එපිට රටෙන් ආ දෙපිට පිස්කල්

කිසියම් රටක වසන ජනයා වහරන ජීව භාෂාව ගලන ගඟකට උපමා කිරීම හොඳටම ගැලපේ. කුඩා උල්පතකින් පටන් ගන්නා ගංගාව අතරමගදී එක්වන අතු ඉති ගංගාවලින් පෝෂණය වී මහ ගඟක් වෙයි. මේ ගඟේ තැනින් තැන ඇති ගල්කුළු, වක්කලම් බොහෝ කලක් පවතිමින්, විටක ගඟේ දිය ඇලි මවයි. තවත් විටක ගඟ දිය රැලි නංවන සැඩ පහරක් බවට පමුණුවයි.

මේ අතර විටින් විට ගඟට එකතු වන දෑ ගඟ දිගේ ගලාගොස් මුහුදට එක්වෙයි. ජීව භාෂාවද මෙසේමය. භාෂාවට එකතු වන ඇතැම් පද යෙදුම් ගඟක ගල්කුළු මෙන් බොහෝ කල් පවතියි. භාෂාවට එකතු වන ඇතැම් යෙදුම්, පද ‘ආවෝ ගියෝ’ සේ එක් කලකට සීමා වී අතුරුදහන් වෙයි.

1815 දී ලංකාව සුද්දාගේ යටත් විජිතයක් වූ පසු රාජ්‍ය භාෂාව වුණේ ඉංගිරීසියයි. රාජ්‍ය සභාවේ කතා කළේ ඉංග්‍රීසියෙනි. ආණ්ඩුවේ කන්තෝරුවල භාෂාව ඉංග්‍රීසිම විය. රට පාලනය කළේ එංගලන්තයේ විසූ මහ රැජිණගේ නාමයෙන් (On Her Majesty’s service) ලෙසය. මෙකල භාවිතා වූ ඉංග්‍රීසි වචන බොහොමය බුලත් කෑ සිංහල කටට නුහුරු විය. එහෙයින් ගමේ මිනිස්සු සිංහල කටට ගැලපෙන ලෙස ඉංග්‍රීසි වචන තලාපෙලා සකස් කරගෙන වහරන්නට පටන් ගත්තෝය.

ඉංග්‍රීසි ආණ්ඩුව නැත්නම් ගවර්මන්ට් එක ඔවුන්ට ගෝරනමේන්තුව විය. සර්වේ ජනරාල් සරුව ජනරාල් වූ අතර ඩිපියුටි පිස්කල් දෙපිට පිස්කල් විය. ඇඩවකට් අද්වගාත් වූ අතර ප්‍රොක්ටර් – පෙරකදෝරුවා වූණේය. ඉහළම උසාවිය වූ සුප්‍රිම් කෝට් එක සුපිරිම් කොටුව වූ අතර සුපිරිම් කොටුවේ නඩු ඇසුවේ කෝටුවේ මහ රජ්ජුරුවෝය.

මේ කාලේ අපේ මිනිස්සු එංගලන්තයෙන් ගෙනා ඉංග්‍රීසි නම්ද සිංහල කටටම හුරුවන ලෙස තලාපෙලා සකස් කරගත්තෝය. එංගලන්තයේ ඩේවිඩ්ලා ලංකාවේ දාවිත්ලා වූ අතර ග්‍රෙගරිලා ගිරිගෝරිස්ලා වූහ. එංගලන්තයේ මේරිලා, මාගරට්ලා, මැගිලින්ලා රෙදි හැට්ට අඳින මේරි නෝනලාය. මාගරට් නෝනලාය. මැගිලින් නෝනලාය. ඒ අතර බේබි අක්කලා එලිසබත් හාමිනේලාද සිටියෝය.

නිදහස ලැබීමෙන් පසු ස්වදේශීය භාෂාවත් රාජ්‍ය භාෂාවක් වූ පසු ඉංග්‍රීසි වචනවලට ගැලපෙන වචන තනන භාෂා වඩු මඩුවක්ද පටන් ගත්තේය. ඒ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවයි. විද්‍යාව වැනි විෂයයක්ද මව්බසින් උගන්වන්නට පටන්ගත් නිසා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට අලුත් අලුත් වචන තැනුවේය. මේ වචන බොහෝවිට සංස්කෘත පාළි භාෂා ආභාසයෙන් තැනූ වචනය. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, අග්‍ර ආණ්ඩුකාරවරයා, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරු, ප්‍රවාහන අමාත්‍යාංශය අලුතෙන් භාෂාවට එකතු විය.
ජීව භාෂාවේ ඊළඟ පෙරළියට මුල් වුණේ මුනිදාස කුමාරතුංග ශූරීන්ය. එතුමෝ සැබැවින්ම නිර්මාණශීලීය. අන් කිසිවක් නැතත් එතුමන් පබැඳූ හීන්සැරය, මගුල්කෑම, හත්පණ කෘති ත්‍රිත්වයම එතුමන්ගේ නිර්මාණශීලීත්වයට සාක්‍ෂිය. එතුමෝ සංස්කෘත, පාළි භාෂාවෙන් අත්මිදී අලුත් බසක් සකස් කරගැනීමට පුරෝගාමී විය. එතුමන් හා හෙළ හවුලේ නිර්මාණශීලීන්ගේ දායකත්වයෙන් ජීව භාෂාව එකතු වූ වචන බොහෝය.

ආරෝග්‍ය ශාලාව රෝහල වුණේත්, සාත්තු සේවිකාව හෙදිය වුණේත්, මහා මාර්ගය මහ මඟ වුණේත්, ටෙලිවිෂනය රූපවාහිනිය වුණේත්, ටෙලිෆෝනය දුරකථනය වුණේත්, හෙළ හවුලේ ආභාෂයෙනි. ඉන් මතු බොහෝ යෙදුම් සිංහල කටින් පහසුවෙන් කියවිය හැකි අලුත් බර වචන හා යෙදුම් බවට පත් වුණේය.

අවන්හල, ගුවන් තොටුපල, ලකිසුරු, රජ සබය, මැති ඇමතිවරු අලුත් යෙදුම්වලට උදාහරණය. ඊලියන් සිල්වා හා ඔහුගේ සොහොයුරු ටයිටස් තොටවත්ත ඔවුන්ගේ ක්‍ෂේත්‍රවල මේ සරල හෙළ වදන් යොදමින් හාස්කම් පෑවෝය.

එසේ වුවත් නිර්මාණශීලී නොවන හෙළ හවුලේ ඇත්තන් මුද්‍රණාලයට – පහරුව ටෙලිෆෝනයට – දුරබනනය රේඩියෝවට – රෙදෙව්ව වැනි වචන යොදමින් භාෂාවට එකතු කළ ඇතැම් වචන් ‘ආවෝ ගියෝ’ වගේ අතුරුදහන් වුණේය.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත