දිනක් නගරයේ සුපිරි වෙළඳ සංකීරණයේ කිසිවක් මිලදී ගන්නට මම ඇවිද යමින් සිටියෙමි, උස මහත මගේ වයසේ වගේ සුද්දෙකු හදිසියේ මාව නතර කරවීය.
සමාවෙන්න ….. මට මිනිත්තුවක් කතා කරන්න පුලුවන්ද ? හේ විමසීය . මම පුළුවන් බව කීවෙමි.
උඹට මාව මතකද?
කිසිම මතකයක් සමග නොගැටෙන මුහුණක් නිසා අවංකවම උඹව මතක නැහැ,,, මාව දන්නවද කියා ඇසුවෙමි.
මම උඹව දන්නේ නැහැ.. එත් අවරුදු ගණනාවකට ඉස්සර, යට තට්ටුවේ මැක්ඩොනල්ඩ්ස් එකේදී උඹ මගේ දුවට තෑග්ගක් දුන්නා.. ඒක උඹට මතකද?
මම අන්ද-මන්ද වී ගියෙමි. මට ඒ සිද්ධිය මතකය. අඩුම ගණනේ අවරුදු අටකටත් පෙරාතුවය….. මේ කතාව කියන්න වෙන්නේ එතැන් සිටය.
ජීවිතයේ දුන් තෑගි වලට වඩා තෑගි ලැබුණු වාසනාවන්තයන් අතරින් මමත් එකෙක්මි. මගේ 10 වැනි උපන්දිනයට කැමරාවකුත් , A ලෙවල් කරන්නට පන්ති යන්නට ට්‍රේල් වර්ගයේ මෝට බයිසිකලයකුත් අරන් දුන්නේ ආදරණීය තාත්තාය. ඒ මිල අධික තෑගි අතරේ හිතින් කවදාවත් අමතක නොවන වෙනත් තෑගි තිබේ.
අප අතර සිට STF සේවයේදී මියගිය දමයන්ත පළවෙනි පඩියෙන් මට ගෙනාවේ ටී ෂර්ට් එකකි. ඔහුගේ මරණය ආරංචි වෙනවිටත් මා ඇඳ සිටියේ එයයි.
වංචනික රට යවන්නෙකුට හසුව ණය වී සිංගප්පුරුවේ රැකියාවකට ගොස් අතරමංව විදී ගානේ කල් ගෙවා ලංකාවට ආ හේමන්ත මට ටී ෂර්ට් එකක් ගෙනවිත් දිනි.
ඒ දෙකම මගේ ඇදුම් අල්මාරියේ කොනක අදටත් සුරැකිව, නො ඇඳ තබා ගෙන ඇත්තේ මතක ඒ තරම් සුන්දර බැවිනි. තවත් තෑග්ගක් තිබේ. මගේ විවාහ මගුලට ආ අයිවන් තෑග්ගක් ගන්නට සල්ලි නැති හංදා වෙරළෙන් ඇහිඳි සිප්පි කටු දෙකක්, පුංචි පෙට්ටියක ලා ලස්සන කවියක් සමග මගේ බිරිඳ රුචිරාට දුන්නේය. ඇගේ ආබරණ පෙට්ටියේ එය තවම තිබේ.
මේ නාඳුනන මිනිසා කියන දවස මට මතකය. එය බ්‍රහස්පතින්දාවකි. අපේ පඩි දවසයි. ළමා සුරැකුම් ගෙදරින් දුව ගත් මා ඇගෙන් මොනවද ඕනෑ යැයි ඇසීමි. ඒ හැම පඩි දවසේම සාමාන්‍ය චර්යාවයි. සුපුරුදු ලෙසම ඇයට මැක්ඩොනල්ඩ් කන්නට ඕනෑ බවත් සඟරාවක් මිලට ගන්නට හැකිද කියාත් මගෙන් ඇසුවාය.
මේ සඟරා මේ රටේ සුලබ වෙළඳ උපක්‍රමයකි. ඒ්වා අදාළ වයස් වලට අනුකුලව වේ. වෙනම සඟරා වර්ග මහා ගොඩකි. ඒය ඒ ඒ වයස් රුචිය අනුව ලියවිලිත්, පෝස්ටරුත්, තවත් කුඩා සෙල්ලම් බඩුත් බහා තිබෙන මල්ලක් වැනි දෙයකි .
අපි වෙළඳ සංකීර්ණයට ගියෙමු. උඩ මාළයේ වූ පොත් සාප්පුවේ බොහෝ වෙලාවක් ගත කළ ඈ අවශ්‍ය සඟරාව තෝරා ගත්තාය. ඇයත් සමග මමත් ඒ සඟරා අතරේ කාලය ගෙවුයෙමි. ඉන් පසු අපි අහර පිණිස පහළ මාළයට ගියෙමු. හැමදා වගේම සෙනඟ අධිකය. ඇයට ඕනෑ වූ මැක්ඩොනල්ඩ් ලබා ගත් අපි අසුන් ගන්නට තැනක් සෙවීමු. එකම මේසයක ආසන හතරෙන් දෙකක පියෙකු සහ මුතූ ගේ වයසේම වාගේ දැරියක වාඩි වී සිටියහ.
අපිට මෙතන වාඩි වෙන්න පුලුවන්ද? කමක් නැද්ද? මම තාත්තාගෙන් විමසීමි.
ආ ඔව්… ඔව්… කිසි ප්‍රශ්නයක් නැහැ.. හේ පැවසීය. අපි අසුන් ගතිමු.
දුවට කෑම අමතකය. මුළු හිතම සඟරාව සමග ලැබුණු කුඩා සෙල්ලම් බඩු වලටය.
මම අනෙත් දැරිය දෙස බැලීමි. ඇය Down’s syndrome වැන්නකින් පෙළෙන කුඩා දැරියකි. ක්‍රියාකාරීකම් හිමිහිටිය. දුව කවරයෙන් එළියට අදින සෙල්ලම් බඩු කෙරෙහි අගේ දෙනෙතත් මනසත් ඇලලී ගිය සැටියකි.
ඔයත් මේවට ආසද ? අපි සෙල්ලම කරමුද කියා මගේ දුව ඇසීය. දෙදෙනා මොහොතින් යහළු වී ඒවා බලමින් සතුටු වන්නට විය. ඇගේ අවධානය වඩාත්ම යොමු වූයේ එකල අතිශය ජනප්‍රිය වී තිබූ ෆ්රෝසන් කුමරිකාවකටය . ඒ ඩිස්නි පින්තුරයක එන චරිතයකි.
දැරියගේ රෝගී ස්වරුපය නිසා මම නිහඬව තාත්තා සමග කතා නොකරම සිටියෙමි.
දුවගේ කෑම අහවර වූ පසු මුතු ඇයගෙන් සමුගත් පසු, අපි ඉහළ මාළයේ රථ ගාලට යන්නට ගියෙමු.
පොත් සාප්පුව අසලදී අදටත් නොතේරෙන හැඟීමක් නිසා මගේ දෙපය නතර වුණි. අපි නැවත පොත් සාප්පුවට ගියෙමු.
අර ෆ්රෝසන් කුමාරිය ඉන්නා ඩිස්නි චිත්‍රපටය සඳහා වෙනමම පිළියෙල කළ සඟරාවක් විකුණන්නට ඒ සාප්පුවේ තිබෙනු මම කලින් වතාවේ දුටිමි. එය මිලෙන් අධිකය. මම එකක් මිලදී ගතිමි.
මටද ? මුතුගෙ මුහුණේ හිනා රැල්ලකි.
නැහැ පුතේ… ඔයාට ඕන නම් මම ලබන සතියේ එකක් අරන් දෙන්නම්. මේක හනික අරන් ගිහින් අර මෙසේ හිටි යාළුවට දීල එන්න.
ඒ දැරියගේ ඇති විශේෂත්වය දැක තිබූ මුතු මට එපා…. මන් මේක එයාට දීල එන්නම්… කියා කඩිනමින් පඩිපෙලේ පහළට දිව ගියාය. ඉන්පසු අපි ගෙදර ආවෙමු.
කලකට පසු මා නවත්වා කතා කරන්නේ ඒ තාත්තාය,
ඔව් මට මතකයි මම කීවෙමි.
උඹට ස්තූති කරන්නවත් බැරුව ගියා. එදා ඉඳල හැමදාම බඩු ගන්න ආවම මම උඹ ඉන්නවද කියල සොයනවා. මට උඹේ මූණ මතකයි. මම ඒක මතක තියාගෙන හිටියේ. අද තමයි උඹව ආයේ දැක්කේ. වසර අටක්වත් ඔහු විවිධ මුහුණු අස්සේ මගේ මුහුණ සොයන්නට ඇත.
උඹට ස්තූතියි. මගේ කෙල්ල එදා කවදාවත්ම නැති තරමට සන්තෝෂ වුණා, එදා ඇගේ උපන්දිනේ. මම අරන් දෙන්න හිටියෙත් ඒ දේම තමයි . උඹ හොඳ මිනිහෙක්. උඹට හොඳක්ම වෙන්න ඕන. හේ මා වැළඳ ගති.
දුවට කොහොමද? මම ඇසීමි.
විශේෂ පාසලක යනවා, හොඳින් සතුටෙන් ඉන්නවා.. මමත් බිරිඳත් ඇයට පණ වගේ අදරෙයි.
අපි වෙන්ව ගියෙමු.
මා මෙතෙක් කෙනෙකුට දුන් හොඳම තෑග්ග ඒ සඟරාව කියා අදටත් මට සිතේ.
තුසිත් රවීන්ද්‍ර අබේනායක
මෙල්බර්න් සිට
++++++++++++++++++++++++++++++++++++++++
කැන්ගරු දේශයේ මෙල්බර්න් නුවර වාසය කරන තුසිත් රවීන්ද්‍ර අබේනායක එරට සිංහල ප්‍රජාව අතර නමක් දිනූ විවිධ කලා කටයුතු වලට සම්බන්ධ දක්ෂ ලේඛකයෙකි.
වසර ගණනාවක් තුළ ඕස්ට්ට්‍රේලියාවේ ජීවත් වෙමින් මෙන්ම මෙරටදීද ලද සොඳුරු අත්දැකීම් තුසිත් “ආලෝචනා” පාඨකයින් සමඟ බෙදාගන්නට සූදානම්ය. මේ එවන් ලිපි මාලාවක පළමුවැන්නයි.