බුදු දහම අනිත්‍ය යැයි කියන්නේ වෙනස් වීමටය. සියලුම දේ වෙනස් වේ. වෙනස් නොවන එකම දේ වෙනස් වීමය. වෙනස් වීමට අනුකූලව වෙනස් වීමට පුළුවන් උචිතයා ජයගනී. වෙනස් වීමට අනුකූලව වෙනස් වීමට බැරි සියල්ල අතුරුදහන් වේ.
අප කුඩා කල ඇසූ දුටු බොහෝ දේ වෙනස් වී තිබේ. එකල අපේ මුත්තාගේ වයසේ සියලුම පිරිමි කොණ්ඩය බැන්දෝය. තාත්තලාගේ වයසේ සමහර පිරිමිද කොණ්ඩය කැපුවෝය. වැඩිහිටියන් අතුරින් කොණ්ඩය කැපුවේ එක්කෝ කකුල් දෙකට කලිසම් අඳින ඉංග්‍රීසි කතා කරන මහත්තුරුය. නැත්නම් රජ්ජුරුවන්ගේ බෝඩිමේ නැත්නම් හිරගෙදර හිරබත් කෑ මහත්හොරුන් පමණක් විය.
මේ අතර හිටිහැටියේ කොණ්ඩය බඳින අයට ‘සෝමපාල’ යැයි කියන විහිලු නමක් රට පුරා පැතිර ගියේය. මේ නිසා කල කෝලාහල, අඩදබර ඇතිවිය. ‘ඒරියල්’ ‘මයිනා’ වැනි තවත් පටබැඳි නම්ද පැතිරෙන්නට පටන් ගත් නිසා බොහෝ සෝමපාලලා කොණ්ඩා වලු කපා දැමුවෝය. ඒ කාලේ ‘කොණ්ඩෙ බඳින චීනෙකුට කියාපන්’ කීවේ විරල සිදුවීමකටය. දැන් චීන්නු කොණ්ඩ බඳිති. වයසක අය කොණ්ඩය කපන අතර ගැටව් දිග කොණ්ඩ වවා කොණ්ඩ බඳිති.
අපේ මුත්තලාගේ වයසේ දිග කලිසම් හැඳ පිරිමියෙක් සිටියේ කලාතුරකිනි. දිග කලිසම අඳිනවා නම් ඉංග්‍රීසි පුලුවන් විය යුතු යැයි මතයක් වූ අතර දිග කලිසම් නඩුකාරයන්ගේ සංකේතය විය.
“අයියෝ දෙයියනේ, මගේ බුදු සාමිනේ
ගැහැණුන් හට මොකද මේ වුණේ
රෙදි සරම්වලට ආස නැති වුණේ
කලිසමටම පණ දෙන්න හදන්නේ”
යැයි සරම් කාරයන් ලතෝනි දෙන තරමට සරම, ජාතික ඇඳුම යට ගොස් කලිසම මතු වුණේය. පිරිමි පමණක් නොව කුඹුරේ සිටින පඹයාද ඇන්දේ කලිසමයි!
මාර්ටින් වික්‍රමසිංහ ශූරින් කලිසම ගැන අපූරු කෙටිකතාවක් ලීවේය. මට මතක හැටියට කතාවේ නම කලිසමේ වැරැද්දයි. කතා සාරය මෙසේය.
ගමේ යමක් කමක් ඇති වැදගත් පවුලක තරුණියක් ඒ සමාන පවුලක තරුණියකට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරයි. “අනේ එයා රෙදි බැනියම් අඳින කෙනෙක්. කලිසම් අඳින්නෙ නැහැ” තරුණිය විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කරයි.
කෝපයට පත් නොවූ තරුණයා ඊළඟ දවසේම නගරයට ගොස් කච්චි ගණනක් කලිසම් රෙදි ගෙනැවිත් ගමේ කොල්ලො කුරුට්ටන් පමණක් නොව වැඩිහිටියන්ටද බෙදාදී ඔවුන්ට කලිසම් අඳින හැටි පුරුදු කරයි.
වැඩිකලක් යන්නට පෙර කොල්ලන් කුරුට්ටන් පමණක් නොව වැඩිහිටියෝද සරම් අහකට විසිකර කලිසම් අඳින්නට පටන් ගනිති. ගස් යන ගජමන්, කුඹුරු කොටන සීමන්, මාළු විකුණන සයිමන්ද කලිසම් අඳිති. කතාව අවසන් වන්නේ තරුණියගේ මව තරුණියට කියන අපවාදයකිනි.
“මේ දැරිවිගෙ වැඩ හින්ද දැන් ගමේ කොල්ලො කුරුට්ටෝ විතරක් නෙවෙයි. නාකිත් කලිසම් අඳිනවා” මව දියණියට දොස් කියන්නීය.