මහත්තයා බග්ගියා

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

මාතර අපි ඒ කාලේ ගමන් බිමන් ගියේ බග්ගි කරත්තයෙනි. ඉස්ටේෂම ළඟ බග්ගි විස්සක් තිහක් නතර කරගෙන සිටි බග්ගිකාරයෝ කොළඹ කෝච්චිය ආ විට “මහත්තයා බග්ගියා. මහත්තයා බග්ගියා” කියා කෑගැසුවෝය.

යමක් කමක් ඇති තැන්වල තමන්ගේම බග්ගි කරත්ත තබාගෙන සිටියෝය. සුදු පිරුවට එලා, ආම්පන්න හොඳට මැද, මහත දෙහෙක ගොනුන් බැඳ බග්ගි කරත්තවලින් නෝනා මහත්තුරු ගමන් බිමන් ගියෝය. මරක්කල නෝනලා යන බග්ගියක් හඳුනාගත හැකිවිය. ඒ තිර ඔසවා, නෝනලා තිර අස්සෙන් බලන බග්ගි නිසාය.

බග්ගි සමග හරකුන්ට ලාඩම් ගහන, බග්ගි හදන, බග්ගි අලුත්වැඩියා කරන, හරකුන් හංවඩු ගහන තැනද අපමණ තිබුණේය. හරක් වෙද්දුද සිටියෝය. අපේ වත්තට අල්ලපු දානේ වත්තේ පදිංචි වී සිටි කලු අප්පු පොඩි පුතා චිත්‍රපටියේ ප්‍රධාන නලුවා කොළඹ කෝච්චියෙන් බසින විට “එන්න මහත්තයා බග්ගිය” කියා එක දවසෙන් චිත්‍රපටි නලුවෙක් වුණේය. අපි බ්‍රොඞ්වේ තියටරයට ගොස් විමලවීර මාස්ටර්ගේ පොඩි පුතා හතර පස් සැරයක් බැලුවෙමු. ඒ ප්‍රධාන නලුවා වූ ආනන්ද වීරකෝන්ට වඩා අපේ කලු අප්පු රඟපාන නිසයි.

බග්ගි කරත්ත නවතා තිබුණු මාතර ඉස්ටේෂම ළඟට අමුතුම වාහනයක් ලඟාවී මහා කලබලයක් හටගත්තේය. ආවේ මොරිස් මයිනර් කාර් එකකි. Kings Cabs කියා ගසා මීටරයක්ද සහිත ආ වාහනය දුටු බග්ගිකාරයෝ ගල් ගසා කැබ් රථය පැන්නුවෝය. නමුත් අවුරුද්දක් දෙකක් යනවිට බග්ගි කරත්ත එකින් එක අතුරුදහන් වී Cab රථ බෝවෙන්නට පටන් ගත්තේය. ගමනද පහසුය. ගාස්තුව ගැන කේවල් කරන්නට අවශ්‍ය නැත. දඩාස් ගා කඩන විට මීටරය ගත මනාව කියයි. කැබ් රථය ජනප්‍රිය විය. ටිකෙන් ටික බග්ගි කරත්ත අතුරුදහන් වී දැන් එය කෞතුක භාණ්ඩයක් වුණේය.

ඊළඟට ආවේ ත්‍රීවිලර්ය. කැබ්කාරයෝ ගල් ගසා ත්‍රීවිලර් කාරයෝ පැන්නුවෝය. ටිකෙන් ටික කැබ් රථවලට උරුම වූයේ බග්ගි කරත්තවල දසාවමය. දැන් මාතර ත්‍රීවිලර් අප්‍රමාණය. එහෙත් කොළඹ වගේ මීටර් නැත. “ඔහේලා මක්කටෙයි මීටර්. ඇහැකි ගණනක් දෙන්න” කියා ත්‍රීවිලර්කරුවෝ මීටර් නැති ත්‍රීවිලර් දුවති.

ලෝකයේ විදිහ මෙසේය. සියල්ල වෙනස් වේ. වෙනස් නොවන දේ අතුරුදහන් වේ. වෙනස් නොවන්නේ වෙනස්වීම පමණය.

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත