අන්තිම දඩයම

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

මා චුටි අයියා නමින් අමතන මට වන පෙතත්, එහි අසිරියත් මෙන්ම හේන් ගොවි තැනෙන්ද, ඉඳහිට දඩයමකින්ද ජීවිකාව සලසා ගන්නා ශුෂ්ක වියලි කලාපීය ගං වල දුක් බරිත ජිවිත වලට එබෙන්නට ජනේලයක් විවර කරගන්නටත්, දිවා රැයක් නැතුව වන්නි මං පෙත් වල ඇවිද යන්නටත් අවස්ථාව ලබා දුන් ඔහු හමු වන්නට ගියේ ඊයේ හැන්දෑවේය.

පොතින් පතින් කියවා රස විඳි වන සැරියක මිහිර සැබෑ දිවියේ ලැබුවේ ඔහු සමග ගත කළ ඒ දිනවලය.
චුටි අයියා හමු වෙන්නට පෙර කියවූ වනකතා පොත් සිය ගණනක චරිත සමග පොත් පිටු අතරේ සැරිසැරූ මට නවගත්තේගම මහතාගේ දඩයක්කාරයා සැබවින් දුටුවේ ඔහු නිසාය. ඔහු හා වන ලැහැබ් වල, මුකලන් මණ්ඩිවල, ගල් පරුවත වල, දිය කඩිති ළඟ , දිවා රෑ ගත කළෙමි.

මා පිළිගන්නට වන මැද වූ අනවසර හේන ලඟට පැමිණි චුටි අයියාත් ඔහුගේ ගෝලයන් දෙදෙනාත් මගේ ගමන් මල්ලත්, පැද ආ මෝටර් බයිසිකලයත් තල්ලු කරගෙන වාඩියට ආහ. හේන් මායිමෙන් එහා තරමක් දුරින් ඇති මැණික් ගඟේ කුඩා අතු ගංඟාවක දිය නා සැනසුණු අපි, නොයෙක් රසබර – පරණ අතුරු කතා කියමින් සඳ එළියෙන් තෙමුණු වාඩිය අසල තිබූ රූස්ස මයිල ගස යට ගත කළෙමු. ගෝලයින්ගේ දෙකන් තිබුණේ මා රැගෙන ආ මල්ලේ තිබී එකිනෙක ගැටෙන විදුරැ බෝතල නැගු මිහිරි නාදය ගැනය.රෑ කෑමට කව්පි හොද්දක්ද, මිරිසට වගේම බදින ලද වේලූ වල් උරුමස්ද, හේනේ දැඩිමේනි වෙමින් තිබුණ කැකිරි හා තක්කාලි, ගම්මිරිස් සමග කලවම් වූ සම්බෝලයක් ද තිබිණි.

ඊළඟ උදයේ අපි දෙන්නා කාලය ගත කළේ මාළු බෑමටය. පා ගමනින් යා හැකි අඩි පාරක් ඔස්සේ මොටර් බයසිකලයෙන් ගිය අපි දෙන්නා වැවක් යැයි කියන්නට බැරි තරම් කැඩීබිඳී ගිය වැව් සොරොව්වක බිලී බැවේමු .

වාසනාවන්ත දවසක පැය තුන හතරකින් අපි කොරලි තුන් දෙනෙකුද, අතේ සිට වැලමිට තරම් ලොකු ලූලන් දෙදෙනෙකුද ගොඩට ඇදගෙන ආවෙමු. ඒවා වේල් දෙකකට වුවත් සෑහිණි. කිරෙන් උයා තෙම්පරාදු කළ මාළු හොද්දත්, වට්ටක්කා ඇඹුලත් දිව්‍ය භෝජනයක් වන්නට අනුපාන වුයේ මත්පැන් වටයකි. මයිල ගහ මුල අට්ටාලයේ මම නිදා ගතිමි. පත පොතින් කියවූ වන දිවි සුවඳේ චර්යාමය අංශු මාත්‍රයක සුවය විඳිමින් හවස් වෙන තුරු නිදා ගතිමි.

හවස ම ඇහැරෙන විට චූටි අයියා බඳින තුවක්කුවට වෙඩිල්ලක් කොටමින් සිටියේය. ආකාස ගුණ්ඩු වල වෙඩි බෙහෙත්ද, සූරා ගන්නා ගිනිකුරු හිස්ද, තලා රවුම් කර ගන්නා ඊයම් බරුද පිළිවෙලට නියමිත ප්‍රමාණ වලට මිශ්‍ර කර කොට කර කැපූ තුවක්කු බටයට කොටා පිල්ල ඇටවීම සීරුවෙන් කළ යුතු දෙයකි. මේ පරිණත ව්‍යායාමය කලින් දැක සිටි මම ඔහුට නිහඬව ඒ දේ කරන්නට ඉඩදී බලා සිටියෙමි. වෙඩිල්ල පත්තු නොවීම, බටය තුළම තුවක්කු කඳ පිපිරීම හෝ කොටන විටදී පත්තු වුණොත් අතැඟිලි පමණක් නොව ජිවිතයද අහිමි වී යා හැකි මේ කෙටිල්ල පරිණත දැනුමත් ඉවසීමත් පරිස්සමත් ඉතාම ඇවැසි වැඩකි.

හේ සීරුවෙන් වෙඩිල්ල කොටා අවසන් කර මදෙස බැලීය. “බැරල් එක හරි. ඉපියාවත් හරි. මං අරුන් දෙන්න මදු තියන්න යැව්වා.. රවුමක් ගහල එමුද” කියා ඔහු මගෙන් ඇසිය. මම බලා සිටියේ ඒ මොහොත එන තෙක් ය. හැන්දෑ අඳුරට පෙරාතුව අපි හේන් මංකඩෙන් ඈත්ව වන ලැහැබට පිවිසුනෙමු.

ඒ වැහි කාලය ඇරඹුනා පමණි. කලක් වියලි කාස්ටකයේ, වියැලුනු අතුපතර පමණක් ඉතිරි වී සිටි රූස්ස ගහ කොළ ලා කොළ පාට දල්ලෙන් සැරසෙන්නේ මෙකලය.වෙනදා නහය දවන දුවිලි කාස්ටකය වෙනුවට දැනෙන්නේ හද පුරා හුස්ම ගත හැකි නැවුන් තෙත බර සුළඟය. තබන අඩි එරී සටහන් රැඳෙන බිම පුරා නැවුම් තණ පත්ද, උඳුපියලියද තෝර වැනි පැළද නැගී එන තෙත පොළොව තණ තිල්ලක රුව ගනී. හැන්දෑ අහසක මෙවැනි වන වදුලක ලස්සන දකින්නට ඒ හරහා ඇවිද යා යුතුමය.

චූටි අයියා මහා පොළොවට නෙත් අලවාගෙන ඔහුටම තේරෙන මගක ගමන් කරයි. ඇවිද යා හැකිවූ අඩි පාර අපෙන් බොහෝ ඈතය. මේ ඇවිද යන්නේ එරමිණියා වැනි හම සිරී ලේ එන කටු පඳුරු ගාල් මැදිනි. චුටි අයියා හමුවේ කටු අකුලා, අතුපතර මුවාකොට, මහා වීදියක් සේ මග සලසන කටු පඳුරු මට එසේ නොකරයි. කටු ඉති උල් කරන් ඇවිත් මගේ ඇඟේ ඇමිණෙනවා වැනිය.

දුරක් ගිය හේ මා ළඟට අඬ ගසයි. මරුවැල් බැඳි තුවක්කු බට කොතැනක හෝ තියෙන්න පුළුවන්. මේ සාවියේ මම ඔහුට අඩි දහයවක් වත්. පස්සෙන් එන්නට නියම කර තිබුණේ මුල්ම දවසේ සිටය.

“මෙන්න බලන්න මේ අඩි ටික, මන් ආවේ මේක පස්සේ… මේ ඌරූ නාම්බෙක්, තනියම. මූ මෙහෙම ගිහින් අර වැටිච්ච කඳ යටින් යනවා. මූ යන්නේ කතරගම දේවාලෙන් ගෙනල්ලා දාන දේ කන්න. (ඉතිරි, මල්, පළතුරු ආදිය ගෙනවිත් දමන තේක්ක කැලයේ තැනකි) අපි ගස් කඳ ගාව තුවක්කුව බඳිමු.” හේ පැවසීය.

දඩයම් ඉංජිනේරු ක්‍රියාන්විතය ඇරඹුණේ එවෙලේය. ඔහු වැටුණු ගස් කඳට ආනතව ඉන් අඩි දහයක් පමණ ඇතින් ඔහුගේ තුවක්කුව අටවයි. “මේ අඩි වල හැටියට ඌරා මෙච්චර විතර උස වෙන්න ඕන. අත්ත යටින් යනකොට හොම්බ මෙතන නම් කන මේ හරියේ වෙන්න ඕන. ටිකක් පහළින් අඩියක් විතර ඈතින් රත් කිහිල්ල. (රත් කිහිල්ල යනු ඉදිරියෙන් එන උණ්ඩයක් ඉදිරිපස වම් උරහිස මගහැර කිහිල්ල හරහා හදවතට ඇතුළු විය හැකි පෙදෙසයි.) සතා තුවක්කුව ළඟ වැටෙනවා…. බලන්නකෝ මං කියන දේ…” මම නිහඬව අස සිටියෙමි. ඔහු හීන් සීරුවේ මරුවැල ඇටවීය.

හේනට එනවිට ගෝලයන් දෙදෙනා පැමිණ සිටියහ. ඉතාම කුලෑටි වූ ඔවුහු මා හා කතා නොකරන තරම්ය. බටේ බැඳි අඩවිය කියූ චුටි අයියා ඔවුන්ට එහි ගොස් ගිනිමැළයක් ලෑස්ති කරවන්නට උපදෙස් දුනි.

මට ඇහැරුණේ වෙඩි හඬටය. දනිපනිගා නැගිට ගත් ගෝලයන් අඳුරේම නික්මිණි. අපි තේ මුට්ටියක් උණුකර බී පැයකට පමණ පසු නික්මුණෙමු.

එතනට යනවිට කුඩා අගලක්වන් වළක දැල්වූ ගිනිමැළයෙන්, වළ හරහා දැමු උරාගේ ලෝම ඔව්හු පුළුස්සමින් සිටියෝය.

මස් කිරීමට ප්‍රථම දලව වැඩුණු මවිල් පිළිස්සීම කළ යුතුම වැඩකි. මවිල් පිළිස්සෙන කර ගඳ මට කුඩා කල දුම්මල ගසමින් යකුන් නැටූ තොවි ගෙවල් සිහි කළත්, ඒ ගඳ දුම්මල වැනි සුවඳක් නොවේ.

චූටි අයියා ඔහුගේ ශල්‍යකර්මය ඇරඹීය. අඟල් හයක් පමණ දිගැති, දැලිපිහියක මුවහත ඇති පිහිය ඌරු කඳ හරහා කිමිදින්නේ ශල්‍ය වෛද්‍යවරයකුගේ නිපුනත්වයනි. ඇට කටු සමග සටන් කිරීමක් නැත. ගාත් හතරමද, කොඳු ඇටපෙළද, බඩ වතද හරහා පිහි පාර ඇදෙන්නේ, අස්ථි මග හැර හරියටම සන්ධි හරහා පමණි. අපි ලෙගෝ එකක් ගලවනවා මෙන් සතා කැබලි වී ගෝනි උරයට පිරේ.

“මේක වැව දිගේ ගිහින් මයුර හොටලේට දියන්. ගාතේ අපිට උයල ඉතුරු ටික ගෙවල් වලට අරන් පලයන්.” යැයි ගෝලයන්ට අණ දුන් ඔහු මා කැටුව තුවක්කුව ලිහන්නට ගියේය. ඔහු කී ලෙසම බැන්ද බටේ අසලම සතා මියැදී තිබිණි. ගැලූ ලේ සාක්කිය. මියෙන්නට පෙර දැගලූ කිසිම ලකුණක් පොළොවේ නොතිබිණ.

යමු මදු බලන්න. අපි යළිත් ලැහැබ මැදින් වෙනත් ඉසව්වකට ඇවිද ගියෙමු .මේ මදු හදන්නේ පුළුස්සා ගත් පුස් බයිසිකල් ටයර් වලින් ගත් කම්බි වලනි. මළපුඩුව අටවා ඒවායේ එක කෙළවරක් සවිමත් ගසක බැඳ තොණ්ඩුව මුවන් – ගෝනුන් වැනි සතුන් රිංගා යන පඳුරු හෝ ලැහැබ් අතරේ සඟවා අටවයි. ඒ ලැහැබ් හෝ පඳුරු අතරින් රිංගා යන සතුන් මන්ද තුළින් යන විට ඒවා උන්ගේ ගෙල වටා හිරවේ. මුවා ගැලවී යාමට තැත් දරත්ම ඒවා වඩාත් ගෙල වට හිරවේ. නැතහොත් වෙර හිඳී අඩපණව වැතිරේ. මේ ක්‍රමය වන සංරක්ෂණ නිලධාරීන් පවා අසරණ කරන ක්‍රමයකි .වෙඩි හඬක් හඹා යා හැකි වුවද මන්දක හිරවී දඟලන සතෙක් ගැන හාන්කවිසියක්වත් දැනෙන්නට ඔවුනට ඉඩක් නැත.

පළමු මදු හතරේම කිසිත් නොවිය. පස් වැන්න මා කම්පා කරවීය. හසුවී සිටියේ පැටි විය පසු කරනා තරුණ නාම්බෙකි. අවරුදු 4-5 ක වයසයකය. රැයක් පුරා කම්බියේ දිග ඇති තෙක් ඔහු දුන් සටන ඒ කවයේ සනිටුහන් වී තිබිණි. කම්බි වපසරියේ දිවි රැකගන්නට මුව පොව්වා දැරූ උත්හාසයෙන් එකදු තණකොළ ගහක් වත් ඉතිරි වී නොතිබිණි.

අප එතනට ළඟාවන විට මුව පොව්වා අඩපණව වැතිරී හිටියේය. සෙලවෙන්නට බැරි තරමර පෙරදා රැයේ නිදහස් වන්නට දුන් සටනේ සලකුණු කම්බියේ පරිධියේ සටහන් වී තිබිණි. ඒ පරිධියේ පා පහර ලබා සුරැකුණු එකම තණ පතක් වත් නොවිණි. ඌ පොළොවේ වැතිර, හති ලමින්, විවර වූ මුවින්, මුවින් එළියට ඇදුණු දිවෙන් යුතුව නිසලව සිටියේය.

මා කම්පනයට පත් කළේ උගේ ඇසකි. අප දෙසත්, අහසටත් මාරුවෙන් මාරුවට බැලූ උගේ ඇසකි. විසල් වූ ඒ ඇසේ තිබුණේ කිව නොහැකි තරම් භීතියකි. මහා හඩින් හඬ ගා කෙරෙන ආයාචනාවකි. ඇස කඳුලින් පිරි තිබිණ. ගලා ගිය කඳුළු වැල් මාලාවක ලකුණු, ලා දුඹුරු පැහැ කම්මුලේ තෙත්ව ඉතිරිව තිබිණි. අනෙක් ඇස පොළොවට තදවී තිබිණි. මොහොතකින් චූටි අයියාගේ පිහිය මේ මුව පොව්වාගේ ගෙල හරහා ගමන් කොට මේ දැහැනෙන් ඌ මුදනු නියතය.

නමුත් ඒ විසල් ව ඇරී ගිය දුඹුරු පැහැ ඇසේ ආයාචනය පසුකර යන්න මට බැරි විය.

“අයියේ මූ අතාරින්න….” මම මිමිනීමි.
“මුගේ ගාන මම දෙන්නම්.” මම බිඳුණු හඩින් වචන එකතු කළෙමි.

චූටි අයියාගේ තියුනු අඩවන් දෑස මා වෙත එල්ල විය. මමද මුව පොව්වාගේම වූ අසරණ දෑසින් ඔහුගේ නෙත් දිහා එක එල්ලේ බලාසිටියෙමි.

මේ ඔහුගේ දඩයමයි. ඔහුගේ ජිවන වෘත්තියයි.

මදෙස බල සිටි ඔහු හිමින් සීරුවේ මුවා ලඟට ගියේය.පිහියත් අතේය.

“ලබ්බක් කතා කරනවද? බල්ලොත් නොකන සල්ලි.”

හේ හින් සීරුවේ වැටී හිටි මුව පොව්වා ලඟට ගොස් ගෙල හිරවී තිබූ මද්ද හෙමින් ගැලවීය. එනමුදු මුවාට නැගිට ගන්න තරම් වරුවක් ඉතිරි වී නොතිබුණි. චුටි අයියා උගේ බඳ වටා අත යවා ඌ හතර පයෙන් සිටවුවේය. එහෙත් ඌට දුවන්නට වාරුවක් නැත.

හිමිහිට කිට්ටු වුණ මම උගේ ගෙලත් පිටත් අත ගැවෙමි. සිනිඳු සමත් එහි වූ උණුසුමත් මට අදටත් දැනේ. මුව පොව්වා උගේ මුහුණ ළඟ සිටි චුටි අයියාගේ අත ලෙවකන්නට විය. විනාඩි දෙක තුනක් අප සමග සිටි මුවා වෙරවීරිය උපදවා ගත සැනින්, මානා පඳුරු පොඩිකරගෙන දුවන්නට පටන් ගති.

ඒ මගේ අන්තිම දඩයමයි. චුටි අයියා සමග නැවත වන වැදුණු නමුත් ආරස්සාවට ගෙන ගිය තුවක්කුව ඔහු කිසිදිනක මා සමග පත්තු කළේ නැත.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත