දැක්ම

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

කොරෝනාවෙන් පසු ප්‍රේක්ෂකයා සහ ඔබ

කලකින් නොදුටු සහ මුණ නොගැසුණු ලියන කියන මිතුරෙකුගෙන් ආලෝචනා සඳහා දායක වන්නැයි අපි දුරකථනය මගින් ඉල්ලා සිටියෙමු.

ඔහු ප්‍රශ්න කිහිපයක් අපට ඉදිරිපත් කළේය.

එයින් අවසන් ප්‍රශ්නය වූයේ ප්‍රසිද්ධ ලේඛකයෙකු නොවූ ඔහුට ආලෝචනා සඳහා දායක වීමට අප කරන ඉල්ලීමට හේතුව කුමක්ද යන්නයි.

වර්තමාන සමාජයේ අපි නා නා විධ අයුරින් ප්‍රසිද්ධ වූවන් දකිමු.

සාම්ප්‍රදායික අවකාශයන් හා පීඨිකා මත පුවත්, කතා හෝ දැනුම මවන්නන් සියල්ලෝම ප්‍රසිද්ධ වී හෝ ‘පොරවල්’ වී ඇත්තේ ඔවුන් මැවූ පුවත්, කතා හෝ දැනුමෙහි වූ ශක්‍යතා හෝ ගම්‍යතාවන්ගේ ප්‍රබලත්වය නිසාමද, නැතිනම් මාධ්‍යයේ ප්‍රබලත්වය මතම පිහිටවන ලද, නූතන අලෙවිකරණ ක්‍රියාදාම හේතුවෙන්දැයි සලකා බැලීම අප සැවොම සිදුකළ යුතු සබුද්ධික ක්‍රියාවක් බව අපගේ අදහසයි.

එක් නාලිකාවක් විසින් නිර්මාණය කරන ලද ප්‍රකට නිවේදකයෙකු වැඩි පඩියට වෙනත් නාලිකාවකට මාරුවූ පසු එම චරිත ගැන ඇසීමට වත් අපට නොලැබෙන්නේ ඇයිදැයි යන්නත්, හතු පිපෙන්නාක් මෙන් එන රියලිටි තරඟ හරහා එන රියලිටි තරු වලින් අතිශය වැඩි ප්‍රතිශතයක් ඒ අදාළ ක්‍ෂේත්‍රයන්හි රැඳී නොසිට නිවී යන්නේ ඇයිදැයි යන්නත් අප විසින් සලකා බැලිය යුතුව ඇත.

අලෙවිකරණ ක්‍රියාදාම වලින් නිර්මිත චරිත සහ රියැලිටි තරු බහුතරයක් තුළ නිතිපතා සමාජයට දියහැකි යමක් ඇත්දැයි යන්න සැක සහිතය.

කෙනෙකුට මාධ්‍ය හරහා පැමිණ රැඳිය හැකි වන්නේ සමාජයට නිතිපතා යම් සන්ධාරයක් හෝ විඳිය හැකි යමක් දීමට ඇත්නම් පමණි.

අන්තර්ජාලය හරහා සන්නිවේදනය, එහි ඇති වේගවත්, බහු විෂයමුඛ සහ ද්විපාර්ශවික බව නිසාම අලෙවිකරණයෙන් වැසූ, ඒක පාර්ශවික සන්නිවේදන මාධ්‍යයන්ට වඩා සෘජු මෙන්ම අනුකම්පා විරහිත විය හැකිය.

ඒ තුළ රැඳී ඉඳීම සඳහා නිතිපතා තම ග්‍රාහකයන්ගේ කාලයට සහ බුද්ධියට ගරු කරමින් හරවත් අන්තර්ගතයන් ලබාදීම හෝ ලබාදීමට දායකවීම නූතන ජාලීය මාධ්‍යය විසින් ඉල්ලා සිටින යථාර්ථයයි.

ඔබ ලබාදෙන අඩංගුව ඔබගේ ග්‍රාහකයා වෙත ආරලු බූරලු රහිතව, අවැසිනම් එසැනින් ගෙන යාමේ හැකියාව අන්තර්ජාලයට ඇත. එපමණක් නොව ඒ ගැන තමා සිතන්නේ කුමක්ද යන්න එසැනින් ඔබට දැන්වීමේ හැකියාව නූතන ප්‍රේක්‍ෂකයාට හෝ විඳින්නාට ඇත.

මේ ලක්ෂණ සහ ප්‍රවේශයේ පහසුව නිසාම මේ මාධ්‍යය තුළ ජේත්තුකාරයින්ට සැඟවෙන්නට අහුමුලු අඩුය. අලෙවිකරණ ක්‍රමවේද වලින් වැසූ අඩුලුහුඬු කම් ප්‍රේක්ෂකයා ඉදිරියේ නිරාවරණය වීම කෙටි කාලයකදී සිදුවිය හැකිය.

මෙය අලෙවිකරණ කඩමාලු උනා දමා ප්‍රේක්ෂකයා ඉදිරියේ ශාස්ත්‍රීය ලෙස නිරුවත් වීමක් ලෙස සැලකීම වරදක් නැත!

 

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත