය දැනුමට යටත්ව ඔහු සිංහල බස පිළිබඳව විවිධ අධ්‍යයන වල නිරත වෙමින් සිටියි. දැනට සේවයෙන් ඉසිඹු ලා සිටින මේ උගත් වියතාණන් වන්නේ, රාජපක්ෂ රාජකරුණා මහවාසල දුක්ගන්නා දිසානායක මුදියන්සේලාගේ ජයරත්න බණ්ඩා දිසානායකයන් ය. ඔහු කවුරුත් දන්නා සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායකයන් වෙයි.

(මේ 2019 -ජුලි 14 වනදා හිරු බැසගෙන යන හෝරා කීපයක දී නුගේගොඩ එගොඩවත්තේ දනට එතුමන් පදිංචි නිවසේ සිට චම්මින්ද වෙලගෙදර නම් වූ මා විසින් කළ සම්මුඛ සාකච්ඡාවට මම ඔබට ද සහභාගි වන්නට මෙයින් ඇරයුම් කරමි.)

 

ඇවිස්සීම :

“අද හැම දෙනෙක්ම සිංහල බස ගැන කතා කරන්නේ හරිම වේදනාවෙන් වාගේ. බස නසනවා. අපේ කාලේ වාගේ නොවෙයි දැන් කියලා”

 

මතුවීම :

“අනිත් හැම දේම වාගේ බාසාවත් වෙනස් වෙනවා. වෙනස් වෙමින් ඉදිරියට යනවා. ජීවිතය ආපසු අරගන්නට බෑ වගේම භාෂාව වෙනස් වීමත් කාටවත් නවත්ත ගන්න බැහැ. ඒ කාලේ “ගුරුළු ගෝමී” හොඳයි. ඒත් එහෙමය කියල අපිට දැන් ඒ කාලේට යන්න පුළුවන් ද ? ඒ කාලේ මතක් කරද්දි අපට සතුටුයි. හරියට අපි අපේ ළමා කාලයට ආසයි වගේ. එදා වැළි කෙළියේ කළ කෙළි අපට අද දනවන්නේ ආනන්දනීය චමත්කාරයක්. ඒත් අද ළමයින්ට ඒක තියේ ද? අද ගෙවල් වල වැළිත් නැහැ. මිදුලුත් නැහැනේ. ඒවා අතීත රස පමණයි. අපිට ඒ රසයට ආසක්ත වෙලා අද එහෙම නැහැ ඒ නිසා අද හොඳ නෑ කියන්න පුළුවන් ද?. ඒ අතීත කාමය, අපි එයින් වින්දනයක් ලබන බව හැබෑව. ඒවා හොඳ බවත් හැබෑව. හැබැයි ඒ ඒ කාලයේ හැටියට… 

“සමහරු ඒකනේ කියන්නේ ඒ කාලේ බාසාව හොඳයි. හොඳ බසක් තිබුණා. දැන් නම් ගන්ඩම දෙයක් නෑ කියලා.” ඒත් එහෙම කීවාට වැඩක් නෑ. හෙළ හවුල ඒක කළා. ඒත් වැඩක් නෑ. ඔවුන් වර්තමාන සිංහලය දුටුවේ භාෂාව පිරිහීමක් ලෙසයි. ඔවුන් පැරණි ව්‍යාකරණය අගය කළා. දැන් ඒ වෙනුවට අලුත් වගේම නැවුම් ව්‍යාකරණ ඇවිදින්. එසේ අලුත්වීමේ කිසිම වරදක් නෑ. එදා අමාවතුරේ කීවේ “දඹදිවැයි දෙව්රම් වෙහෙරැයි” කියල. අද කියන්නේ “දඹදිව දෙව්රම් වෙහෙරේ කියලයි. “ඒකේ කිසි වැරැද්දක් නෑ. එදා විදියට “ඇ” කාරය අද දාන්න ගියොත් අපිට “නුගේගොඩට” කියන්න වෙන්නේ “නුගේගොඩැ”, “දෙහිවලැ” කියල නේද? එහෙම වුණොත් ඒක විකාරයක් වෙනවා. “ඇ “ නොයෙදීම පිරිහීමක් නොවේ.

 

අතුරු බාධාවක්,

“හැබැයි ඉතින් හැම වෙනස් වීමම දියුණුවක් කියල ගන්න පුළුවන්ද?”

 

මතුවීම:

“වයසට යන එක නවත්වන්න පුළුවන් ද? අපි නාකි වෙන එක. වයසට යද්දී නාකි වෙනව නේ ද? නාකි වෙන එක හොඳ නෑ. ඒත් වෙනවා. ඒ වගේ තමයි බසත්. අපි අකැමැති වුණත් සමාජය වෙනස්වීම අනුව එය අලුත් වෙනවා. අපි අවබෝධ කර ගන්නට ඕනැ ඒකයි. භාෂාව කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යය. ඔවුන්ගේ නූතන අදහස් පවසන්නට බසක් ඔනෙ නේද? අද තියෙන්නේ එදා වගේ කෘෂිකාර්මික සමාජයක් ද? බොහෝ සංකීර්ණ, විෂම සමාජයක්. මේක වෙළෙඳ ලෝකයක්. අපි ඒ ලෝකයේ ජීවත් විය යුතුයි. ඒ වගේම බස කියන්නේ කිසියම් ජනතාවක් තමන්ගේ අදහස් කියන ප්‍රධානම මාධ්‍යය. එය ඔවුන්ගේ ඕනෑ එපා කම් කියන්න යාමේදී වෙනස් වෙනවා. එහෙත් එම වෙනස්වීම අපිට අවශ්‍ය නම් කිසියම් ක්‍රමවේදයකට හදා ගන්නට පුළුවන්.

 

දෙවන ඇවිස්සීම: 

“අද බොහෝ දුරට අපේ භාෂාව පිළිබඳ සාමාජීය චෝදනාව එල්ල වන්නේ මේ ඇතැම් සන්නිවේදන ජාල විසින් බස යොදා ගන්නා ආකාරය මත. සමහරු එය “සිංග්ලිෂ්” කියා යොදනවා. ඒ සමගම ඇතැම් FM නාලිකා  සිය ග්‍රාහකයාට “ඔයා” කියා ආමන්ත්‍රණය කරනවා.

 

මතුවීම:

“ඔයා” කීම වැරදි වචනයක් නොවේ. එහෙත් අපි දැනගන්නට ඹ්නේ අපි “ඔයා” කියන්නේ කාට ද කොතැනකදී ද කියලා. ඉංග්‍රීසි භාෂාවේ තියෙන්නේ that and this කියලා විතරයි. ඒත් සිංහල බසේ තියෙනවා “ඕක” “මේක” “අරක” “ඒක” කියලා. ඒ ඒ වචන සහ භාණ්ඩ හඳුනාගන්නේ යෙදීම අනුවයි. ඒ වගේම තමයි  ”උඹ” කියන වචනය. “වරෙං” කියන වචනය අපට ඉතාම හිතවත් කෙනෙකුට “උඹ” කියන්න පුළුවන් “වරෙං” කියන්න පුළුවන්. ඒ අප අතර ඇති බැඳීම හා දැනීම මත. එහෙත් එය පොදුවේ යොදන්න බැහැ. සමහර විට එය අපහාසයක් විය හැකියි. නැතිනම් පෙරළා අනිසි ප්‍රහාරයක් ලැබීමක් විය හැකියි. තැනට ගැලපෙන, උචිත විදියට භාෂාව යොදා ගන්නවා මිස එය අලුත් යෙදුමක් හෝ හුරතල් යෙදුමක් කියලා හැමතැනම හැමකෙනාටම යොදන්නට යාම බසේ මෙන්ම පුද්ගල ගෞරවය ද නැති කිරීමක් වෙන්න පුලුවන්. බස ඇති වෙන්නේ සංස්කෘතිය සමගයි. වෙනස් වෙද්දී එයත් වෙනස් වෙනවා. ඒක වැරදි නැහැ. ඒත් “ඖචිත්‍යය” යන්න අපට අමතක කරන්නට බෑ.

