වත්මන් දැනුම් සම්ප්‍රේෂණයේ රුව සහ ගුණ අන්තර්ජාලය විසින් විප්ලවකාරී ලෙස වෙනස් කොට ඇති බවත්. එම වෙනස පරම්පරා ඝට්ටනය තුළට ද පැමිණ ඇති බවත් මින් පෙර ආලෝචනා දැක්මක දී අපි සඳහන් කළෙමු.
අන්තර්ජාලයෙන් දැනුම සොයා යන නූතන තරුණයාට උසුළු විසිළු කරනු වෙනුවට නව මාධ්‍ය භාවිතය පිලිබඳ සැලකිලිමත් විය යුතු බව ද අපි වැඩිහිටි පරපුරට කියා සිටියෙමු.
මෙහිදී අප කියූ දෙය පිලිබඳ එතරම් නිරවද්‍ය නොවන අර්ථ කථන අපටම ඇසෙන්නට ලැබෙමින් ඇත.
අප පවසා සිටියේ ද, සිටින්නේ ද අන්තර්ජාලය විසින් වෙනස් කොට ඇත්තේ වත්මන් දැනුම් සම්ප්‍රේෂණයේ රුව සහ ගුණ බවය.
දහඅටවන සහ දහනමවන සියවස් වලදී වසර සියයක් තුළ දෙගුණවූ තොරතුරු සහ දත්ත, විසි එක්වන සියවසේ දෙවන කාර්තුව ලඟාවීමට පෙර දෙගුණ වන්නේ පැය දොළහකදී ය. මෙයට ප්‍රධාන වශයෙන් ම හේතු වන්නේ අන්තර්ජාලයට දිනපතා මුදාහැරෙන තොරතුරුය.
මේ දත්ත වලින් බහුතරය අදාළ ක්ෂේත්රයන්හි ප්රාමාණිකයින් විසින් සංස්කරණයට හෝ සත්‍යාපනයට භාජනය කරන ලද තොරතුරු නොව, ප්රජාතාන්ත්රීකරණය වූ අන්තර්ජාලයට දැනුවත් මෙන්ම නොදැනුවත් තොරතුරු මවන්නන් විසින් දමන ලද දත්ත බව අප සිහි තබා ගත යුතුය.
සිංහල මුහුණු පොත සහ එහි වූ සමහර ජේත්තුකාර රඟන්නන්, මේ නොදැනුවත් තොරතුරු විමෝචකයන්ගේ භූමිකාවට පණදෙනු අපට මෑත සිට නිතර දක්නට ලැබීම කනගාටුදායකය.
මින් පෙර වෙනත් ආකාරයන්ගෙන් කියා ඇති මේ අටුවාව නැවත කීමට ඇවැසි වූයේ නූතන තරුණයාට යමක් මතක් කොට දීමටය…
ප්රාමාණිකයින් විසින්, සංස්කරණයට, සත්‍යාපනයට භාජනය කොට තුල්‍යයන්ගේ විමර්ශන (Peer Reviews ) හරහා හෝ එම විමර්ශන වලට ඔරොත්තු දෙමින් සමාජගත කරන ලද, පුස්තකාල පුරවා ඇති ‘සාම්ප්‍රදායික’ දැනුම යනු මානව ඉතිහාසයේ ද, නූතන තාක්ෂනයේ ද පදනමයි…
ඒ සියල්ල අද වනවිට අන්තර්ජාලගතවී නැත.
එනිසා දැනුම ගත යුත්තේ දැනුම ඇති තැනින් බවත්, දැනුම ගැනීමට පෙර මේ ගන්නේ දැනුමද, නැතිනම් දැනුම වේශයෙන් පෙනී සිටින ජේත්තුකාර විගඩමක්ද යන්නත් සොයා බැලිය යුතු බව අපි නූතන තරුණයාට අවධාරණය කරමු.
සමාජ ප්‍රගමණය පතන මහල්ලන්ට අන්තර්ජාලගත වීමට යෝජනා කළා සේම, සමාජ ප්‍රගමණය පතන නූතන ශාස්ත්රකාමී තරුණයාට පුස්තකාල ගත විය යුතුයැයි අපි යෝජනා කරමු!