අයෙකු මිය ගිය පසු ප්‍රාණ නිරුද්ධ සිරුර වැඩි කල් තබාගත නොහැක. දින දෙක තුන යන විට කුණු වී ඕජස් ගලන්නට පටන් ගනී. දුර්ගන්ධය පැතිරෙන්නට වෙයි.
එහෙයින් මළ සිරුර විනාශ කොට දැමිය යුතුය. විනාශ කර දමන තුරු හැකි තරම් එය විකුණා ගැනීම හුදී ජනයාගේ අභිලාෂයයි. එය ආකාර කිහිපයකින් සිදු වේ.
සිරුරේ අතුණු බහන් ඉවත් කොට එම්බාම් කරන්නේ ඒ සඳහාය. එවිට දින කිහිපයක් මිනිය ගෙයි තබා ගෙන පිටත හා තැන් තැන් වල ජෝගි නටන්නට හැකිය. ගෙදර ඇත්තන්ගේ නොයෙකුත් සීමා මායිම් නීතිරීති මැද දෙකක් දාගන්නට මාන බලන එකාට මළ ගෙදරට ගොස් සප්පායම් වීමට ලැබීම කුරුල්ලා මිටෙන් අත හැරියා වැනි වාසියකි. ගමේ එකාලට බූරු පොළක් දැමීමට, කැට ගැසීමට, ඔට්ටු සෙල්ලම් කිරීමට යනාදී වශයෙන් ඕනෑ විගඩමක් නැටීමට මළ ගෙදර තෝතැන්නකි.
වෙනදාට මුහුණ බලා කතා කරොත් ඇඹේනියන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන මැණිකා එක්ක අඳුරු අහුමුල්ලක පෙම් කෙලින්නටද මළ ගෙවල් වල ඉඩ ඇත්තේ දිවා රාත්‍රී වෙනසක් නැතිව ගෙදරින් පිටතට යන්නටත් අහු මුලු වල රිංගන්නටත් නිදහස ලැබෙන බැවිනි.
අහල පහල ගෙවල් වලින් උයා පිහා දෙන බතක් භුක්ති විදීමටත්, ඒ අල්ල පනල්ලේ අල්ලපු ගෙදර කාමරයකට වැදී හෝ වාහනයේ ඩිකිය ඇරගෙන හෝ හීනියට දෙකක් සප්පායම් වෙන්නටත් මළගෙදර සංස්කෘතිය ඉඩ සලසා ඇත.
අවසානයේ මිනිය වළ දමනවාද, ආදාහනය කරනවාද යන්න ගැන ඒ තරම් වද වීමක් නැත. ඒවා තම තමන්ගේ ආගමික, ජාතික හා සංස්කෘතික විශ්වාසයන් හා පිළිගැනීම් වලට අනුකූලව පවුලේ එකාලාට ඕනෑ හැටියට සිද්ධ වන්නකි.
අවසානයේ මළමිනිය ඉදිරි පිටට වී පවුලේ ඥාතීන්ගේත්, ගමේ ප්‍රභූන්ගේත්, තමන්ගේත් පම්පෝරිය දෙසා, බෑමෙන් අනතුරුව මිනිය එක්ක කුද ගහ ගත්තත් අනෙක් උන්ට ඇති අමාරුවක් නැත.
මේ සියල්ල උඩුයටිකුරු කළේ කොරෝනාය. කොරෝනා හැදී මියයන පුද්ගලයන්ගේ මළසිරුරු කිසිසේත්ම භූමදානය කළ නොහැකි බව ආණ්ඩුව ප්‍රකාශයට පත් කළේද, ඒ තීන්දුව ඉතා දැඩි ආකාරයෙන් ක්‍රියාත්මක කළේද ඒ පිළිබඳ විශේෂඥයන්ගේ උපදෙස් පරිදිය.
ඒකට කිව්වේ විද්‍යාත්මක ක්‍රමවේදය කියාය.
හුටා…. ඒ මගින් ආගමික විශ්වාසයන්ට කෙලවුණේය. පොළවේ පසෙන් උපන් එකා පොළවට පස් විය යුතුය, අනාගතයේ කිසියම් දවසක නැවත නැගිටීම සඳහා සිරුර විනාශ නොකොට භූමදානය කළ යුතුය. මිය ගියත් සිරුරට පණ තියෙනවා සේ සැලකිය යුතුය. මළ සිරුරේ ඇටකටු බිඳීමෙන්, පිලිස්සීමෙන් වේදනාව සිරුරට දැනේ, යනාදී වශයෙන් වූ විවිධ විශ්වාසයන් කෙමෙන් කෙමෙන් පෙරට එන්නට පටන් ගත්තේය.
සමාජය කැළඹිණ. විරෝධතා මතු වන්නට පටන් ගත්තේය. මළමිනී දේශපාලනීකරණය විය. අලුත් ආකාරයකට මළමිනී විකුණන්නට පටන් ගත්තේ දේශපාලකයන්ය. කඹ ඇදීම ආරම්භ විය.
වැඩේ කියන්නේ විශේෂඥයින් මෙන්ම තීන්දු තීරණ ගන්නා පාර්ශවයන්ද බයිලා ගහන්නට පටන් ගැනීමය. පෙරකී විද්‍යාත්මක ක්‍රමවේදය බල්ලට ගියේය. මළමිනී අධි ශීතකරණ වල ගල් වන්නට පටන් ගත්තේය.
මහපොළොවෙන් උපන් එකා පොළොවට පස් නොකොට අධිශීතකරණ වල දින ගණන් තබා ගැනීම මගින් මළමිනී දේශපාලනිකව විකුණා ගැනීමට ඉඩ ලැබිණ. සමහර තැන්වල හොර රහසේම මළමිනී භූමදානය කෙරිණ. ඒවා ගැන දැන් හාංකවිසියක කතාවක් නැත.
පඳුරකට ගැහුවත් විශේෂඥයින් දෙතුන් දෙනෙකු එළියට එන්නට විය. පාංශු විශේෂඥයින්ය, වයිරස් විශේෂඥයින්ය, විවිධාකාර වෛද්‍ය හා ජීව විද්‍යාවට සම්බන්ධ විශේෂඥයන්ය. ටීවී ඉස්සරහට ඇවිත් සිය දැනුමේ පරිමාණය විදාරණය කළ විශේෂ අඥයින්ය.
වැඩේ නැගලා ගියේය. රට කරවන ඇත්තන් එහාටත් මෙහාටත් බෝලය පාස් කරමින් සති ගණන් ඇද්දේය. ඒ අතර විවිධ ආගම්වාදී, ජාතිවාදී පාර්ශව මළමිනී යළි විකුණන්නට පටන් ගත්තෝය. ත්‍රස්තවාදය ගැන පාරම් බෑමටත්, අනෙකාගේ වන්දි ඉල්ලීමටත්, හෙණ ඉල්ලීමටත්, සිත් දූෂණය කරන්නටත් ඉඩකඩ ලබාදෙමින් සංක්‍රාන්ති සමයක් පසු කෙරිණ.
එක පාරටම නින්දෙන් ඇහැරුණු රට කරවන ඇත්තන්ට ආයෙමත් විද්‍යාත්මක ක්‍රමවේදය සිහිවිය. විශේෂඥයින්ගේ වළ දැමීමට විරුද්ධ මතය ඉස්මතු විය.
“ආදාහනය කෙරේ. වළදැමීම තහනම්.” අන්තිමේට විවිධ ආගමිකයින්ගේ, ජාතීන්ගේ, සමාජ ස්ථරවල සිත් දූෂණය වෙන්නට ඉඩ හැර සති ගණනාවකට පසු මුලටම ආවේය.
මේ ටික මුලින්ම කියා ඒ ආකාරයට කටයුතු කළේ නම් මේ මොන වී වින්නැහියක් වත් නැත. තවදුරටත් මළමිනි විකිණිය යුතු නැත.