අපි ගමනක් යද්දී ගැලපෙන ඇඳුමක් නේද අල්මාරියෙන් තෝරා ගන්නේ. ඒ අප යන තැනට අනුව ගැලපෙන ඇඳුමක් විය යුතුයි. අපි රජ ගෙදරදී, විදේශයකට යන විට හෝ උත්සවයකට යන විට අඳින ඇඳුම පන්සලට හෝ මළගෙදරකට අඳින්නේ නැහැ. අපි එතැනට ගැලපෙන ඇඳුමක් තෝරා ගත යුතුයි. භාෂාවත් එහෙමයි. දැන් බලන්න. යාලුවෝ කට්ටියක් එකතු වුනාම අහන්නේ “ අද හවසට සෙට් වෙමුද” කියල. එහෙම සෙට් වුනාම එතන භාවිත වෙන්නේ “බයිට්”, “ෂැන්ඩි”. “ඩ්‍රින්ක්”, “ෂොට්”. වගේ වචන නේද? හැබැයි ගුරුළුගෝමීගේ බස හොඳයි කියල අපි ඒ භාෂාවෙන් කතා කරන්නේ නෑ නේද? ඒ නිසා සමහර පරණ දේවල් හොඳයි කියලා දැන් යොදන්න බැහැ. මොකද තේරෙන්නේ නෑ අදට ඒවා. භාෂාව තමා සන්නිවේදනයේ උපකරණය. ඒ උපකරණය අප ඉතා හොඳින් තැනට සුදුසු ලෙස පාවිච්චි කළ යුතුයි. එය තමා ව්‍යවහාරික බස කියන්නේ. දැන් බලන්න “අපි ගෙදරදී ඇඳුම් මැදගන්නවා”. ඒ වෙලවේ මොකක් හෝ නිසා විදුලිය කාංදු වීමක් එනවා කියලා. ඉතින් අපි අතින් කොහොම ද මේක කියවෙන්නේ. “පුතා වයර් ෂෝට් එකක්. අයන් කරන්න බෑ. ඉක්මනට මේන් එක ඕෆ් කරන්න කියල නේද?” මෙතනදී මේක අපි සිංහලෙන් හරි පොතේ ලියවුනු වචන වලින් කියන්න ගියා නම් මොකද වෙන්නේ. පණිවිඩය ලැබෙන කෙනාට ඒක තේරෙන්නේ නැහැ. ඒක විහිලුවක් කියා එයා හිතනවා. විදුලි සැපයුම ක්‍රියා විරහිත කරන්නේ නෑ. ඇඳුම මදින්න ගිය කෙනාට විදුලි සැර වදිනවා නේද? ඉස්සර “පට්ට” කියා අපි පොදුවේ යෙදුවේ යහපත් අරුතක් දෙන්න නෙවෙයි නේද? නමුත් අද “පට්ට “කියන්නේ කුමකට ද? මේවා තමයි සාමාජික සංස්කෘතික වෙනස්කම්. නමුත් මේ සමහර වචන ව්‍යවහාරයේ දී යෙදුණ කියල අපි ඒවා හැම තැනකදීම යොදන්න යන්නේ නෑ. තැනට සුදුසු විදියට පමණයි. අර ඇඳුම් අඳිනවා වාගේ, භාෂාවත් උපකරණයක්. ඒත් උපකරණය තැබිය යුත්තේ පිරිමැද හෝ පොලිෂ් කර කර ඉන්න නෙවෙයි. වැඩ ගන්නටයි. උපකරණයක වැදගත්කම රඳා පවත්නේ අප එයින් කරණ මෙහෙය අනුවයි.

 

තුන් වන ඇවිස්සීම:

“එතකොට මේ ව්‍යාකරණ, අපිට ඒවාත් කාලයෙන් කාලයට වෙනස් කරන්න පුළුවන් ද? අද ව්‍යාකරණ නොසලකා හැරීමක් වෙන්නේ නැද්ද?”

 

‍මතු වීම:

ව්‍යාකරණ කියල දෙයක් නෑ. ව්‍යාකරණය කියන්නේ “සිදත් සඟරාව” නම් ඒක කාටවත් නොතේරෙන දෙයක් වේවි. “ව්‍යාකරණ” කියන්‌නේ අමුතු දෙයක් නොවේ. භාෂාවක් පාවිච්චි කරන විදියයි. එය ලිඛිත විය හැකියි. කට වහර විය හැකියි. කව් වැකි, ලෙව් වැකි කියන්නෙත් මේකටම තමයි. සමහර උත්සව වලට අපට ලැබෙන ඇරියුම්පත් වල ඇඳිය යුතු ඇඳුම ගැනත් සඳහන් වෙනවා නේද? ඒ වගේම කතා කිරීමත් එහෙමයි. දැන් බලන්න පොඩි එකාට අපි ගෙදරදි කතා කරන්නේ සුරතල් බසකින්. ඔහුගේ වචනත් එහෙමයි. එහෙත් ඔහු පාසල් ගිය විට ඔහුගේ බස වෙනස් වෙනවා. දැන් බලන්න අපි කතා කරද්දී පුංචි එකාට කියන්නේ “අපි කියන සිංදු” කියල. ඒත් අපි ඒක එහෙම ලියනව ද? නෑනෙ. අපි ලියන්නේ “අප කියන සිංදු” කියලා. කතා කරන විදියයි ලියන විදියයි වෙනස්. ඒත් ඒ දෙකේ කිසියම් ව්‍යාකරණයක් තියනවා. අප මෙතනදී නොසළකා හරින්නේ මෙයයි. ඒත් අප ගැඹුරෙන් අවධානය යොමු කළ යුත්තේ ඒ දේමයි. ඒ එහෙම කළොත් ලියන බසේ ව්‍යාකරණයත් කියන බසේ ව්‍යාකරණයත් කවුරුවත් පටලවා ගන්‌නේ නැතිවෙයි.

බො‌හෝ විට මේ වෙනස සිදුවන්නේ නිර්මාණකරුවන් අතින්. ඔවුන් අඛ්‍යානය ලියන බස් වහරකින් යොදනවා. එහෙත් සංවාද ලියන්‌නේ කට වහරින්. එහෙත් එදා පැරණි නිර්මාණකරුවන් මේ දෙකම කළේ ලිඛිත බස් වහරින් හා එම ව්‍යාකරණයෙන්. එහෙත් මාටින් වික්‍රමසිංහ ගම්පෙරළියේදී එය වෙනස් කළා පළමු වරට. සමහරු ප්‍රබන්ධකරුවන් ගෙන් අහනවා ඇයි එකම ව්‍යාකරණයකින් බැරි කියලා. එකට පිළිතුර “එහෙම ලියන්න බැහැ. කියන එකයි. “මෙතන සිද්ද වෙලා තියෙන්නේ අර මා මුලින් කියු දෙයමයි. කතාකරන බාසාවේ ඇති ව්‍යාකරණය නොසළකා හැරීමයි.

දැන් බලන්න කතා කරද්දී කියනවා “මම බත් කනවා” කියලා. ඒක ලියනවා “මම බත් කමි” කියලා. “මා මස් නොකමි” කියා ලිව්වොත් එය කියන්නේ නෑ “මා මස් නොකන්නෙමි කියලා” ඒ කියන්නේ “මා මස් කන්නේ නෑ” කියලා. එයයි අප වටහා ගත යුත්‌තේ. අපි යමක් ලියද්දී ව්‍යාකරණය දුරස්ථයි. එහෙත් කියද්දී එය ඉතා සමීපයි. ඒ දෙකේම ව්‍යාකරණයක් තියනවා. එහෙත් දෙකක්. මේ වෙනස නොකියා ළමයින්ට ව්‍යාකරණ කියල දීල කිසි වැඩක් නෑ. ඒක හරියට වාහනයක් පදවන්න ඉගෙන ගන්නා ආ කෙනෙකුට රථයේ ටයර් ගැන කියලා දෙනවා වගේ දෙයක්. අද ව්‍යාකරණ උගන්නන විදියෙන් පෙනෙන්නේ. රථය පදවන්න කියා නොදී එහි සංයුතිය කියල දෙනවා.

අද ව්‍යාකරණ කියලා දෙන්‌නේ දඹදෙනි යුගයේ රචනා කරපු “සිදත් සගරාවේ”. ඒක ලිව්වේ කවි ලියන අයට ඔවුන්ගේ කවි බස හදා ගන්න. එහෙම නැතිව දැන් කාලෙට ඕනෑ කරණ ව්‍යාකරණ කියල දෙන්න නෙවෙයි. එහෙම තියෙද්දී ඒක අපි දැන් ඉන්න ළමයින්ට උගන්වලා ඇති වැඩේ මොකක්ද. දරුවන්ට සිංහල එපා කරවීමක් නොවෙයි ද මේ කරන්නේ?

අපි දරුවන්නට උගන්නනවා “දඬුකම්, දඬුවම්” වෙනවා කියලා. එතකොට ළමයෙක් ඇහුවොත් “වඩුකම් වඩුවන් වෙනවාද” කියලා මොකක්ද ගුරුතුමා දෙන උත්තරය. මම හිතන්නේ ඒ දරුවා එහෙම ඇහුවොත් එයාගේ මුලු ප්‍රශ්න කිරීමේ හැකියාව ම එයින් මොට කර දායි. ඇයි අපේ ගුරුවරු එවිට උත්තර දේවි “පැහෙන්නේ නැතිව මං කියන දේ අහන්න” කියලා. හබැයි ඒ ගුරුවරයා කිව්වොත් “ඇත්ත තමා පුතා මාත් ඒක හිතුවේ නෑ එහෙමත් හි‌තෙන්න පුළුවන්” කියල අර දරුවා උනන්දු වෙලා ඒකත් සොයාවි. අද එහෙම නොවීමේ විනාශය තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. යල් පැන ගිය පොතකින් නවීන සමාජයට ව්‍යාකරණ උගන්නන්න යන එක මොනතරම් හාස්‍ය ජනක ද කියලා තේරෙන්නේ මේ උගන්වන අයටත් ව්‍යාකරණ බැරි බව ඔවුන් නොදැන සිටීමයි. බලන්න ඔවුන් උගන්වන මේ නිදර්ශනය දිහා. “එරුණු හස් විලට ලූ”, “හංසයො එරෙන්නේ විලේලු” ළමයෙක් ඇහුවොත් “කොහොමද හංසයා විලේ එරෙන්නේ” කියලා. විලක මඩ තියෙන්න බැහැනේ. මඩ තියේ නම්. අඩියේ නේ තිබිය යුත්‌තේ. හංසයා විල යටටම යනවා ද? මොකක් ද මේ වෙලා තියෙන්නේ. “එරුණා” කියන වචනයට තවත් වචන තියෙනවා කියලා නොදන්නා කම. ඒක නිසා “එරුණා” කියලා කියන්නේ “මඩේ එරුණා” කියන අරුතය. ඇයි නොහිතන්‌නේ සිංහල භාෂාවේ තියෙනවා කියලා “අල එරෙනවා, අල බහිනවා” කියලා. එතකොට ඒක හිතුවානම් අර හංසයා බැස්සා කියලා උගන්නනවා ද? ඒක ඇහුවොත් සිසුවටත් අලුතින් යමක් හිතන්න සොයන්න යාමේ වැදගත් කම කියල දෙන්න තිබුනා නේද? අද මේ නිසා ව්‍යාකරණ තියා සිංහලවත් නොදන්න ගුරුවරු දරුවන්ගේ දැනුම මොට කරණවා. යල් පැනපු සමාස තද්දිත කටපාඩම් කරවලා මේක හරියට බඩුපටවන ලොරියක බඩු පටවන්නේ නැතිව සෙනඟ පටවාගෙන ගිහින් ලොරියේ වැරදි කියනවා වගේ වැඩක්. “සිදත් සඟරාව” තියෙන්නේ ව්‍යාකරණ උගන්වන්න නෙවෙයි. හරියට කවියක් ලියන්‌නේ කොහොම ද කියලා කියා දෙන්න.” 

 

තවත් ක්ෂණික ඇවිස්සීමක්:

“ඔබතුමා කියන්නේ සිංහල උගන්වන ගුරුවරු ව්‍යාකරණ දන්නේ නැහැ කියලා? එතකොට විශ්වවිද්‍යාලවල ඉන්නව ද අද හොඳ ව්‍යාකරණ ශාස්ත්‍රවන්තයන්. මොකද මේ සිංහල උගන්වන්නේ සිංහල උපාධිධාරී ගුරු මහතුන් නේද? එයාලා පිට වුණු විශ්ව විද්‍යාල වල නැද්ද ව්‍යාකරණ හරියට කියල දෙන්‌නේ.?”

 

උද්වේගකර මතුවීමක්:

“මේ සිංහල රටේ සිංහල භාෂාව ගැන විග්‍රහයක් කරන්න අද එකම විශ්ව විද්‍යාලයකින්වත් කථිකාචාර්යවරයෙක් ඉන්නා බවක් මට පෙනෙන්‌නේ නෑ. සඳගෝමී කෝපරහේවා වාග් විද්‍යාව පිළිබද මහාචාර්යවරයකු වී සිටිමින් සිංහල බස ගැන දක්වන උනන්නදුව තවත් කාගෙන්වත් සිංහල ව්‍යාකරණය ගැන දැක්වෙනවා ද කියලා මට පෙනෙන්‌නේ නෑ.”

 

අනිසි මතු වීමක් : “එතකොට විශ්ව විද්‍යාලවල තියෙනවා නේද සිංහල අංශය කියල, මානව ශාස්ත්‍ර අංශයක්?”

 

මතුවීම: 

“ඔව්. එහෙම තියෙනවා. ඒත් ව්‍යාකරණ හරියට දන්න ගුරුවරු කතිකාචාර්යවරු ඉන්නවා නම් මටත් හොයලා දෙන්න. ඉන්නවා සිංහල අංශයේ ආචාර්ය, මහාචාර්යවරු. ඒත් එයාලා කරන්නේ සාහිත්‍ය පිළිබඳ විග්‍රහ. එයාලා පශ්චාත් නූතන වාදය, සාහිත්‍ය රසවාදය ගැන කියාවි. පොත් පත් ලියාවි. ඒත් ඔය කවුරුවත් සිංහල ව්‍යාකරණය පිළිබඳව කොතන ද හරියට යමක් කියල තියෙන්නේ. කතාකරලා තියෙන්නේ, උගන්වන්‌නේ. මේක ඛේදවාචකයක්. විශ්ව විද්‍යාල වල සිංහල ව්‍යාකරණය හරියට නොකරනවා වගේම පාසල්වලත් සිද්ධ වෙන්නේ එහෙම තමා. කවුද මේ ගැන සොයන්‌නේ කතා කරන්නේ? සිංහල ශබ්ද කෝෂයට සංස්කාරකවරයකු නැතැයි කියලා ආරංචියි. මේ රටේ ව්‍යාකරණය ගැන හොයන්න කෙනෙක් නැති එකත් පුදුමයක් නොවෙයි.”

 

තවත් ඇවිස්සීමක්.

“මේක මහා විනාශයක ලකුණක්, ඔබත් වගකිව යුතුයි නේද. ඔබත් විශ්ව විද්‍යාලයේ හිටපු වගකිව යුතු මහාචාර්යවරයෙක්. ලංකාවේ බහුතරයක් ව්‍යාකරණ වේවා, සිංහල බස ගැන වේවා ගැටලුවක දී මතකයට එන්නේ ඔබතුමා. එතකොට ඔබගේ කාර්යය?”

 

මතුවීම:

“ඔව්. ඔබේ ‌හොද මතු කිරීමක්. ඒත් එක්කම මම ආරාධනා කරනවා ඒ පිළිබඳව ඔබට සියලුම විශ්ව විද්‍යාලවලට ගොස් සිංහල භාෂාව උගන්වන අය සමග මේ ගැන සාකච්ඡා කරන්න කියල. ඒක වටිනා ගවේශනයක් වේවි. මා කළ හැකි දේ මට ලැබුනු අවස්ථාව අනුව උපරිමයෙන් ඉටු කළා. එය ඉටු නොකරන්නට වාග් විද්‍යාව සමත් වුණු සඳගෝමී කෝපර හේවා අද විශ්ව විද්‍යාලයේ එම විෂය ගැන කතා කරන්න ඉන්න මහාචාර්ය වරයා නොවන්නට ඉඩ තිබුනා. මෙහි වගකීම අප කාටත් පැවරෙනවා. අපි අපේ රාජකාරිය හරියට කරනවා නම් ලංකාවේ ව්‍යාකරණ විධි මෙයට වඩා නවීන වේවි. නූතන වේවි දියනු වේවි. අප කළ යුතු ගවේශන වෙනුවට කරන්නේ විභාගයට නියමිත කරන පොත්වලට පෙල පොත් හෝ විචාර පමණක් ලිවීම නම් පෞද්ගලික තැන්වල සාහිත්‍ය ඉගැන්වීම නම් එයාලා කවදාවත් ව්‍යාකරණ උගන්වන්‌නේත් නෑ. ඉගෙන ගන්නෙත් නෑ. අපි මූලික වශයෙන් මේ රාමුවෙන් වෙනස් වෙලා හිතන්න සහ වැඩ කරන්න සිතිය යුතුයි. ඒ නිසා තමයි අදටත් මම සමහරුන්ගෙන් බැනුම් අහන්නේ. ඒත් මම තවමත් සිංහල බස වෙනුවෙන්, ව්‍යාකරණය වෙනුවෙන්, කළයුතු දේ පිළිබඳව අධ්‍යයනය කරනවා…

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

One Response

  1. සිංහල භාෂාව ගැන ම විශේෂයෙන් ලියැවෙන්නක් සහ කතාබහක් ඇති බැවින්, මේ ලිපියේ ම විශ්ව විද්‍යාලය ලෙස වචන දෙකකින් ඇති වචනය විශ්වවිද්‍යාලය (University) යනුවෙන් තනි වචනයක් සේ නිවැරදි විය යුතුයැයි මම සිතමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත