සංස්කෘතියේ සංසාර බද්ධය – පරාක්‍රම නිරිඇල්ල

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
Alochana-Feature-Parackama-Niriella-Chamminda-Welagedara

පින්තූරරාමු වේදිකාව, නාට්‍යයේ පෙළ සමග සාමාන්‍ය ජනතාව දුරස් කිරීමකැයි සිතුවාද?

පවතින නාට්‍ය කලාව තුළ තාරුණ්‍යයේ විප්ලවීය හඬ මතුකරන්නට වේදිකාව වෙනස් කළ යුතු යැයි සිතුවාද? තාරුණ්‍යය කියන්නේ වෙනස් වීම තුළම වෙනස්කමක් සොයා යන ප්‍රමෝද්ගමනය ද?

මේ සියල්ල ඒකරාශිවීමේ අවසන් ඵලය විය නොහැකිද? එදා වීදි නාට්‍ය කලාව බිහි වීම. මානවීය ගැටලු මහමග වැඩපළවල් වල, පන්සලේ, කඩපළේදී කතා කරන්නට ඇරඹීම වීදි නාට්‍ය කලාව විය. එය නාට්‍යවේදයේ එක්තරා කැරැල්ලක් ලෙස හැඳින්වීම සර්ව සාධාරණ යැයි මම නොකියමි. එහි තිබුණේ මිනිසුන්ගේ එදිනෙදා ගැටලු ප්‍රසිද්ධියේ අවිධිමත් ලෙස සාකච්ඡා කිරීම හා මතු කිරීමයි.

එය පැරැණි කාලයේ දී කමත් වල රංගනය කළ මෙරට ගැමි නාට්‍ය කලාවේ තවත් එක් සන්ධිස්ථානයකි. හැත්තෑව දශකයේ දී සංකීර්ණ සමාජ ක්‍රියාවලියක් හා ගැටී කරළියට ආ නාට්‍යවේදයේ වෙනත් මුහුණුවරකි. එම මුහුණුවරේ එදා පුරෝගාමීන් වූයේ ගාමිණී හත්තොට්ටුවගම හා පරාක්‍රම නිරිඇල්ල ඇතුලු තවත් කීප දෙනෙකි. වර්තමානයේදී වීදි නාට්‍ය යනු පැවති කලාවකට නිදසුනක් පමණෙකි.

වීදි නාට්‍ය කලාව තුළ පසුකාලීනව පුපුරායාම පරාක්‍රම නිරිඇල්ලගේ සමාජයීය නාට්‍ය කියවීමේ වේදිතයයි. එයින් ඇරඹූ ඔහුගේ ගමන මේ රටේ 80 – 90 දශකයන්හි මල්පල ගැනීම රූපවාහිනිය හා චිත්‍රපටය කරාද ඉගිල ගියේය.

එනිසා බහුතරයක් වූ විදග්ධ නාට්‍යකරුවන් අතර එදා පරාක්‍රම නිරිඇල්ල හෙවත් “පරා” නමක් රැකගත් කලාකරුවකු විය. ඔහු එය රැක ගත්තේ වේදිකා නාට්‍යයේ, රූපමාලා නාට්‍යයේද ඉන් අනතුරුව චිත්‍රපටයේ ද සිය අනන්‍යතාව මුද්‍රා ගත කරමිනි.

ඔහුගේ පළමු වේදිකා නාට්‍යය වූ “සෙක්කුව” එදවස රාජ්‍ය නාට්‍ය උළෙලේ විප්ලවය විය. එසේම මුල්ම නාට්‍යයෙන් ඔහු රාජ්‍ය සම්මාන ඉදිරියේ සිය මුද්‍රාව තබා ගත්තේය. ඉනික්බිතිව, “විනිශ්චය”, “ගැලීලියෝ”, “වරෙන්තු” (මෙය ඔහු කළේ නැසීගිය එච් ඒ පෙරේරා නාට්‍ය ශිල්පියා සමගිනි), “චරන්දාස්”, “මැටි කරත්තය”, “හුණුවටය” අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරමින් රාජ්‍ය සම්මාන කීපයක්ම හිමිකර ගත්තේය. ඔහුගේ “සසර “සයුරෙන්”, “ළාහිරු දහසක්”, “යශෝරාවය” මේ රටේ රූප මාලා නාට්‍ය අතර අදටත් කතාබහක මුලින් සිටී. එහිදී ඔහුගේ “කඩ ඉම” ඒකාංග නාට්‍ය ජර්මනියේදී ට්‍රාන්ස්ටේල්, බල්ගේරියාවේ දී “ගෝල්ඩන් ක්‍රෙස්ට්” හා බර්ලිනයේ දී පැවති ජාත්‍යන්තර සම්මාන උළෙල වලදී හොඳම නාට්‍ය බවට පත් විය.

එයින් පසු ඔහුගේ වැඩිවිය පැමිණීමද නොමැති නම් ඔහුගේ මුහුණුවරේ තවත් පැතිකඩක් ද යන්න නොකියමින් ඔහු නිර්මාණය කළ “සිරිමැදුර’ හා “අයෝමා” චිත්‍රපට මේ රටේ මෙන්ම විදේශ සම්මාන වලින්ද පුද ලැබුවේය.

එවන් මෙහෙවරක යෙදුණු මේ සොඳුරු මිනිසා අතීතයේ සියලු පාඩම් සහ උගත්කම් වලින් ලද නව පන්නරය වශයෙන් මේ රට මුහුණ දුන් අවදානම් යුද්ධයෙන් පසු ජනතා දැනුම්වත්භාවය ලබාදුන් “ජනකරළිය” මගින් ලද සියලු කමටහන් අටපත එකට සිඳ පෙරා අපට අලුතින් ඉදිරිපත් කරන්නට යන්නේ තවත් චිත්‍රපටයකිනි. ඔහු එය “ප්‍රවේණි” ලෙස නම් කර ඇත. වැඩවසම් සමාජ ක්‍රමය තුළ ප්‍රවේණිදාස භාවය ඉක්මවා යන පුද්ගල මනෝභාවයකි “තමාට කිසිවෙකු ආදරේ නැතැ”යි යන “භංගමාන පෞරුෂීය චින්තාවලිය”. මේ නිසා ආදරේ ලැබීම උදෙසා මිනිසෙකුට කළ හැකි බොහෝ කටයුතු අතර සිය සමාජ කියවීමේ හැකිළුණු සමාජ පරාසය තුළ නිරායාසයෙන් තරුණියක වීමට ගන්නා ප්‍රයන්තය තුළ දිය වී යන හාම්පුතුන්ගේ පෞරුෂය ඔහු මෙහිදී සංවාදයට බඳුන් කරන්නට මාන බලයි. ඔහුගේ අලුත් නිර්මාණ ක්‍රියාවලියට “ආලෝචනා” සුබ පතමින් මා මගේ මිත්‍රයා හමුවෙනවා ආලෝචනා සයිබර් අවකාශය දුන් ඉඩහසර දිගේ.

ආලෝචනා – මම අහන්නේ නෑ අපේ කලාවට මොකද උනේ කියලා. ඒත් ඔබට පුළුවන් මොනවද උනේ කියලාත් ඇයි එහෙම උනේ කියලත් කියන්න.

පරා – “සිනමාව, වේදිකාව හා නිර්මාණ කලාවන් අද අපේ රටේ පේන්ඩ නැති තරම්. 1956 ඉඳලා අපේ රටේ සංස්කෘතික දෙපාර්තමේන්තුවක් කියලා එකක් තියෙනවා. මෙතෙක් කාලයක් මේ රටේ ආණ්ඩු විසින් තමන්ගේ ආණ්ඩුවේ නොවැදගත්ම ආයතනය වශයෙන් සැලකුවේ සංස්කෘතික අමාත්‍යාංශය. එය කොතරම් හෑල්ලු කළාද කිවහොත් ඒ සඳහා පත් කළ ඇතැම් පුද්ගලයන්ගෙන්ම මේ රටේ චින්තනය අපට හිතා ගන්ඩ පුළුවන්. මේ රටේ ඉන්න කලාකරුවන්ගේ දැඩි කැප කිරීම නිසා අද වෙද්දි සිනමාව වේදිකාව හා නිර්මාණ සාහිත්‍යය යන්තමට හරි ඉතිරිවෙලා තියෙනවා. අවුරුද්දකට සැරයක් සම්මාන උත්සව තැබීමෙන් කලාව හා සංස්කෘතිය රැකෙනවා නම් මේ රටේ තියන සම්මාන උත්සව වලින් අපේ කලාව අද තිබිය යුත්තේ කොතැනද කියා සිතාගන්න පුළුවන්.

බලන්න චිත්‍රපට කර්මාන්තය දිහා. මොනවද චිත්‍රපට සංස්ථාව කරන්නේ. චිත්‍රපටකරුවා රැක ගන්නවා තියා ඔවුන් ඉතා අමාරුවෙන් නිෂ්පාදනය කරගන්නා චිත්‍රපටයකට ඒක පෙන්න ගන්න හරි හමන් තැනක් හරි සූදානම් කරල දෙනවද? බෙදා හැරීම ගැන බැලුවත් ප්‍රදර්ශනය ගැන බැලුවත් ඔක්කොම ජරාජීර්ණයි. යල් පැන ගිහින්. ජාත්‍යන්තර සම්මාන ලබන්න, බටහිර නිර්මාණ සමග තරග කරන්න පුළුවන් නව තරුණ පරපුරක් අපිට ඉන්නවා. එහෙත් ඔවුන්ට මේ රටේ දී ලැබෙන උපකාරය, මගපෙන්වීම හා දිරිය කුමක්ද?

අපි ප්‍රංශයට ඕස්ට්‍රේලියාවට යන්න ඕනෙ නෑ. අපේ අල්ලපු රට ඉන්දියාවට යමු. බලන්න ප්‍රාන්ත වල දී පවා ඒ රටේ කලාකරුවා රැකගන්න ඔවුන් දෙන සහයෝගය. දැන් සෑම රටකම කලාව සහ සංස්කෘතිය මානව ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක්. මේ නිසා තමයි ඉන්දියාව ඔවුන් හඳුනාගෙන ඔවුන්ට උපකාර වන්නේ. ජාතික අධ්‍යාපනය පුහුණුවීම් ආයතන පිහිටුවා සිනමාවට කලාවට උදව් කරන්නේ. ඒ නිසාම අද ඉන්දියාව සිය ජාතික ආදායමෙන් 35% සිනමාව හරහා උපයා ගන්නවා. එහෙත් අපේ රටේ සිනමා විද්‍යාර්ථයින් බිහි කිරීම තබා ඔවුන් ඉතා අමාරුවෙන් නිර්මාණය කර ගන්නා නිර්මාණයන්ට හෝ දියයුතු උපහාරය කරනවාද?

බටහිර රටවල නිර්මාණකරුවා රැකගන්න නඟා සිටුවන්න අරමුදල් පවා පිහිටුවා තිබෙනවා. හැම ආණ්ඩුවක්ම බලයට පත්වූ විගස සිනමාව කලාව හා සංස්කෘතිය ගැන කතා කරනවා. ඉන් පසුව ඒවා යළිත් පැරණි හුදකලා ඉබි ගමනේමයි.”

ආලෝචනා – ලංකාවේත් එක්තරා කාලයක සිනමා ශිල්පීන්ට ණය ලබා දුන්නා. වැඩසටහන් දියත් කළා. එහෙත් ඒවායින් සේවය ගැනීම හා රැකගැනීම වෙනුවෙන් නිර්මාණකරුවා දැක්වූ සම්මාදම මදි වුනේ නැද්ද?

පරා – “කුමන දෙය කළත් එය යහපත් ප්‍රතිපත්ති මත සිදු කළ යුතුයි. පසුව එය පෞද්ගලික හිතවත්කම, දේශපාලනික ගැතිකම් මත කටයුතු කරන්නට ගියාම මොකද වෙන්නේ. හොඳ චිත්‍රපට පෝලිමේ තිබියදී දේශපාලන සබඳතා මත එදා පෝලිම් කඩාගෙන චිත්‍රපට කීයක් ආවාද? ණය ලබා දීමේදී ක්‍රමානුකූලව කටයුතු නොවීමෙන් ඒ සියල්ල එදා අඩපණ වුණා. මෙවැනි දේවල් සිදු වන්න බලපාන මූලික කරුණු කිහිපයක් තියෙනවා. ශිල්පීන් උගත් ශිල්පය ගෞරවණීය අන්දමින් සමාජගත කිරීමේ හැකියාවක් ඔවුන්ට ලැබෙනවාද? මොකද අපේ රටේ නිර්මාණ කලාව සාහිත්‍යය තවම සමාජගත වෙලා නෑ. එය ජනතාවගේ හදගැස්ම වෙනුවෙන් භාවිතා කර ගැනීමට තිබෙන නැඹුරුව ඉතාම අල්පයි. දුප්පත්. මේ නිසා කලා නිර්මාණයකට නිශ්චිත පිළිගැනීමක් ලැබෙන්නේ නෑ. ඒ අනුව එහි වටිනාකම සමාජය වෙතින් ගිලිහී යනවා. එහෙම උනාම ඉල්ලුමක් නැති තත්ත්වයට පත් වෙනවා. ඉල්ලුමක් නැති තැන නිර්මාණ පවත්වාගෙන යාම අසීරු වෙනවා. මොකද අපේ රටේ රාජ්‍ය පහසුකම් මේ රටේ කලාව නැංවීම සඳහා යොදවා ගැනීමක් දක්නට නෑ. අඩුම වශයෙන් එදා නොදියුණු කියූ සමාජයක චිත්‍රපටයක් බලා ගෙදර යාමට තිබූ බස් රථය හෝ අද පාරේ දක්නට තියෙනවාද? වෙළඳ පොළක් නොමැති රටක නිර්මාණකරුවා හැමදාම අසරණයෙක්.”

ආලෝචනා – මේ රටේ නිර්මාණකරුවන් නඩත්තු කරන්න ගියොත් ඒ රජය ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ “රාජ්‍ය කරණය” වීම නොවෙයිද?

පරා – “ඉතා නිර්මාණශීලීව හා උපක්‍රමශීලීව ඒ වගේ කටයුතු විසඳාගන්න. අද කලාව නඩත්තු විය යුතුයි. වෙළඳපළක් නොමැතිව එය නඩත්තු වෙන්නේ නෑ. එතැනදී රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වෙනවා. මා ගෙන්නුවා ඊශ්‍රායලයෙන් නාට්‍යකරුවෙක්. අපේ නාට්‍ය කටයුතු ප්‍රවර්ධනය කර ගන්නට. ඔහු “ගිල් ඇලෝන්”. ඔහු කීවේ ඊශ්‍රායලයේ නිර්මාණ කලාවට ඒ රජය පුදුම විදිහට උපකාරී වෙනවා කියලා. ඊශ්‍රායලය කී විට අපිට මතක් වෙන්නේ මැදපෙරදිග බටහිර ගැති ඇමරිකානු හුරතල් රාජ්‍යයක් කියලා. එහෙම නැත්නම් ලෝකයටම යුද ආයුධ සපයන රට වශයෙන්. නමුත් මේ රට ඒ රටේ නිර්මාණකරුවා, නිර්මාණ ක්ෂේත්‍රය නඩත්තු කරවනවා. ඔවුන් ශිල්පීන් දිරිමත් කරවනවා. ඔවුන්ගෙන් නිර්මාණ උදෙසා පූර්ව අනුමැතියක් ගත යුතුයි.”

ආලෝචනා – මෙතැනදී නම් බාධාවක් කරන්නම වෙනවා. එතකොට එයාලගෙන් අනුමැතියක් ගන්න වෙනවා නම් පූර්ව නිෂ්පාදනයේදී අපි කොහොමද නිවහල් නිදහස් ගැලපීමක් ඇති කලා නිර්මාණ බිහි වෙනවා කියන්නේ. ඔවුන් බිහි කරන්නේ ඔවුන්ට අවශ්‍ය නිහඬ හා ගැටුම් අරගල නොමැති එහෙයියන්ගේ නිර්මාණ නොවේද?

පරා – “ඔව් අපිට හිතෙන්නේ එහෙම තමයි ඔබ තවත් පුදුම වෙයි ඔහු කී දේකට. ඔවුන් ශිල්පීන්ගේ අනුමත පිටපත් නිෂ්පාදනයේදී උදව් කොට නිෂ්පාදනය බලන්නට පාසල් දරුවන්ට අනිවාර්ය කරනවා කීවම. ඔහු කීවේ එසේ කරන්නේ ඔවුන්ට අවශ්‍ය දේ බලයෙන් දීමට නොවේලු. එසේ පූර්ව අනුමැතියක් ගත යුතුව ඇත්තේ “RAW POLITICS” මගින් හුදු මානව චින්තනය කැළඹීමට ලක් කිරීමෙන් වළකා ගැනීමටලු. එසේ නොමැතිව තමන්ට අවශ්‍ය දේ පෙන්වා ගන්නට නොවෙයි. මාත් ඔය ප්‍රශ්නය ඔහුට ඉදිරිපත් කළා. නිර්මාණ ශිල්පීන්ගේ එකමුතුවක් තියෙනවාලු. එය වෘත්තීය සංගමයක්. නිර්මාණකරුවන්ට කිසියම් අසාධාරණයක් වුවහොත් ඔවුන් එයට විරුද්ධ නැගී සිටිනවාලු. මෑතකදී එක්තරා ශිල්පියෙකුගේ පිටපතක් ප්‍රතික්ෂේප කිරීම නිසා මාසයක්ම සෙසු ශිල්පීන් සිය නිර්මාණ නවතාලුවාලු. අවසානයේ රජය සිය ස්ථාවරය වෙනස් කර ගෙන ඇත. ඒ අනුව එම සංගමය කළ යුතු හා නොකළ යුතු දේ දන්නා අතර තම නිර්මාණ නිදහසට අතපොවන්නට රජයට ඉඩ දීමක්ද කරන්නේ නැතිලු.”

ආලෝචනා – මා කීවොත් නිර්මාණකරුවා වර්තමානය සමග නැත කියලා. ඔවුන් වර්තමාන තාරුණ්‍යය තවමත් හඳුනාගෙන නෑ. බලන්න ගෝඨාභයගේ මතුවීම සමග වීදි බැහැපු තරුණයෝ නගර අලංකාර කරන්න ආවා. මුඩුබිම් සංවර්ධන කරන්න ආවා. මේවා කළමනාකරණය කරපු නිර්මාණකරුවෝ හෝ පාලකයන් නැති රටක් වුනෙත් එවන් නායකත්වයක් අවබෝධ කර නොගත් නිර්මාණ කලාවක් මේ රටේ තිබෙන නිසා නොවේද?

පරා – “එහෙම වෙන්නේ කලාව සමඟ බැඳුණු සමාජ ජාලාවක් අපේ රටේ නැති නිසා. මේ රටේ සංස්කෘතික ජාලයන් හෝ පිබිදීම් නෑ. නැවතත් ග්‍රාමීය ආර්ථිකය මැරයෝ අතේ ඇත්තේ. නිදහස් ව්‍යසායකත්වයට වෙළඳපොළ හිමිකම නෑ. ඒවා පාලනය කරන්නේ සංවිධානශීලී ණය කාරයෝ, දේශපාලන හෙන්චයියලා. මොවුන් මැරයෝ වෙන්නේ ගැමියාගේ ගොවියාගේ අහිංසකකම දූෂණය කරන නිසා. ඔවුන් එම බලහත්කාරය විසින් මැරකම දියත් කරනවා. අධිකාරීත්වය ඔවුන් සමඟ. මෙහිදී තරුණයන්ගේ මතුවීම සහේතුක හේතු හෝ නිර්මාණශීලී හැඟීම නිසා මතුවූවා කියා මා කියන්නට යන්නේ නෑ. එසේනම් ඔවුන්ගේ නිර්මාණවල මෙයට වඩා නිර්මාණශීලීත්වය තිබිය යුතුයි. එතැන තවමත් යුද්ධය හා වෛරය තිබෙන්නට බෑ. චිත්‍රයක් පිටපත් කළ පමණින් එය සෞන්දර්ය වෙන්නේවත් නිර්මාණයක් වෙන්නේවත් නෑ. එය හදවත් වලින්ම පැන නැගුණා නම් එය රැල්ලක්ව රට පුරා ගොස් බොහෝ යහවාදී දේවල් සිදුවෙන්න තිබුණා.

ඇයි එසේ නොවෙන්නේ? මා කීවා සේම ඒවාට පැවතෙන්නට නඩත්තුවක් නැතිකම නිසා. ඒවා ඒ ඒ මොහොතවලට පමණයි. එහෙත් විදේශ වල එසේ නොවේ. සුදුස්සාට තැන තිබෙනවා. ඒ වගේම නිර්මාණශීලී කලාකරුවාට වෙළෙඳපොළ තියෙනවා. දවාලට නොහැකි මිනිසාට “NIGHT LIFE” එකක් ගත කරන මිනිසාගේ වෙළෙඳපොළ විවර වෙනවා. රටක පාර තොට හැදුණාට වැඩක් නෑ. ගොඩනැගිලි හැදුණාට වැඩක් නෑ. ඒවා පරිශීලනය කරන ජනතාවක් අවශ්‍යයි. ගමේ වැවේ පන් ටික අද මෝරලා ගිහින්. ඒවා පන්කම් කරන්න මෝස්තර ඕනේ. වියන්න අද කවුරුත් නෑ. නඟුලට, පෝරුවට, උළුවස්සට ලියකම් කොටු ශිල්පියා අද නෑ. ජපානයෙ අපේ කරපිංචා කොළයට ඉල්ලුමක් මවලා. ඒත් අපේ රටේ විදේශ විනිමය මවන්නට හැකි මෙවන් සම්ප්‍රදායික නිර්මාණ වැළලී යනවා. වෙස් මුහුණු, කැටයම් කලාව, දේශීය ආහාර පාන, ඖෂධ වර්ග කොතරම් ගෞරවනීය ලෙස විදේශ ආදායම් ඉපයීමේ මාර්ග කරගත හැකිද? අර වීදි බැස තරුණයෝ රට ගැන ජාත්‍යන්තරය ගැන දැනුම්වත් නම් ඔවුන් නේද මේ නිර්ධන ආර්ථිකයේ හිමි කාරයෝ.

අද කෙමෙන් බිහිව යන්නේ බලාපොරොත්තු සුන් වූ සමාජයක්. මේ සමාජයේ මිනිසුන්ගේ හිත්වල ඇතිවන අවකාශය නිසා ඔවුන් හුදෙකලා බවට පත්වෙනවා. අද මේ හිඩැස පුරවාලන්නේ “මත්ද්‍රව්‍ය” මගිනුයි. ඒ නිසා නගරයට වඩා ගම විනාශ වෙලා. ගම පුරාම අද කුඩු ව්‍යාප්ත වෙලා.

කලාව, දේශපාලනය, ආර්ථිකය තිබෙන්නට ඕනෑ මේ වගේ මොහොතක. එහෙත් සිදුවෙමින් පවතින්නේ කුමක්ද? අවදි විය යුතු සමාජය, ජයගත යුතු සමාජය තම තමන් විසින් තමන්ගේ යුතුකම් අමතක කර දැමීමයි.

සංස්කෘතිය කියන්නේ පැරණි දේ ආරක්ෂා කිරීම නොවෙයි. එහෙම උනාම දියුණු වෙන මිනිහගේ හෙට දවසේදී හා හෙට දවසේ බිහිවෙන මිනිසාගේ සංස්කෘතිය ගැන අපි හිතන්නේ නැද්ද? මේ සඳහා සංවර්ධනාත්මක මානව හැසිරීමක් අවශ්‍යයි. සංවර්ධනාත්මක මානව සංවර්ධනය අද අත්‍යවශ්‍යයි. මේක කරන්නට ආර්ථිකයට පමණක් බෑ. ඉන්දියාවේ තාගෝර් කළේ මේකයි.

මේවාට වර්තමාන විශ්වවිද්‍යාල හා පාසල්ද වගකිව යුතුයි. එදා 56න් පසු බිහිවුණු දරුවෝ අපියි. විප්ලවය කියන්නේ එයින් පසු මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් ලියවෙන “ගම්පෙරළිය”, “විරාගය”, ලෙස්ටර් නිර්මාණය කරන “රේඛාව”, සරච්චන්ද්‍රයන් බිහි කරන “මනමේ”, “සිංහබාහු” ඒ වගේම ඔවුන්ගෙන් බිහිවුණු රසිකත්වය. මේවා පේරාදෙණිය විශ්වවිද්‍යාලය හරහා පාසල් හරහා සිදු වුණා. සරසවි තිබුණේ දෙකයි. ගුවන්විදුලි තිබුණේ එකයි. ඒත් අදට වඩා යහපත් රසික පරම්පරාවක් හිටියා. ඔවුන් දැනුම්වත් කිරීමට නිර්මාණශීලී ශිල්පීන් සිටියා. මේක ආපහු හරවන්න බැහැ. ඒත් පැලැස්තර වලිනුත් බැහැ. මේ තත්ත්වය වෙනස් කිරීමට අපි කිසියම් පුනරුදයක් ඇති කළ යුතුයි. මිනිසා ඉන්නා වර්තමාන “ප්‍රවේණි” මානසිකත්වයෙන් මුදා ගත් විට සමාජය විසින් සංස්කෘතික මානව සංවර්ධනය බිහි කරාවි.”

හෝරා කීපයක සාකච්ඡාව නිමා වෙද්දි අපේ නිවස ඉදිරියේ දියවන්නාවේ ඇලේ උදෑසන පටන් මඩේ එරි එරී කුඹුරු මැඩ වූ මීමුන් එකා දෙන්නා ලියදි වලින් එළියට එමින් සිටියහ. මඩ කළ කුඹුරු වලත් ඔවුන්ගේ පිටවලුත් එකම පැහැයක් ගනිමින් තිබුණි. පණුවන් අහුලමින් සිටි කොක්කු රෑනක් එකා පසුපස එකා ඇවිද යන මී මුන්ගෙ පිට උඩ වසමින් ඉදිරියට ගියේ ප්‍රවේශපත් නොමැතිව ගමන් කරන මගීන් මෙනි.

නැගිට සිටිද්දී වටාපිටාව වසාගත් අඳුර ගෙයි පහන් දල්වමින් සිටියේය. අප වෙන්ව යා යුතුය.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත