චිත්‍රපටකාරයෝ ඇවිත් ඉන්නේ අලි පස්සෙන් ද?

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
Alochana-Covid-19-Corona-Siyathu-Film-Producers

චිත්‍රපටකාරයෝ ඇවිත් ඉන්නේ අලි පස්සෙන් ද?

කොරෝනා වසංගතය නැවත හිස එසැවීම නිසා ජනතාව ගැවසෙන තැන් තහනම් කළා. උත්සව, ප්‍රිය සම්භාෂණ, විනෝදාත්මක සංදර්ශන, නාට්‍ය, චිත්‍රපට වලට තාවකාලික තහනමක් පැනවූ බවයි සමාජය තේරුම් ගත්තේ.

මෙහිදී එක් එක් කාණ්ඩ අළලා වෙන වෙනම නිවේදන නිකුත් වීමක් සිදු වුණේ නෑ. එහෙම අවශ්‍ය උනෙත් නෑ. පවතින තත්ත්වය යටතේ රෝගීන් අතනින් මෙතනින් මතු වෙද්දී එය පැතිරීම වැළැක්වීම සඳහා කැපකිරීම් කිරීම සෑම සියලු දෙනාගේම වගකීමක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

චිත්‍රපට නරඹන්න සෙනග පොදි කන්නේ නැති බව සැබැයි. සමහර ශාලාවල මැස්සො ඉහිරෙන ගානයි. ඒකට ලොකු හේතුවක් තමයි, ඔය බඩකඩෙත්තු බලන්න කාලයත් මුදලුත් නාස්ති කරන්න සූදානම් රසික පිරිසක් නැති එක. දැන් සිංහල සිනමාව යන්නෙ ආපස්සට. කිසිම නිර්මාණශීලී දස්කමක් නැති අධ්‍යක්ෂකවරු යයි කියාගන්නා හා තමන්ම හිතාගන්නා පිරිසක්, කොටින්ම සිනමා මාධ්‍ය හඳුනන්නේවත් නැති උන්දැලා හදන බඩකඩෙත්තු චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට නොයෙන එක ගැන පුදුම වෙන්න දේකුත් නෑ.

ඉඳහිට අතරින්පතර චිත්‍රපටකරණයේ නියැලෙන දක්ෂයින් මතු වුණත් ඔවුන් යටපත් කොට නැගී සිටින්නේ මුලින් කී කබ්බෝ තමයි. චිත්‍රපට බෙදා හැරීමේ, ප්‍රදර්ශනයේ නිසි ක්‍රමවේදයක් නැති තැනදක්ෂයින්ට සිද්ධ වෙලා තියෙන්නේ ගැප් රිලීස්(Gap Release) ක්‍රමයට අතරින් පතර තමන්ගේ චිත්‍රපට දර්ශනය පෙන්වීමේ නපුංසක ක්‍රමවේදයට අවනත වෙන්නයි.

ඒ අතර අවුරුදු ගණනාවක් තිස්සේ නිර්මාණය කළ චිත්‍රපටය හමස් පෙට්ටියේ තබාගෙන ප්‍රදර්ශන වාරයක් ලබාගන්න ඉඩක් නැතිව අපේක්ෂාභංගත්වයට පත්වන අධ්‍යක්ෂකවරුන් කොතෙක්ද?

එක් අතකට මේ ගැන පුදුම වෙන්න දේකුත් නෑ. චිත්‍රපට සංස්ථාව නමැති සුදු අලියගෙ ප්‍රධානියා වන තුන්වෙනි හෝ හතරවෙනි වතාවට ද කොහෙද නැවත පත් වී සිටින සභාපතිවරයා පසුගිය සතියේ “සරසවිය” සිනමා පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් මෙහෙම කියනවා.

“ඇත්තටම ඕනෑම සිනමා නිර්මාණයක පොඩි ජවනිකාවක් හරි ප්‍රහසනය තියෙන්න ඕනෑ. නැතිනම් කම්මැලියි නේ.. මම ඒ කාලේ ටිකක් වැඩියෙන් විහිළු කරන කෙනෙක්. චිත්‍රපටයේ මොනවා හරි විහිළුවක් නැත්නම් මම හෝල් එකේ හැමෝටම ඇහෙන්න විහිළු කරනවා. එක දවසක් මම එහෙම විහිළු දෙක තුනක් කරද්දි පිටිපස්සෙන් හිටපු කට්ටියක් කිව්ව සද්ද නැතුව ඉන්න කියලා. ඒත් අපි ඕවා අහනවද? දිගටම විහිළු කළා..”

මේ වගේ විහිළුකාරයෙක් සභාපතිකම දරන චිත්‍රපට සංස්ථාව යටතේ පාලනය වන සිංහල සිනමාවට ‘අබ සරණයි’ කියන්නයි සිද්ධවෙන්නේ. ඒ අල්ල පනල්ලේ එයාටම ගැලපෙන විහිළුකාරයෙක් තමා චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති වෙලා ඉන්නෙත්.

මේ තරම් විපතක් වෙලා තියෙද්දී උන්නැහේ මෙහෙම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා. “පළමුව කියන්න ඕන චිත්‍රපට ශාලා වහලා නෑ. ඒක සාවද්‍ය ප්‍රකාශයක්. අපිට එහෙම දැනුම් දීමක් කරල නෑ. ශාලා වහන්න එපා පවත්වාගෙන යන්න කියලා අපි අවශ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නා.”

ඒ මදිවට මේ හාදයා මෙහෙමත් කියලා. ඇත්තටමද පොරටෝක්ද දන්නෙ නෑ. “පසුගිය සතිය වන විට ඉහළ ප්‍රේක්ෂකයෝ සංඛ්‍යාවක් ශාලාවලට ආවා. හොඳ කලෙක්ෂන් එකකුත් තිබුණා..” ඒ කතාවෙන්ම වැඩේ අවුල්. ඉහළ ප්‍රේක්ෂකයෝ සංඛ්‍යාවක් ආවා නම් කොහොමත් දුරස්ථභාවය තියාගන්න බෑනේ. අඩුම ගානේ අඳෝනාව කිව්ව නං “අයියෝ..චිත්‍රපට බලන්න සෙනඟ එන්නෙ නෑ. හෝල් වල මැස්සො ඉහිරනවා. එක ෂෝ එකකට වෙලාවකට එන්නෙ හතර පස් දෙනයි. ඒ හංදා චිත්‍රපට ශාලා ඇරල තියන්න.” කියල ඒක වෙනම ඉල්ලීමක්.

මේ පුබ්බඩ කතාව පත්තරේ පළ වුණ දවසේම සවස් වෙනකොට චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා (ආණ්ඩුවේ නියෝජිතයා) නිල නිවේදනයක් නිකුත් කළා “ඔක්තෝබර් 31 වන තුරු සියලු සිනමා ශාලා වසා දමනු” කියලා.

මදැයි කොලා.

රටේ පොදු නීතියට හා අවදානම් තත්ත්වයට අවනත නොවී චිත්‍රපට පෙන්නන්න නියෝග කරපු චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපතිගෙන් අපිට අහන්න වෙන්නේ “චිත්‍රපටකාරයෝ ඇවිත් ඉන්නේ අලි පස්සෙන් ද” කියලා තමයි.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත