බෑ කියලා බෑ… CO ගෙ ඕඩර්ස්…

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
Anchor-alochana-column

මාස දෙකක් පමණ කොළඹ රැඳී සිටිමින් නැව් තටාකාංගනයේ දී නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සම්පූර්ණ කළ “එඩිතර” නෞකාව නැවතත් උතුරු මුහුදේ ආවේක්ෂණ කලාපය බලා දියත් කළා. මේ උතුරේ කොටි සංවිධානය නැවතත් ක්‍රියාත්මක වෙන්නට පටන් ගනිමින් තිබූ අවධියයි. මුහුදු කොටින්ගේ පාවෙන බෝම්බ (floating bombs) පිළිබඳ භීතිකාවද මතු වුණා.

 ඒ වන විට මා වැඩමුරයකදී එන්ජින් කාමරයේ රාජකාරි භාර ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පුහුණුව ලබා තිබුණා. දවස පැය හතරේ වැඩමුර වලට වෙන් කළේ අධික උෂ්ණත්වයෙන් යුතු එන්ජින් කාමරයේ එත දිගට ඊට වඩා කාලයක් රැඳී සිටීම අපහසු නිසයි.

නිරන්තරයෙන් එක් එක් යන්ත්‍රෝපකරණ වල විවිධ දත්ත ලබා ගෙන සටහන් කළ යුතු වුණා. විශේෂයෙන් පීඩන හා උෂ්ණත්ව මීටර දෙස ඇස ගසා සිටීම අත්‍යවශ්‍යයයි.  එමෙන්ම නුහුරු ශබ්ද ඇති වන්නේද යන්න පිළිබඳත් කන් යොමා සිටීම අවශ්‍ය වුණා. ඒ සඳහා නිරන්තරයෙන් එන්ජින් කාමරය වටා ඇවිද යන්නට සිදු වුණා. එය විශාල වගකීමක්. නැවක් නිරුපද්‍රිතව sail කරනවා යනු තාක්ෂණිකව බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතු කාරණයක්.

ඒ සඳහා විවිධ තරාතිරම් වල නැවියන් අනුයුක්ත කොට සිටියා. ඉංජිනේරු අංශයට සම්බන්ධ ආර්ටිෆයිසර් (Artificer) කෙනෙකු, සුළු නිලධාරී (Petty Officer) කෙනෙකු හෝ නායක නැවි (Leading Seaman) කෙනෙකුට අමතරව ඉන්ජිනේරු හා විදුලි කාර්මිකයෙකුද මේ වැඩමුරයකට නම් කෙරුණා. ඒ අතරට පුහුණු වන නැවියන්ද වූවා. රාජකාරි වැඩමුරයේදී තේ පානයට හෝ එන්ජින් කාමරයට සම්බන්ධ තට්ටු දෙකෙන් පහළට නොයන්නට අප වග බලා ගත්තා. තේ රාජකාරි ස්ථානයටම ලැබුණා. ඒ සඳහා වැඩමුරයේ සිටින කණිෂ්ඨයෙකු යොදා ගත්තේ අන් කිසිවෙකුටත් එන්ජින් කාමරයට යන්නට අවසර නොතිබූ නිසයි. ඒ අනුව එන්ජින් කාමරයට ඇතුළු වීමට යොදා ගන්නා බිම් ගෙයක් වැනි පටු කොරිඩෝරය හරහා නොයන්නට රාජකාරියට යොදා නැති කිසිවෙකුත් උත්සහ කළේ නැහැ. එන්ජින් කාමරය යනු එක්තරා ආකාරයකට දෙවොලක් ලෙස හඳුන්වන්නට මා මැලි වන්නේ නැහැ.

දීර්ඝ කාලයක් මුහුදේ ගත කරන නාවික දිවිය එක්තරා ආකාරයකට ඒකාකාරි වන්නා සේම තවත් ආකාරයකට මොහොතින් මොහොත වෙනස් අත්දැකීම් ලැබෙන එකක් බව කිව හැකියි. විශේෂයෙන් කොටි ක්‍රියාකාරකම් හේතුවෙන් වූ අනාරක්ෂිත බව නිසා ඒකාකාරිත්වය තුරන් වුණා. ආරක්ෂක වළල්ලේ රඳවා ඇති කුඩා නෞකා හා බෝට්ටු මව් නෞකාවක් වූ “එඩිතර” වෙත නිරන්තරයෙන් පැමීණීමත් සමඟ වෙනත් පිරිස් සමඟ කටයුතු කරන්නට ලැබීමත් දවස අලුත් කරන්නට සමත් වුණා.

