ඡායාරූප සංවේදී ද්‍රව්‍ය සහ එය ස්ථාවර කර ගැනීම සොයා ගැනීම යනු ඡායාරූප ශිල්පයේ උපත ලෙස පිළිගැනේ. ඒ සඳහා රසායන විද්‍යාඥයන් මෙන් ම විද්‍යාඥයන් නොවන අය ද රාශියක් දෙනා ඊට දායක වූහ.
ජොහැන් හෙන්රික් ෂූල්ස්
(උපත 1687 – විපත 1744)
තමා අවට තිබූ විවිධ ද්‍රව්‍ය මෙන් ම, රිදී සංයෝග හිරු එලියට නිරාවරණය වූ විට වෙනස් වන වග වසර පස් හය දහස් ගණනකට පෙරත් චීන ජාතිකයෝ දැන සිටියහ. නමුත් එය එසේ වන්නේ උෂ්ණත්වය නිසා නොව ආලෝකය නිසා බව විද්‍යාත්මක ව ඔප්පු කොට, වසර 1717 දී ලිඛිත ව ඉදිරිපත් කළේ, ජර්මන් ජාතික ජොහැන් හෙන්රික් ෂූල්ස් Johann Heinrich Schulze විසිනි. ඔහු සිල්වර් නයිට්‍රේට් ආලේපිත පෘෂ්ඨ මත හිරු එළියෙන් සිතුවම් නිර්මාණය කළේ ය. නමුත් ඒවා ස්ථාවර කරන ක්‍රමයක් එවකට සොයා ගෙන තිබුණේ නැත. ක්‍රි.ව 1687 දී උපන් ඔහු වසර පනස් හතක් ආයු වලඳා 1744 වසරේ දී අභාවප්‍රාප්ත විය.
තෝමස් වෙජ්වුඞ්
(උපත 1771 මැයි 14 – විපත 1805 ජූලි 10)
ඉංග්‍රීසි ජාතික, ධනවත් කුඹල් කර්මාන්ත කරුවකුගේ පුතෙකු වන තෝමස් වෙජ්වුඞ් Thomas Wedgwood ආලෝකය නිසා සිල්වර් නයිට්‍රෙට් කළු පැහැයට හැරෙන බව පර්යේෂණාත්මක ව සොයා දැනගෙන එය ලිඛිත ව ලොවට ඉදිරිපත් කළේ ය. ඒ 1802 වසරේ දී ය. ඔහුගේ මේ පර්යේෂණ සඳහා දායක වූවේ ද, ඒවා වාර්තා කොට තබා ගත්තේ ද රසායන විද්‍යාඤයකු වූ හම්ෆ්‍රි ඩාවි ( Humphry Davy) (1778–1829) නම් කුලුපග මිත්‍රයා ය. කවියකු, චිත්‍ර ශිල්පියකු මෙන් ම මූර්ති ශිල්පියකු ලෙස ප්‍රසිද්ධ ව සිටි තරුණ වෙජ්වුඩ්, සිය දැනුම ලාබාල දරු දැරියන්ට ලබා දෙන්නට නොමසුරු ව කටයුතු කළ අයෙකි. තිස්හතර වසරක කෙටි ආයු කාලයක් දැරූ ඔහු මිය යන විට ද අවිවාහක ව සිටියේ ය.
ජෝශප් නිසෆෝ නියෙප්සේ
(උපත 1765 මාර්තු 07 – විපත 1833 ජූලි 05)
ප්‍රංශයේ ධනවත් නීතීඥයකුගේ දරු මල්ලන් හතර දෙනාගෙන් කෙනකු වූ නීයප්සේ ප්‍රංශයේ නැපෝලියන් අධිරාජයාගේ හමුදාවේ සෙබලකු ලෙසින් ද සේවය කළ අයෙකි. ඔහු විද්‍යාත්මක පර්යේෂණවලට නැඹුරු වන්නේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා නිසා ය. සිය ජීවිතයේ දෙවන භාගයේ දී එංගලන්තයේ පදිංචියට යන ඔහු 1833 ජූලි මස පස් වන දින මිය යන විට අන්ත දූගියකු වූ අතර, අවසන් කටයුතු කරන ලද්දේ ද ලන්ඩන් නගර සභාවෙනි.
දෙපා තබමින් පැද යා හැකි බයිසිකලයක් ද නිර්මාණය කළ ඔහු, රසායනික ව ඡායාරූප මුද්‍රණ තහඩු හෙවත් බ්ලොක් (Printing Bloke) සෑදීමේ ද පුරෝගාමියා විය. එමෙන් ම අදටත් මෝටර් රථ සඳහා භාවිතා වන අභ්‍යන්තර දහන එන්ජිමේ මූලික සැලසුම ද ඔහුගේ නිර්මාණයකි.
පියුටර් නම් ලෝහය මත සුදු බිටුමින් ආලේපයක් භාවිතා කර, වසර 1826 දී ලොව පළමු ඡායාරූපය නිර්මාණය කළේ ප්‍රංශ ජාතික ජෝශප් නිසෆෝ නීයෙප්සේ (Joseph Nicéphore Niépce) ය. කාචයක් සහිත කැමරා ඔබ්ස්ක්‍යුරාවක් භාවිත කරමින්, මෙම ඡායාරූපය අනාවරණය කිරීම සඳහා ඔහුට පැය අටක් ගත විය. ලැවෙන්ඩර් තෙල් මිශ්‍රිත බිටුමින් (ජෙලටින් වර්ගයකි) ආලේපය ආලෝකය වැටුනු විට ඝන බවට පත් වේ. එය ගැසොලින් දියරයකින් සේදූ විට ඝන නොවූ බිටුමින් දිය වී යයි.
ඔහු නිර්මාණය කළ මුල් ම ඡායාරූපයේ සත්‍ය පිටපත අදටත් ඇමරිකාවේ ටෙක්සාස් නුවර, හැරී රැන්සම් මඨ්‍යස්ථානයේ සුරැකි ව තබා ඇත.
ලුවී ඩැග්‍යුරේ
(උපත 1787 නොවැම්බර් 18 – විපත 1851 ජූලි 10)
වසර 1837 දී, ඔප දැමූ තඹ තහඩුවක් මත රිදී ආලේප කොට, එය අයඩීන් වාෂ්පයට අල්ලා සාදා ගන්නා සිල්වර් අයඩයිඞ් තට්ටුවක් මත කැමරාවක කාචයකින් ප්‍රතිබිම්බයක් සටහන් කර ගැනීමේ ක්‍රමය සොයා ගත්තේ ප්‍රංශ ජාතික ලුවී ජැක්‍යුස් මැන්ඩේ ඩැග්‍යුරේ Louis Jacques Mandé Daguerre ය. පසු ව රසායනික දියරයකින් සෝදා ගත් විට ස්ථිර ප්‍රතිබිම්බයක් ඉන් සාදා ගත හැකි විය. අනාවරණය කරණ ලද තහඩුව උණුසුම් රසදිය දියරයකින් විකාශය කොට ප්‍රතිබිම්බය මතු කර ගත් අතර, සෝඩියම් තයෝ සල්ෆේට් හෙවත් හයිපෝ දියරයකින් එය ස්ථාවර කර ගන්නා ලදී. මේ ක්‍රමයෙන් වඩා තීව්‍ර, පැහැදිලි ප්‍රතිබිම්බයක් සටහන් කර ගත හැකි වුව ද, ගන්නා ඡායාරූපවල පිටපත් ගත නොහැකි විය. නමුත් අඩු අනාවරණ කාලය නිසා එය “ඩැගියුරේ ටයිප්” ලෙසින් ජනප්‍රිය විය. ඔහු විසින් හසු කර ගන්නා ලද (Boulevard du Temple) බුල්වාඩ් දේවස්ථානයේ ඡායාරූපය, මිනිස් රූපයක් සහිත ලොව මුල් ම ඡායාරූපය ලෙසින් ද වාර්තාගත විය. ඒ 1838 අවුරුද්දේ දී ය.
ප්‍රංශයේ උපන් ලුවී ආධුනික වාස්තු විද්‍යාඥයකු, රංගශාලා සැලසුම් කරුවෙක් මෙන් ම අතිදක්ෂ පැනෝරමික චිත්‍රශිල්පියකු ද විය. ඩයෝරාමා (Diorama) හෙවත් සන්ධානමය චිත්‍ර නිර්මාණයේ ද පුරෝගාමියකු විය.
විලියම් හෙන්රි ෆොක්ස් ටැල්බට්
(උපත 1800 පෙබරවාරි 11 – විපත 1877 සැප්තැම්බර් 17)
බ්‍රිතාන්‍ය ජාතික විලියම් හෙන්රි ෆොක්ස් ටැල්බට් (William Henry Fox Talbot) ළමා කල හොඳ ගණිතඥයකු ලෙසින් ප්‍රකට ව සිටියේ ය. පසු ව දෘෂ්ඨි උපාංග පර්යේෂකයකු විය. එයින් පසුව ඔහු ඡායාරූප ශිල්පය කෙරෙහි නැඹුරු විය.
ඩැගියුරේ සිය නවතම පර්යේෂණය එළි දැක්වූ එම කාල වකවානුවේ ම අද අප භාවිතා කරන ඍණ – ධන (Negative – Positive) ක්‍රමය හඳුන්වා දුන්නේ විලියම් ටැල්බට් ය. කැලෝටයිප් (Calotype) නම් ඒ ක්‍රමය සඳහා භාවිතා කළේ සිල්වර් නයිට්‍රේට් ම ය. ඉන් ලැබෙන රූපය සෝඩියම් තයෝසල්ෆේට් (හයිපෝ) ද්‍රාවණයක් මගින් ස්ථාවරණය කර ගනු ලැබිණි. ඒ ඍණ ඡායරූපය නැවතත් සිල්වර් නයිට්‍රේට්වලින් පොඟවා වියලන ලද කඩදාසියක් මත තබා, ආලෝකයට නිරාවරණය කිරීමෙන් ධන රුවක් තනා ගනු ලැබිනි. ඒ 1835 වසරේ දී ම ය.
නමුත් ඔහු එය ලිඛිත ව එළිදැක්වූයේ 1839 ජනවාරි මස 25 දින ය. එකල මුද්‍රණ ශිල්පයේ දී භාවිතා කළ මුද්‍රණ තහඩු හෙවත් බ්ලොක් සාදා ගැනීමේ ෆොටෝග්ලයිප්ටික් ග්‍රැවියේ (Photoglyptic gravure) නම් වූ තාක්ෂණ ක්‍රමයේ නිර්මාතෘ වූයේ ද ටැල්බට් ය.
1845දී ටැල්බට් ගේ කැලෝටයිප් ක්‍රමයෙන් ඡායාරූප ගත කරන ලද ලන්ඩන් නුවර මේ පින්තූරය නූතන ඡායාරූප මුද්‍රණ තාක්ෂණයෙන් යළි මුද්‍රණය කර ගන්නා ලද්දකි.
ලොව වාර්තාගත මුල් ම ඡායාරූප වැඩමුළුව පැවැත්වීමේ ගෞරවය ද දිනා ඇත්තේ ටැල්බට් ම ය. ඒ 1846 වසරේ දී ය.
ජෝර්ජ් ඊට්ස්මන්
(උපත 1854 ජූලි 12 – විපත 1932 මාර්තු 14)
වසර 1870දී, ඇමෙරිකන් ජාතික ජෝර්ජ් ඊට්ස්මන් (George Eastman) විසින්, හැනිබල් ගොඩ්වින් විසින් පර්යේෂණ කොට සොයා ගත් නොබිඳෙන, නොකැඩෙන, පහසුවෙන් නැමිය හැකි මෙන් ම විනිවිද පෙනෙන සෙලුලොයිඞ් (Nitrocellulose) පටලය ලොවට හඳුන්වා දුන්නේ ය. ඒ එම නිෂ්පාදනයේ පේටන්ට් අයිතිය මිල දී ගැනීමෙනි.
මෙතෙක් බිම දිගේ බඩ ගෑ ඡායාරූප කලා සිඟිත්තා දෙපයින් නැගී සිටියේ ඉන් පසුව ය. අදටත් ලොව ඡායාරූප නිෂ්පාදන සඳහා වැඩි ම පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාවක් හිමි ව ඇත්තේ ඊට්ස්මන් කොඩැක් (Eastman Kodak) සමාගමට ය. නමුත් ඩිජිටල් කැමරා නිෂ්පාදනයේ දී ඔවුන්ගේ ආයතනය ගත් අදූරදර්ශී තීරණයක් නිසාවෙන්, සමස්ත ආයතනය ම මහා බසුබෑමකට ලක් විය.