වනයේ ගස් සෙලවෙමින් තිබුණි. රූස්ස ගහක් සෙලවෙද්දී එහි විසල් අතු මුළු පළාතක්ම සසල කරවීය. වැනී ගිය අතු වැදුණු තවත් පහළ ගසක් වඩාත් වේගයෙන් සෙළවී ගියේය. එතෙක් විහිද ගිය අතු පතරින් බිම සිපගත් හිරු එළිය එකවරම දිෂ්ටි වූ කපුවෙකු සේ සෙළවි සෙළවී ගියේය.පොළොවේ තැනින් තැන වට හිරු එළිය පන්දුවක් මෙන් විටෙන් විට විසි වී ගියේය. සෙළවීමෙන් අතු එකටෙක ඇතිල්ලී ගියේය. එම ඇතිල්ලීමෙන් නැඟී ගිය හඬ හමා ගිය සුළඟට දෝංකාරයක් එකතු කළේය. රූස්ස වනපෙත, විසල් ගස් රුප්පා අතරින් පැතිර ගිය ඒ හඬ ගස් වදුළ ඇති කළ ගොම්මනට වඩා අන්ධකාර බියජනකභාවයක් මතු කළේය.
ගල උඩ වැතිර උන් දඩයක්කාරයාගේ සිරුර මතට ගස් අතරින් පාවී ආ කොළ වැටෙමින් තිබුණි. ඔහු මුහුණට වට කොළයක සිටි පුංචි කුහුඹුවෙක් ඔහුගේ ඉත්තෑකූරු සේ දිස්වුණු රැවුළේ එහා මෙහා යමින් සිටියේය. එකවරම ඔහුගේ දිග රැවුල් ගසක් දිගේ නාස් පොල්ල තුළට වැදී ගියේය. සද්දන්තයෙකු ලෙසින් වැතිරී සිටි දඩයක්කාරයා ඉද්ද ගැසුවාක් මෙන් නැඟී සිටියේ එකවරමය. ඔහු අතකින් නාසයට තට්ටු කරමින් සිටියේය. වරෙක නාසය මහ හඬ නංවමින් සීරුවේය. ඔහුගේ හිස සෙළවෙද්දී බූටෑ ගැසී ගිය කෙස්මත රැදුණු පුංචි පුංචි කොළ කීපයක්ම විසිරී ගියේය. පසෙකින් තිබූ ගිනි කඳයා අතට ගත් දඩයක්කාරයා නාසයෙන් හඬ මතුකරමින්ම නුදුරේ තිබූ මහනුගය අසළට ගියේය. ඔහු මහනුගයේ මුදුනට වැටෙන හිරු එළිය දෙස බලාගෙන වේලාව සිතා ගත්තේය.
සමයන් ජාමේ පහුවෙලා.
දඩයක්කාරයා ට මොකක්දෝ අමුත්‍තක් දැනී යන්නට වුයේය.
ඔහුට එක් වරම දැනුණේ තමා නුවර කලාවියේ හක්කලං ගැසුවා ඇති බවකි.
තමා මෙතෙක් පා නොතැබූ රුහුණු දිශාවේ කැළෑ රොදකට යාමට තිබූ ඔහුගේ කැමත්ත එකවරම මතුව ආවේය.
ඔහු පියවර කීපයක් ඉදිරියට ගියේය. සමතලා බිමක සිට හිරු එළිය වැටෙන දිශාව බලා යා යුතු දිශාව තෝරා ගත්තේය.
ඔහු සෙමෙන් සෙමෙන් අසල තිබූ කොලොන් ගසක් වෙත ගොස් හොඳින් හිරු එළිය වැටෙමින් තිබූ පැත්තක වූ බෙනයක් තුළට අත දමා මී පැණි පිරුණු ලබු කැටයක් සමග පට්ටා වලින් එතූ යමක් එළියට ගත්තේය. අසළ තිබූ කිරි ගසකින් ගසට හානියක් නොවෙන්නට රිකිල්ලක් කඩා ගත් ඔහු මහනුගයේ තැනක එල්ලා මොන මොනවාදෝ මිමුණුවේය. එතෙක් සෙළවෙමින් තිබූ ගස් කොළං වල මුදුනත් නැවතී ගොසිනි. එම ගස මුළ තිබූ ගල් ගෙඩියක් එහා මෙහා කොට යමක් ගෙන ඉණේ ගසා ගත්තේය. එළියට ගනිද්දී වට හිරු එළියෙන් එය මොහොතකට දිළිසී ගියේය.
ඔහු පස්සෙන් පස්සට යාමට පටන් ගත්තේය. ඔහු එකවරම ආපසු හැරුණේය. එසේ හැරු වනය තුළින් විටෙන් විට ඇසී ගිය දිරා ගිය අතු බිඳෙන හඬ කෙමෙන් කෙමෙන් නො ඇසී ගියේය.
සේනක තමා ලියමින් සිටි ලිපිය මත වූ අකුරු මත අවසන් වරට බැලුවේය.ඔහු තව දුරටත් එම කරුණු ඔස්සේ සිය සිතුවිලි අවදිවන්නට ඉඩ නොදීමට සිතා ගත්තේ කාලයක සිට මෙනෙහි කරමින් තමන් ගත් තීරණය වෙනස් වී යතැයි බියෙනි. සිය ශාඛාවේ සියල්ලෝම දිනයේ අවසන් කටයුතු නිමා කරමින් සිටියහ.
අයකැමියන් මුදල් බඳිමින් හා ඒවා ලා කඩ දමමින් සිටින වග ඔහු දැන ගත්තේ හමා යන උණු වූ ලාකඩ. සුවඳෙනි.
ලාච්චුව විවර කළ ඔහු සේප්පුවේ හා බැංකු ශාඛාවේ පළමු යතුරු කීපය ලියූ ලිපිය මත තැබුවේය. නිවසේදි මහ රැයකදී හදිසියේ අවදි වූ විට ඔහු මුලින්ම බැලුවේ යතුරු ආරක්ෂිතව ඇද්දැයි කියාය. කැසිකිළියට ගිය ඔහු බැංකු ශාඛාව දෙස බැලූවත් කිසිවකු තමා දෙස බලා ඉන්නා වගක් ඔහු නුදුටුවේය. ඔහු බැහැරව යාමට ගොස් යළි හැරී ආවේය.ඔහු යතුරු කීපය කවරයක දමා මුද්‍රා තැබුවේය. එය ලබා දිය යුත්තේ තමාට වඩා ඉහළ නිලධාරීයෙකුට බැවින් ඔහු එය සිය ප්‍රාදේශීය කළමනාකරුට යොමු කළේය.
“සර්”
“අද අපි එනව කීවනේ හිඟුරක්කගොඩ එම්. ටී. මෝටර්ස් බලන්න.”
ණය නිලධාරීගේ සිහි කැඳවුම.
“ඔව් හේවගේ මටත් ඒක දැනුයි මතක් උනේ. මං පරක්කු උණොත් ඔයා වහල යන්න.”
සේනක ඉතා සංසුන්ව එහෙත් ඉක්මන් ලෙසින් පිටව යන බව පෙන්වීය. ඔහු හදිසියේම මතක් වූ දෙයක් කරන්නට එතෙක් ලාච්චුවේ තිබූ ජංගම ෆෝනය අතට ගත්තේය. ඔහු සිය ඉහළ නිලධාරීයාට කෙටි පණිවුඩයක් තැබුවේය.
“තව පැය භාගයකින් ශාඛාවට එන්න. හදිසියක්”
ඔහු තම අසුනට ඉහළින් ඇති බුදු පිළිමය දෙස බල්ද්දී උදෑසන පිදූ මල්වලින් එකක් බිම වැටී තිබෙනු දුටුවේය.
පිළිමය අසළ තිබූ මල් මෙන් නොව එය දුර්වර්ණ වෙමින් තිබුණේය. ඔහු එ’මල ගෙන කුණු කූඩයෙන් තැබුවේය.
“පුප්පංමිලායාති යථා ඉදම්මේ”
ඇවිද යමින් සිටි ඔහු අසළට විත් වාහන දෙකක්ම නැවතුවත් ඔහු ළඟට යන බව කියා ඇවිදමින් ගියේය. මා මේ ශාඛාවෙන් ගිය දවසක හෝ විශ්‍රාම ගියාමත් මෙයාල අපි ගැන මෙහෙම හිතනවා නම් කොච්චර හොඳද? සේනකගේ සිත පහන් හැඟුමකින් පිරී ගියේය. දුර බස් නැවතුමේ ඒ මොහොතේ නවතා තිබුණේ මාතර බලා යන බසයක් පමණි. මේ බස් එකේ නැංගොත් නම් හිටගෙනම තමයි. ඔහු පසෙකට වෙද්දී කොන්දොස්තරවරයා “සර් පොඩ්ඩක් ඉන්න.” කියා අනික් පසින් ගොස් රියදුරුට කුමක්දෝ කීවේය.
පොරකමින් බසයට සියල්ලෝම නැඟගත් පසුවද අසුනක් දෙකක් ඉතිරිව තිබුණි. ඔහු ඒ කරා යද්දී රියදුරු, අසුනක තබා තිබූ බෑගයක් අතට ගෙන ඔහුට වාඩි වෙන්නට සැලැස්සුවේය. බස් රථය හබරණ පසු කරද්දී ඔහු අත් ඔර්ලෝසුව බැලුවේය. දැන් ඒරියා මැනේජර් ඇවිත් ඇති. ඔක්කෝමල මූනෙන් මූණු බලනවා ඇති. සේනක වේගයෙන් ඇදී යන බසයට පසු වෙන ගස් දෙස බලා සිටියේය. එළියෙන් එන සුළං පහරට සිය දෑසඟින් ගලා ගිය කඳුළු බිඳුවක් ඔහු පිස දමා ගත්තේය. සිය මුහුණු පොතේ මිතුරු හිමිනමක් සිහිවීමෙන් ඔහු බැස ගත්තේ ගාල්ලෙනි. තමන් අවාසනාවන්තයකු නොවේ යැයි ඔහුට මුල්වරට සිතුණේ අවසන් බසය පමාවී පැමිණීම නිසාය.
මහ රැයේ තමන් සොයා ආ මුහුණු පොතින් හඳුනාගත් මිතුරාගෙන් කිසිත් නෑසු හිමිනම ඔහුට කාමරයක් පෙන්නුවේය. අතරමගදී මිලට ගත් අලුත්ම ඇඳුම් දැකීමෙන් උන්වහන්සේ යමක් සිදුවීමට යනබව වටහා ගත්තේය.
කඳු මුදුනේ සිට ගලා ආ දිය පහර සිහින් බටයකින් වැටී වහළක් නැති නාන ගෙයි බැඳ තිබූ ටැංකිය උතුරා යමින් තිබුණේය. පළමු දිය පනිට්ටුව ඇඟට වැටෙද්දී විදුලියක් සේ දැනී ගිය සීතලෙන් සේනකගේ සිරුර සලිත වී ගියේය. හිසට වැටී නළල දිගේ රූරා වැටෙන දිය අතරින් දෑස් විවර කළ ඔහුගේ නෙත් දුටුවේ නිවි නිවී දැල්වී යන ආලෝකයකි. බිත්තියේ ඉහළින් දැල්වෙමින් තිබූ විදුලි බල්බයේ ආලෝකය ගලා හැළෙන දිය පාරත් සමග හුරතල් වෙනු ඔහු බලා සිටියේ ඇස් පිහාටු රිදුම් දෙද්දීය .
ඔහු කාමරයේ ඇඳ ගසා දමද්දී ඉන් නැගී ආ දූවිල්ල හා මුඬු ගඳ කුටිය සිසාරා ගියේය. සේනක ඒ සියල්ල අමතක කොට උන් වහන්සේ තමන් දෙස හෙළුැ කාරුණිකත්වය සිහි කළේය.
මැදියම් රැය පසුවෙමින් තිබුණි. දඩයක්කාරයා හබරණ කැළෑව පසු කරමින් සිටියේය. අයියනායක අඩවියට ඔහු ඇතුළුවෙද්දී දැදුරු ඔය මත ගළා ගියේ පොර බදන දිය කඳක් වෙනුවට සඳ එළියට දිළිසෙමින් තිබුණු වැළි තලාවයි. ඈතින් හඬක් ඇසී ඒ දෙසට ඔහු සෙමින් සෙමින් ළං වෙද්දී දුටුවේ, වැළි ගොඩ දමමින් සිටින මිනිසුන් කීප දෙනෙකි. ඔහු මොහොතක් නැවතී කල්පනා කළේ මොවුන් මග හැර යනවාද නැතිනම් මොවුන්ට පෙනි පෙනී යන්නේද කියායි.
මොහොතක් නැවතී සිටි දඩයක්කාරයා සිය තුවක්කුව ගෙන ගොස් ගස් දෙබලක සිර කොට බැන්ඳේය. ඉන්පසු කොකාගේ මදු වැළක් ගැට ගසා එය වෙනත් පසෙකට ගත්තේය. ඔහු එක් වරම විසිල් හඬක් ඉතා වේගයෙන් මතු කළේය. ඔහු පඳුරු අතරින් බලා සිටියේය. කලබල වූ ඔවුන් වට පිට බලද්දී දඩයක්කාරයා වෙනත් පැත්තකට ගොස් තවත් විසිල් හඬක් නැඟුවේය. ඒ වර එළියට ආවේ හැඩිදැඩි පෙනුමක් ඇති එකෙකි. ඔහුගේ අතේ මෙන්ම බෙල්ල වටේ එතී ගිය මාලයද හඳ එළියෙන් දිළිසෙමින් තිබුණේය. අවසන් වරට විසිල් හඬ ඔවුන්ට ඇසුණේ ඉතා නුදුරෙනි. මොහොතකින් කැළයෙන් ඇසුණු වෙඩි හඬත් සමගම හදිසියේම පණ ගැන්වුණු වාහනයක් සහ ට්‍රක් රථයක් ඵළි නොදල්වා පෙරට ඇදී ගියේ වාහනය ගැන කිසිදු ආසාවකින් තොරව බව ඔහු බලා සිටියේය.
දඩයක්කාරයා සෙමින් සෙමින් එහි ළඟා වෙද්දී වාඩියක ලන්තෑරුමක් දැල්වෙමින් තිබුණි. ඔහු එහි තිබූ සියලු ආම්පන්න ළඟම තිබූ විල්බැරෝවකට පටවා ගෙන ගොස් තමා පසු කර එද්දී දුටු පතහක් මෙන් වූ වළකට දමා ආවේය. වාඩියට ආ ඔහුට ඔවුන්ගේ ඇඳුම් හා මුදල් පසුම්බියක්ද හමු වුයේය. සියල්ල එක පොදියක ට ගැට ගැසූ ඔහු ඒවා අසළ ගසක එල්ලුවේය. ළිපමත තැටියක පුච්චා දමා තිබූ රොටී ගෙඩිවලින් ඔහු ගෙඩි දෙකක් පමණක් ගෙන ඉතිරිවා එළියෙන් තැබුවේය.
අසලක වූ ප්ලාස්ටික් බඳුනක තිබූ භූමිතෙල් ගෙන ඔහු මුළු වාඩිය වටා හා වහළය මතට ඉස්සේය. එළියේ බැඳ තිබූ ළිපක දැල්වෙමින් තිබූ ගිනි පෙනල්ලක් ගෙන දුර ඈත සිට වාඩිය දෙසට වීසි කළ ඔහු නිසොල්මනේ සිය ගමන පිටත් විය.
කෑළෑව මැදින් යමින් සිටි ඔහුට ගස් අතරින් දුර ඈතින් ගින්දර බුර බුරා නගිනු පෙණුණි. මී මැස්සෝ පැණි සොයා යන පැණිජාමේ වෙද්දී ඔහු දුටුවේ දුර ඈතින් මතුවෙන දුමක් පමණි.
අයියනායක අඩවිය පසුකර මූදුකරයට වදින්නට ඔහුට දින කීපයක් ගත වුණේ හිරුත් සමග ගමනක් නොවූ හෙයිනි. හලාවතින් මාළු බෝට්ටුවක් හදි නොගැහෙන්නට ඔහු තවමත් ගමනේය. ගාල්ලට නොගොස් අතරමැදින් බැස ගත් ඔහු කෙටි පාරවල් යැයි කියා සිතුණු මාවත් දිගේ මහ කන්දක් අසල වන රොදක් සොයා පියවර මැන්නේය.
“මහත්මයා සංසාරය කෙටිකර ගන්න හිතූ එක හොඳයි. ඒත් ඒකට කෙටි ක්‍රම නෑ. අනික පසුවට කරදර ඇතිවෙන ඒව කරල නම් ආවේ එහෙම ඇවිල්ලත් ශාසනේට ඇතුළු වෙන්න බැහැ. හැම දෙයක්ම නීත්‍යනුකූලව වීම තමා පිරිසිදු. ඒක ගැන දෙතුන් වතාවක් හරි හිතල තීරණේ ගන්න.”
“අවසර හාමුදුරුවනේ මං එහෙම වැරදි යමක් කරල ඒකෙන් ගැලවෙන්න ආපු ගමනක් නොවේ මේ. අනික මං මෙතනට ආවේ නිදහසේ දන්නා කියන අයගෙන් දුරස්වෙලා ආගමානුකූල ජීවිතයක් ගෙවන්න හිතාගෙනයි. මං ගිහි ගෙයින් මිදෙන්න කළ යුතු හැම දෙයක්ම නීත්‍යනුකූලව කරළයි ආවේ.”
“එහෙම නම් කමක් නෑ මහත්මයා. මට දැනෙනවා ඔබ ස්ථීර අදහසක ඉන්න බව. හෙට ඉඳන් එතකොට ඔය සියලුම දේවල් අමතක කරල අපිට ගෙවන්න වෙන්නේ අමුතු ජීවිතයක්. වැඩිහිටි වයසේ සාමණේර කෙනෙක් වශයෙන් ඉඳීම අසීරු දෙයක්. හැබැයි එහෙම ඉඳීමත් ගුණ දහම් ප්‍රගුණ කිරීමක්. ඉවසීම ඇතිකර ගැනීමක්. අස්මිමානය බිඳ දැමීමක්. ඒ නිසා මේ පොත හොඳින් කියවලා සූදානම් වුණොත් අපිට පුළුවන් වෙයි තුන් මාසෙකින් මහණ පිංකම ගන්න.”
ඇඳට ගොඩවුණු සේනක නායක හාමුදුරුවෝ දුන් සාමනේර ගුණ දහම්පොත එක හුස්මට කියවා ගෙන ගියේය. දුර ගමනක වෙහස සිය ගතට දුන් රිදුම් ඔහු ගණන් නොගත්තේය. අවටින් හමා ආ සුළං විඳගන්නට ගොස් විවර කළ ජනේලයෙන් එකවර ඇතුළු වූයේ බොහෝ කලක සිට අයිතිය නවතා තබා හදිසියේ අවසර ලද්දවුන් මෙන් ඇතුළු වූ මදුරු රෑන් රෑන්ය.
පන්සල් බිමට ඉහළින් කඳු ගැටයේ ගස් කොළන් මුදුනින් සිහින් දුමාරයක් ඉහළට නඟිමින් තිබුණේය. කන්ද මුදුනේ ගුහාව වටාපිටාවෙ වෙනදා නොතිබූ හැඩයක් ගනිමින් තිබුණේය.
මුල්ලක හේත්තු කර තිබූ තුවක්කුව අසළ දෙබොක්කාවක එල්ලා තැබූ පැසක් වැනෙමින් තිබුණේය. ගස් අතරින් පහළට බැසගත් දඩයක්කාරයා පංසල පේන නොපෙනන මානයට විත් එදෙස බලා සිටියේය. රජමහ විහාරයක් නොවූවද පන්සලක තිබිය යුතු සියලු වැඳිය පිදිය යුතු තැන් ඔහු එක බැල්මෙන්ම හඳුනා ගත්තේය. හිමිදිරි පාන්දර අමඳින හඬක් ඇසී ඔහු ඈත මෑත බලද්දී සේනක බෝ මළුව අමදිනවා ඔහු දිටීය. තමන් එන මග අත හැර දමා ගිය හේනකින් ගෙනා දුංකොළයකින් ඔතාගත් සුරුට්ටුවේ අග්ගිස්ස ඔහු දෙතුන් වරක්ම විකුවේය. ඉන් මුවට දැණුනු මත්සැරින් එතෙක් මුවේ තිබූ කාරම් ගතිය ඔහු පිට කරගත්තේය. දඩයක්කාරයා පංසල් භූමිය හොඳින් පෙනන තැනක් බලා ගොස් එහි ඇණ තබා ගත්තේය. කුණු ටික ඉදළ මතම තබාගත් සේනක එය රැගෙන ගොස් කැරකි කැරකී අවසානයේ සොයාගත් කුණු වළට දැමුවේය. ඔහු වතුර බාල්දියක් ගෙන ගොස් මලසුන පිරිසිදු කළේය.
වනයේදි කටු අත්තකට තදින් සීරි ගිය තැනකින් හදිසියේ මතුව ආ වෙදනාවට වඩා. ඔහුට අසීරු වූයේ විඩෙන් විඩේ ඒ මත වසා මැස්සන් දෙන වදයයි.
හදිසියේම ඔහු දුටුවේ දුම් දමන බේසමක් ඔසොවා ගෙන ඉක්මන් ගමනින් යන සේනකයි. එසේ යද්දී ඔහු සර්කස්කාරයෙකු මෙන් දඩයක්කාරයා දුටුවේ ඔහු උරහිස මත රැඳුණු තුවාය බිම වැටෙන්නට නොදී බේරාගන්නට කළ වෑයමයි. දඩයක්කාරයාගේ මුවඟට සිහින් මඳහසක් නැඟුණි. මුව දොවා ආපසු වැඩිය සිය ගුරුහිමියන් වෙත සේනක රැගෙන ගියේ දුම් දමන ගිලන්පස බඳුනකි. මහණ වීමට පෙරාතුව කළ යුතු වතාවත් සේනක සපුරමින් සිටින බව දඩයක්කාරයා වටහා ගත්‍තේය. සේනක ගත වූ දින ගණන පුරාම එය මැනවින් ඉගෙන ගෙන ඇතැයි ඔහුට සිතුණි. නැඟිට ගත් ඔහු දිගු සුසුමක් ගෙන හෙමින් හෙමින් පිට කළේය. කුමක්දෝ සියුම් හැගීමක් සිය සිත පුරා එහා මෙහා හක්කලං ගහන බවක් දැනෙද්දී ඔහු ආපසු හැරුණේය. කලාතුරකින් හෝ මතු වූ බවක් සිහි නොකළ හැකි දෙයක් ඒ මොහොතේ සිදුව ගියේය.
දඩයක්කාරයාගේ තොල් අතරින් නැඟි මඳහසක් ඔහුගේ මුහුණ පුරාසෙමින් මතුව යමින් තිබුණි. සීරුවෙන් බැස ආ පල්ලම ඔහු ඉතා පහසුවෙන් නැඟ ගියේය. කැළයේ කොහේදෝ තැනකින් පිපි මී මල් සුවඳක් පැතිර යමින් තිබුණේය.
දින කීපයක් දඩයක්කාරයා වනය පුරා ඇවිද ගියේය. කවුඩුල්ල වනාන්තරයේ තරම් ගස් කොළන් හෝ සතා සීපාවා ඔහුට හදි ගැසුණේ නැත. වැලි වාඩියෙන් ගෙනා ලුනු හා මිරිස් නිසා තමන් ගෙනා වියළි මස් පතුරු ඔහු ආහාරයට ගත්තේ ඉඳහිට හමු වූ හාවෙකුට හෝ කරදරයක් නොකරමිනි. කැළයේ දුරට ගොස් ඔහු පෙරළා ආ දිනෙක ඔහු දුටුවේ ගුහාව ඉදිරියේ දැල්වෙන පහනකි. ඔහු ගස් වලට වහං වෙමින් පැමිණ අඩ හෝරාවක් පමණ බලා සිටියේය. හැළහොල්මනක් නැති තැන ගල් කැටක් ගෙන ගුහාව තුළට වීසි කළේය. කිසිවකු නැත. කිසිවකු හෝ පැමිණ ගුහාව පිරිසිදු කොට මැස්සක් ගසා පළතුරු හා කැවිලි වට්ටියක්ම තබා ගොස් තිබුණි. තමා තව දුරටත් මෙහි රැදීම නොකළ යුතු යැයි ඔහු සිතා ගත්තේය.
දඩයක්කාරයා යළිත් පංසල් භූමිය පේන මානයට ගියේය. බැස යන හිරුගේ එළිය වැටී බෝ ගසේ ලියළමින් තිබූ ළා දළු බෝ පත් අමුතු පැහැයක් ගනිමින් තිබුණි. ඒ දෙස ඔහු මොහොතක් බලා සිටියේය. ඈතින් යමෙකු පිරිත් කියන හඬක් ඇසී ඔහු වට පිට බලද්දී බුදු ගේ ඉදිරිපිට වාඩි වී කට පාඩමින් පිරිත් කියන සේනක ඔහු දුටුවේය. දඩයක්කාරයා ට සේනකගේ පවුලේ සියලු ඛේදවාචක සිහියට ගලා එන්නට වැඩි වේලාවක් ගියේ නැත.
පව් අසරණයා විතරයි බේරිලා ඉන්නේ. ඔහුගේ පවුලේ මව් හැර සියල්ල මිය ගිය අයුරු ඔහුට සිහි වෙයි. ඔවුන් මිය ගියේ පතා ගෙන ආ ලෙසින් මෙන් සියල්ලෝම නැතිවුණේ සිය දිවි නසා ගැනීමෙනි. මෙයා මෙතන හිටියොත් ඒක සිද්ද නොවෙයි. පවුලටයි ගමටයි හිටිය උගත් දරුවා. ඒත් කසාදේ නිසා මැරි මැරී නොමැරි ජීවත් වුනේ. අම්මප මෙහෙමත් ගෑණු. මේ අසමත්ජාති ගෑනු මනුස්සයා මේ මිනිහට ගෙදරත් අපායක් කරවලා බැංකුවටත් ගිහින් කෑ ගහනවලු.
දඩයක්කාරයාගේ අතට තුවක්කු බඳ තරයේ හිරවිය.
ඔහු අමතක වීමට ගිය දඩමල්ල කරේ එල්ලා ගැනීමට පෙර නොපෙනෙන දෙවියෙකුට දඩයක්කාරයෙකු ළඟින තැනකට පැමිණ පුදා ගිය පළතුරුත් කැවිලිත් ගෙන එහි ඔබා ගත්තේ ඔවුන්ට යහපතක් වේවායි සිතමිනි. මොහොතක් ගුහාව දෙස බලා සිටි දඩයක්කාරයා එකවරම ආපසු හැරී පිටව ගියේය. මොහොතකින් කැළය මැදින් දිරා ගිය ලීයක් බිඳෙන හඬ මතුවිය.
මුහුණු පොත හරහා හඳුනාගත් දැන් තමන් අභිමුව සිටින මිතුරා දෙස නායක හාමුදුරුවෝ බලා සිටියහ. සාමණේර භික්ෂුවක් වීමට පෙර සැපිරිය යුතු සියලු වතාවත් ඉටු කරන ආකාරයෙන්ම ඔහු කොතරම් සිය අදිටන වෙනුවෙන් කැප වී ඇද්දැයි උන් වහන්සේ සිතා ගත් හ. ඔහුට දැනටම සියලුම ගාථා හා පාඨ කට පාඩම් වී හමාරය. එහෙත් සිය නිකාය අනුදැන ගත් ආකාරයට ඒ සියල්ල සිදුවීම මැනවැයි උන් වහන්සේ සිතූහ.
විද්‍යාවේදි ගෞරව උපාධියක් හිමි, පිළිගත් රාජ්‍ය බැංකුවක වගකිව යුතු රාජකාරියක් කර රැස්කර ගත්තු දැනුම් සම්භාරයක් ඇතිනෙ. ඒ සියල්ලම එක්ක සාශනේට මතු දවසේ විශාල යහපතක් තමුන්ගේ ගුරු භාවයෙන් සසුන්ගත වෙන ඔහුගෙන් සිදුවෙනු ඇති බවක් උන් වහන්සේගේ ට හැඟී යමින් තිබුණි.
“දැන් මහත්තයෝ, අපේ මහණ පිංකමත් ළඟයි නේද? මට තියෙනවා ඒකෙ වැඩ වලට එහෙ මෙහේ දුවන්න. කෝ අපේ වෙලාවටමනේ මේ ඩැයිවර් කොලුත් රට ගියේ.”
උන් වහන්සේ එසේ කියද්දී සේනක ගුරු හිමියන්ගේ මුහුණ දෙස බැලුවේ ඒක ගැටලුවක් කර ගන්න එපා කියන්නාක් මෙනි.
“එහෙමය කියල මට මහත්තයා අරන් යන්නත් බෑනෙ. ඒක පසුවට හොඳ නෑ.”
“ගුරු හාමුදුරුවනේ අපිට බැරිද දැන්වීමක් දාල හොඳ කෙනෙක්ව සොයා ගන්න.”
” ඔව් ඒකත් හොඳ අදහසක්. මං අපේ පොලීසියේ ලොකු මහත්තයාටත් කීවා දන්නා කියන කෙනෙක් වෙතොත් පන්සලට පංගනාත්තු කරන්ඩ කියල. අපි ඒක නිසා ටික දොහක් බලල නැත්නම් එහෙම කරමු.”
ගෙවී ගිය හැම දිනක්ම සේනකට අලුත් යමක් ජිවිතයට එකතු කර දුන්නේය. ඔහු ලැබෙන හැම මොහොතක්ම සිවුරක් පොරවා ගැනීමට නොව සංසාරය කෙටිකර ගැනීම උදෙසා යෙදුවේය. රාත්‍රී අහර නැවත්තූ දා සිට දින දෙක තුනක් යන තුරු ඔහුට රැයේ විටෙන් විට නින්ද නො ආවේය. එහෙත් එය පුරුදු වීමෙන් පසු ඔහුට සිතුණේ තමා එය මෙයට පෙර නොකළේ මන්ද යන්නයි. ඔහු මැදියම අවදි වී උදෑසන වනතුරු නොකඩවා භාවනා කළේය. භාවනාව දිගින් දිගටම කරගෙන යාම නිසා තමන්ට වෙනදා නොමැති මතක ශක්තියක් ඇති වී ඇති බව සේනකට දැනෙන්නට විය. කෙමෙන් කෙමෙන් සිය දිනයේ උදාව ළං වෙද්දී පංසලේ ඇති වෙන්නට වූයේ කලබලකාරි ගතියකි.
” මහත්තයෝ අද තමයි අපි දෑව දැන්වීමට කට්ටිය එන දවස.”
“ගුරු හාමුදුරුවනේ මොකක් ගැනද ඔබ වහන්සේ ඔය”
” ඇයි අර අපට රියැදුරෙක් ගන්න වැඩේ”
“මං හිතුවේ ඔබ වහන්සේ වාහනේ මාරුකර ගත්තොත් හොඳයි කීව නිසා….”
” මට ඔය නොදන්න දේවල් අහන්න බෑ. මහත්තයා ඒ එන අයතෙක්ක දොඩලා හොඳ කෙනෙක් තෝරමු. මන් පොලීසියේ මහත්තයාටත් කීවා ඔය ට්‍රැෆික් එකේ මහත්තයකුත් එවන්ඩය කියලා.”
සම්මුඛ පරීක්ෂණය කෙරෙද්දී ඇතුළු වූ අයදුම්කරුවෙකු නිසා සේනකට කරකියා ගත හැකි දෙයක් නොවීය.
” හත් දෙය්යනේ මේ නැති උනාය කියන අපේ සේනක මහත්තයා නොවැ.”
මං මෙහෙත් ඉඳල ඉවරයි. මේ අල්ලපු ගෙදර ත්‍රී වීලරේ එළපු හාදයා .
සේනක නායක හිමි දෙස බැලුවා පමණකි.
” අපේ මහත්තයා හොඳින් දන්න කෙනෙක් ද මේ”
ඔහුට පිළිතුරක් දීමට ලැබුණේ නැත.
” මහත්තයෝ මං අදම ආපහු යනවා. මහත්‍තයාගේ දරුවෝ ටික කොයිතරම් සන්තෝෂ වෙයිද? නෝන නං පහුගිය දොහක බොහොම ජයට එයාගේ උපන් දිනේ නම් ගත්තා.”
සේනක නිහඬව බලා සිටියා පමණකි.
ඔහු බලා සිටියේ තම කාරිය අවසන් වෙනවාට වඩා පොලීසියෙන් ආ අය ආපසු යන තෙක් ය.
“මට සමාවෙන්න මගේ ගුරු හාමුදුරුවනේ , මං මේ සංසාරේ කළකිරුණ කීවට මං ඒවට බලපෑව හේතු සහසුද්දෙන්ම කීවේ නෑ. ඔබ වහන්සේ ඇහුවෙත් නෑ. නමුත් මේ සියල්ල කීම මගේ යුතුකමක්. මං විවාහ වුණේ ආශ්‍රය කරළා. නමුත් ඒ ඇත්තී දෙවැනි දරුවාගෙන් පස්සේ වෙනස් වුණා. කොටින්ම මට අදහන්න බැරි තරමට එයා පහළ මට්ටමට වැටුණා. ගමේ පංසලේ නායක හාමුදුරුවෝ ළවා මං කීප වතාවක්ම අවවාද කෙරෙව්වා. ඒත් ඒ හැම දෙයක්ම ඒ වෙලාවට විතරක් වුණා. එයා මගේ ගෙදරදි විතරක් නොවේ මගේ බැංකුවටත් ඇවිත් මගේ නම කැත කළා. ඒත් හැමෝම මං ගැන දන්නවා. එයා ගැනත් දැන ගත්තා.”
සේනක සිය ගුරු හිමියන් දෙස බැලුවේ උන් වහන්සේට තමන් අසා සිටීම කිසියම් අපහසුවක්දැයි දැන ගන්නටය. උන් වහන්සේ බිම බලාගෙන සිටියත් ඔහුට සන් කළේ දිගටම කියන්න යනුවෙනි.
“ඔබ වහන්සේ නොදන්නා තවත් දෙයක් තියෙනවා. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ හය දෙනෙක්. මං බාලයා. මගේ අප්පච්චිත් ඇතුළුව ඒ හය දෙනාම මළේ සිය දිවි හානි කරගෙන. මගේ අම්මා බයයි මාත් එහෙම කර ගනීද කියලා. මටත් එහෙම කර ගන්න හිතුණු වාර අනන්තයි මගෙ ගුරු හාමුදුරුවනේ. ඒත් මං ඉවසුවා මගේ අම්මයි දරුවෝ තුන් දෙනයි නිසා. බැරිම තැනයි මං මගේ හැම බැඳීමක්ම නීත්‍යනුකූලව අවසන් කරලා මේ දුරට ආවේ. හැබැයි දැන් මට තේරෙනවා මට මේ ඇත්තිගෙන් බේරුමක් නෑ කියලා. ඔන්න බලන්න අපෙ හාමුදුරුවනේ ඔය ඇත්තී හෙටම මෙහේට එනවා. ඇවිදින් ඔබ වහන්සේටත් මෙතන වසන්න බැරි විදියට හිරිහැරයක් වෙනවා. ඒ නිසා මට මෙහෙන් පිට වී යන්නට අවසර පතනවා.”
“අපේ මහත්තයා සංසුන් වෙන්න. අපි කලබල වුණොත් මොනවත් කරන්න බැහැ නේද? අනික අපිට ප්‍රශ්න වලින් පැනල ගිහිල්ලත් බැහැ නේද? අපි ඒවට මුහුණ දෙමු. මහත්තයා මුලදී ඒව තීරණය කරල නේද අපි මේ වැඩේ පටන් ගත්තේ.”
සේනක සෙමින් සෙමින් බෝ මළුව දෙසට පියවර මැන්නේය.ඔහු යන දෙස බලා සිටි නායක ගුරු හිමියන් බෝ මළුවේ බෝ පත් අතරින් පෙනෙන කොත් කැරැල්ල දෙස බලා සිටියේය.
බිම වැටී තිබුණු බෝපත් කීපය අහුළා ගත් සේනක ඒ මතින් සිය අතට නඟින කුහුඹුවන් දෙස බලා ගෙනම බෝමැඬ මුලට ගොස් වාඩි ගත්තේය. මේ ඇත්තී මට මගේ සංසාරෙන් එතෙර වෙන්න තියා නිදහසේ ඉන්නවත් දෙන්නේ නෑ. මං සිවුරක් දරා ගෙන හිටියත් මේ අය මට අපහාස කරාවි. කරදර කරාවි. ඇය තමන් වැඩ කරමින් සිටින තැනට පවා පැමිණ සිය කාර්ය මණ්ඩලය මෙන්ම ගනුදෙනුකරුවන් ඉදිරියේදීද නොයෙක්වර හැසුරුණු ආකාරය ඔහුට මැවි මැවී පෙනෙද්දී සිය ගත එකවරම කිළිපොලා යනු දැනුණි. අතට නැඟුණු කුහුඹුවන් එකා දෙන්නා තැනින් තැන සිය ගත විකනු ඔහුට දැනී ගියේය. පුංචි වුණත් මෙයාල කද්දි ඉවසන්න අමාරුයි.
සතුන් නොමැරෙන්නට ඔහු සෙමෙන් සෙමෙන් සිරුර පිස දැමුවේය.
වෙනදා සේම පසුදා උදෑසන හිරු පායා එමින් තිබුණි. මුව දෙවීමට දිය බඳුනත් තමන්ගේ ගිලන් පසත් වෙනදා මෙන්ම වසා තිබුණි. එහෙත් එය වෙනදා මෙන් උණුසුම්ව තිබුණේ නැත. එසේම වෙනදා මෙන් ඇසෙන මිදුල අමඳින හඬ නෑසුණි. තේ එකත් නිවිලා. සේනක මහත්තයා උදෙන්ම අද මිදුල් අමදින්න ඇති. කැසිකිළිය දෙසට වඩින උන්වහන්සේ දෙසට ආවතේව කරන මාමා දුවගෙන එමින් සිටියේය.
” ලොකු හාමුදුරුවනේ සේනක මහත්තයා කාමරේ නෑ”
“බලන්න අහල පහල.”
කාමරේට වැඩිය නායක හිමියන්ට එතෙක් ගබඩා කාමරයක් සේ වූ එහි තිබූ පිළිවෙළ හා පිරිසිදුකම දැකීමෙන් පහළ වූ පහන් සිත මොහොතකින් රැඳුණේ එහි වූ බුදු පිළිමය අසළ සිය නමට ලියා තැබූ ලිපිය මතය.
“පව් අහිංසකය”
ලිපිය අඳනයේ ගසා ගත් උන්වහන්සේ මාමාට ගණ්ඨාව නාද කරන්නට කියා සිය කාමරයට ගොස් සේනක පැවිදි කිරීමෙන් පසු ඔහුට පෙරවීමට රැගෙන ආ සිවුර ගෙන බුදු ගෙට ගොස් බුදු පිළිමය අබියස තබා වැන්දේය.
දඩයක්කාරයාට ගියාට වඩා කාලයක් ආපසු ඒමට ගත වූයේය. ඔහු ආපසු එද්දී කැළෑ පාළුවන්ගේ වාඩියක් මුළු මනින්ම ගිනි තියා විනාශ කළේය. ඔහු එතනත් කලින් වැලි ගොඩ දැමූ තැනත් කාර්ඩ් බෝර්ඩ් කැබැලි දෙකක ලියා දැන්වීම් දෙකක් තබා ආවේය.
“නවතා නොදෙම්මොත් මරණය”
දඩයක්කාරයා සිය පුරුදු මණ්ඩියට ආවේය.ඔහු පැමිණි වහාම බැලුවේ තමන් වෙත. ඇති පණිවුඩයි. කිසිවකු පැමිණ නැත. ඔහු මඳක් නුග සෙවනේ වැතිර ගන්නට සිතුවේය. වැරතිර ගත් ඔහුට දැඩි වෙහෙසක් දෑනෙන්නට විය. දෑස මොහොතකින් අඩවන්ව යාමට පටන් ගත්තා පමණි.
අමුතු කුරුල්ලෝ රෑනක් මහ නුගයට ඉහළින් පියඹා ගියහ. වෙනදා තමන් දුටු විට ඈතින් දිව යන වඳුරන් සේම රිළවුන්ද පැමිණ ඔහු අබියස බලා ඉන්නවා ඔහු දුටුවේ නෙත් පියන් වැහෙන්නට දඟලද්දීය. ඔහු තමන් අබියසට එසේ පැමිණෙන්නේ කිසියම් ඇබැද්දියක් ගැන දැනුම් දීමටය. ඔහු පෑළ දිග අහස බැලුවේය. නොමේරු වැහි බිත්තර පිරුණු වළාවන් බලහත්කාරයෙන් පුපුරා යන්නට මෙන් කළු පැහැ ගැන්වෙමින් තිබුණේය. යමක් සිදුවෙමින් පවතින බව දඩයක්කාරයාට දැනෙමින් තිබෙද්දී ඔහු වහ වහා නැඟිට සිටියේය.
ඔහු දුර වටා පිටාව පෙනෙන කොලොන් ගසට නැඟ හතර වට සිසාරා බැලුවේය. මහ වනයට කිසිදු හානියක් සිදුවෙමින් නොපවතී. ඔහු තුවක්කුව කරේ තබා ගෙන ගම් ගොඩට වැටී ඇති අඩි පාරේ ඉදිරියටම ගියේය. කලෙකින් කිසිවකු හෝ ආ ගිය වගක් නැත. ඔහු දිවුලන්කඩවලට ගියේ වනයට කිට්ටුම ගම්මානය එය වූ බැවිනි. හැළහොල්මනක් නැත. වෙනදා නොමැති පාළුවකින් ගම පිරී ඇතැයි ඔහුට සිතුණි. දුර ඈතින් හංදියේ දමා ඇති සුදු පාට පාලම් කොඩිය දුවන ඔහුගේ ඇස් නවතාලුයේය. කිසිවකුත් මුණ නොගැසුනෙන් ඔහු පංසල දෙසට යද්දී පංසල් බිම අතු ගා කුණු දමන්නට එන නායක හාමුදුරුවන් ඔහු දුටුවේය.
“ආ උඹහැ බොහොම කාලෙකින් “
” ගම් ගොඩේ මට අහවල් රාජකාරියක්ද අපේ හාමුදුරුවනේ . කැලේ මට සැපයි ඕං.”
” ඒකනම් හැබෑවයි ඕං බලපන් කරුමේ කියන්නේ, අපේ අර සේනක මහත්‍තයා මටත් කියාල ගියා දුරක ගොහින් මහණදම් පුරන්නම්ය කියා. ඒත් කරුමේ කියන්නේ අර කිංකර භාරියාව ගිහින් එතනත් අවුලක් කරලා මයේ හිතේ. ඒ ඇත්තී ආපහු එන්ඩ කලියෙන් මහත්තයා ගෙදර ඇහිදින්. ඕන් එයත් වහ බීලා ජීවිතේ හානි කොරාන. ඉතින් බලාපන් කරුමෙක හැටි. මුළු පවුලම නැති වුණේ පණ නහගෙන නොවැ.”
“උඹ කියන්නැහේ දඩයක්කාරයෝ කැළේ හොඳා තමා.”
මහ නුගය ඉහළින් පියඹා ගිය කුරුල්ලන් සිය හිස මත කූඩු හදන්නාක් මෙන් ඔහුට දැනෙන්නට විය. කල්පනාවෙන් හාමුදුරුවන්ට සිටි තැන්ම සිට වැන්ද ඔහු ආපසු හැරුණේ විදුලි වේගයෙනි.ඔහු වන රොදෙන් වැහී යන්නට වෑඩි වෙලාවක් ගත නොවීය. හාමුදුරුවෝ එදෙස බලා සිටියහ.
“එක පංතියේ ඉගෙන ගත්තු කැක්කුම නැතැයි”
මොහොතකින් වන මැද්දාවෙන් නැගුණු වෙඩි හඬවල් දෙකක දෝංකාරය වනයෙන් පිටව ගම පුරා විසිරී ගියේය. බියපත් කුරුල්ලන් දුර ඈතට පියඹා ගියේ උන් හිටි තැන් අමතක කරමිනි.