පෙඟී නොවියළී ගිය පාන් කැබෙල්ලක් මෙන් මත්පැනින් පෙඟී ගිය කපිතාන්ගේ කයට සිගරට් දුම සුවදායකය. සිගරට් දුමින් පෙනහළු පිරෙන විට ඔහු තමන්ටම ආවේණික ප්‍රියමනාප සිතුවිලි කරා ප්‍රවේශ වන්නේය. ඒ ප්‍රීතිය සඳහා ඔහු භාවිත කරන්නේ ඉදිරියේ මේ අයුරින් දණ ඔබා සිටින අති විශේෂ සැකකරුවන්ය. ඔවුන් දේශ ද්‍රෝහින්ය. උතුම් ලෙස පවතින පාරිශුද්ධ ආණ්ඩුක්රමය වෙනස් කිරීමට යත්න දරන්නවුන්ය. එම ගෞරවනීය ආණ්ඩුක්රමය මෙහෙයවන ජනසම්මතවාදීන් ක්‍රියාත්මක කරන ආණ්ඩුක්රමය සුරක්ෂිත කිරීමට අවියෙන් ආරක්ෂාව සපයන පුද්ගලයන් සහ ඔවුන්ගේ අහිංසක දරු පවුල් සමූල ඝාතනය කරන අමු පාදඩයන්ය.
දහඩිය සහ කුණු නිසා බොර පැහැති කෙටි රැවුලින් සහ හිස කෙසින් යුතු කපිතාන්, බර දුම් උගුරක් ඇද කම්මුල් පුම්බා බල්බය දෙස බලා සිටියේය. බිත්තරයක් වැනි ඔහුගේ මුහුණින් දහදිය ගලයි. දබරැඟිල්ලෙන් මුහුණ කසා නාසය ලඟට ලං කළ කපිතාන් අනතුරුව තරුණයා දෙස හැරී නියපොත්තේ සිරවී තිබූ කුණු බෝලය මහපටඟිල්ලේ නියපොත්තෙන් හාරා විද්දේය. අනතුරුව කැහි කාරා දුගඳින් යුතු බොර පැහැති සෙම, බිත්ති මුල්ලකට ගැසුවේය.
වෙහෙසත් නිදිමතත් එක් වූ, තළා පෙළා දැමූ තරුණයා බිම වැතිර සිටියේය. විදුලි බුබුළේ එළිය ඔහු දුටුවේ මහ දුම් ගොඩක් සේය. එහි තරු කැට වැනි ආලෝකයන් පාවෙමින් තිබුණි.
සිගරට් කොටය පුටුවේ අතුල්ලා පොඩි කර නිවා දැමූ කපිතාන් නැගිට ගොස් නැමී තරුණයාගේ හිස කෙසින් යළිත් එසවීය. ඔහුගේ සිත, ඇඟ හිරිවට්ටන තරම් සතුටකින් පිරී ගියේය. පිලිස්සී පුළුටු ගඳ ගසන මස් වැදැල්ලක් දැකීමේ ආසාවක් ඔහුගේ සිතේ පහළ විය. එය හැකි තරම් නීච වන තරමට ආස්වාදය වැඩිය. එහෙයින් කපිතාන් කැහි කාරා ගත් සෙම තලිය තරුණයාගේ මුහුණට ගැසුවේය.
තිගැස්සුනාක් මෙන් දෙනෙත් විවර කළ තරුණයා ප්‍රථමයෙන් දුටුවේ රතු පැහැති පසුබිමේ බිත්තරයක් වැනි රවුමකි. ක්‍රමයෙන් එය ඇස් කන් නාස් ඇති මුහුණක් බවට පත්විය. තරුණයාගේ සිතට නැඟුණේ තුන් දිනකට පෙර දෙනෙත් වසා තිබු රෙදි කඩ ඉවත් කළ පසු දුටු ප්‍රථම මිනිසාය.
එහෙත් ඒ පිළිබඳ කිසිවක් සිතීමට පෙර කපිතාන්ගේ මිට මෙලවූ දකුණත් පහරින් තරුණයාගේ නාසය බිඳී උඩු ඇන්දේ දතක් ගැලවී ගියේය. බිත්තියේ මහ හඬින් හිස වැදුණු තරුණයා විසඥවී බිම ඇද වැටුණේය.
රාත්‍රිය වියළි සීතලෙන් යුක්ත විය. දිවා කාලය පුරා අව්වෙන් කරවී ගිය මහ පොළොව පිනි පොදින් සුවපත්ය.
මෙය කිසියම් ප්‍රභූවරයෙකුට අයත් කලකට ඉහත පදිංචිය අත්හරින ලද නිවසකි. ඔහු මේ මන්දිරයේ කාමර කීපයක් සිය කැමැත්තෙන්ම මේ ආරක්ෂක ඒකකයට පවරා දී තිබුණි. එහිදී ප්‍රකෘති ආරක්ෂාව යළිත් ස්ථාපිත කිරීමේ පහසුකම් සලසා දෙනු වස් නිවසේ මුරකරුවා වැටුප් සහිතව තාවකාලිකව ඉවත් කිරීමට ප්රභූවරයා කැමැත්ත පළ කළේය.
තත්ත්වය පාලනය කිරීමේ ක්ෂණික විහිදුම් බළකාය යනුවෙන් හඳුන්වනු ලැබූ මේ විශේෂ ඒකකයේ එකම කාර්යය වූයේ සම්මත නීති පද්ධතියෙන් පිටස්තරව සැකකරුවන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමය. මෙවැනි ඒකකයන් සියල්ලේම සිටි නිලධාරීහු ප්‍රශ්න කිරීමේ විධිමත් ක්‍රමය නොදැන සිටියහ. ඔවුන් සිටියේ මුළුමනින්ම පූර්ව නිගමන ඇතිවය. ඒ නිසා ප්‍රශ්න කිරීමේ නිශ්චිත ප්‍රතිඵලය වූයේ කිසිදු පිළිතුරක් නොදී සැකකරුවන් නින්දිත මරණයකට ගොදුරු වීමය.
එකී මරණ සියල්ලම අත්හදා බැලීම් සඳහා යටත් වූ ඒවා විය. මෙහිදී වඩා වැදගත් පුද්ගලයා වූයේ සැකකරුවාගේ මරණය කුරිරු ලෙස රැගෙන ආ තැනැත්තාය. රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ රෙගුලාසිවලින් පිටස්තරව බඳවාගෙන තිබු ඔවුන්ගේ එකම සුදුසුකම වූයේ ප්‍රශ්න කිරීමේ දැඩි බවින් යුක්ත වීමය. මේ සඳහා නීත්‍යනුකූලව ඔවුන් සන්නද්ධ කර තිබූ අතර රාජකාරිය සඳහා අති විශේෂ වරප්‍රසාද ලබාදී තිබුණි.
ආරක්ෂක ඒකකයේ ප්‍රධානියා කපිතාන් වූ අතර, ඔහු මොනම ආකාරයකට හෝ යුද හමුදාවේ කපිතාන්වරයෙකු නොවූ බව සහතික කළ යුතුය. ඔහුගේ පාසල් අධ්‍යාපනය තිබුණේ ඉතාම පහළ මට්ටමකය. හරි හමං අම්මෙක් අප්පෙක් නොසිටි ඔහු බාල කාලයේ ලන්සි ගෙවල් දෙකක සේවය කර තිබුණි. මේ නිසා ඔහු ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබා තිබුණි. එයින් පසු තරුණ කාලයේ පාදඩ ජීවිතයක් ගත කළ ඔහු, කුලියට මිනී මැරීමේ කොන්ත්‍රාත්තු බාරගැනීමේ යෙදී සිටියේය. වසරක් මැදපෙරදිග සේවය කර තිබූ ඔහු, කිසියම් දේශපාලනඥයෙකුගේ අනුග්‍රහයෙන් මේ ආරක්ෂක ඒකකයේ ප්‍රධානියා බවට පත් විය.
