අන්තර්ජාලය හරහා ප්රකාශනය අනිකුත් මාධ්‍ය අභිබවමින් ප්‍රමුඛතම සන්නිවේදන මාධ්‍යය ලෙස ඉදිරියට පැමිණ ඇත .
ඔබ මේ කියවන ආලෝචනා ද එම කූටප්රාප්තියේ ප්රතිඵලයකි.
අන්තර්ජාලය යනු අභූත ප්රපංචයක් හෝ ඉන්ද්‍රජාලික මායාවක් හෝ නොවේ. එය අප විසින්ම තනා ගන්නා ලද, අප ජීවත් වන භූමියේ ඇති යථාර්ථයන්ගේ සයිබර් පිහිටුවාලීමකි.
මෙහි ප්‍රතිඵලය වන්නේ අප භූමියේ ඇති හොඳ මෙන් ම නොහොඳද අඩු හෝ වැඩි වශයෙන් අන්තර්ජාලයෙහිද දැක ගන්නට ලැබීමය.
යතුරු පුවරුවකට මුවාවී, මුහුණට මුහුණ මුණ නොගැසී, තම නමින් ම හෝ සමහරක් විට අන්වර්ථ නාමයකින් සිදුකල හැකි සන්නිවේදනය අන්තර්ජාලය තුළ කාඩ් බෝඩ් වීරයින් සහ සයිබර් දාමරිකයන් ඇති කිරීමට හේතු පාදක වී ඇත.
මහ පාරේ ඔබට සිනාවකින් සංග්‍රහ කරන මිත්‍ර ප්‍රතිරූපකයා එසේත් නැති නම් ඔහුට හෝ ඇයට නැති දැනුම ගැන ඊර්ෂාවෙන් හා හීනමානයෙන් පෙළෙන්නා හෝ යම් වෙළඳ කුමන්ත්රණයක කොටස්කරුවා, ඔබට හයිරං කරන සයිබර් ගණන්කාරයකු ලෙස අන්තර්ජාලයෙන් මතු විය හැකිය.
තමා අකමැති දේශපාලන පක්ෂවල ක්රියාකාරකයින්ට මඩ ගසන යම් අහිංසක ස්වභාවයක් ගත් පළ කිරීම් ලෙස ලංකාව තුළ ආරම්භ වූ මෙම නිහීන ප්රපංචය, අතිශය පුද්ගලික මඩ ගැසීම්, තම දීනත්වය සහ හීනමානය වසා ගැනීමේ ලාබ උත්සාහයන් මෙන්ම කුඩා පරිමාන වෙළඳ කුමන්ත්‍රණ වල සයිබර් ක්‍රියාකාරකම් ලෙස ද කල එළි බසිමින් තිබෙනු දක්නට ඇත.
මෙම දීන සයිබර් ගණන් කාරයින් මෙන්ම ඔවුන්ගේ හයිරං වලට පාත්‍ර වන අහිංසකයින්ටද මතක් කළ යුතු යමක් ඇත.
ඒ අප මුලින් කී දෑ ය!
සයිබර් අවකාශය යනු අප විසින්ම නිර්මාණය කර ගත්, අප ජීවත් වන මහ පොළවේම ප්රතිමූර්තියකි. එයට බලපාන්නේද අප ජීවත් වන භූමියේ ඇති ධර්මතාවන්, හොඳ නොහොඳ සහ නීතියම ය.
සයිබර් දාමරිකයන් අච්චු කරන්නේ ද, මහපොළවේ උසාවි වලය. ලංකාවේ ඒ සඳහා එපමණ උදාහරණ නැති මුත් ලොව වටා ඒ පිළිබඳ උදාහරණ අපමණය. යන්නට ඇත්තේ ද සයිබර් නොවන දාමරිකයා ගිය හිරගෙදරටමය. චෝදනා ඔප්පු වුවහොත් ඉන් නැති විය හැක්කේ සැබෑ ජීවිතයේ රැකියාවය.
යතුරු පුවරුව පිටිපස සැඟවී රඟ දෙන සයිබර් චණ්ඩින්ට තමන් අච්චු විය හැකි මතක තබා ගැනීම සුභදායක බව මතක් කර දෙන අතරම, එම චන්ඩින්ගේ හයිරන් විඳින්නන්ට එම භ්‍රෂ්ඨයින් අච්චු කළ හැකි බවත් අප කරුණාවෙන් යුතුව සිහි කැඳවමු.