දැක්ම

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

නව සාමාන්‍යය, තාක්ෂණ වරණය සහ අනාගතය…

“නව සාමන්‍යය” යැයි යෙදුමක් අපගේ වහරට එකතුවී ඇත.

New Normal යන ඉංග්‍රීසි වදන් දෙකෙහි ඍජු පරිවර්තනයක් වන මෙම යෙදුම කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා නිර්දේශ වූ පුද්ගල සහ සමාජ ක්‍රියාදාම අනුගමනය කිරීමේදී ඇතිවන්නා වූ පුද්ගල සහ සමාජමය චර්යා වෙනස්කම් සාමාන්‍යකරණය කර ගැනීම අප විසින් සිදුකරගත යුතු අනිවාර්ය කාර්යයක් බව අපට ව්‍යංගයෙන් කියා සිටී.

එහෙත් අද වන විට අත් සේදීමේ පුරුද්ද වියැකී ගොස්ය. පසුගිය මාස දෙක තුළ බහුතරයක් ස්ථාන වල අත් පිරිසිදු කිරීම අනීවාර්ය වී තිබෙනු අප දුටුවේ නැත.

අගෝස්තු 19 වනදා පැවැත්වුණු රාජ්‍ය ඡායාරූප උළෙලට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ද, විශේෂඥ වෛද්‍යවරයෙකු වූ සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්ද සහභාගී වී සිටිනු අපට දැකගන්නට ලැබුණි.

ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී වීමට නියමිතව තිබුණේ අගමැතිවරයාය. කිසිම භෞතික දුරස්ථ භාවයක් තබා ගැනීම සඳහා ගන්නා කිසියම් වූ උත්සාහයක් හෝ අප එහිදී දුටුවේ නැත.

එහෙත් විදග්ධ කව තුළ නව සාමාන්‍යයක් ගැන සාකච්ඡා තර්ක විතර්ක ඇතිකර ගන්නා අයුරු අප නිරතුරුව දකිමු.

මේ කතාව සහ ක්‍රියාව අතර ඇති විසංධි වූ බව අපට කිසිම හෝ පුදුමයක් දනවන්නේ නැත.

මිනිස් චර්යාව සැම විටම අනුවර්තනය වන්නේ යම් උත්තේජනයකට නැතිනම් බලපෑමකට ලබා දෙන ප්‍රතික්‍රියාවක් ලෙසය. මෙහිදී ඇති කරගන්නා නව චර්යාවන් අපගේ ජීවිතය වඩාත් පහසු හෝ යම් අයුරකින් ඵලදායී කරයි නම් ඒවා පවත්නා සහ පතළ වන්නා වූ චර්යාවන් බව‍ට අප විසින්ම පත් කර ගැනීමට පෙළැඹේ.

කොරෝනා නිසා ඇතිකරගත් නව සාමාන්‍ය තුළද අප දකින්නේ පහසුව පදනම් වූ චර්යා සහ හැසිරීම් රටාය.
මුව ආවරණ පැළඳීම තවමත් ඉතිරි වී ඇති සෞඛ්‍යයට අදාළ එක් චර්යාවක්ය.

එදිනෙදා අප හුරු පුරුදු වී සිටි ජීවිතයට අනුගත කර ගැනීමට තරමක් අපහසු සෞඛ්‍ය චර්යාවන් හා සසඳද්දී, ජීවිතය වඩාත් පහසු හෝ යම් අයුරකින් ඵලදායී කරන්නා වූ චර්යාවන් වල තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් වෙනස් බව අපි දකිමු..

වෙනදාට වඩා ජාල ගතවීම, නිවසේ සිටද සමහර සේවකයින්ට ඵලදායී ලෙස සේවය කළ හැකි බව සේවකයින් මෙන්ම හාම්පුතාලාද තේරුම් ගැනීම සහ ඒ සඳහා අනුගත වීම, නව තාක්ෂණ මෙවලම් සහ පීඨිකාවන් හරහා ප්‍රබල ලෙස සහ වඩාත් කාර්යක්ෂම ලෙස සන්නිවේදනය කළ හැකි බව තේරුම් ගැනීම, ඒ හරහා පාසල් මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයද, සරල හමු, රැස්වීම්, ව්‍යාපාරික සාකච්ඡා මෙන්ම අන්තර්ජාතික සම්මන්ත්‍රණද පැවැත්වීමට පෙළැඹීම, කෙටි කාලීන සෞඛ්‍ය චර්යාවන් මෙන් නොව සමාජ මෙන්ම ආර්ථික ව්‍යුහයන් ‍ඓන්ද්‍රීය ලෙස බද්ධ වූ චර්යාවන් බවට පත්විම යනාදී කාරණා අපට දැකගත හැක.

සත්‍යය නම්, මේ සියල්ල කොරෝනා ගෙන ආ අරුමයන් නොවන බවය. කොරෝනා ඇති කළ සමාජ දුරස්ථභාවයට පිළිතුරු ලෙස පවත්නා වූ තාක්ෂණයන් අප විසින් වැළඳගෙන ඇත.
සැබවින්ම බැලූ කල මෙය තාක්ෂණ පරිණාමයක් නොව, නව තාක්ෂණ ප්‍රතිග්‍රහණ ශීඝ්‍රතාවයේ ඉහළ යාමක් පමණක් බවත්, එයට ප්‍රතික්‍රියා දැක්වීමක් ලෙස තාක්ෂණය නව නිමැවුම් සහ පීඨිකා හඳුන්වා දීමක් සිදුකරන බවත් අපට පැහැදිලිව පෙනී යන කරුණකි.

සැබවින්ම මෙය සමාජ පරිණාමය වේගවත් වීමකි. අප සදාකල් පරිණාමය වුයේ නව උවදුරකට නැතිනම් උත්තේජනයක්ට අනුවර්තනය වීමක් ලෙසය. පරිණාමික ජීවියා නව වටපිටාවට වඩාත් ඔරොත්තුදීම නිසා එම ජීවී විශේෂයන්ට අනෙකුත් ජීවී විශේෂයන් පරයා නැගී සිටීමටත්, ආහාර සොයා ගැනීමටත්, එම නිසාම වර්ගයා බෝකර පැතිරීමටත් හැකියාව ලැබුණි.

නව තාක්ෂණයට අනුගත වූ සමාජ පරිණාමය, නූතන තොරතුරු වනාන්තරය තුළ සිදුවන තාක්ෂණය මත පදනම් වූ නූතන සමාජ ආර්ථික ස්වභාවික වරණය තුළ ප්‍රවර්තනයේ මූලික හා එකම සාධකය බව අප ඔබට සිහිගැන්වීමට කැමැත්තෙමු !

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත