අපි පොඩි කාලේ පත්තර කියෙව්වා.
මිහිර තමයි වැඩිපුරම, ඊට පස්සේ විජය කියලා එකක් ආවා. සූකිරි කියලා පොඩි සයිස් පත්තරේකුත් තිබුණා.
යෝධ රාළහාමි, පඬිතුමා, බටකොල ආච්චි, ඔන්න චරිත!
පියසේන රතුවිතාන මහත්තයා සමහර ලිපි ලිව්වේ පියරවි කියලා.
පස්සෙ කාලෙක ෂර්ලොක් හෝම්ස් කියවනකොට ආපු හැඟීමම තමයි කෝදාගොඩ මහත්තයා මිහිර පත්තරේට ලියපු අධිකරණ වෛද්‍ය විද්‍යා ලිපි කියවනකොට අපිට ආවේ.
එතුමා සූකිරි පත්තරයට බුහුටිගෙ නෑයෝ කියලා ලියපු කතා මාලාව ළමා අධ්‍යාපනය සහ රසවින්දනය එකතු කිරීම පිළිබඳව පාඩම් මාලාවක් වගේ කියලා දැන් හිතෙනවා.
මතක විදිහට සතුට, සූකිරි පත්තර දෙකම ආවේ එකම දවසේ. සූකිරි පත්තරේ පැත්තක තියාගෙන අපි ඉස්සෙල්ලම කියෙව්වේ සතුට පත්තරේ චිත්‍ර කතා.
මේ දවස් වල අන්තර්ජාලය හරහා ගෙදරට වෙලා ඉගෙන ගන්න අපේ පොඩි එවුන් ඉස්කෝලේ වැඩ නොකර කාටූන්, යූටියුබ් බලල අහු වුණායින් පස්සේ, උන්ට කෑ ගහනකොට මටම හිතෙනවා අපි මොන කුහකයෝ ද කියලත්.
තව ටිකක් කල් යනකොට අපි අනික් පත්තර කියවන්න ගත්තා. නවයුගය එයින් එකක්. තාත්තා තඩි වාමාංසිකයා වුණාට ඉඳලා හිටලා සුබසෙත පත්තරයක් අරගෙන එනවා. අකුරැස්සෙ ගියහම සීයගෙ සුබසෙත කොහොමටත් කියවනවා.
රසවාහිනී තොගයක් තිබුණා කොළඹ ලොකු අම්මලගෙ ගෙදර.
ඔන්න ඔහොම යනකොට තමයි දයාසේන ගුණසිංහ මහත්තයගෙ ඉරිදා දිවයින එන්න පටන් ගත්තේ.
ඒකෙ ගිය තඩි වලි කියවන එක අපිට හරි ජොලි.
අලවත්තාගොඩ ප්‍රේමදාස කියල මහත්තයෙකුයි නලින් ද සිල්වා කියලා මහත්තයෙකුයි හරි හරියට රණ්ඩු වෙනවා. සුචරිත ගම්ලත් කියලා මහත්තයෙක් එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයත් එක්ක ඔට්ටු වෙනවා.
සරච්චන්ද්‍ර මහත්තයා ගැන නම් අපි ඉස්කෝලෙදි අහල තිබුණා!
පියසීලි විජේගුණසිංහ කියලා නෝනා කෙනෙකුත් අතර මැද්දෙන් පැනලා මේ වලි වලට සෙට් වෙනවත් මතකයි.
පස්සෙ කාලෙක හැරිලා බලනකොට තමයි තේරෙන්න ගත්තේ මිනිස්සුන්ට ගහන්නේ නැතුව අදහස් මත වාද වලට ගැටෙන්න පුළුවන් කියලා.
ඒ පෙන්වාදීපු ශාස්ත්‍රීය ශික්ෂණය, දර්ශනය සහ කලාවට ලාලසාවක් වඩවා දීම යන කාරණා, විශ්වවිද්‍යාලය, පොදු සමාජය සහ සමස්ත ජීවිතය හරහා යද්දී අපිට අපිවම හොයාගන්න කැඩපත් වුණා.
විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා, රැකියා කරලා, කසාද බැඳලා, ළමයි හදලා, දේස දීපංකරවල ජීවත් වෙලා කාලෙකින් ආපහු අර ලාලසාව අවදිවෙලා තැනක් හෙව්වම තමයි පොඩි අවුලක් තියෙනවද කියලා හිතෙන්න පටන් ගත්තෙ.
ගුණසිංහ මහත්තයා එතුමාට විතරක් නෙමෙයි ගම්වලත්ලට, සරච්චන්ද්‍රලට, සිල්වලට, පේමදාසලට, විජේගුණසිංහලට ශිල්ප දැක්වීමට සුදුසු වේදිකා හදපු නිසා පරපුරක් හැඩ ගැහුණා.
දැන් එහෙම දේවල් නැහැ කියලා අඳුරට සාප කරනවට වඩා, නූතන තාක්ෂණය හරහා පුංචි හරි පහනක් දල්වන්න, ඒ කියන්නේ නව පරපුරට කියවන්න, අහන්න, නරඹන්න අලුත් දේවල් එකතු කරන්න උත්සහයක් ගන්න වර්තමාන වැඩිහිටි පරපුරට වගකීමක් තියෙනවා කියල මට හිතෙනවා.