කුඩා නෞකා හා බෝට්ටු පැමිණ Alongside  රැඳවූයේ හිඟව ඇති පානීය ජලය, ආහාර හා තෙල් ලබා ගැනීමටත්, නිලධාරීන්ට ස්නානය කොට කිසියම් විවේකයක් ලබා ගැනීමටත් එක්කයි. කුඩා නැව් හා බෝට්ටු වල ගබඩා පහසුකම් අවම නිසා “එඩිතර” වැනි මව් නෞකා කිහිපයක් ආවේක්ෂණ කලාපයේ රැඳවූයේ එවන් සේවා සඳහායි. රාත්‍රී මුර සංචාරය කරමින් සතුරු බෝට්ටු ගැන රේඩාර් යන්ත්‍රය මගින් විමසිලිමත් වී ඒ වෙත ප්‍රහාරක යාත්‍රා යොමු කිරීමත් තවත් රාජකාරියක් වුණා.


radar display
නැවක භාවිතා වන රේඩාර් තිරයක්


 

රේඩාර් තිරයෙන් දකින කුඩා ආලෝක පුංජ දෙස ඇස ගසාගෙන සිට ඒවා නිසල වස්තූන්ද, මාළු බෝට්ටුද, හොරබඩු වල්ලම්ද, කොටි ප්‍රහාරක යාත්‍රාද යන්න අනුමාන කිරීමට විශේෂඥ දැනුමක් අවශ්‍ය වුණා. මට ඒ දැනුම ලබා ගන්නට කෙටි කාලයක් ගත වුණත් නැවේ කපිතාන් ලෙස කටයුතු කළ කොමාන්ඩර් රසීක් මෙන්ම විධායක නිලධාරී ලෙස කටයුතු කළ ලුතිනන් කොමාන්ඩර් ජයනාත් කොළඹගේ මට ඒ සඳහා අවකාශ ලබා දුන්නේ එන්ජින් කාමරයේ වැඩමුර නැති අවස්ථාවල පාලක මැදිරියට ගෙන්වාගෙන රේඩාර් යන්ත්‍රය නිරීක්ෂණය කිරීමේ රාජකාරිය බාර දීමෙනුයි.

දවල් දවස ගැඹුරු මුහුද මෙන්ම යුද ක්‍රියාකාරිත්වයද කිසියම් නිශ්චල බවක් ඉසිලුවා. සමහර කුඩා බෝට්ටු අනවසරයෙන් මාළු අල්ලන්නට දේශ සීමාව පසු කොට ආ ඉන්දීය ධීවරයින්ගෙන් ලැබුණු ඉස්සන්, දැල්ලන් වැනි මාළු වර්ග අපටත් ගෙනත් දුන්නා. වැරදීමෙන් දේශ සීමා පසු කොට පැමිණෙන ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට නොගෙන පළවා හැරියේ ඔවුන් ඇල්ලූ මාළු කොටසක් ලබා ගෙන ඊට හිලව්වට පිටි, සීනි වැනි ආහාර දුව්‍ය ලබා දීමෙනුයි. ඒ ආහාර ඔවුන්ට ඉතා වටිනා දේ වුණා. (Gun Boat එකක රාජකාරි කරද්දී ඒ ගැන ලද අත්දැකීම් පසුවට.)

මෙසේ ලද ඉස්සන්, දැල්ලන් නැවේ ඩෙක් එකේ අතුරා වේලා ගත්තා. ඒ නිසා  රාත්‍රී සෝමපානයේදී අවශ්‍ය කටගැස්මෙන් හිඟයක් ඇති වූයේ නැහැ. ඒ වගේම සමහර නෞකාවල ප්‍රධානීන් ඩෙල්ෆ්ට් දූපතට බෝට්ටු යවා නිදැල්ලේ ජීවත් වෙන එළුවන් අල්ලාගෙන මස් කළා.

ඒ සඳහා එකල ප්‍රසිද්ධියක් ඉසිලුවේ එවකට “වික්‍රම” නෞකාවේ කපිතාන්ව සිටි කොමාන්ඩර් අමරවීරයි. ඔහු එකල දකුණේ ඇමතිවරයෙකු වූ අමරවීරගේ සහෝදරයායි. ඔහු එළුවන් මැරීමට තම සෙබළුන් ඩෙල්ෆ්ට් දූපතට යැවීම ගැන නම් දරා තිබුණා. වතාවක් එසේ ගිය නාවික සෙබළුන් මන්ද ගසා එළුවන් අල්ලා ගත්තත් ඒ සතුන් බෑ…බෑ.. කියමින් පස්සට අදින්නට පටන් ගෙන තියෙනවා. කොහොමත් එළුවන් එහෙමනේ.

එවිට සෙබළෙක් කිව්වාලු…”එළුවෝ..බෑ..කියලා බෑ.. මේ  C.O.  ගේ ඕඩර්ස්…”

C.O. ලෙස හැඳින්වූයේ කොමාන්ඩින්ග් ඔෆිසර් යි. Commanding Officer  කෙටියෙන් හැඳින්වූයේ C.O. යනුවෙනුයි. නැවේ කපිතාන් තමයි කොමාන්ඩින්ග් ඔෆිසර් වූයේ.

සෙස්ස පස්සට…

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත