සර තුනහමාරකින් පමණ මා ඔහු දැක නැත. අවසාන වරට මා ඔහු හමුවුයේ වෙළඳ සංකීරණයේ දීය. ආ ගිය තොරතුරු කතා බහෙන් පසු මගේ දුරකථන අංකය ලියා ඔහු අතේ තැබූ නිසා මම ඔහුගේ අංකය ඉල්ලා නොගත්තෙමි. ඉල්ලා ගත්තා නම් මට ඔහු සමග කතා කරන්නට ඉඩ තිබිණි.
ඔහු වසර කිහිපයක් මා රැකියාව කළ කර්මාන්ත ශාලාවේ වැඩ කළේය. උපතින් මුරුසි පසුබිමක් ඇති ඔහු අඩි පහක් පමණ උසය. මදක් තරබාරුය. රැලි ගැසුණු අපිළිවෙළ කොණ්ඩය බෙල්ල ගාවට දිගට වැටිලාය. බොර පැහැ ඇස් වල ගිලුණු කළුම කළු ඉන්ගිරියාවනුත් අපිළිවෙළට වැවුණු මුහුණ පුරා ඇති රැවුලත් එක් කරන්නේ කුලෑටි පෙනුමකි.
ඔහු නැති සැම තැනම අන් අය ඔහු හැඳින්වූයේ කිළුටු පීටර් කියාය. එහෙම කීම ගැන වරදක් කියන්නටත් නොහැකිය. ඔහු නිට්ටාවටම කිළුටුය. මුහුණ සෝදන -දත් මදින බවක හාන්කවිසියක ලකුණක් වත් ඔහුගෙන් නොපෙනේ. හැමදාම එකම ඇඳුම් කට්ටලය අඳියි. හම ගිය දුර්වර්ණ වූ තොප්පිය මොහොතකට වත් නොගලවයි. අනෙකුන් කිළුටු පීටර් කිව්වේ එබැවිනි.
වැඩපොළේ යන්ත්‍ර සුත්‍ර අංශය බලා ගන්නා නිලධාරියා සති පහක් පමණ විදේශීය රටකට නිවාඩුවට ගියේය. මගේ අංශය ඇරුණු කොට යන්ත්‍ර සුත්‍ර අංශයත් බලා ගන්නට නියම වුයේ මටය. මැෂින් ක්‍රියාකරවන්නෙකු ලෙස මා එහි වසර දෙකක් පමණ සේවය කර ඇති නිසා කළ යුත්තේ කුමක්දැයි සහ කළ යුත්තේ කෙසේදයි යන අවබෝධය තිබුණු නිසා මම ඊට එකඟ වීමි. පළමු දවසේ මුලින්ම මා ලිපි ලේඛන පරීක්ෂා කරන අතරතුර රෂීඩ් මා හමුවෙන්නට ආවේය. ඔහු හොඳ විහිලුකාරයෙකි. කාට හෝ අකරතැබ්බක් හෝ විපිරියාස වැඩක් වුණොත් එහි කෙළවරක රෂීඩ්ගේ සම්බන්ධයක් ඇති බවට අපි කව්රුත් දනිමු.
“ඒයි තුසිත්.. අරූ උඹට බයවෙලා ඉන්නේ. අපි මරු වැඩක් කරමු.”
“කව්ද? මට මොකටද බය වෙන්නේ?”
“කිළුටු පීටර් බං. මිනිහා ඊයෙත් මං එක්ක කිව්වා…උඹ අපේ කෑල්ලට එන බවත්, ඒක එච්චර ගුණ නැති බවත්.”
“යකෝ මට මොකට බය වෙනවද? මං මිනිහ එක්ක කතා කරල තියෙන්නෙත් පොඩ්ඩයි. එකට වැඩ කරලම නැහැනේ.” මම කිවෙමි.
මා කිසිවිටෙක වැඩකරුවන්ට සැර වැර නොකරන්නෙමි. අඩු වශයෙන් උස් හඬින් කතා වත් නොකරමි. නමුත් රැකියාවේ නියමය අනුව ඔවුන් නිතර නිරීක්ෂණය කරමි. ඒ මගේ රැකියාවේ ස්වභාවයයි . මම එය අවංකව කරමි. කවුරුන් හෝ නියමිත වෙලාවට වැඩ අහවර නොකර කල් ගනිද්දී නොවරදවාම ප්‍රශ්න කරමි. එතරම් වෙලා ගන්නට හේතුව සොයා නිවැරැදි කරමි. නැතිනම් කල් ගත්තා වැඩි යැයි අවවාද කරමි. ඒ කරන්නෙත් සිනාමුසු මුහුණෙන් යුතුවය. වැඩපොළේ ලොක්කන් මට “හිනාවෙන ඝාතකයා ” (smiling assassin) කියා විහිලුවට කියන්නෙත් ඉන්දියානු මිතුරු වැඩකරුවන් ඇස් රැසක් ඇති දෙයියෙක් වන “ඉන්ද්‍රා” කියා කියන්නෙත් ඒ නිසාය. කාලය යනු පිරිවැයයි. එය අඩුවෙන් පාවිච්චි කිරීමට මට නියමිතය. අනෙක මැරීගෙන වැඩ නොකොට , නිස්කලංකව අහවර කළ හැකි වැඩ කොටසක් කාටත් ලැබීම වාසියකි. අපේ කර්මාන්ත ශාලාව එහෙම තැනකි. පරක්කු වන්නේ වැඩ නොකර සිටියහොත් පමණි. මෙරටේ බොහෝ කම්හල් වල තත්ත්වය එහෙමය.
“හිටපංකෝ කියන කං. පීටරයා හරියට දේවල් හිතින් හිතාගන්නවා . හිතාගෙන කලබල වෙනවා.. උඹට කරන්න තියෙන්නේ පොඩි දෙයයි.. මං කියනවට කරපං.” රෂීඩ් කීවේය.
“මොකක්ක්ද?” මම ඇසීමි.
“මුකුත් නැහැ. පීටර් ළඟට ගිහින් ඌ වැඩ කරන හැටි බලන් හිටපන්, එච්චරයි.”
“බලන් ඉන්න නම් පුළුවන්. කිළුටු පීටර් ළඟට යන්න නම් බැහැ, ඌ ගඳයි නේ..”
“උඹ කරපංකෝ.. අපි බලාගෙන ඉන්නේ.” රෂීඩ් කීවේය .
පැයකට පමණ පසු එතරම් වැඩක් නොතිබුණ මට රෂීඩ්ගේ අදහස ක්‍රියාවට නංවන්නට හිතක් පහළ විය. පීටර් වැඩ කරන ඇළුමිනියම් කපන විශාල යාන්ත්‍රික කියත ළඟට මම ගියෙමි. ඔහුගේ වැඩය විවිධ වර්ගයේ දිගැති ඇළුමිනියන් කණු නියමිත ප්‍රමාණයේ දිගට නියමිත සංඛ්‍යාවක් කැපීමයි. මේ රාජකාරිය ඔහු අවුරුදු ගණනාවක් කර තිබේ.
මම ඔහුට මීටර තුන හතරක් පිටුපසින් සිටගෙන සිටියෙමි.
විනාඩි 15 ක් ගත වන්නටත් පෙර සියල්ල සිදුවිය. ඔහු අධික ලෙස කලබල වී ඇති හැටියකි. තැති ගත්තාක් මෙනි. ප්‍රමාණය සඳහන් ලියවිල්ල තබා ඇති මේසය මතට ගොස්, එය කියවා යන්ත්‍රය ළඟට එන ඔහුට ගණන මතක නැත. අයෙමත් ගොස් නැවත කියවා ගෙන එයි . ඒ සැරෙත් ඒ වගේය . මනින කෝදුව කීප වරක් බිම දමා ගති. කියත ක්‍රියා කරවීමට ඇවැසි කලම්ප වැඩ කරන බොත්තම ඔබන්නට අමතක වෙයි. එවිට යන්ත්‍රය ක්‍රියාත්මක නොවේ. ආරක්ෂාව සඳහා මේ යන්ත්‍ර ක්‍රියා කරවීමට අත් දෙකෙන්ම එක විට බොත්තම දෙකක් ඔබන්නට තිබේ. ඒ අත් කියත් තල අසල නැති බව තහවුරු වන්නටය. පීටර්ට බොත්තම් දෙක එකවර ඔබා ගත නොහැක. යළි මුල සිට ක්‍රියා කරන්නට සිදුවේ.
මුලින් හිනාවක සේයාවක් මගේ හිතේ තිබුණද විනාඩි 15 ගෙවෙන්නට පෙර මට මා ගැන නොපහන් හැඟීමක් දැනිණ.
හිමිහිට පරිස්සමෙන් වැඩ කරපන් කියා ඔහුට කියා මම නික්ම ගියෙමි. යන ගමන් “යකෝ මේ වගේ අණ්ඩර වැඩ කරන්න එපා” යැයි රෂිඩටත් කීවෙමි.
අනෙත් අංශයට ගොස් ඔහුගේ අදාළ ලේඛන මැෂිමේ යතුරු පුවරුව අසලම තබා ගත හැකි මෙවලමක් ද ගෙන කිළුටු පීටර් ඉන්නා තැනට නැවත ගිය මම එය ඔහුට දී, මෙතෙක් කළ වැඩ ගැන ඔහුට ප්‍රශංසා කළෙමි. උදැසන ආහාරය මා සමග ගන්න ලෙසත් ඉල්ලා සිටියෙමි. කලබල ගතියෙන් මිදුණු නමුත් ඔහු කෑමට නම් අවේ නැත.
පීටර් එවැනි චරිතයකි.
සති කීපයකට පසු වයසක ෆ්‍රෑන්ක් පපුවේ තදවීමක් ගැන පැමිණිලි කළෙන් අපි වහාම ගිලන් රථයට කතා කොට ඔහුට වාඩිවී සිටීමට සැලසුවෙමු. මිනිත්තු කිහිපයකින් ගිලන් රථය පැමිණියේය. සුව සේවකයන් දෙදෙනෙක් වහා ඔහු සයනයේ බාවා ඇවිත් හෘද ක්‍රියාකාරකම් බලන්නට අවැසි දේ කඩිනමින් කළමනාකරණය කරන්නට විය. හදිසියේ මහත් හඬක් නැගුණි. හැරී බැලූ විට දුටුවේ කලාන්ත වී බිම වැටි සිටි පීටර් ය.
ගිලන් රථය දෙදෙනාම කැටුව නික්ම ගිය අයුරු අපි කාගේත් හිනාවට ලක් විය. රථය ආවේ පපුවේ අමාරුකාරයෙක් ගෙනයන්නය. දැන් ෆ්‍රෑන්ක් රථයේ පිටුපස අසුනේ හිඳගෙන සිනා මුහුණින් සිටියි. රථයේ ඇති ඇඳේ තවමත් සිහිය ආවේ නැති පීටර්ය. ෆ්‍රෑන්ක්ට තිබුණේ පපුවේ අමාරුවක් නොවේ.
පීටර් ට හැම දේම ළඟ ළඟම දෙසැරයක් කියන ගතියක් තිබිණ. කාලද කියා ඇසුවොත්. තාම නැහැ… තාම නැහැ… කන්න යන්න ඉන්නේ..කන්න යන්න ඉන්නේ.. කියා උත්තර ලැබෙනු ඇත. ඒ වන විට මා සමග මිතුරු වී සිටි ඔහුගේ දෙවරක් කීම මට හුරුවී තිබිණි.
මේ කාලයේ ඔහුගේ තාත්තාට ලොතරැයියකින් ඩොලර් ලක්ෂ ගණනක් දිනුම් ඇදුණි. ඔහු ඉන් අඩක් තම දරුවන් තිදෙනා අතරේ බෙදා දුනි. පීටර් ගේ කොටස දෙතුන් ලක්ෂයක් විය. මම දිනක් සල්ලි කොහෙද කියා විමසුවෙමි. බැංකුවේ ..බැංකුවේ… ලොකු ගණනක්… ලොකු ගණනක්… කාර් එකක් ගන්නවා…කාර් එකක්.. හොඳ ටෝයියෙක් ගන්නේ.. හොඳ ටෝයියෙක්. ගත්තම ..ගත්තම.. උඹටත් එලවන්න දෙනවා …එලවන්න දෙනවා… ඔහු පිළිතුරු දිනි. සැබවින්ම සති කිහිපයකින් ඔහු නවීන රථයක් මිලදී ගත් අතර එය රවුමක් පැදීමට මට බල කළේය. මම කර්මාන්ත ශාලාව වටා රථය රවුමක් පැදවීමි. රථයෙන් බැස නැවත යතුර ඔහුට දුන් විට, ඕනෑ වෙලාවක ඉල්ලාපන්..ඕනෑ වෙලාවක .. මන් දෙන්නම් උඹට.. මන් දෙන්නම් කීය .
ඔහුගේ අක්කා වැඩ කලේ නගරයේ කැඩ්බරි චොකලට් කම්හළේය. තනිව අසුරා ඇති කුඩා චොකලට් පීටර්ගේ අක්කාට කම්හලෙන් නොමිලේ වරින්වර ලැබෙයි. සිලි සිලි මල්ලක් පුරවා ඒවා ගෙන ඔහු අප හැම ළඟට එයි. ගනින්.. ගනින්..කාපන් ..කාපන් …. කියා කාටත් කියයි. මා සොයා නොවැරැදීම එයි. මම කැබැල්ලක් දෙකක් ගත් විට ඔහුගේ හිතට හරි මදිය. තව ගනින්.. තව ගනින් කියමින් පෙරෙත්ත කරයි. සීනි කෑම මට අගුණ බව කී විට බබාලට..බබාලට.. අරන් පලයන්. බබාලා චොකලට් වලට කැමතියි ..කැමතියි..කියමින් මා අසල රැඳේ.
වැඩ අඩුවී සේවක කප්පාදුවක් කළ හෙයින් පීටර්ට රැකියාව අහිමි වී ගියේය.. එදිනෙදා වැඩ අතර ඔහු පිළිබඳ මතකයත් හිතේ අහුමුල්ලකට ගාල් විය.
මා හිටියේ වෙළඳ සංකීරණයේ පාන් කඩය ළඟය, පෝලිමේ මට කලින් හිටියේ රෝද පුටුවක් තල්ලු කළ ගැහැනියෙකි. ඔවුන් අදාළ දේ මිලට ගෙන රෝද පුටුව ආපසු හරවා ගන්නට තැත් කරන කල මම පසෙකට වී ඉඩ දුනිමි.
තුසී ..තුසී… උඹට මාව මතකද?.. මතකද?.. මම වහා එදෙස බැලීමි. රෝද පුටුවේ වාඩි වී ඉන්නේ අපේ කතා නායකයා වන කිළුටු පීටර්ය.
කෙදිනකව වත් නොදුටු ලෙස මම ඔහු දැකීමි. මුහුණ පුරා වැඩුණු අපිළිවෙළ රැවුල නැත. මනා සේ කොට කර කැපු උඩු රැවුල මේ දැන් අද උදේ කැපූ හැටියකි. පරණ හම ගිය තොප්පියෙන් වැසුණු කිළිටි දිග කෙස් වැටිය වෙනුවට බාබර් කෙනෙකුගේ හොඳ සාත්තුවක් ලැබී ඇතැයි දුටු ගමන් කිව හැකි ලස්සනට කොටට කපා පස්සට පීරූ කොණ්ඩයකි. පීටර් කවදාවත් නො ඇඳ සිටි තරමට ඇඳුම් පවිත්‍රය. සෝදා මදින ලද කලිසමකින්ද කපු වලින් ගෙතූ ස්වෙටරයකින් ද ඊට උඩින් පැලඳ සිටි උණුහුම් කබායකින්ද ඔහු සැරසී සිටී. කිළිටි ගතියක් අහලකවත් නැත. හැබයි පීටර් රෝද පුටුවේය.
“මේ මොකද ?..රෝද පුටුවක? මට ඇසුණේ නිතැතිනි.
“මට මෝටර් නියුරෝන් හැදුණ තුසිත්…දැන් කකුල් වැඩ කරන්නේ නැහැ… කකුල් වැඩ කරන්නේ නැහැ..
මම කම්පාවට පත්වීමි. මගේ තොල කට වේලිණි … දිවේ වචන හිරවිණි.
මගේ ගුරුවරයාට මේ රෝගය වැළඳුණු පසුව Mitch Albom ලියු “Tuesdays With Morries” පොත කියවා තිබූ මට දැනුණේ කිව නොහැකි තරම් කම්පනයකි. බිඳෙන් බිඳ ශරීර මාංශ අක්‍රිය වෙන මේ රෝගය ගැන මම බොහෝ දේ දනිමි.
පීටර් දොඩමළු වෙයි.
“අවුලක් නැහැ… අවුලක් නැහැ… ඔක්කොම හොඳයි …ඔක්කොම හොඳයි … මේ මගේ උදව්කාරය .. උදව්කාරයා .. මාව බලගන්නවා..බලා ගන්නවා.. නාවනවා…නාවනවා… උයනවා..උයනවා.. කන්න දෙනවා..කන්න දෙනවා..ගෙදර..ගෙදර..අස් කරනවා….කරනවා… ඔක්කොම.. ඔක්කොම…”
හේ දොඩමළු වෙයි..
මේ රටේ ඇති ඇති සෞඛ්‍ය ක්‍රමවේදය අනුව, ඇවිද ගත නොහැකි ඔහුට ගෙදර දී ලැබිය යුතු සියලු ආවරණ ලැබෙන සෙයකි.
“මට අවරුදු දෙකයි..අවරුදු දෙකයි දීල තියෙන්නේ… උඹ දන්නවද? දන්නවද? ප්‍රොෆෙසර් කෙනෙක් හිටිය..ස්ටීවන් හෝකින්ස්… ස්ටීවන් හෝකින්ස්… කියල.. මිනිහ.. මිනිහ.. අවරුදු 50ක් හිටිය… 50ක් හිටිය.. බය වන්න එපා ..එපා… මමත් ඉන්නවා.. මමත් ඉන්නවා…”
මගේ ඇස් කඳුලින් පිරිණි. බලෙන් නවත්වා ගත ගත් කඳුළු අතරින්. මම බොහෝ වෙලා ඔහු සමග සල්ලාපයේ යෙදුණෙමි.
නිතර මට කතා කරන බවට පොරොන්දුවක් ගෙන මගේ දුරකථන අංකය ඔහුගේ අත තැබීමි. ඔහුගේ උදව්කාරියගෙනුත් ඔහුව හොඳින් බල ගන්නා ලෙසටත් උවමනා ඕනෑම වෙලාවක මා අමතන ලෙසත් දැන්වීමි.
දැන් වසර තුන හමාරකට වඩා ගෙවී ගොස්ය. අද වන තුරුත් එදා ඉතා පිරිසිදුවට සිටි කිළුටු පීටර් ගැන මම හාන්කවිසියක් වත් නොදනිමි. දුරකථනයෙන් කිසිදා හේ මා ඇමතුවේ නැත. ඔහුගේ අංකය මම ඉල්ලා ගත්තා නම් මට ඔහුට කතා කරන්නට හැකියාව තිබුණා නොවේදැයි නිතොර දෙවේලේ මට සිහිපත් වේ.