ඔහේලා, තමුසෙලා හා ඔයාලා

You-Alochana-Samarasinghe-Gunasekara

වරක් මම කැමරුන් ජාතික නවකතාකරුවෙකු ඉංග‍්‍රීසි බසින් ලියූ නවකතාවක් සිංහලයට පරිවර්තනය කළෙමි. මුල් පොතේ නම Houseboyය. පිටු සිය ගණනක පොත පරිවර්තනය කිරීමට වඩා මට ප‍්‍රශ්නයක් වුණේ පොතේ කතාවට ගැලපෙන Houseboy නම් ඉංග‍්‍රීසි පදය සඳහන් උචිත සිංහල යෙදුමක් සොයා ගැනීමය. Houseboy යන්නෙන් අදහස් වන්නේ බංගලාවක් වගේ තැනක ආවතේව කරන මෙහෙකාර ළමයාය. මේ සඳහා මෙහෙකාරයා, වැඩකාරයා, ආවතේව කරන්නා, ගෝලයා, ඇබිත්තයා වැනි සිංහල යෙදුම් රැසකි. ඒවා උචිත තැන අනුව භාවිතා කළ යුතුවේ.

උදාහරණයක් ලෙස ඉංග‍්‍රීසි බසින් මහරජුටත්, මහරැජණටත්, ඇමතිටත්, ගෙදරක මෙහෙකරුවාටත්, යාලුවාටත්, හතුරාටත්, බිරිඳටත්, දරුවාටත් අමතන පදය You ය. සිංහලෙන් තැන නොතැන අනුව මේ පදය වෙනස් වේ. අපේ ගම් පළාත මාතරය, මාතර මිනිස්සු You වෙනුවට ඔහේ යැයි කියති.

ගරු කටයුතු අම්මාත්, තාත්තාත්, හතුරාත්, මිතුරාත් සමහර වෙලාවට පන්සලේ හාමුදුරුවෝත් අපට ඔහේය.
‘‘ඔහේට තියෙන ආදරේ නිසා අම්මලා තාත්තාලා මොර ගැහුවත්, මම ඔහේ බඳිනවා. මක්ක වුණත් ඇහැකි නම් ඔහේ අපේ මහදෙන්න කැමැති කරගන්න’’ ආදරවතී, පේ‍්‍රමදාසට කීවාය.

මාතර ඔහේලාට පේන්න බැරි වහකදුරු වගේ වචනයක් තිබේ. ඒ තමුසේය. තමුසේ කියන්නේ පාච්චලේට බව මාතර මිනිස්සු දනිති. ගරු කටයුතු අයට තමුන්නාන්සේ, තමුන්නැහේ කියා අනිත් අයට තමුසේ කියනවිට මොකක්දෝ නුහුරු ගතියක් අපට දැනේ.

කලක් මම බර්ගර් ජාතික ළමයෙකුට සිංහල පාඩම් කියා දුන්නෙමි. එක අභ්‍යාසයක් වශයෙන් පොත් සමාගමකට පොත් විස්තරයක් ඉල්ලා ලියුමක් ලියන ලෙස මම ඔහුට කීවෙමි. ඔහු ලියූ ලිපිය මෙසේය.

‘‘සීමාසහිත M.D. ගුණසේන සහ සමාගම
නොරිස් රෝඩ් පාර,
කොළඹ
මචං’’

ඔහුට ගුණසේන සමාගමේ කළමනාකරු ‘මචං’ විය. ‘‘සිංහලෙන් එහෙම ලියන්නෙ නැහැ’’ මම ඔහුට කීවෙමි. ‘‘ඇයි සර්? මගේ යාලූවෝ කාටත් කියන්නේ මචං කියලනේ’’ ඔහු කීවේය.

මේ විදිහට සමහරුන්ට You මචංය. නැත්නම් අඩෝය. ඒත් නැත්නම් අඩාය. ගරුසරු ඇතුව කතා කරනවා නම් ඔබතුමාය. ඔබතුමීය. ආදරේට නම් ඔයාය.

මේ විදිහට ඉංග‍්‍රීසි You සිංහලෙන් තැන නොතැන අනුව වෙස්මාරු කර ගනියි.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත