විනය ගැන සැවොම පාරම් බාති!
අපේ අත්තම්මලාට සීයලාට අනුව නම් විනය යනු ළමයින්ට තඩිබා ඇතිකළ යුතු දෙයකි.
සමාජ විද්‍යාඥයින්, නා නා විධ සමාජ විචාරකයින් සහ පූජකයින් ස්වයං විනය ගැන කතා කරනු අපට ඇසී ඇත.
විදෙස් රටවල ජීවත් වූවන් සහ සංචාරය කළවුන් ‘දියුණු රටවල’ උන්ගේ ස්වයං විනය ගැන ප්‍රහර්ෂයෙන් යුතුව අපට කියති.
කොරෝනා නැවත ලංකාව තුළ හිස ඔසවා ඇත!
කොරෝනා හොඳින්ම පාලනය කරගත් රටක් ලෙස අපි, අප ගැනම පාරම් බෑවෙමු.
කොරෝනා මුලින් හිස එසවූ සමයේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දැනමුත්තන් කළ යුතු දෑ නා නා විධ මාධ්‍ය හරහා අපට කියා දෙනවා අපි බලා සිටියෙමු.
එහෙත් ඒවා අප ජීවිතයේ එදිනෙදා පුරුදු ලෙස අනුගත කරගැනීමට අප සැමට ස්වයං විනයක් තිබුණේ නැත.
පසුගිය සතිය වනවිට අපගේ විනය නහයත් කටත් විවර කරගෙන නිකට හරහා දමන ලද මුව ආවරණ වලට ලඝුවී තිබුණි.
කොරෝනා මැඬලීමට අවශ්‍ය නව පුරුදු ආයතනගත කිරීමට තරම් විනයක් ආයතන දුවවන්නන්ට හෝ හාම්පුතාලට තිබුණේද නැත.
ආයතනික විනය ඒවා ඉදිරිපස සවිකර තිබූ ජල කරාම අවට කරවල මෙන් වියලී තිබියදී අපගේ අත්වලට අඟල් හයක් ඈතින් අල්ලා උන බලන අතිශය අවිද්‍යාත්මක ගොන් පාට් එකකට ලඝුවී තිබුණි.
අපට අසන්නට ලැබෙන සමහර ආරංචි වලට අනුව නීති සම්පාදකයින් සහ බල ගන්වන්නන්ගේ විනය ගැනද ප්‍රශ්න කළ යුතුව ඇත.
පසුගිය සති කිහිපයේදී බණ්ඩාරනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ආ සොක්කන් හැර, වැදගතුන්, හයිකාරයින් සහ සල්ලිකාරයින් සියලු දෙනා නිරෝධායනයට ලක් කළාදැයි සමහරුන් ප්‍රශ්න කරනු අපට ඇසෙමින් පවතී!
මෙම විනය නැති කම නිසා අපි වින කර ගන්නේ අපටමය, බලවතුන් වින කටින්නේ අපගේ සමාජයටමය!
ලෝකෙන් උතුම්ම රට අපේය, අපි පොරවල්ය යන ස්වයං වින්දන මානසිකත්වයෙන් මිදී ස්වයං විනය ඇතිකරගත යුතු අවදියකට අප එළඹ ඇත.
කොරෝනා සහ එනිසා සංකූලතා ඇතිවන රෝගීන් ප්‍රමාණය අපේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට දරා ගත හැකි මට්ටමක පවත්වාගත හැකි සේ මෙම රෝගයේ ව්‍යාප්තිය මන්දගාමී කරගැනීම අප සැමගේ ජාතික වගකීමකි.
අප අපටම වින කරගැනීම සහ ජාතියටම වින කැටීම නවතාලිය හැක්කේ ජාතික, ආයතනික විනය ඇතිවන සේ ක්‍රමවේද බලගැන්වීමෙන් සහ ඒ සියල්ලට අවශ්‍ය ස්වයං විනය ඇති කර ගැනීමෙන්ය.