සිදුහත් බෝසතුන්ගේ ධර්ම ගවේශණය (තෙවන කොටස)

the-dhamma-exploration-of-siduhath-bodhisatta

පසුගිය කලාපයෙන් සිදුහත් තවුසාණෝ සත්‍යාවබෝධය උදෙසා දුෂ්කර ක්‍රියා මඟට පිළිපන් අයුරු සඳහන් කළබව සිහිපත් කර ගනිමු. එහිදී පස්වග මහණුන් මුණගැසුන අයුරුද සාකච්ඡා කළෙමු. 

පස්වග මහණුන් ඉක්මවා අති දුෂ්කර අභ්‍යාසවල යෙදෙන්නට සිදුහත් තෙම සමත් විය. සිදුහත් තවුසාගේ පුදුම එළවන සුළු වීර්යය දුටු පස්වග තවුසෝ බලවත් විමතියට පත්වූහ. එනිසාම සිදුහත් තවුසාණන්ට ඇප උපස්ථාන කිරීමටද ඔවුහු පෙළඹුනහ. මේ අතර අල්පවූ ආහාර පරිභෝජනය නිසා එතුමන්ගේ ශරීරය දිනෙන් දින කෘශ වන්නට වූයේ නොසිතූවිරූ ලෙසය. පතක් පමණ වූ මුං තැම්බූ දිය, හෝ කොල්ලු තැම්බූ දිය හෝ, කඩල තැම්බූ දිය, හෝ කලතණ තැම්බූ දිය හෝ ඉතා ස්වල්ප වූ ආහාරයක් පමණක් වැළඳූහ.

මෙම දුෂ්කර ක්‍රියාව පිළිබඳව සිදුහත් තවුසාණෝ බුද්ධත්වයට පත් වූ පසු විසාලා මහනුවර වනගතව පිහිටි කූටාගාර ශාලාවේදී ජෛන මහා පඬි අග්ගිවෙස්සන සච්චක නිගණ්ඨ නයුවා වෙත මෙසේ පැවසූහ.

“… එසේ ඉතා ස්වල්ප වූ ආහාර ගන්නා වූ මගේ ශරීරය බොහෝ සේ කෘශ විය. අසූ වසක් ගිය වැලක පුරුක් සේ හෝ කලුවැල් වැලක පුරුක් යම්සේද මගේ අඟපසඟ ඒ නිරාහාර භාවය නිසාම එබඳු විය. එපරිද්දෙන්ම මගේ නිසීදන මාංශය හෙවත් තට්ටම් මැදින් නැඹුරු වී හැකිලී ගියේය. නිරාහාර භාවයෙන් කොඳු ඇට අපිළිවෙලට උස් මිටි වෙයි. දිරූ ශාලාවෙක පරාල උඩු යටි වශයෙන් නැමුනාහු වෙත්ද, එපරිද්දෙන් මගේ ඉල ඇට උඩු යටි වශයෙන් නැමුනාහු වෙති. ඇස් වල නෙත් තරු ගැඹුරට බැස්සාහුය. යම් සේ තිත්ත ලබු ගෙඩියක් අමුවෙන් කපන ලද්දේ, අව්වෙන් සුළඟින් හැකිලුනේ ද, මැලවුනේද, එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාරය නිසා මගේ හිසේ සම හැකිලුනේ මැලවුනේ වෙයි…”

“අග්ගිවෙස්සනය, ඒ මම බඩේ සම අතගාන කල පිට කටුවම අතගෑවෙයි. පිටකටුව අල්වමියි බඩේ සම අල්ලමි. ඒ ස්වල්ප ආහාරය නිසා එපමණට මගේ බඩේ සම කොඳු ඇටයෙහි ඇලුනේ වෙයි. ඒ මම ශරීරකෘත්‍ය හෝ මුත්‍ර හෝ කරන්නෙමැයි හුන්නේ ඒ ස්වල්ප ආහාරය නිසාම දුර්වල වූයෙන් එතැනම යටිකුරුව වැටෙමි. මම ශරීරය අස්වසමියි අතින් ශරීරාවයව පිරිමදිමි. එසේ ශරීරාවයව අතගාන විට, ඒ ස්වල්ප ආහාරය නිසාම මුල් කුණු වූ ලොම් ශරීරයෙන් ගිලිහී වැටෙත් … අග්ගි වෙස්සනය අතීතයේදී මේතරම් දුක් වූ, තියුණු වූ, කටුක වූ, වේදනා වින්ඳාා වූු ශ්‍රමණ බ්‍රාහ්මණයින් සිටියේ නම් ඒ මා කළා වූ මේ ව්‍යායාමය තරම් වෙයි. මීට වඩා වැඩි නොවෙයි. අනාගතයේදී වුව එවැනි දුක්, තියුණු කටුක වේදනා විඳින්නාවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම් එද මා කළා වූ මේ තරම ම වෙයි. මීට වඩා වැඩි නොවෙයි. වර්තමානයේද එසේමැයි. නමුත් මා එම කටුක වූ දුෂ්කර ක්‍රියාවෙන් මනුෂ්‍යයාට කළ හැකි ධර්මයන්ට වැඩි වූ ආර්ය භාවය ලැබීමට සමත් වූ ඥාන දර්ශණ විශේෂයක් නොලැබීමි. එමනිසා මාර්ගාවබෝධය පිණිස අන්‍ය මාර්ගයක් ඇත්තේදැයි කල්පනා කළෙමි”. 

(ම.නි-2 මහා සච්චක සූත්‍රය. ආචාර්ය ඒ.පී.ද සොයිසා පරිවර්තනය පිටු 552,553) 

මේ කාලය තුළ ආහාර වර්ජනය නිසා සිදුහත් තවුසා අඳුනා ගත නොහැකි පරිදි දුර්වල විය. දැන් එතුමා පඬු පිරූ සිවුරක් දරාගත් ඇටසැකිල්ලක් බඳුවිය. දකින්නෙකුට දුක් උපදවන පෙනුමෙන් යුක්තය. දුර්වලය. ඇවිදගත නොහැකි තරමට බෙලහීනය. ශරීරාවයව තමන්ට වලංගු නැත. මෙයටත් වඩා දුෂ්කර ක්‍රියා කළ හැකිද? උපවාසය නිසා ශරීරය හොඳටම දුර්වල වුවත් සිත දුබල නොවීය. ධෛර්යය හීන නොවීය. වීර්යය වැඩි දියුණු කරන්නට දරණ උත්සාහය නිසා දිනක් සිහි මුර්ජාව ඇද වැටුනේය. පොළොව මත පතිතව නොසෙල් වී සිටින තවුසාණන් දුටු ගොපලු දරුවෙක් වහා දිය ගෙනවුත් ඉස දෙවනුව නිවසට දිවගොස් උණුසුම් කිරි භාජනයක් රැගෙන ආවේය. ඒ වනවිට තවුසා සිහි ලැබ සිටියෙන් ගොපලු දරුවා තවුසාණන්ගේ හිස තම උකුලට ගෙන කිරි ටික සීරුවෙන් පෙවීය. අනතුරුව ගොපලු පවුලම එක්ව සුවපත් වනතුරු එතුමාව රැක බලා ගත්හ. 

මේ ආකාරයෙන් තවුසාණන්ට රළු අහර මෙන්ම පෝෂ්‍යදායි පස්ගෝරසයද ලැබීමෙන් යම් පමණකට නැවත ශරීර ශක්තියද ජීව ගුණයද ක්‍රමයෙන් ලැබෙමින් පැවතින. හෙතෙම කල්පනාවට වැටින. මේ දුෂ්කර ක්‍රියාව දැනට වස්සාන ඍතු හයක් පමණ දිගු කාලයක් ප්‍රතිපත්තියෙන් පූරණය කර ඇත. ලද දෙයක් නැත. එසේ නම් මෙය නිරර්ථක ප්‍රයත්නයක් නොවේද? එදා ගොපලු දරුවාගෙන් කිරි උගුර නොලැබුනා නම් මෙලහකට මරණය සිදු වී දින ගණනක් වෙයි. එසේ වූවා නම් ගිහිගෙය හැර යාමෙන් කිසිම ඵලක් නැතිව මරු වැළඳ ගැනීමට සිදුවිය හැකිව තිබුනි. එවිට මගේ මූලික අරමුණ ඉටු නොවේ. මෙම දුෂ්කර ක්‍රියාවේ ආර්ය ධර්මය ලැබීමට සමත් වූ ඥාන දර්ශණයක් ගැබ් වී නොමැති බව දැන් පැහැදිළිය. පවත්නා සම්ප්‍රදායන්ගෙන් මගේ අරමුණ ඉෂ්ට නොවන බවද දැන් හොඳින් පැහැදිළිය. ඉතිරිව ඇත්තේ මගේම චින්තනය ඔස්සේ සොයා ගන්නා මාර්ගයක යමින් අධිෂ්ඨානයෙන් හා ධෛර්යයෙන් මෙය විසඳා ගැනීම පමණයි. සිදුහත් තෙම කල්පනාවට යොමු විය.

කිසිම කෙනෙකුගේ අනුදැනුමක් නොමැතිව ලාබාල වියේදී වූ සිදුවීමක් කල්පනාවට නැගුනි. පිය මහ රජුගේ වප් මගුල් දා දඹ රුක් සෙවනේ රැඳී සිටින අවස්ථාවේ නොදැනීම ප්‍රථම ධ්‍යානයට අවතීර්ණ වූ අයුර සිතේ මැවුනි. එදා අකුසලයෙන් වෙන් වූ විතර්ක සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණියෙමි. දැනුදු එතනින් ඇරඹිය යුතුය. ඒත් මෙතරම් දුර්වල වූ ශරීර ශක්තියක් සහිතව ධ්‍යානයකට සමවැදීම අපහසුය. යම් හෙයකින් මම බත් හා කොමුපිඩු (යව නම් ධාන්‍යයෙන් පිළියෙල කරගන්නා තලප හෝ රොටි ආදී ආහාර) ආදී රළු ආහාරයක් ගන්නේ නම් මැනවයි තීරණය කර එතැන් පටන් ඕලාරික ආහාරයට පිළිපන්හ.

මේ ගැන සිහිකර අග්ගිවෙස්සනයන්ට පසු කලකදී බුදුන් වහන්සේ මෙසේ වදාළහ. 

“…අග්ගිවෙස්සනය, ඒ මම බත්, කොමුපිඩු යැයි කියන ඔළාරික ආහාරයක් ගත්තෙමි. අග්ගිවෙස්සනය, ඒ කාලයෙහි (එනම් දුෂ්කර ක්‍රියා කරන කාලයෙහි) ‘ශ්‍රමණ ගෞතම තෙම යම් ලොව්තුරා දහමක් ලැබුයේ නම් එය අපටද කියන්නේය’ යන බලාපොරොත්තුවෙන් භික්ෂූන් පස් දෙනෙක් මට උපකාර කරමින් සිටියහ. අග්ගිවෙස්සනය, යම් කලෙක පටන් බත් හා කොමුපිඩු ආහාර ගන්නට වූයෙම්ද, එකල්හි ඒ පස් වග භික්ෂූහු ‘ශ්‍රමණ ගෞතමතෙම ප්‍රත්‍ය (දානා දී සිව් පසය) බහුල කොට ඇත්තේය. රසයෙහි ගිජුව ප්‍රණීත පිණ්ඩපාතාදිය වැළඳීමට හැරුණේය. වීර්ය කෙමෙන් පිරිහුනේයැ’යි චෝදනා කරමින් කලකිරී මා හැරදමා බැහැර ගියාහුය…”

(ම.නි-2 මහා සච්චක සූත්‍රය. ආචාර්ය ඒ.පී.ද සොයිසා පරිවර්තනය පිටු 554)

මෙසේ සිදුහත් තවුසාණෝ ක්‍රමයෙන් ශරීර ශක්තිය යෙන් අනූන වූහ. පවත්නා කිසිම සම්ප්‍රදායික දහමකින් තමන් සොයන පරමාර්ථයට ළඟාවිය නොහැකි බව වටහා ගැනීමට ගත වූ කාලය හොඳටම සෑහේ යයි තීරණය විය. තමන්ගේම ප්‍රයත්නයකින් තම අභිලාශයන් ඉටුකරගත යුතු වග අවසාන වශයෙන් තීරණය කළ තවුස් තෙම සෙමෙන් ඉදිරියට පිය නගන්නේ, ගංගා නිම්නය ආශ්‍රිතව සිත්කලු උද්‍යානයක් වැනි රමණීය භූමි භාගයක් දිටීය. එතැනට පිවිසි සිදුහත් තෙමේ ඈත මෑත බැලීය. දිගු නැටි නිසා මඳ සුළඟට ‘සිලි සිලි’ හඬ සෙමෙන් නැගෙන පත්‍ර සහිත වනස්පතියක් දැක එහි ගියේය. එම සෙවනේ ගස මුල බද්ධපර්යංකයෙන් වාඩිවිය. තවම උදෑසන පහව ගොස් නැත. 

මනා රූ සිරියෙන් යුත් තරුණ ළඳක් සුදු රෙදි කඩකින් වැසූ පාත්‍රයක් වැනි යමක් හිස මත තබාගෙන සේවිකාවකැයි සිතිය හැකි තවත් කාන්තාවක් සමග තමා සිටි දෙසට එන බව දුටු තවුසා මඳක් වික්ෂිප්ත විය. මේ බිම්බාවන් මා සොයා එන ගමනක්ද? නොඑසේ නම් මනෝ භ්‍රාන්තියක්ද? ඇය ළං ළං ව එන විට ඒ බිම්බාවන් හෝ මනෝ භ්‍රාන්තියක් හෝ නොව ධනවත් මැදුරක නිවසන්නියක බව ඇඳුම් පැළඳුම් වලින් වටහා ගති. ඒ වූකලී එම නියම්ගම විසූ සිටුවරකෙුගේ දියණිය වූ සුජාතා සිටු කුමරියයි.  මෙම ඇසතු නම් මහා වෘක්ෂයට අරක්ගත් දේවතාවුන් වහන්සේ අරභයා වූ බාරයක් ඔප්පු කිරීමට ඇය දහවල් කිරි ආහාර පූජාවට පැමිණ ඇත. දුරදීම වෘක්ෂ මූලයේ වැඩ සිටින තවුසා දුටු සුජාතාවන් මහත් සේ සතුටු වූවාය. ඇයට සිතුනේ තමා කෙරෙහි අනුකම්පාවෙන් රුක් දෙවිඳුන් රුක් සෙවනේ වැඩ සිටිනා බවකි. මහත් ගෞරවයෙන් කිරි ආහාර පිළිගන්වා වැඳ අවසරගෙන සුජාතා ව පිටත් වූයේ සොම්නසිනි. අහර වැළඳූ සිදුහත් තවුසාණෝ හිස් පාත්‍රයද රැගෙන පැන් පහසුව සඳහා ගංතෙර වෙත ගියහ. පාත්‍රය සේදුවේ ඒ ගැන ම සිත යෙදා සම්ප්‍රජානයෙන් යුතුවය. පාත්‍රය තනා ඇත්තේ තද වස්තුවක් වූ යකඩ ගුලියක් උණු කිරීමෙනි. එම යකඩ ගුලිය ශරීරය මතට වැටුනොත් හානි වියහැක. ජලයට දැමිමොත් කිඳා බසී. නමුත් ගිනියම් වන සේ රත්කොට තලා පාත්‍රයක් බවට හැරවූ පසු ජලයේ පා කර යැවිය හැක. යමක් ඒ තුළ දමා එගොඩ කළ හැකිය. ඒ එම යකඩ  ගුලිය මධ්‍යස්ථ  බවට  පැමිණ ඇති බැවිනි. නමුත් එම පාත්‍රය උඩු ගං බලා යැවිය නොහැක. උඩුගං බලා යැවීමට නම් යම් බලයක් යෙදිය යුතුය. දැන් තමන්ට සිදුව ඇත්තේද මධ්‍යස්ථ බවට පැමිණ උඩු ගං බලා පිහිනීමටය. ඒ සඳහා සිත එකලස් කරගෙන ගං තෙරින් මෑත් විය. මෙසේ දිවා ආහාරයෙන් අනතුරුව මඳක් විවේක ගත් තවුස්තෙම සවස් යාමයේ භාවනාවට සූදානම් වූයේය. 

සිදුහත් තවුස් තෙමේ බුද්ධත්වය අවබෝධ කරගැනීමේ අභිලාෂයෙන් රුක් මුල වැඩ සිටි සඳ එතුමන්ට තුති ගී ගයමින් ශක්‍ර දේවේන්ද්‍රයෝ සහ මහා බ්‍රහ්මයා ඇතුළු සියලුම දෙවිවරු එතැනට එක් රැස්ව සිටියහ. එම අවස්ථාවේ මාර සේනාව සමග බිහිසුණු මාරයා එතැනට පැමිණියේය. බෝසත් තෙමේ නොසැලී නොබියව සිටියහ. එහෙත් මාරයා දුටු පමණින් මහේශාක්‍ය දෙවිවරු හිස් ලූ ලූ අත දිවූහ. ශක්‍රයා තම විජයුත්තරා නම් හක්ගෙඩිය පිටේ එල්ලාගෙන දුවන්නේ සක්වල මුවවිටට (එකල ලෝකය පැතලියැයි විශ්වාස කළේය) පැමිණෙන තුරු නොනැවතුනේය. මහා බ්‍රහ්මයා තම සුදු කුඩය එතැන ම දමා බ්‍රහ්ම ලෝකයට පලා ගියේය. (ජාතක අට්ඨකථා)

සිදුහත් තවුසාණෝ අධිෂ්ඨානයෙන් රුක් මුල වාඩි වී භාවනාවට යොමු වූ කල මාරයාගේ ප්‍රහාරය ඇරඹේ. ඇත්ත වශයෙන්ම මාරයා යනු මිනිසා කාමයට, රාගයට ආශාවට ආදී කෙලෙසුන්ට පොළඹවන මානසික බලවේගය මිස දෙවියෙකු හෝ යක්ෂයෙකු නොවේ. නමුත් මෙහි සංකේතාත්මකව දක්වා ඇත්තේ මාරයා දුර්ජන දෙවියෙකු නොහොත් යක්ෂයෙකු වශයෙනි. දුෂ්කර ක්‍රියා කරන අවදියේ සිටම මාරයා වරින් වර පැමිණ සිද්ධාර්ථ ගෞතමයන්ට බලපෑම් කරන්නට උත්සාහ දැරුවේය. මෙයින් පැහැදිළිවන්නේ සය වසරක ප්‍රයත්නයෙන් පසුවද යහපත් ප්‍රතිඵලයක් නොලද නිසා වීර්ය අතහැරීමට සිදුහත් තවුසාණන්ගේ සිතේ පවත්නා දෙගිඩියාව වියහැක. එහෙත් මාරයාට අවස්ථාවක් නොලැබුනි. තවුසාණෝ මාරයා කළ බලපෑම් මායිම් නොකර තමන් ගත් මගෙහිම ගියහ. එනම් කෙලෙස්වලට මතු- වන්නට ඉඩ ප්‍රස්ථාවක් නොදුන් බව සංකේතාත්මකව හැඟවීමකි. චාටුවෙන් හෝ යාප්පුවෙන් බැරි තැන මාරයා බියකරු වෙස් ගත් බවක් පැවසේ. සිදුහත් බෝසත් තෙමේ සංකේතාත්මකව මාරයා හඳුන්වන්නේ “ප්‍රමාදීන්ගේ, කුසීතයන් ගේ ඥාතිවර වූ පාපිෂ්ඨය” යනුවෙනි. තවද මාරයාට මෙසේ ද පවසති. “මට ශ්‍රද්ධාව ඇත. එහෙයින් මට වීර්ය ද ඇත. ප්‍රඥාව ද නැත්තේ නොවේ. මෙසේ අධිෂ්ඨාන පූර්වකව ප්‍රයත්නය සඳහා දිවි කැප කළ මගෙන් ජීවිතය ගැන අසනු කුමටද?”

(ඊළඟ කලාපයෙන් මාර පරාජය සහ බුද්ධත්වය සාකච්ඡා කරමු)

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත