නව වසරේ ස්මාර්ට් පුරවැසියෙක් වෙන්න නම්…

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

මෙම වසරේ ජනවාරි පළමු වෙනිදා මා හට අලුත්ම අත්දැකීමක් ලැබුණා. ඒ මාගේ පියා  විසින් ප්‍රථම වතාවට ඔහු භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය භාවිතා කොට එවන ලද සිංහල භාෂාවෙන් ඔහු විසින් ම අකුරු කරන ලද අවුරුදු සුබ පැතුමක්. ජීවිතයේ හය වෙනි දශකයේ ජීවත් වන මාගේ පියා සිය කාලයෙන් කොටසක් ජංගම දුරකථන යතුරු පුවරුව පරිහරණය කිරීමට ඉගෙන ගැනීම වෙනුවෙන් වැය කිරීම, මට ඉතා විශේෂ දෙයක්.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමඟ අප බොහෝ දෙනෙකුට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එදිනෙදා ජීවිතයේ කටයුතු සඳහා තාක්ෂණය යොදා ගැනීමට සිදු වී තිබෙනවා. භාණ්ඩ මිලදී ගැනීමට, සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට වගේම රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ගැනීම සඳහා වේලාවක් වෙන් කර ගැනීමටත් අප හට තාක්ෂණය නැතිව බැරි වී තිබෙනවා. 

රටේ ජනගහනයේ ප්‍රමාණයට වඩා ජංගම දුරකථන භාවිතා කරන රටක  ජීවත් වන අපගේ තරුණ පරපුරට ස්මාර්ට් දුරකථන හරහා අන්තර්ජාලයට පිවිසීමත් අන්තර්ජාලය හරහා සේවාවන් ලබා ගැනීමත් එතරම් අරුමයක් නොවේ.  නමුත් කොවිඩ් වසංගතය මගින් ඇති කළ නව සාමාන්‍යය තත්ත්වය විසින් බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද එදිනෙදා කටයුතු කර ගැනීම සඳහා තාක්ෂණය භාවිතා කිරීමට අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් කොට තිබෙනවා.  එහෙයින් බොහෝ වැඩිහිටියන් අකමැත්තෙන් වුවත්  තාක්ෂණය භාවිතා කරමින් අන්තර්ජාලය භාවිතයට මෙන්ම සමාජ ජාලා භාවිතයට පිවිසීමට සිදුවී තිබීම එක්තරා අයුරකින් ධනාත්මක ප්‍රවණතාවක්. 

වැඩිහිටියන්ගේ මෙම අන්තර්ජාලය සම්ප්‍රාප්තිය ඔවුන්ව තවදුරටත් ඔවුන්ගේ දරුවන් මුනුබුරන් හා සම්බන්ධ කිරීමට උපකාර වනු ඇති.  එසේම, නව පරපුර  ජීවත් වන ලෝකය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබාගැනීමටත් ඔවුන්ගේ සිතුම් පැතුම් පිළිබඳ  වෙනස් ම අයුරකින් දකින්නත් වැඩිහිටියන්ගේ මෙම අන්තර්ජාල ප්‍රවේශය හේතු වනු ඇති.  තාක්ෂණය අපගේ පරපුරට අයත් නොවේ යැයි සිතා සිටි වැඩිහිටියන්ට තාක්ෂණය භාවිතා කිරීමට සිදුවීම මගින් ඔවුන් තාක්ෂණය අත් නොදැකම, තාක්ෂණය පිළිබඳ බිල්ලන් මවමින් සිටීම නවතා දමා  තාක්ෂණය පිළිබඳ ධනාත්මක සිතීමට පොළඹවනු ඇත. ජංගම දුරකථනයක් යනු  පුද්ගල සම්බන්ධතා විනාශ කිරීමට පැමිණි උපකරණයක් යැයි සිතා සිටි බොහෝ වැඩිහිටියන්ට  වසංගත සමය තුල ජංගම දුරකථනය හරහා  දරුවන් මුනුබුරන් සමග  වීඩියෝ සංවාදයන්හි යෙදීමට  සිදුවීම ඉතා හොඳ ප්‍රවණතාවයක්.

මීළඟ දශකයක කාලය තුළ ලෝකය තුළ ඇති වීමට නියමිත තාක්ෂණික විප්ලවය සමගින්  එන නවතම යෙදවුම් වලින් උපරිම ප්‍රයෝජන සඳහා අපගේ වැඩිහිටි පරපුර ද  යම් තාක් දුරට තාක්ෂණික උපකරණ හැසිරවීම සඳහා නිපුනත්වයක් ලබාගැනීම ඉතා වැදගත් විය හැකියි. ඉදිරි දශකය තුළ දී ස්වයංක්‍රීය ධාවනය වන රථ වාහන  විද්‍යා ප්‍රබන්ධ වලින් එළියට පැමිණ සැබෑ ලෝකයේ දී දැක ගැනීමට හැකි වනු ඇති. මෙම ස්වයංක්‍රීය රථවාහන පණගැන්වීමේ සිට යම් තැනකට ගෙන්වා ගැනීම දක්වා සිදු කිරීමට වන්නේ ඔබ ඇති ජංගම දුරකථනය  හරහායි. මෙම පහසුකම් ලැබෙන දිනය වැඩි ඈතක නොවේ. බොහොමයක් පහසුකම් වර්තමානයේ ද සමහර මෝටර් රථ සමඟ පැමිණෙන අතර ඔබගේ මීළඟ මෝටර් රථය බොහෝ වි‌ට පණගැන්වීමට සිදු වනු ඇත්තෙ ජංගම දුරකථනය මගින්.

 අනාගතයේ දී  augmented reality (AR) සහ virtual reality (VR)  තාක්ෂණය භාවිතයෙන් අපගේ සන්නිවේදනය වෙනස් මුහුණුවරක් ගනු ඇති. වයස, ආර්ථික හෝ සමාජීය හේතු නිසා දඹදිව හෝ මක්කම වන්දනාවේ යාමට නොහැකිව සිටි වැඩිහිටියෙකුට අනාගතයේ දී virtual reality තාක්ෂණය හරහා  එම ස්ථාන මෙහි සිටම නැරඹීමට අවස්ථාව ලැබීමට නියමිතයි. එසේම අතෙහි පලඳින හෝ ශරීරයට සවි කරන විවිධ උපකරණ හරහා ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු ස්වයංක්‍රීයවම  ඔබගේ වෛද්‍යවරයා වෙත යාමට නියමිත අතර ඔබට ඇතිවිය හැකි රෝගී තත්වයන් පිළිබඳ ස්වයංක්‍රීය පුරෝකථනයන් සිදු කරනු ඇති.  අනාගතයේ දී ඔබ විසින් ඇණවුම් කරන බඩු භාණ්ඩ ඩ්‍රෝණ යානා හරහා ඔබගේ නිවසේ දොරකඩටම පැමිණීමට නියමිතයි.  ඔබගේ ස්මාර්ට් ශීතකරණය විසින්  ඔබට මිලදී ගැනීමට අවශ්‍ය බඩු භාණ්ඩ  පිළිබඳ තීරණය කොට ස්වයංක්‍රීයව ඒවා ඇණවුම් කරනු ඇති.

ලෝකයෙහි මෙම තාක්ෂණික විප්ලවය සිදු වන අතරේ අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක්  එයින් ඈත් වී සිටීමට නො හැකි වනු ඇති අතර මෙම තාක්ෂණික විප්ලවයෙන් ප්‍රයෝජන ලබාගැනීම සඳහා අදාළ මූලික පියවර තැබීමට මේ හොඳම කාලයයි. විද්‍යාවේ දියුණුවත් සමග පුද්ගලයෙකුට අවුරුදු සියයක ජීවිත කාලයක් යන්න සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති මේ යුගයේ වයස අවුරුදු 60 පුද්ගලයෙකු ජීවිතයේ මැදි වයස ගත කරන්නෙක් යනුවෙන් සැලකීම වඩා සුදුසුයි. ඔබ ජීවත් වන  විසිඑක් වන සියවසේ තාක්ෂණය හා සමග ඔබගේ ජීවිතය බද්ධ කිරීමේ පළමුවෙනි පියවර තැබීමට අද හොඳම දවසයි. 

මෙහි මූලික පියවර වශයෙන් දරුවන්ගේ හා මිතුරන්ගේ ඊමේල් ගිණුම භාවිතා කිරීම නවතා දමා, තමාගේම ඊමේල් ගිණුමක් සාදා ගැනීම ඉතා අත්‍යවශ්‍යම කටයුත්තක්.  එසේම ස්මාර්ට් දුරකථනයකට මුදල් ආයෝජනය කිරීමත් එය භාවිතා කරන්නේ කෙසේදැයි යන්න ඉගෙන ගැනීමට 2021 වසර හොඳම වසරයි.  ඔබ දින පොතක ලියන  සිහි කැඳවා ගත යුතු දෑ ඩිජිටල් කැලැන්ඩරයක්  භාවිතයෙන් කර ගැනීම ඩිජිටල් පුරවැසියෙකු වීමේ  ඔබගේ දෙවැනි පියවර ලෙස සැලකිය හැකියි. සතියකට වරක් ඔබ මුදල් ගෙවා මිලදී ගන්නා පුවත් පත වෙනුවට ඔබගේ ජංගම දුරකථනය හෝ පරිගණකය හරහා අන්තර්ජාල ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යන්ගෙන් තොරතුරු ලබා ගැනීමට හුරු වීම  ඔබව යාවත්කාලීන වූ පුරවැසියෙකු බවට පත් කරනු ඇති.  එසේම මෙම වසර ජංගම දුරකථන යතුරු පුවරුව පාවිච්චි කරමින් සියබසෙන් අකුරු කිරීමට ඉගෙන ගැනීමට ආරම්භයක් ලබා ගැනීම සඳහා යොදා ගත හැකියි.  සමාජ ජාලා  ගිණුමක් ආරම්භ කර ගැනීම, තමාගේ ම බ්ලොග් අඩවියක්  ආරම්භ කර ගැනීම මගින් තමාගේ අදහස් ලොවට ප්‍රකාශ කිරීම මගින් ඔබටත් ඔබගේ විශ්‍රාම දිවිය අර්ථවත් කර ගැනීමට හැකි වනු ඇති.

 උදා වූ මෙම වසර, ඔබ  තාක්ෂණය සමඟ බද්ධ වූ සුහුරු පුරවැසියෙකු බවට  පරිවර්තනය කරගන්නා වසරක් බවට පත් කර ගෙන අනාගත තාක්ෂණික ප්‍රවණතා  භාවිතා කොට සුවබර විශ්‍රාම ජීවිතයක් ගත කරන්නට සුබපැතුම්..

 

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත