මැදියම් රැයේ උතුරු මුහුදේ, ආවේක්ෂණ කලාපයේ, කන්කසන්තුරේ ආසන්න මුහුදේ කුඩා බෝට්ටු විශේෂයක් වූ Cougher යාත්‍රාවකට වී උස් පහත් වෙමින් නැගෙන දිය රළ හා පොර බදමින් සීතලේ ගැහෙමින් පාවෙමින් ගත කරමින් මා ලද අත්දැකීම් යමෙකුට ජීවිත කාලයක් තුළ ලැබෙන සුවිශේෂී අත්දැකීම් බව මාගේ විශ්වාසයයි.
සප්ත මහා සාගරයේ ඉතා කුඩා ආලෝක පුංජයක් සේ රේඩාර් යන්ත්‍රයෙන් අපගේ චලනය දෙස බලා සිටි “එඩිතර” නැවේ කපිතාන්වරයා විටින් විට රේඩියෝ සංඥා මගින් අප ඇමතුවේ නිරුපද්‍රිතව රාජකාරිය කරනවාදැයි දැන ගැනීමටයි.
ඊට පෙර හා පසු අවස්ථාවල මා ද පාලක මැදිරියට වී වෙනත් නිලධාරීන් මැදියම් රැයේ පැය දෙකක් එසේ මුහුදේ ආවේක්ෂණ රාජකාරි වල යෙදෙනු දැක තිබුණ නිසා එය ඉතා වගකීම් සහිත කටයුත්තක් බව දැන සිටියා.
තමා යටතේ සිටින නිලධාරීන් ප්‍රතිවාදීන්ගේ මරු කටක් වන් මුහුදු ගමන් මාර්ගයක් අසල රඳවා තැබීම නිරීක්ෂණය කිරීම මව් නෞකාවේ රැදී සිටි නැවේ අණදෙන නිලධාරී කොමාන්ඩර් රසී(z)ක්, විධායක නිලධාරී ලුතිනන් කොමාන්ඩර් ජයනාත් කොළඹගේ, ඉංජිනේරු නිලධාරී සුනිල් සාන්ත වැන්නවුන් වෙත වූ, වගකීමක් වූවා සේම තමන්ට ලැබී ඇති උපදෙස් අකුරට පිළිපදිමින් ප්‍රතිවාදියාගේ ග්‍රහණයට හසු නොවී හෝ ප්‍රතිවාදියාට පළා යන්නට ඉඩ නොදී පැවරුණු රාජකාරිය නිසි පරිදි ඉටු කිරීම කූගර් යාත්‍රාවේ සිටි ප්‍රධාන සුළු නිලධාරී, නාවික සෙබළ හා පුහුණුවන උප ලුතිනන්වරයෙකු වූ මගේ ද වගකීමක් වුණා.
අප අසලින් කිසියම් යාත්‍රාවක් ඇදී යනු නිරීක්ෂණය කරනු ලැබුවේ එවන් අවස්ථාවකයි. අපට අණ ලැබුණේ එකවරම flare එකක් දල්වා කුඩා යාත්‍රාව කවරක් දැයි නිශ්චය කරගෙන ඊට අනතුරු සංඥා කරමින් ළඟා වන ලෙසයි.
පරිසරය ඒකාලෝක කරමින් විහිදුණු ආලෝක ධාරාවෙන් අප දුටුවේ වල්ලම් යාත්‍රාවක් අප පසුකොට වේගයෙන් ඉවතට ඇදෙන්නට උත්සාහ කරන බවයි. එහි පුද්ගලයින් සිව් දෙනෙකු සිටිනු නිරීක්ෂණය කළ හැකි වුණා. ඔවුන් අත පෙනෙන්නට ආයුධ නොතිබූ නමුදු උපක්‍රමශීලී ලෙස ආයුධ සඟවා ගෙන සිටින ත්‍රස්තවාදීන්ද නැතහොත් ඉන්දියාවේ සිට contraband නොහොත් නීති විරෝධී ලෙස භාණ්ඩ ප්‍රවාහනය කරන සංවිධානාත්මක මුහුදු සොරුන් දැයි අපට එකවර නිශ්චය කර ගැනීමට හැකි වූයේ නෑ.
“සර්… කොයිකටත් සූදානම් ශරීරෙ කියලා ඇඟිල්ල ට්‍රිගර් එකේ තියා ගන්න. මම ෆයර් කිව්වේ නැත්නම් පුල් කරන්නෙපා. මේ හොරබඩු කියලයි මට හිතෙන්නෙ. ඒත් කොටිත් මෙහෙම යන අවස්ථා තියෙනවා.” ප්‍රධාන සුළු නිලධාරී මට උපදෙස් දුන්නා. ඇත්තටම මා මේ මෙහෙයුම සඳහා ආධුනිකයෙක් පමණයි. කොන්ට්‍රබෑන්ඩ් යන වචනය පවා මා ඉගෙන ගත්තේ මෙවන් මුහුදු මෙහෙයුම් නිසායි.
මාළු අල්ලන්නට මුහුදේ ගැවසෙන වල්ලම් දිවා කාලයේ දැක තිබුණත්, රාත්‍රී අඳුරේ පළා යන වල්ලමක් හඹා යන ප්‍රථම අත්දැකීම නිසා කිසියම් නුහුරු චකිතයක් මගේ සිත වෙළා ගත්තා.
අපගේ කූගර් යාත්‍රාව වල්ලමක් පමණක් නොව OBM (Out Board Motor) බෝට්ටුවක වේගය පරයා ඉදිරියට යා හැකි අධි බලැති බෝට්ටු විශේෂයක් වූ නිසා මොහොතින් වල්ලම පසු කොට ඔවුන්ගේ ගමන හරස් කිරීමට අපට හැකි වුණා.
නාවික සෙබළා එක් අතකින් ගිනි අවිය එල්ලයේ රඳවා ගෙන අනෙක් අතින් Flash Light එකක් වල්ලමට එල්ල කළා. කෑ ගසා යටත් වන ලෙස නියෝග කළා.
සැර මුහුදේ රළ සමඟ පොර බදන වල්ලමත්, කූගර් යාත්‍රාවත් Along Side නැතහොත් එකිනෙක යාබදව නැවතුණා. වල්ලමේ සිටි මිනිසුන් දෙඅත් ඔසවා “සාමි.. සාමී…” කියමින් යටත් වුණා. ඔවුන් දෙමළෙන් පැවසුවේ මාළු අල්ලන්නට ගිය බවයි. මාළු අල්ලන ආම්පන්න තිබුණත් මාළු අල්ලා තිබුණේ නෑ.
අප වල්ලම පරීක්ෂා කරන්නට තීරණය කළා. ප්‍රධාන සුළු නිලධාරියා කූගර් යාත්‍රාව පාලනය කරමින් වල්ලමට යාබදව රැදී සිටිද්දී නාවික සෙබළාත් සමඟ මා වල්ලමට ගොඩ වුණා. පළපුරුදු නාවික සෙබළා වල්ලමේ යට ලැල්ලක් ඉවත් කොට විශාල පෙට්ටියක බහා තිබූ ඉන්දියන් සාරි තොගයක් සොයා ගත්තා.
එසේ මුහුදේදී අත්පත් කර ගන්නා අනවසරයෙන් මෙරටට ගෙන එන විවිධ භාණ්ඩ රේගුවට භාර දීමට පෙර මෙහෙයුමට සම්බන්ධ වූ නිලධාරීන්ට ත්‍යාග වශයෙන් බෙදා දීමද සිදු වුණා.
මට ලැබුණු ඉන්දියන් සාරි දෙකක් නිවාඩුවට යන දවසක අම්මාට තෑගි දීම සඳහා අරන් තබා ගත්තා.
සෙස්ස පස්සට
5 Responses
/* එසේ මුහුදේදී අත්පත් කර ගන්නා අනවසරයෙන් මෙරටට ගෙන එන විවිධ භාණ්ඩ රේගුවට භාර දීමට පෙර මෙහෙයුමට සම්බන්ධ වූ නිලධාරීන්ට ත්‍යාග වශයෙන් බෙදා දීමද සිදු වුණා. */
හොරුන්ගෙත් හොරු හෙවත් මූදු කොල්ලකරුවෝ…!!!
මූදු කොල්ලකරුවෝ…!
ඒක මරු හැඳින්වීම…
එහෙම බෙදාගන්තේ නීත්යානුකූලවද? රේගුවෙදි වෙන්නෙත් ඔය වැඩේම තමයි, අන්තිමට උසාවියට ඉදිරිපත් කරන්නෙ සාරි කීපයක් පමණයි. කවදාවත් හොර බඩුවක් ගන්නත් එපා, දන්න කෙනෙකුට දෙන්නත් එපා. මම දන්න අන්කල් කෙනෙක් ඉන්නවා, එයා රේගුවේ වැඩ කලේ, ඉහින් කනින් සල්ලි. රත්තරන් කඹ බෙල්ලෙ දාගෙන හිටියේ. ගෙදර වයින්, බියර් කේස් පිටින්. අනිත් දේවලුත් ඒ විදිහටම. ඒත් එයාට අවුරුදු 55 වගේ වෙනකොට දියවැඩියාවට මම හිතන්නේ කකුල් දෙකම කපන්න උනා. එතනින් එහා ජීවිතේ ගැන කතා කරලා වැඩක් නෑනෙ. තමුන් වැඩකරන තැනකින් A4 පේපර් එකක් තරම් දෙයක් අරන් යන්න එපා, යාදෙන්නෙ නෑ. නිකමට කිව්වෙ
උඩු ගං බලා පීනුවේ නෑ…
වැළ යන අතට මැස්ස ගැහුවා.
මං නොගත්ත නං ඒවා වෙන අය අතර බෙදෙනවා.
සාමාන්‍යයෙන් ඇල්ලුවාම කිසියම් ප්‍රතිශතයක් නිල වශයෙන් දෙනවා. අපි ඒවා ඉල්ලුම් නොකොට ඩිංගිත්තක් බෙදාගත්තා. ඒකෙන් තමයි කොල්ලන්ගේ මොරාල් එක වැඩි වුණේ.
01. පින්තූරයේ තිබෙන්නෙ වල්ලමක් නෙමෙයි නේද..? මේ සාමාන්‍ය එක දින බෝට්ටුවක්නෙ. අනෙක වල්ලම කියන්නෙ තනි පළේ ටිකක් බොකුටු ලෑල්ලක් වගේ එකක්නෙ. ඒකට කොල්ලෑවක් සම්බන්ධ කරලාත්, නැතුවත් වෙන්න පුලුවන්.
02. සමහර දේවල් ලියද්දි මෙච්චර අවංක වෙන්නත් එපා මිත්‍රයා. තරහ කාරයෝ ගන්නෙ ම සමස්ත ලිපිය නෙමෙයි අර වාක්‍යය…!!
Comments are closed.