“මට මේ ඉඩං කෑල්ල හම්බ උනේ අපේ අම්මගෙන් මහත්තයො… මේව අපේ අම්මගෙ පරම්පරාවෙ ඉඩං… අර පේන ගරාවැටිච්ච ගේ තමයි අපේ මහ ගේ. ඕක ගරා වැටුණායින් පස්සෙ මැරෙනකම්ම අම්ම හිටියෙ මගෙත් එක්ක.. සහෝදර සහෝදරියො හයදෙනෙකුට බෙදිල ගිහිල්ල මට හම්බවෙච්ච ඉඩං කෑල්ල තමයි ඔය. අනේ ඌ මගේ හිඟන පැටියා.. මට සැළකුවෙ ඌ විතරයි කියල තමයි අම්ම මට මේ ඉඩං කට්ටිය දුන්නෙ. අනෙක් පස් දෙනාම ඌට තමයි හොඳම කෑල්ලත් වැඩිපුරත් කියල මාත් එක්ක අමනාප වෙලා හිටියෙ.. උන් තමන්ට ලැබුණ ඉඩං කෑලි ටික විකුණල, එක එක තැන්වලට විසිරිලා, ගෙවල් හදාගෙන ගියේ ඒ හිත් අමනාපකං සණ්ඩු සරුවල්වලට පෙරළිල මරාගන්න කලිනුයි… බලන් ගියාම මටනෙ සවුත්තුම කෑල්ල ලැබිල තියෙන්නෙ. ඇත්තටම මේක අපේම උන්ගෙ වැඩක් කියලයි මට මුලදි හිතුණෙ…. අද කාලෙ සහෝදරයො උනත් විශ්වාස කරන්නෙ කොහොමද… ඒත් ඉතින් මෙච්චර උස පස් කණ්ඩියක් යටට ඇටසැකිලි ගෙනත් තියන්න පුළුවන් මොන යකාටද… ඇයි මටම මෙහෙම වුණේ කියල හිතාගන්න බැහැ මහත්තයා.” ඔහු මඳක් නිහඬව නැවත පස් කැපූ කණ්ඩිය ඇති ඉසව්වට දෑස් යොමු කළේය. නැවතත් කතාව පටන් ගත්තේය.
“මගේ ඉඩං කෑල්ලෙ මටම කියල ගේ කෑල්ලක් හදන්න තීරණය කළාට පස්සෙ තමයි, අත්තිවාරම පුරවන්න පස් ඕන නිසා ඔය අනිත් ඉඩමත් එක්ක යා වෙලා තියෙන කඳුගැටය කැපුවෙ. මං දවස් තුනක් තිස්සෙ ඒ මත්තෙ නැහුණා. අද උදේ අන්තිම හරිය කපන්න ගත්තම තමයි ඔය කියන ඇටසැකිලි දෙක මතුවුණේ. මයෙ අම්මෝ…. දකින්නත් බයයි. එකක් උඩ එකක්.. කවුරුහරි දෙන්නෙක් එකට බදාගෙන වැලළිලා ගියා වගේනෙ මහත්තයො… ගහන උදලු පාරවල් ගලකට වදිනව වගේ වදින්න පටන් ගත්තම තමයි මං තව ටිකක් හාරල බැලුවෙ මොකක්ද කියල… මං මුලින් හිතුවෙ මොකෙක්ගෙ හරි සතෙක්ගෙ ඇටසැකිල්ලක් වෙන්න ඇති කියල… ඔළු කටු දෙක යන්තං දැක්ක ගමන් මට දෙයියො බුදුන් සිහිවුණා… ඇට සැකිලි දෙකක්ම එක පොදියෙ… ඊටපස්සෙ මං උදැල්ල පොඞ්ඩක්වත් උස්සන් නැතිව තමයි පොලිසියට කෝල් එකක් ගත්තෙ… ඒත් පොලිසියට ඉස්සෙල්ල මහත්තයල මෙතැන… මහත්තයලට කොහොමද මෙච්චර විගහට පණිවිඬේ ගියේ?.”
විමලජීවගේ සන්ත්‍රාසයෙන් පිරි දෑස්, සියල්ලන් වෙතම එල්ල වූයේය.
“අපි රට වෙනුවෙන්…. රටේ ජනතාව වෙනුවෙන් තමයි මේ හැමදේම කරන්නෙ.”
එම ප්‍රශ්නයට ලැබුණු පිළිතුර ඔහුට තවත් ප්‍රශ්නයක් විය. ඔහු එයට පිළිතුරක් සෙව්වේය. කිරියෙන් පැනියෙන් උතුරන සාරවත් දේශයක් තනන්නට කැපවී සිටින, රූපවාහිනී හා රේඩියෝ චැනලයක ප්‍රාදේශීය වාර්තාකරුකරුවන්, ප්‍රසිද්ධ පුවත්පතක වාර්තාකරුවෙකු හා කැමරා හා ඡායාරූප ශිල්පීන් කීපදෙනෙකු, සිනාමුසු මුහුණින් ඔහු දෙස බලා සිටියේ, ඔහු සොයන පිළිතුරට එයම ප්‍රශ්නයක් ලෙසිනි. එම බැල්ම ඔහුට මහත් ප්‍රහෙළිකාවක් විය. ඒ වනවිටත් කටින් කට පැතිර යමින් තිබූ ආරංචිය කන වැකුණු ගමේ අහල පහල උදවිය එකා දෙන්නා, විමලජීවගේ ඉඩම දෙසට ගමන් කරමින් සිටියෝය.
“පොලීසිය දැන් ලඟම එනව ඇති… තව පස් ටිකක් එහාට මෙහාට කරල අපි මේක තව ටිකක් මතුකරගන්න බලමු… ඔබතුමාගෙ නම මොකක්ද කිව්වෙ…?”
“විමලජීව පෙරේරා”
“මෙන්න මෙතන්ට වැටිච්ච පස් ටික එහාට මෙහාට කරල, අපිට ෆෝටෝ ටිකක් ගන්න තිබුණනං නියමයි නේද මල්ලි.”
වාර්තාකරුවකු කැමරා ශිල්පියා ඇමතුවේ විමලජීව දෙස හොරැහින් බලමිනි.
“මිස්ට පෙරේරට පුළුවන්ද එතැන පස් ටික, ටිකක් යටට මතු කරල දෙන්න?.”
වාර්තාකරුගේ ඉල්ලීමට අවනත වූ ඔහු එය ඉටු කළේය. ඊට පෙරම කැමරා ශිල්පියාගේ කැමරාව, ඇටසැකිලිවල නොයෙක් තැන්වලට නාභිගත වී, ක්‍ෂණික ආලෝකධාරා දල්වෙන්නට විය. වීඩියෝ කැමරා ශිල්පියා විසින්, කැපූ පස් කන්දට කිට්ටුව තිබූ සියඹලා ගහේ අතු අතරින් පටන්ගෙන, ඇටසැකිලි අතර නතරකරගත් කැමරාව, තව තවත් නිරුවත් කළේය. කැමරාවේ උත්තල කාචය ආලෝක කිරණ හා බැඳී, ගම් දොරින් දොරට ගොස් රටක් දැයක් තනන්නට, අරුම පුදුම රූප රාමු සොයමින් සිටියේය. විමලජීව තම මුහුණ සොළවා විරුද්ධත්වය පළ කළේය.
“ඕව ඔහොම ෆොටෝවලට ගන්න එපා මහත්තයො. පොලිසිය ආවම පොලිසියත් එක්කම කරන දෙයක් කරගමු. දැන් මේ රටේ ලෝකේ වෙන දේවල්වල හැටියට අනේ මන්ද…”
එහෙත් කැමරා ශිල්පියාගේ කැමරාව, කීප වරක්ම කෑ මොර දෙන හඬ ඔහුට ඇසුණේය. ඒ සමගම විහිදී ගිය ප්ලෑෂ් එළිය ඔහුගේ හදගැස්ම තවත් වැඩි කළේය.
පුරාණ යයි සම්මත පන්සලක් පිටුපස, තවමත් එහෙන් මෙහෙන් කුඩා වෙල්යායන් පෙනෙන, මුල්ලේරියා වෙල පෙනෙන ඉසව් මානයේ තිබූ තමන්ට අයත් ඉඩම, ඔහු එළි පෙහෙළි කරගත්තේ තනිවමය.
“කුලියට කවුරුහරි ගත්තොත් ඌටත් රුපියල් දෙතුන් දහක් දෙන්න වෙනවා සුරම්‍යා.. අත්තිවාරමට මේසන්බාස්ලට දීපු කුලිය පොඩි ගාණක්ද… එකෙකුගෙ දවසෙ කුලිය කියන්නෙ මගේ දවස් තුනක විතර පඩියනෙ සුරම්‍යා..”
ඔහු තම බිරිඳගේ “ඔයාට ඔහොම මහන්සි වෙන්න පුළුවන්ද?” යන ප්‍රශ්නය එලෙස ප්‍රතික්ෂේප කළේ, තම ඇඟේ පතේ සවි ශක්තිය ගැන සිතා නොවේ. ඉතිරි කරගන්නා මුදල වැඩිවෙන තරමට නිවසද, ඉක්මනින් තනා අවසන් කළ හැකි බව තීරණය කරමිනි. දරු මල්ලන්ගේ වැඩ කටයුතු ටික කරන ගමන්ම, බිරිඳ උයා පිහා රැගෙන එන බත්මුලෙන් කුස පුරවාගත් විමලජීව, ප්‍රාදේශිය සභා කාර්යාලයේ දවස් ගණන් රස්තියාදු වී, මේස පුටුවලට බරව නිදිකිරා වැටෙන, රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියන, මහත්වරු දෙතුන් දෙනෙකුට දොළ පිදේනි දී අනුමත කරගත්, ප්ලෑනෙන් දැමූ අත්තිවාරමට පස් පුරවන්නට ගත්තේ දහසක් බලාපොරොත්තු මැදිනි.
“මේ කාමර දෙකේ පොඩි ගේකට මෙච්චර රස්තියාදු වෙන්න වුනාණෙ. ඉතින් මෙහෙව් රටවල්වලට හරියයිද සුරම්‍යා.”
“ඔය තරමින්වත් පාස්කරල දුන්න ඇති. අර පිල්ලෑවෙ කමලක්කගෙ ප්ලෑන තාමත් පාස්කරල නැහැලු. පාරට ඉඩ තියල නැහැ කියල වෙනස් කරන්න කිව්වලු.”
වීල් බැරෝවට පස් පුරවා තල්ලුකරන ගමන් ඔහුට මුහුණ දෙන්නට සිදුවූ දුෂ්කරකම්වල යටගියාවද, එහෙන් මෙහෙන් මතකයට ආවේය. එහෙත් අනපේක්ෂිතව මතුවූ සැකිලි දැක කම්පිතව සිටියේය.
“අලි මදිවට හරක් කියන්න වගේ පුදුම කරුමයක් තමයි මට වුණේ.” ඔහුට කියවුණේය. ඒ වනවිට ඉඩමට ඇතුළුව සිටි පිරිවරේ බොහොමයක් මෙම ප්‍රවෘත්තිය තම ජංගම දුරකතන හරහා ඔවුන් දන්නා කියන අය අතර හුවමාරු කරන්නට පටන් ගෙන තිබිණි. සතර අතට ප්‍රවෘත්තිය පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙසින්, තවත් පිරිස් කෙමෙන් කෙමෙන් එකතුවී, ඉඩම වටා මිනිස් වළල්ලක් බඳිමින් උන්නේය.
“උඹ හොඳ වෙලාවක් එහෙම බලල නේද ගෙපැල් කැපුවෙ.?”
“ඔව් මාමෙ හොඳ නැකතක්නෙ එදා තිබ්බෙ.”
“කාගෙන්ද උඹ වෙලාවල් බැලුවෙ.?”
“විල්සන් වෙද මහත්තයගෙන්.”
“ඌ ළගට කවුද බං වෙලාවල් බලන්න යන්නෙ. කල්කයක් ගුලියක් එහෙමත් නැත්තං අසනීපයි කියල මෙඩිකල් එකක් ලියාගන්න නං මෑන් හොඳයි. මට කිව්ව නං මං අපේ අයියගෙ ගෙදර නැකැත් බලපු දෛවඥයව සෙට් කරල දෙනවනෙ. මිනිහ තමයිලු අපේ ඇමතිතුමාගෙ අලුත හදන හොටෙල් එකෙත් නැකැත බැලුවයි කියන්නෙ.”
සිද්ධිය කන වැකී දුවගෙන ආ එක් මිතුරෙකුගේ ඔවදන්වලට ඔහු නිහඬව සවන් දුන්නේය.
“විමලෙ මොකටද ඔය කඳු බෑවුමෙන් පස් කපන්න ගියේ.?” එසේ ඇසුවේ ඔහු සමග උදේ හවා බසයේ රැකියාවට යන තවත් මිතුරෙකි.
“ඒක මගේ ඉඩමට අයිති කන්දක්නෙ. මගේ ඉඩමෙ පස් මට කපන්න බැරි ඇයි.”
“කපන්න බැරිකමක් ගැන නෙමෙයි විමලෙ මං කිව්වෙ. ඕක නොකපා මේ පැත්තෙන් ඩ්‍රයිව් වේ එකක් හදල, ඔය බෑවුමත් එක්ක බිත්තිය අල්ලල බැඳල, කාර් එකක් පාක් කරන්න පුළුවන් විදියට ගරාජ් එකක් හදාගන්න තිබ්බනෙ. ඔය පුරවන පස්නං ඕනතරං තියෙන්නෙ. ටිපර් දෙක තුනක් යයි ඕන්නං.”
විමලජීවගේ අසරණ මුහුණට හිනාවක් ආරූඪ විණි. “උඹද මට කාර් ගන්න සල්ලි දෙන්නෙ” කියා අසන්න සිතුණද මිතුරුකම ගැන සිතා ඔහු පිට කරන්නට සිතූ වචන අපහසුවෙන් ගිලගත්තේය.
පැය කීපයක් ඇතුළත ඇටසැකිලි බලන්නට සැදී පැහැදී පෙළ ගැසී, එක් රැස්වූ පිරිස් කන්දරාව දුටු විමලජීවගේ බිරිඳ, සුරම්‍යාගේ ඉහෙන් කනෙන් දාඩිය වැගිරෙන්නට පටන් ගත්තාය. ඇය හිස බදාගෙන අත්තිවාරම මත වාඩිවූයේ, ඇතිවූ හිසේ ඇම්ම කලන්තයකට පෙරළී බිම ඇද වැටේදැයි බියෙනි. හැම පැත්තෙන්ම ඇසෙන කසුකුසුව මහා ශබ්දයක් බවට පත්වී, හැම දෙනාගේම හඬ කාටවත් නොතේරෙන, අරුම පුදුම හඬක් බවට පත්ව තිබුණි. කැමරා ආම්පන්න, ආලෝක උපකරණ අටවාගත් රූපවාහිනී නාලිකා කීපයක්, හා මයික්‍රෆෝන් උලුක් කරගත් ගුවන් විදුලි නාලිකා බොහොමයක්, ඒ වනවිටත් තම රැස්වළල්ල විහිදුවමින් ඉඩම සහ ඉඩමට පිය නගන මාර්ග පථය අරක් ගෙන සිටියේ, දවස් කීපයකට එය මුළු රටේම ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් කරන්නට සිහින මවමිනි. ඔවුන් වොයිස් කට් ගැනීමට විමලජීව වටා පෙළ ගැසී සිටියේ, බලය ඇති දේශපාලකයෙක් වටා රොක්වන්නා සේය. ඒ වනවිටත් පොලිස් අණසකට යටත්ව තිබූ ඉඩමට, පොලිස් ආරක්ෂාව යොදා තිබුණේය. එහෙත් පොලිසිය පැමිණීමට පෙර ආරංචි වූ සැණින්ම දුවගෙන ආ ගමේ තරුණයින් කිහිප දෙනෙකු, මුලින් එම ඇටසැකිලි තම ජංගම දුරකතන හරහා ඡායාරූප ගතකර, සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැර තිබිණි.
“ඔය යට ඇටසැකිල්ල ගෑනියෙක්ලු බං. පේන්නැද්ද මතුවෙල තියෙන විදියෙන්ම.. උඩ එකට වැඩිය යට ඇටසැකිල්ල මිටියි… බලපන්කො උකුල් ඇට දිහා.” ඔවුන් එකිනෙකාට මුමුණමින් එසේ අදහස් හුවමාරු කර ගත්තෝය. ෂුවර් එකටම ආතල් එකක් ගන්න වෙලාවක තමයි පස්වලට යට වෙලා තියෙන්නෙ. ඔවුන් එසේ මුමුණාගත් අදහස් මොහොතක් ඇතුළත සමාජ ජාලා හරහා වේගයෙන් පැතිර ගියේය.
ඇටසැකිලි පිළිබඳව ඇතිවූ සෑම කතිකාවක්ම, එකිනෙකා අතර විසිරී, සමාජයම කළඹන විශාල ප්‍රවෘත්තියක් බවට පත්ව තිබුණි.
“මහ පොළොව පළාගෙන වුවද ප්‍රේමයට නැවත මතුවිය හැකිය.” යන ශිර්ශ පාඨය මුලින්ම සමාජ ජාලයට එක්වී එය එකිනෙකාගේ සමාජ බිත්තිවල ඇලවී, නොයෙක් අදහස් හා ලයික්ස් පෝස්ටු සටහන් වැටුණේ, දිරාගිය ගසකින් මතුවන වේයන් රෑනක් පරිද්දෙනි.
“අසම්මත ප්‍රේමය හංගන්න බැහැ මචෝ. ඇටසැකිල්ලක් වෙලා හරි දවසක මාට්ටු වෙනව.” එසේ ඇලවුණු පෝස්ටුවකට එක් මිතුරු සාමාජිකයකු එලෙස පිළිතුරු දී තිබිණි. එය අනුමත කරමින් ඔහුගේ මුහුණු මිතුරන්ගෙන් හිනා ස්ටිකර්ස් බොහොමයක් ඇලවී තිබිණි.
“මෙතැන කොයින්ද බොල ප්‍රේමයක්. දෙන්නෙක් එකට හැමිනෙන එකත් ප්‍රේමයක්ද. කවුද දන්නෙ කාව හරි දූෂණය කරනකොට දෙන්නත් එක්කම මරාගෙන මැරුණද නැත්තං වෙන අට මඟලක් උනාද කියල.” එම පිළිතුරටද බොහෝ ලයික්ස් තරහ හා කඳුළු කොමෙන්ට්ස් ඇලවී තිබුණේ ප්‍රධාන ස්ථානයක් හිමිකර දෙමිනි.
තවත් පිරිසක් එම සැකිලිවල අංගජාතය හා ස්ත්‍රී යෝනිය රවුම්වලින් සළකුණු කර, වට්ස් ඇප් වයිබර් වැනි ජාලායන්ට එක්කර තිබුණේ රමණයේ උපරිම වින්දනය නොහොත් සුරාන්තය ලබන මොහොතක මරණයට පත්වූ පාරිශුද්ධ ප්‍රේමයක නටබුන් දෙකක් හමුවී ඇති බවට සටහනක් ඊට යටින් තබමිනි. “රමණය වෙලාවට මරණයක් ලබන්නට තරම් ප්‍රේමය කරුමද බං. එහෙම නම් ඌ ප්‍රේමනීය කරුමක්කාරයෙක්.” එම පෝස්ටුවටද බොහෝ දෙනෙකුගෙන් යහපත් මෙන්ම අයහපත් ප්‍රතිචාරයන් බොහොමයක් ලැබී තිබිණි.
මෙලෙසින් මෙම ප්‍රවෘත්තිය සමාජ ජාලා තුළ සංසරණය වූයේ, තම ගෙදර පරණ මොඩලයේ රූපවාහිනියක් හා යන්තම් ඇමතුමක් පමණක් ගතහැකි, මොබයිල් ෆෝනයක් හිමි විමලජීවට කිසිවක් කරකියා ගන්නට බැරි අසරණ මොහොතකය. අන්තර් ජාල සමාජ ජාලයන් පිළිබඳව අසා තිබුණද කිසි දිනෙක ඒවා පරිහරණ නොකරන ඔහුගේ හිස ගිනි ජාලයක පැටලී, ඇවිලෙමින් තිබුණේය. ඒ වනවිටත් පොලීසිය විමලජීවගෙන් කට උත්තර ගෙන තිබිණි. පස්වලින් මතුකරගත් ඇටසැකිලි පොලිස් භාරයට ගෙන, ඒවායේ කාලනිර්ණයන් හා මියගිය හේතු සෙවීමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ රස පරීක්ෂකගේ සහය පතා තිබිණි.
එහෙත් ඊළග දිනයේ රටේ නමගිය පුවත්පත්වල ප්‍රධාන ශිර්ශ පාඨය වී තිබූ, ඇටසැකිලි පිළිබඳ පුවත දුටු විමලජීවගේ දෑස් උඩ ගියේය.
ඇට සැකිලි දෙකේ ඉරියව්, ඔහුගේ ඉඩම හා පස් කපා දමන ලද කඳු බෑවුමේ ඡායාරූප, ඇතුළු ඔහුගේ රූපයටද, එම පුවත්පත්වල ප්‍රධාන තැනක් හිමිවී මුල් පිටුවේ පළව තිබිණි.
“සීතාවක රාජසිංහ සමයට අයත් ඇට සැකිලි යුගලක් මුල්ලේරියා වෙල අද්දර ඉඩමකින් මතුවේ.”
මෛථුනයේ යෙදුනු ඉරියව්වලින් යුක්තව පස්වලට යටවී තිබුණු, ඈත ඉතිහාසයකට හිමිකමක් උරුම යැයි සැක සිතිය හැකි, මෙම ඇටසැකිලිවල පුරුෂ ඇටසැකිල්ලේ ලක්ෂණවලට අනුව එය අසාමාන්‍ය කාය ශක්තියකින් හා රාජකීය දේහ ලක්ෂණවලට හිමිකමක් ඇතැයි, මෙතෙක් කෙරෙන ලද පරීක්ෂණ හා නිරීක්ෂණයන්ගෙන් පැහැදිලි වන බවත්, සීතාවක රාජසිංහ රජ සමයේ මෙරටට ගොඩබට, පෘතුගීසි ලන්දේසි ප්‍රතිකාල් හමුදාවකට අයත් සෙනෙවියකුගේ හෝ රාජසිංහ රජුගේ රහස් මාළිගාවක්, මෙම ඉසව්වේ තිබුණාද යන්න සැකයක් පවතිව බව පුරා විද්‍යාඥන්යන්ගේ අදහස බවත්, එලෙසම එම ඉසව්වේ පැරණි රජ සමයේ නිධානයක් සඟවා ඇති බවට මතයක් පැතිර ගියද, මේ පිළිබඳව නිරවද්‍ය තොරතුරු සොයාගැන්මට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, තවමත් පරීක්ෂණ කටයුතු කරගෙන යන බවත්, එම පුවත් තීරුවල තවදුරටත් සඳහන්ව තිබිණි.
කිසි දිනෙක පුවත් පත් මිලදී නොගන්නා ගමේ නිවෙස් සැමෙකකම වාගේ, ඒ දින කිහිපයේ පුවත් පත් මිලදී ගෙන තිබුණු අතර, එක් පුවත්පතක පළවී තිබුණේ පුරුෂ ඇටසැකිල්ලේ උස පළල අනුව, එය රජෙකුගේ හෝ රජ යටතේ සේවය කළ උසස් අමාත්‍යවරයකුගේ හෝ එසේත් නැත්නම්, පරංගි හමුදාවේ බැල්තසාර් ගෙඩිස් වැනි උසස් රාජකීය සෙනෙවියකුගේ විය හැකි බවත්ය. එලෙසම ස්ත්‍රී ඇටසැකිල්ලේ තරම අනුව, එය මෙරට උපන් කාන්තාවකගේ විය හැකි බවට සැකයක් පවතින බවත්ය. සෑම පුවත්පතකම වාගේ එකිනෙකට වෙනස්කම් සහිතව ප්‍රවෘත්තියක් වූ මෙම පුවත, සමහර රූපවාහිනි නාලිකාවලද වරින් වර බ්‍රේරේකින් නිව්ස් එකක් බවට පත්ව තිබුණේ, විමලජීවගේ රුව රැගත් වොයිස්කට් රාමුවක් සමගිනි.
ඒවා නැරඹූ ඔහුගේ සිත, පස් කන්ද සේ බිමට සමතලා වූවා සේම කළකිරී තිබිණි. එදින රාත්‍රී නින්ද නොඑන වග දැනගත් ඔහු, හොර මත්පැන් ගාලකට ගොස් මත්වන තරමට මත්පැන්වලින් සප්පායම් වූයේ, කිසි දිනක බේබද්දෙකු නොවන බවට, තම ජීවිතයට තමාම දමා තිබූ ස්වයංවාරණ නීති රීති කඩා බිඳ දමමිනි. මත්වී නින්දට ගිය ඔහුට මෙතෙක් දුටු නව නිවස සමග බැඳි සුබ සිහින, සම්පූර්ණයෙන්ම වාගේ වෙනස් වී පෙනුණේය. බයංකාර අඳුරු රූපවැල් ඒ සිහින අතරට එබී තිබිණි. වෙනදාටත් වඩා වෙනස්ම අරුම පුදුම සිහින දුටු ඔහුගේ දෑස් අද්දර, හොල්මන් කළේ තුවක්කුවක් අතින් ගත් පරංගියෙකි. එහෙත් හම කළු වූද, සද්දන්ත දේහදාරි පරංගි යුධ ඇඳුමෙන් සැරසී සිටි ඔහු, පැමිණ සිටියේ ඔහුට වඩා මිටි රතට හුරු සුදු හමක් සහිත තවත් පරංගි ප්‍රතිකාල් යුධ භටයන් දෙදෙනෙක් සමගිනි. ඔවුන් සියල්ලන්ගේම පෙනුම දඩබ්බරය. කතා කරන්නේ සිංහලෙනි.
“උඹ දන්නවද මං කවුද කියල?”
“අනේ නෑ දේවයන් වහන්ස”
“මං තමයි රංගෙ බණ්ඩාර”
“එතකොට මේ පරංගි ඇඳුම ඇඳල?”
“එහෙම තමයි මිනිහො යුද්ධ කරනකොට.. ආරක්ෂක හේතු මත වෙනස් වෙනවා.. මේ ඇඳුමත් එක්ක අපි ආවෙ උඹව අල්ලගන්න.. උඹ සීතාවක රජ්ජුරුවන්ට විරුද්ධව හේවාගම කඳවුර අල්ලල දෙන්න ඔත්තු බැලුව නේද.. මෙතැන පැලක් අටවන්නෙ ඒකට නේද…? කියාපිය ඇත්ත…”
“මේ මම.. අනේ නෑ දේවයන් වහන්ස.. හිසට හෙවනක් හදාගන්න පස් කන්ද කැපුව විතරයි… ඒ ඇටසැකිලි කාගෙද කියල දන්නනවනං, අම්මප රාජසිංහ දෙයියො පල්ල මං වැඳ වැටිල සමාව ගන්නව….”
“මොකද නැත්තෙ.. උඹ ඔත්තු බලන්නෙක්… හරි ඔත්තුවක් දුන්නොත් උඹට අඹතලේ පැත්තෙන් ගම් වරයක් තෑග්ගට… ඔත්තු බලල අපව පාවල දීල දැන් ගෑනිත් එක්ක තුරුල්වෙලා නිදි… පෙරේරා.. සිල්වා.. මෙහෙට වරෙන්.. ඇවිල්ල කපපන් ගෑනිගෙයි, මිනිහගෙයි දෙන්නගෙම බෙල්ල… වලලපං මේ ගොම ගාපු පොළොවෙම… ගිනි තියපන් ගෙට…”
විමලජීව බෙල්ල බදාගෙන බෙරිහන් දී කෑ ගැසුවේය. ඒ වනවිටත් ඔහුගේ වෙරි මත හිඳී තිබිණි.
“මොකද මොකද විමලෙ කෑ ගහන්නෙ. මොකද උනේ.” දහදියෙන් තෙත්ව ඇති සැමියාගේ සිරුර දැක නින්දෙන් අවදිව දුව ආ සුරම්‍යා වතුර වීදුරුවක් ගෙනෙන මෙන් දියනියට කෑ ගැසුවාය.
ඇය තම සැමියා හැමදාමත් පෙරළමින්, අතගාමින් ගණන් හිලව් බලමින් සිහින මැවූ, ඒ අසල මේසය මත තිබූ නිවසේ ප්ලෑන ගෙන, පවන් සැළුවාය.
“මොකද තාත්තෙ උනේ.?” වතුර වීදුරුව අතට දී, දියණිය ඔහු අසල වාඩි වූවාය. ඔහු එය එක හුස්මට බීගෙන ගියේය.
“මටත් නොතේරෙන, මොනවද මන්ද විකාර නරක හීන වගයක් පෙනුණා දුවේ.” ඔහුගේ තොල් පට සැළී ගතම ගැහෙන්නට වූයේය.
“මටත් හරියට නින්දක් ගියෙ නැහැ. එක එක විකාර ඔලුවට එන්න ගත්ත. ඇයි දෙයියනේ හිතපු නැති දෙයක් වෙනකොට ඔලුව විකාර නොවී තියේයැ. යන්තං ඇහැ පියවෙනකොටම තමයි ඔයා කෑගැහුවෙ.”
“අපිට හරි වැඩක්නෙ වෙන්ට යන්නෙ සුරම්‍යා. මේක මේ විදියට ගියොත් ඉඩම ආණ්ඩුවට ගනීවි. අනෙක අර නිධාන කතාව. මං නිධන් හෑරුව කියල ඒකටත් මාව සැක කරයිද මන්ද?.”
“ඒ මොකටද?”
“ඇයි මනුස්සයො. මේක පුරා විද්‍යා එකට ගත්තොත් එහෙම අපිට ගෙවල් හදන්නද… අපි අත්තිවාරම් දාපු සල්ලිත් වතුරෙ… මාත් හිර ගෙදර…”
“එහෙම හිරේ විලංගුවෙ ලගින්නෙ මොන වරදක් කළාටද..? අනික ආණ්ඩුවට ගත්තොත් වන්දි ගෙවාවි…”
“ආණ්ඩු ගෙවන වන්දි… සොච්චමක් දෙයි…. මොන වටිනාකමක් ගෙවනවද..?”
රැකියාවටවත් නොගොස් දවස පුරාම කෙඩෙත්තුවෙන් හා කළකිරීමෙන් කාලය ගත කළ විමලජීවට, පෙරදා සිදුවූ සෑම සිද්ධියක්ම වාගේ වරින් වර මතකයට නැඟූණේය. ඒ මතකයන් එකින් එක පෙල ගැසී, ඔහුගේ විඩාබර සිත තව තවත් රිදවන්නට වූයේය. උදෑසන ඔහු කහට උගුරක් තොල ගා ඉඩම පැත්තට ගියේය. ඒ වනවිටත් ඉඩමට යන පාරේ බස් රථ දෙක තුනක් ගාල්කර තිබිණි. එම මිනිස් රූ ඔහු කිසිදා දැක තිබුණේ නැත. ඇටසැකිලි පරීක්ෂණ සඳහා රැගෙන ගියද එම සැකිලි හැඩරුව ගත් පස් මතුපිට බලන්නට මෙතරම් සෙනඟක් එන්නේ මන්දැයි, ඔහුට මහත් ප්‍රහෙළිකාවක් විය. වන්දනා නඩයක් මෙන් පැමිණ පිරිස් එකා පසුපස එකා වැටෙමින්, ඇටසැකිලි මතුවූ හිස් පොළව නරඹන අයුරු ඔහු දුටුවේය. ඔහුගේ හිස පෙරදාටත් වඩා කකියන්නට විය. ඇටසැකිලි හැඩය ගත් පස් තට්ටුව දෙස බලන සමහර උදවියගේ ඇස්වල කඳුළුය.
“අනේ අපේ රාජසිංහ දෙයියො..” වයසක එකා දෙන්නා එසේ මුමුනන හඬ ඔහුට ඇසුණේය. “පිස්සුද ආච්චියෙ.. රාජසිංහ දෙයියො මලේ උණ කටුවක් ඇනිලලුනෙ.. නැතිව ගෑනියෙක් එක්ක නිදාගෙන ඉඳල නෙමෙයිනෙ…අනෙක ඇනුණෙ මේ හරියෙත් නෙමෙයිලුනෙ… අපේ ඉතිහාස පොත්වල එහෙමනෙ තියෙන්නෙ.” ඇය හිමිහිට මිත්තනියගේ කනට කර මුමුණන හැටි ඔහු බලා සිටියේය.
“ඒ පොත්වල තියෙන විදියනෙ. මොන විදියට කවුරු ලිව්වත් මේ සැකිලි අපේ රාසිංහ දෙයියන්ගෙ නං… අනේ ගම්බාර දෙයියනේ එහෙමනං වෙන්න එපා….”
“ඇටසැකිලිවල හැටියට එච්චර කාලයක් වෙන්න බැහැ කියලත් සමහරු කියන්නෙ.. එහෙම වුණා කියමුකො… එතකොට මේ එකට බදාගෙන මැරිල තියෙන්නෙ හතුරෙක් එක්ක නෙමෙයිනෙ. ගෑනියෙක් එක්කනෙ. එහෙම වුණාම ආච්චිල කියන විදියට අපේ ජාතියට විඳින්න වෙන අපහාසෙ ගැන හිතෙන් නැද්ද?.”
“අන්තඃපුර තිබුණු රාජෝත්තමයාණන් කෙනෙක් ගෑනියෙක් එක්ක නිදිවැද්ද කියල ඇති වැරද්ද මොකක්ද බොල.?”
“ආච්චිලට ඉතින් ඇටසැකිල්ලක් හරි කමක් නැහැ රජ කෙනෙක් නං”
“කට වහගෙන හිටින් මධුරි… එනව මෙතැන මට උගන්නන්න”
ආච්චිගේ කෝපාන්විත හඬ කාටවත් ඇසුණේදැයි සැකෙන් තරුණ මිනිපිරිය ලැඡ්ජාවෙන් වටපිට බලන හැටි ඔහු දුටුවේය. “මොන වලත්තකමක් කළත් රට ජාතිය බේරගත්ත උත්තමයෙක්නෙ. අනේ අපොයි.” එසේ කියමින් කඳුළු පිසලන ආච්චි දෙසත්, හිස් පස් තට්ටුවට දෝත් එක්කර වැඳ සමු දෙන සමහරුන් දෙසත්, විමලජීව අසරණව මැලවුණු මුහුණින් යුතුව බලා සිටියේය.
“මට හිතෙන විදියට පරංගි බලකොටුවකුත් මේ ලඟම තියෙන්න ඇති… නැත්තං පත්තරේ කියන්නෙ කොහොමද පරංගි සෙනෙවියෙක්ගෙ වෙන්න ඇති කියල..”එක් තරුණයකු එසේ පවසන විට, එයට පිළිතුරු දුන්නෙ ඔවුන් සමග ආ තවත් තරුණියකි.
“සැකිලිවල සයිස්වලට අනුව ඉඳල තියනව කියන්නෙ අපේ ගෑනියෙක් එක්කලුනෙ.. නිව්ස් එක ඇත්ත වෙන්න ඇති.. උන් පිරිමි විතරයි නැව්වලින් ආවෙ.. මෙහෙට ඇවිල්ල යුද්ද කර කර අපේ ගෑනුනෙ අඹු කමට ගත්තෙ.. බලපන්කො එක පාටක් තියෙන මිනිස්සු අපේ රටේ ඉන්නවද කියල.. එක එක පාට එවුන්නෙ ඉන්නෙ.. මෙතැනම බලපං.. උඹ සුදුම සුදුයි. මං දාර කලුයි. ඇප්‍රිකන් වගේ. අනික මේ අහල පහල ඉන්නෙම පෙරේරල, සිල්වල, ලැනරෝල්ලනෙ.” ඔවුන් එකිනෙකා කොක් හඬලා සිනාසෙති. විමලජීවට මොවුන් පවසන සියල්ල අසා සිටින්නට සිත් දුන්නද, උස් සිනා හඬ සහ කෑකෝ ගැසීම මැද සමහර දෙබස් පැහැදිලිව නොඇසෙන හෙයින්, ඔහු ඉඩමෙන් පාරට බැස්සේය.
බසින විටම ලී පොල් අතු පුරවාගත් ලොරි බට්ටෙකු ඉඩම අසල නතර කළේ, විමලජීවව අන්දමන්ද කරමිනි. වාහනයෙන් පාරට බැස්සේ විමලජීව හොඳින් දන්නා හඳුනන සුගතදාසය.
“මේ මොකද සුගතෙ?” ඔහු විපිළිසරව ඇසුවේය.
“පොඩි කඩ කෑල්ලක් ගහන්න… මේ එන කට්ටියට තේ කහට උගුරක් බීල බනිස් ගෙඩියක් කන්නවත් අහල පහල හරි හමන් කඩයක් නෑනෙ..”
“මේක මගේ ඉඩමනෙ සුගතෙ. එහෙම කොහොමද කඩ ගහන්නෙ.?”
“ඉඩම ඇතුළෙ නෙමෙයිනෙ විමලෙ අයියා… ඉඩමට ළංකරල පාර අයිනෙනෙ..”
“එහෙම කඩ දාන්න දෙන්න බැහැ… එහෙම කොහොමද?”
“මේක දැන් විමලයියගෙ ඉඩමක් නෙමෙයිලුනෙ.. ජාතික වස්තු ඉඩමක්ලුනෙ.. දැන් මේක අයිති ආණ්ඩුවට.. පුරා විද්‍යා එකෙන් ළඟදිම එනවලු කැණීම් කටයුතු කරන්න.. වැඩි විස්තර ඕනෙනං අපේ ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමාගෙන් අහගන්න.. එයාගෙන් තමයි මේ කඬේට බර පැනත්. මට කරන්න දෙයක් නැහැ විමලයියා.”
විමලජීවට කර කියා ගන්නට දෙයක් නොමැතිව වටපිට බැලුණේය. ඉඩම අසලින් හැරෙන පාරට මඳක් ඔබ්බට වන්නට, ත්‍රිවිලර් රථ ගාලක් පටන් ගෙන ඇති බව ඔහු දුටුවේ එවිටය. එයින් එකකට රිංගා ගත් ඔහු පොලිසියට හයර් එකක් ඉල්ලා සිටියේය.
“කාට කාටත් පින් සිද්දවෙන්න මේ දවස්වල හයර් ටිකක් වැදුන විමලයියා… ඈත පැතිවලින් හිටන් මිනිස්සු එන්න පටන් අරන්නෙ.. එන්න එන්න වැඩිවෙයි කියල තමයි කියන්නෙ.. තරංගා බස්කාරයත් වෙන පැත්තක දුවපු බස් දෙකක් මේ පැත්තට දාල.. මේ දවස් ටිකේ ගතමනාව හොඳයි කියලනෙ කියන්නෙ.. පොලිසියටත් මේ දවස්වල සරු ඇති අයියා… මං හිතන්නෑ ගියා කියල වැඩක් වෙයි කියල.” විමලජීවට ඒ කිසිවකට පිළිතුරු දෙන්නට තරම් ශක්තියක් තිබුණේ නැත. ඔහුගේ දැවෙන හිත නැවතත් ගින්නෙන් දවා අළුවී යන්නා සේ හැඟුණේය.
ඔහු පොලිසියට ගොස් වටපිට බලා, එදින ඉඩමට පැමිණ එක් නිළධාරියෙක් අසල නැවතුණේය.
“මහත්තයට මාව මතකද දන්නෑ?”
“මොකද අමතක.. අර පුරා වස්තු ඉඩමෙදි නේද මුණගැහුණෙ..” විමලජීව පුදුමයෙන් සාජන් දෙස බලා සිටියේය.
“මොකද පුදුමයෙන් වගේ මා දිහා බලන්නෙ..? ඇටසැකිලි යටත් නිධන් තියෙන්න පුළුවන් අයිසෙ.. තව හාරල බලන්න වෙයි… අපිට හාරන්න තිබ්බනං අපි ඔක්කොම ගොඩ… කොයිද තමුසෙ හදිසි වුණානෙ… එහෙම වුණා නං නිධානෙ විකුණල ගෙවල් නෙමෙයි අපිට මාළිගා හදාගන්න තිබ්බා…”
සාජන්වරයාගේ කොක් හඬලන හිනාව දැක ඔහුගේ මුවටද ආයාසයෙන් සිනාවක් මතුවූයේය.
“ඕ අයි සී මහත්තය හම්බවෙන්න කියල ආවෙ මහත්තයො.” ඔහු එම සිනහව සමගම තම අවශ්‍යතාව මතු කළේය.
“සර් අද එනකොට ටිකක් හවස්වෙයි… මොකක්ද උවමනාව… ඇටසැකිලි ගැනද..?”
“මහත්තයො… ඔය පත්තරවල ටීවී වල ගිය ඒව ඇත්තද. ඒව ඇත්තනං මට වෙන්නෙ වහ කන්න තමයි.”
“තමුසෙ වහ කන එකත් උන්ට ප්‍රවෘත්තියක් විතරයි අයිසෙ… එතනින් පස් ටිකක් අරන් කාල පෙන්නනවා. ජීවත්වෙන හැටි උන් පෙන්නන්නෑ අයිසෙ ”
“දැන් මගේ ඉඩම පුරා වස්තුවක් වෙලා.. සෙනඟ පිරිල බස්වලින් හිටන් එනව ඇටසැකිලි තියෙන තැන් බලන්න… ඒ මදිවට එක එකා ඉඩම ලඟ බිස්නස් පටන් අරන්…”
“බොරුවක් උනත් ඇත්තක් වෙන්න පුළුවන් රටක අයිසෙ අපි ඉන්නෙ. අනෙක ප්‍රවෘත්ති කියන එවුන් බඩවියත හොයාගන්නෙ මොනාරි නිව්ස් එකක් විකුණලනෙ. ඒක උන්ගෙ රස්සාව .. තාම ඇට සැකිලි දෙකට අතවත් තියල නැතිව ඇති. දැනට ඔය ඉඩම ගැන තියෙන බලාපොරොත්තු අතහැරල දානව”
විමලජීවගේ කළකිරුණු සිත අනපේක්ෂිත ලෙසින් එහේ මෙහේ දුවන්නට විය. මුහුණවත් නොබලා පොලිසියේ ඇතුළු කාමරයකට ගිය සාජන්වරයා දෙස, ඔහු පුදුමයෙන් බලා සිටියේය. එළියට බැස වටපිට බැලුවේය.
දැන් ඉන්නා නිවසේ කුලිය, බැංකුවෙන් ලබාගත් ණය මුදල්, ගෙදර දොර වියදම්, ආදිය ගැන කල්පනා වෙනවිට ඔහුගේ පපුවට ඊයම් බරු ඇනෙන්නා සේ, වේදනාවක් දැනෙන්නට විය. දුනු ඊතල රෑනක් මුල්ලේරියා වෙල මැද්දෙන් මතුවී හොර රහසේම තමාගේ පපු කැනත්ත කීතු කීතුවලට ඉරා දමන බව ඔහුට හැඟුනේය. ඔහුගේ සිරුරේ ලේ වතුර වී, එහෙන් මෙහෙන් යන්තම් ඉතිරිව ඇති පුරන් වූ වෙල මැද්දෙන්, ගලා යන්නා සේ පෙනුණේය. ඒ වේදනාවන් සමග නැවත නිවස කරා යන්නට ඔහුට හිත දුන්නේ නැත. ඔහු ජනයා පිරී ඉතිරී නරඹන තම ඉඩමට ගොස් අත්තිවාරම උඩ වාඩිවී, යන එන මිනිසුන් දෙස අරමුණක් නැති සිතකින් ඔහේ බලා සිටියේය. පොත් වෙළන්දෙකු හා කවි කොළකාරයෙකු ඔහු ඒ අතරමැද දුටුවේය.
“ආ මෙන්න… ගන්න සර්.. රුපියල් සියයක් වගේ පුංචි මුදලකට.. රාජසිංහ අභිමානය… එක හුස්මට කියවන්න පුළුවන්… මතුවෙච්ච ඇටසැකිලි ගැනයි. අපිට වෙච්ච නස්පැත්තිය ගැනයි. දැනගන්න කියවන්න.”
“මෙන්න කියවන්න… රස කවි පොතක්… රුපියල් පනහයි.. ගන්න මහත්තය පොතක්…”
‘සීතාවක රණබිම මැද පෙම් යුවළක්….”
කවියක් කියමින් තමා දෙසට එන කවිපොත් විකුණන්නා දුටු විමලජීවගේ අරමුණක් නැති කළකිරුණු සිත ගිනියම් විය. ඔහු අත්තිවාරමෙන් නැගිට කවිපොත් විකුණන්නා ඉදිරියේ හිටගත්තේය.
“පොතක් ගන්න. තමුසෙල කාගෙන් අවසර අරන්ද මෙතැන සල්පිලක් කරගත්තෙ.? මේක මගේ ඉඩම. මේක අයිති මට.” ඔහු පොත් වෙළෙන්දා වෙත කඩා පැන්නේය
“මේක දැන් අයිති රටට අයියෙ… මේ කවි පොත කියෙව්වම දැනගන්න පුළුවන්. පොත් වෙළෙන්ඳා ඔහුගේ අතට පොතක් දුන්නේ, අයියගෙනෙ ඉඩම ඉතින්.. සල්ලි කවද ගත්තම මොකද” කියමිනි. සියල්ලන්ටම දොස් තබමින් ඔහු කවි පොත අතට ගත්තේය. ඉනික්බිති ඉඩමෙන් පිටවී රජ මහා විහාරය දෙසට ගමන් කළේය.
“විමලජීව මහත්තයලට කාලෙකට පස්සෙ පන්සල මතක්වෙලා තියෙන්නෙ.. මට ආරංචියි සේරම… මං දන්නව මහත්තයො මහත්තයගෙ ඔළුව ගිනි අරන් තියෙන විත්තිය…. දැන් මටැයි කියල කිසිම දෙයක් කරන්න බැරි තැනට ඔය සිද්දිය දුර දිග ගිහිල්ල.. ඒකට එකම හේතුව රටක ජාතියක ඉතිහාසය ආගම දහම අදහන අපට කොච්චර වැදගත්ද කියල, මහත්තයට අමුතුවෙන් කියල දෙන්න ඕනන්නෙ නෑනෙ. මහත්තය දන්නවද මේ පන්සලේ උළුවහු පවා ආදි කාලෙ රජමාළිගාවෙන් ගත්ත කෞතුක වස්තු බව… එහෙම ඉතිහාසයක් තියෙන පන්සලක් මේකත්… මේ අවට ඉඩං කඩං උනත් එහෙමයි… මේ බිම වීරයො වැළලිච්ච ඵෙතිහාසික පින් පොළවක් මහත්තයො.. මේව අපිට නෙමෙයි අයිති ඒ උත්තමයන්ට..”
“ඒ වුණත් හාමුදුරුවනේ… කොච්චර අමාරුවෙන්ද මං ඔය ගේ කෑල්ල හදන්න පටන් ගත්තෙ.”
“ඔය ඇටසැකිලි ගැන හොයල බලල වටිනාකම ගෙවාවි.”
“ඕව අපිට පරම්පරාවෙන් ලැබුණ ඉඩං අපේ හාමුදුරුවනේ.”
“මේ මුල්ලෙරියා නිජබිමේ කොහෙද පරම්පරාගත ඉඩං… මේව රට ජාතිය බේරගන්න සටන් කරපු වීරයන්ට අයිති ඉඩං… මේ බිමේ වැළලිලා ඉන්නෙ එහෙව් වීරයො…”
ඔහු ලොකු හාමුදුරුවන්ට වැඳ සමුගෙන පන්සල් භූමියෙන් පිටතට ආවේ ගිනිගත් හිසට සිසිලසක් පන්සලේ නැති බව සිතමිනි. පාරේ මඳ දුරක් එනවිට එකෙණෙහිම ඔහු ඉදිරියේ ප්‍රාදූර්භූත වූයේ, කිසිදා දැක නැති නොපුරුදු තරුණයෙකි. විදුලි කෙටුමක් මෙන් සිත ඇතුළෙන් ගිගුරුම් දුන් ක්‍ෂණික බිය, පහව යන්නට ඔහුට මොහොතක් ගතවිණි. ඔහු එක එල්ලේ තරුණයා දෙස බැලුවේය. රැවුල කොණ්ඩය වවාගත්, කම්මුල් වලගැසී, නිකට උල්, ගෙලෙහි උගුරු ඇටය තරමට වඩා ඉදිරියට නෙරා ඇති, කෙසඟ තරුණයාගේ අව්‍යාජ සිනහව සමග ඔහුගේ මුහුණ තරමක් පහන් විණි.
“රැවටෙන්න එපා විමලෙ සහෝදරයා… ඉතිහාසෙ පුරාම ඇටසැකිලි කාලෙන් කාලෙට මතුවෙන්නෙ පාලකයින්ගෙ වාසියට… හැම මිනිහෙක්ගෙ ඇඟ ඇතුළෙම ඇටසැකිල්ලක් තියෙනව.. මැරිල දියවුණාම තමයි සැකිලි පේන්නෙ.. පණ තියෙන ඇටසැකිලිවලට වඩා පණ නැති සැකිලි අහිංසකයි… ඒත් ඒ අහිංසක රහස්වලින් ප්‍රයෝජන ගන්න බලන් ඉන්න අමුතු ඇටසැකිල්ලක් එල්ලගෙන ඉන්න පාලකයන්ගෙ ශරීර කූඩුව හරි බයානකයි.” ඔහුට පිටුපා යාමට නොහැකි තරමටම හුස්මක් නොගන්නා ඒ කටහඩට විමලජීව ආශක්තව බැඳුනේය.
“ඇටසැකිලිවලට රටක් වෙනස් කරන්න පුළුවන් විමලෙ සහෝදරයා.. ඉතිහාසෙ පුරාම සිද්ද වුණෙ ඒකයි… මේ ක්‍රමය ඇතුලෙ පණ තියෙන රටක ජනතාවට වැඩිය උන් පණ නැති ඇටසැකිලිවලට හදපත්ලෙන්ම ආදරෙ කරනවා.. උන් දන්නව ඒ සැකිලි කවදාවත් උන්ට විරුද්ධව අවි ඔසවන්නෑ කියල.. හැබැයි ඒ ඇටසැකිලි යොදාගෙන කවුරුහරි උන්ට විරුද්ධව අවි ඔසවන්න ඉස්සෙල්ල උන්ගෙ අවි සට පටාස් ගාල පත්තුවෙනවා.. ඒ උණ්ඩ සාධාරණය වෙනුවෙන් පිටවුන උණ්ඩ කියන ජනතාවක් උන්ට ඉන්නකන් අපි හැමදාමත් ඇටසැකිලි තමයි සහෝදරයා… ඕවට තැවිල අඬල දොඩල පලක් නැහැ… අපේ රටේ දුක් විඳින මිනිස්සුන්ගෙ ඇටසැකිලිවලට කොන්දක් නෑ… උන් දන්නෑ ඇයි දුක් විඳින්නෙ කියල… ඒක හරියටම තේරුම් ගත්තදාට අපි හැමෝටම මේ පස් යට සැකිල්ලක් වෙලා නිදාගෙන හොඳට හුස්ම ගන්න පුළුවන් සහෝදරයා…”
ඔහු එක දිගටම දේශනා කල වදන්වැල්වලින් අදහස් කරන්නේ කුමක්දැයි විමලජීවට නොතේරුණේය. එහෙත් එම පිටවන හැම වචනයක්ම තමාට පක්ෂව පිටවෙන වාකය්‍යන් බව ඔහුට හැඟුණේය. නිහඬව බණ පද අසන්නාක් මෙන් පහන් සිතින් අසා සිටියේය. හිස දෙතුන් වරක් වනා අපේක්ෂා භංගවූ මුහුණට සිනහවක් එල්ලාගෙන තරුණයා හා සුහදව සිනාසුණේය.
තරුණයාගෙන් සමුගෙන ඔහු නිවස වෙත පය ඉක්මන් කළේය. තාප්පවලින් වටවී ඇති මුල්ලේරියා පොදු සුසාන භූමිය ඇත්තේ ඔහු යන එන එම මාර්ගයේය. ඔහුගේ පියා මව මෙන්ම බොහෝ ඥාතීන්ද භූමිදානය කර ඇත්තේ එම සුසානයේය. එකල මෙය කම්බි වැටවල්, තාප්ප, ගේට්ටු කිසිවක් නැති අමු සොහොන් බිමක් පමණි. එවැනි කලක තම මවගේ දේහය වල දමන්නට මිතුරන් සමග එකතුව වලක් කපන විට, උදැල්ලට වැදී ඇටසැකිල්ලක් මතුවූ අයුරුත්, ඒ සැකිල්ල පස් ගොඩකට යටකර වල කැපූ අන්දමත්, ඔහුගේ සිහියට ආවේය. ඔහු ඒ මතකය හා ඉඩමෙන් මතුවූ ඇටසැකිලි ගැන හිතමින් නිවස කරා ගියේය. වෙනදා මෙන්ම වැඩි කතා බහක් නැති සුරම්‍යා ඉදිරිපස පුටුවේ වාඩිවී, ඈත අහස දෙස ශෝකීව බලා සිටින අන්දම ඔහු දුටුවේය.
“මදෑ ගෙයක් හදන්න පටන් ගත්තා… අපි ඔක්කොම එකතුවෙලා ගිය ආත්මෙ ලොකු පවක් කරන්න ඇති සුරම්‍යා, මෙහෙම වෙන්න… අපිට කොහොම වෙතත් කෙල්ලො දෙන්න මතක් වෙනකොට තමයි මගේ පපුව පිච්චිල යන්නෙ.” බලාගත්වනම ඔහේ බලා සිටිනා බිරිඳ දෙස බලමින්, ඔහුද කඳුළු සැළුවේය.
දින, සති, මාසවලට පෙරළී කාලය ගෙවී ගියේය. ඔහු අසන කිසිවකටත් සුරම්‍යාගෙන් පිළිතුරක් නොලැබිණි. ඇය බලාගත්වනම ඔහේ බලා සිටිනා, නිහඬ කාන්තාවක් බවට පත්ව සිටියාය.
★★★★★★★★★★★★★★★★★★★★★
මාස කිහිපයකට පසු ඇටසැකිලි පිළිබඳ වාර්තාව පිට විය. ඒ අතරතුර විමලජීවගේ ඉඩමේ දිගටම කළ කැණීම්වලින් පැරණි හැඩයක් ගත් ගල් වංගෙඩියක්, එවැනිම පැරණි මිරිස් ගලක්, ඇටසැකිල්ලේ ඇඟිල්ලක් මත රැඳී තිබූ නොවටිනා පළිගුවක් ඇල්ලූ අමුතුම හැඩයක් ගත් යකඩ මුද්දක්, බිඳුණු මැටි වළං කීපයක් හා පැරණි හිරමණ තලයක් වැනි යමක් සොයාගෙන තිබිණි. වාර්තාවල අනුව සඳහන්ව තිබුණේ එම සැකිළිවලට එතරම් ඉතිහාසයක් නැති බවත්, කාල නිර්ණයන් අනුව වසර කිහිපයකට පමණ පෙර මියගිය, තරුණ යුවළකගේ ඇටසැකිලි දෙකක් විය හැකි බවත්ය. කවුරුන් හෝ දෙදෙනාගේම හිස්වලට පොරවක් හෝ එවැනි තියුණු ආයුධයකින් එල්ල කරන ලද පාරවල්වලින්, දෙදෙනා මියගොස් ඇති ලක්ෂණ හිස් කබලේ පුපුරායාම තුළින් පෙන්නුම් කරන බවත්, එහෙත් තරමක් පැරණි නිසා එය අනුමානයක් පමණක් බවත්, අනියම් සම්බන්ධයක් හෝ නැතහොත් වෙනයම් හෝ හේතුවක් නිසා, මෙම මරණ සිදුවන්නට ඇති බවත්ය. එම ප්‍රවෘත්තිය රූපවාහිනී නාලිකාවලට ප්‍රවෘත්තියක් නොවූ අතර, පුවත්පත්වලට ඇතුළු පිටුවක, කළු පැහැති අකුරෙන් යුත් කුඩා ඉඩක් වෙන්වූ සුළු ප්‍රවෘත්තියක් පමණක් විණි.
ඒ කාලය අතරතුර විමලජීවගේ බිරිඳගේ අසනීප තත්ත්වය උත්සන්නව, කලක් ප්‍රතිකාර කළ අතර, ඇය ඒ අසනීපයෙන්ම මිය ගියාය. නිවස සැදීමට ඉල්ලුම්කර තිබූ ණය මුදල අත්තිවාරමට වෙන් කළ වාරික කීපයකින් පසු, බැංකුව නතර කර තිබූ අතර, එම මුදල් පොලියත් සමගින් ඔහුගේ අර්ථසාධකයෙන් බැංකුව අයකරගෙන තිබිණි. අතේ ගැවසුණු ඔහුගේ සියලු සබ්බ සකලමනාවම සුරම්‍යාගේ ලෙඩදුක්වලට හා මරණයට වියදම් වූයේ විමලජීවව තව තවත් අගාධයට ගිල්වමිනි. මේ වනවිට ඒ අවට බොහෝ ඉඩම්වල වටිනාකම ඉහළ ගොස්, තිබූ අතර, විමලජීවගේ ඉඩමේ වටිනාකම අඩුවී අත්තිවාරම වසාගෙන, ඔහුටත් වඩා උසට ගස් වැල් වැවුණේ එය මූසල ඉඩමක් බවට පරිවර්තනය වෙමිනි. කාලයක් තිස්සේ දරාගත නොහැකි මානසික ආතතියකට ගොදුරුවීමේ ප්‍රතිඵලයක් ලෙසින්, මානසික රෝගියකු බවට පත්වූ ඔහු, අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියකු වූයේ, කිසිවෙකුත් නොසිතූ ලෙසිනි.
ඔහුගේ වැඩිමහල් දියණිය ගමේම දුප්පත් තරුණයෙකු හා විවාහව, තවමත් කුලි නිවසක ජීවත්වන අතර, ඇය මෑතකදී ජයග්‍රහණය කළ මන්ත්‍රීවරයකු පසුපස වැටී ඔහුගේ සෑම උත්සවයක් ඉදිරියේම අත්පුඩි තලන්නේ, රජයෙන් නිවසක් හෝ අඩු තරමින් පුංචි ඉඩම් කෑල්ලක් හෝ ලබාගැනීමේ අදහසින් බව, ඇයම දිනක් මට පැවසුවාය. ඉන්නා තැනක් නොකියන බාල දියණිය, කොහේදෝ සිට පියා බලන්නට ඉඳහිට රෝහලට පැමිණෙයි.
එවැනි දිනක විමලජීව බලන්නට මම රෝහලට ගියෙමි. මා හඳුනාගන්නට ඔහු බොහෝ වෙහෙසක් ගත්තේ වෙනත් අයගේ නම් ගම් කියමිනි. අතීතයේ ඔහු කෙරෙන් දිස්වූ සංග්‍රහශීලී සිනහව අද නැත. බිම බලාගෙන අත්පුඩි තලමින් ජනප්‍රිය ගීයක තාලයට නිතරම කවි කියන විමලජීව, හැම කවියක්ම අවසාන කරන්නේ, සීතාවක රණබිම මැද පෙම් යුවළක්….. ඉතිරි පදේ කියන්න බැහැ ඒක අමු කුණු හබ්බයක් යකෝ කියා උස් හඬින් සිනාසෙමිණි. අනතුරුව ඔහු හිස සොළවමින්, එහාට මෙහාට ගමන් කරයි. මා රෝහලේ සිටි එදින බාල දියණිය ඔහු බලන්නට රෝහලට ආවාය.
“අනේ අන්කල් අපිට ඒ ඉඩම විකුණගන්න කාව හරි හොයල දෙන්නකො”
“පත්තරේ දැම්මනං හරිනෙ”
“දැම්මා.. වැඩක් උනේ නෑ අන්කල්.. සමහරු ගන්න බයයි. අනෙක කුණු කොල්ලෙටනෙ ඉල්ලන්නෙ… ඒකත් ටික ටික ගෙවන්නං කියල… එහෙම දීල වැඩක් නැහැ.. කියන්නෙ වගතුවක් නැති ඉඩමක්ලු… මතක් කරන්නෙම ඇටකටු ගැන..” මා විමලජීව දෙස බැලුවේ, ඔහු අඩු තරමින් දියණියගේ කතාවටවත් යන්තම් හෝ ප්‍රතිචාරයක් දක්වාවිදැයි බලාපොරොත්තුවෙනි. එහෙත් ඔහු සාක්කුවට අත යවා, කොළ කැඩී අතටම දියවී ගිය පොතක් ගෙන මගේ අතට දී, සීතාවක රණබිම මැද පෙම් යුවළක්….. ඉතිරි පදේ උඹ කියහංකො කියා සිනාසෙන්නට වූයේය.
“මට හිතෙන විදියට ඔය ඉඩම විකුණන්න කාලයක් යයි දුව. මිනිස්සුන්ට දවසක ඔය වෙච්ච දේවල් අමතක වුණාම වටිනාකමක් එයි. කෝකටත් මං දන්න කියන කීපදෙනෙක් ඉන්නව.. කියල බලන්නං.”
දින කිහිපයක් ඉක්බිති ඔහුගේ ලොකු දියණිය මා සොයා පැමිණියේ ඇඬූ කඳුළෙනි.
“අනේ අන්කල්.. මං ගියා තාත්ත බලන්න.. තාත්තා ඉස්පිරිතාලෙ නැහැලු… නර්ස්ල කියනව වාට්ටුවෙන් පැනල ගිහිල්ලලු..”
“තාත්තා එළියට බැහැල ඇවිදින්න යන්න ඇති…ඔයිට කලිනුත් එහෙම හොරෙන් ගිහිල්ල ඇවිල්ල තිබුණනෙ.. දුව දැන් යන්නකො.. මාත් ගිහිල්ල හොයල බලන්නං..” මම ඇය සනසන අටියෙන් පැවසුවෙමි.
එදිනම හවස ගමේ තරුණයෙකු බයිසිකලයක් පැදගෙන හති දමමින් ආවේ, අර විමලජීව අන්කල්ගෙ දුවගෙ ගේ කොහෙද අන්කල් තියෙන්නෙ යැයි අසමිනි. “ඇයි මොකද… මේ කලබලේ…?” මම ඉස්පාසුවක් නොබලා ඇසුවෙමි.
“විමලජීව අන්කල්…. අර කැලේට ගිය හිස් ඉඩමෙ….
“ඔව් ළමයො කියහන්කො”
“අර ඇටසැකිලි මතුවෙච්ච තැන”
“තටමන්නැතිව කියහංකො” මගේ නොඉවසිල්ල පිට පැන්නේය.
“මං තමයි රාජසිංහ රඡ්ජුරුවො කිය කියා… ඇඟේ වස්තරයක්වත් නෑ… අමු හෙළුබැල්ලෙන් …..කෑ ගගා හිනා වෙනවා… ඊට පස්සෙ අඬනව”.