තම කටයුතු හදිසියේම නීත්‍යනුකූල තත්ත්වයට පත් කර ගැනීමට හැකි වූ කපිතාන් පමණක් මේ වන විට සැකකරුවන් විසිහය දෙනෙකු තමාගේ අත්හදා බැලීම්වලට යටත්ව මරා දමා තිබුණි. එයට පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු ද, රැකියා විරහිතව සිටි එක උපාධිධාරී කාන්තාවක් ද අයත්ව තිබුණි. කාන්තාවන් සම්බන්ධව කිසිදු ආකාරයක ලිංගික ආශ්‍රය ප්‍රතික්ෂේප කළ ඔහු, තම සගයන්ට ඔවුන් ලබා දුන්නේය. ඔවුන් මරා දැමීමේදී කපිතාන් පදනම් කර ගත්තේ ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් පමණි.
මෑතකදී අතුනොගාන ලද ගොඩනැගිල්ලේ වැලිකැට සපත්තු වලින් පුපුරවමින් කපිතාන් තම අනෙක් සගයන් හය දෙනා සිටි කාමරයට ගියේය. පසුගිය දින කීපයේ බොහෝ කාර්ය බහුලව සිටි ඔවුහු අලුත් සැකකරුවන් සමග ප්‍රශ්න කිරීම් එළඹෙන තුරු රත් පැහැති දෙනෙතින් ද, තෙල් සහිත මුහුණු වලින් ද යුතුව කාඩ් කුට්ටමේ කොළ තුනේ ක්‍රීඩාවේ නියුක්තව සිටියහ. තමන්ට ලැබුණු කාඩ්පත් පිළිබඳව ඔවුහු කුණුහරුපයෙන් දිව්රූහ. මෑණිවරුන්ට කරනු ලබන ලිංගික ක්‍රියාවන් පිළිබඳව හා කාන්තා ලිංගේන්ද්‍රියන් සිහිපත් කිරීමක් හැර ඔවුන්ගේ පිළිසඳරේ වැදගත් යමක් නොතිබූ බව කිව යුතුය. අප්‍රමාණව මත්පැන් සහ දුම්පානයෙන් පදම් වූ ඔවුහු, තම ප්‍රධානියා පැමිණෙන විට ගරු කටයුතු ලෙස නැගී සිටියහ.
කපිතාන් සුපුරුදු ලෙස මේසය ළඟ පුටුවේ වාඩිවී මඳ වෙලාවක් මේසයට තට්ටු කරමින් සිටියේය. ඔහුගේ වම් අතේ ඇඟිලි හතරම රත්තරන් මුදු පැලඳලාය. ඒ අතින් ඔහු තට්ටු කිරීමට කැමතිය. විදුලි එළියට මුදු දිලිසේ. එය වඩාත් දිස්නය ඇති කිරීමට ඇති හොඳම කාර්යය මේසයට තට්ටු කිරීමය.
“ ඉන්ටෙලිජන්ට් රිපෝට් වල හැටියට අද රෑ තව ඒරියා පහක් විතර කවර් කරන්න තියෙනවා.” සැකකරුවන්ට ආමන්ත්‍රණය කිරීමේ දී උසුරුවන බසට වඩා කපිතාන්ගේ බස මෙහිදී වෙනස්ය.
“ කී දෙනෙක් විතර ද?” කපිතාන්ගේ සමීපස්ථ සගයා මෙහිදී ඇසුවේය.
“ සීමාවක් නෑ. ඒත් කෙල්ලෝ හතර දෙනෙක් ඉන්නව “
සගයන් සියලු දෙනාගේ ආශ්වාස ප්‍රශ්වාස වේගය වෙනස් විය.
“ එතකොට යන්නෙ? “
“දෙකට විතර”. කපිතාන් මොහොතක් නතර වී නැගී සිට මෙසේ කීවේය.
“ පෙට්‍රල් කෑන් එකක් ගන්න “
භටයන් සියලු දෙනා සීරුවෙන්ය. තම ප්‍රධානියාගේ විලිස්සුම් සහගත සිනහව, ඔවුන්ගේ සියලු කාර්යයන් එක සිතින් අනුමත කිරීමකි.
කපිතාන් තම නිදන කාමරයට යෑමට පෙර තම විසිහත්වන සැකකරුවා දෙස තවත් වතාවක් බැලුවේය. ඔහුගේ හිස පුපුරා ලේ ගලයි. රත් පැහැති රුධිරය ප්‍රිය ජනකය. එය සුන්දර වර්ණයකි. යළිත් වතාවක් සැකකරුට පා පහරක් දීමේ ආශාව ඔහු මැඬ ගත්තේ අසීරුවෙනි.
නවීන පන්නයේ ආයුධ කීපයක් අඩුක්කු කළ කපිතාන්ගේ කාමරයෙන් නැගෙන්නේ පුස් ගඳකි. එහි ඇති ඇඳුම් සියල්ල නොසේදු ඒවාය. ඉකිලියේ කුණු බෙහෙවින් බැඳි ගිය යට ඇඳුම් දෙකක් ඔහු මෙට්ටය යට සඟවා තිබුණි. කාර්ය බහුලතාව නිසා ඔහු යට ඇඳුම් අත්හැර දැම්මේය. එහෙත් නිදාගැනීමට ඇඳට ගිය පසු ඔහු කලිසම බුරුලු කර රහස්‍ය ප්‍රදේශයේ කුණු ඇඹරීම ආරම්භ කරන්නේය. වෘෂණයේ රෝම සමග ගැලවී එන කුණු බෝල ඉවත දැමීමට පෙර ඔහු හැමදාමත් දැනෙන ඒකාකාරී ගඳ යළිත් නිරීක්ෂණය කළේය. ඒ හැම අවස්ථාවකම ඔහු නින්දට පෙර අවසන් වශයෙන් සිහිපත් කරන්නේ තමන් දස වධ දුන් කාන්තාවන් පිළිබඳවය.
දිනකට පැය දෙකකට වඩා අඩු කාලයක් නිදාගන්නා කපිතාන් තමා පරීක්ෂණය මෙහෙයවන බලප්‍රදේශය පිළිබඳ කල් තබා සැලසුම් නොකළේය. සාහසිකවූ යෞවනය අත් පත් කරගන්නවා මිස අන් කිසිවක් ඒ තුළ නොතිබුණි. ඔවුන් සාහසික දේශපාලනය තම මතවාදයන් කර ගත්තවුන්ය. තමා සහ තමා පෝෂණය කරන්නවුන්ගේ පැවැත්ම සඳහා ඔවුන් දස වද දී මරා දැමිය යුතුය.
මැදියම් රාත්‍රිය ළං වන විට ගහ කොළ වලින් පිනි බිඳු රූරා වැටේ. ආරක්ෂක ඒකකයේ පිළිකන්නේ රට දෙල් ගහ යට ඇති හබරල ගාලෙන් නැඟෙන්නේ බොල් හඬකි. පිනිබින්දු හබරල කොළ වලට වැටෙන විට උපදින්නේ ගුරු පාරක හුදකලාව යන කරත්තයක ශබ්දයකි.
මැදියම් රාත්‍රිය ගෙවී යනවිට විසිහත්වන සැකකාර තරුණයා ක්‍රමයෙන් විසඥ බවින් මිදෙමින් සිටියේය. මුහුණේ තැවරුණු රුධිරයේ පිළී ගඳක් හෝ ඇඟපතේ රිදීමක් හෝ ඔහුට නොදැනේ. අනන්තවූ පහරදීම් නිසා ඔහුගේ ඇඟ පත හිරිවැටිලාය. දින තුනක් පුරා ඔහු ප්‍රකෘති සිහියට ප්‍රවේශ නොවන තරමට පහර කෑමට ගොදුරු විය.
මහ ඝන අන්ධකාරයක තිබූ කුඩා එළිය පුංජයක් විසල් වන්නාසේ ඔහු වර්තමානය කරා ප්රවේශවෙමින් සිටියේය. තමන්ගේ විලාප හඬ නොසලකමින් කිසිවෙකු පිළිබඳ ප්‍රශ්න කරමින් ගතවූ කාලයෙන් ඔහු බැහැර වෙමින් සිටියේය.
මේ සඳහා ප්‍රධාන හේතුව වූයේ රැගෙන ආ පසු ඔහු ප්‍රථම වරට විරාමයක් සහිත හුදකලා බවට පත්කර තිබීමය. දුර ඈත සිට කිසියම් ඉමක් කරා ගාටමින් පැමිණෙන විට ඔහුට දැනුණේ ඉවසිය නොහැකි වේදනාවකි. මුළු ශරීරයම වණයක් වී ඇත. දෙපතුල් ඇතුළු සියල්ලම තැළී පොඩිවී හමාරය.
එහෙත් ඔහු දකිමින් සිටියේ තුන් දිනක් සිහිපත් කිරීමට නොහැකිවූ තම මව සහ පියාය. එසේම පවුලේ එකම පුත්‍රයා වශයෙන් තමන් සුවැති කාමරයක නිදා හුන් අයුරුය.
ඒ ගත කළ ජීවිතය නිරවුල්ව නිවැරදිව සිහිපත් කරගැනීම සඳහා ඔහු මොහොතකට තමා සිටි තැන නිවැරදිව වටහාගැනීමට වෑයම් කළේය. ඈත කාමරයක කවුරුන් හෝ ඇදුම රෝගියෙකු කන්දක් නගින්නාසේ ගොරවන ශබ්දයත්, කෙලවරින් දෙතුන් දෙනෙකුගේ කතාබහත් ඇසේ. පිටස්තර ලෝකය අඳුරේය. හබරල ගාලකට වැහිපොද සේ පිනි බිඳු රූරා වැටේ. ගුරු පාරක යන කරත්ත ශබ්දයක් ඔහුට සිහිපත් වූයේය.
තම නිවස ඉදිරිපිට ඔහු දුටුවේ ගුරු පාර සහ ඉන් ඔබ්බට විහිදී ගිය වෙල් ය. පියා හැමදාමත් පාසල් ගොස් ආවේ ඒ පාරේ පයින්මය. ඔහු ගුරු වෘත්තියටම කැපවී සිටියේය. අම්මා හොඳ ගෘහණියක වූවාය. තමා නගරයේ පාසලක නේවාසිකව හිඳ උසස් පෙළ ලියා ගෙදර ආ බව තරුණයා මතක් කළේය.
විභාගය අවසන්වී පෞද්ගලික පන්තිවල ඉගෙනගත් හිතවතුන් හිතවතියන්ගෙන් සමුගත් අවස්ථාව සැබව්න් ම හැඟුම්බරය. අවන්හලකට ගොඩවී ඔවුහු සියලුම දෙනාගේ එකතුවෙන් හිම කිරම බුදිමින් සිටියහ. තමා සමීපයේ වාඩිවී සිටියේ නිශාය. එය හමුවීම පිළිණ කරගත් වෙන්වීමකි.
“ මගෙනුත් චුට්ටක් කන්න.” කියා ඈ කීවාය. තරුණයා එය ප්‍රතික්ෂේප නොකළේය. “ලබන ඉරිදා මම ක්ලාස් එක ලඟට උදෙන්ම එනවා” තරුණයා කීවේය. අද සඳුදාය. ඉරිදා වීමට තව බොහෝ කාලයක් ඇතැයි නිශා සිතුවාය.
තරුණයා තම සමීපතම මිතුරාවූ වීරසේකර දෙස බැලුවේය. ඔහුගේ දෙනෙත් තුළ ඇත්තේ උදාසීන බවකි. ඔහු භෞතිකවාදියෙකි. දේශපාලන විද්‍යා පන්තියේදී ඔහු සර් සමගද තර්ක කරන්නේය. “ වීරසේකර කියන දේ ඇත්ත. ඒත් ඒවා ප්‍රායෝගික වෙන්නේ නෑ. පේනවනේ දැන් සිද්ධවෙන දේ.” වීරසේකරගේ උරහිසට අත තියාගෙනම සර් කීවේය.
තරුණයා තම සමීපතම මිතුරන් සමග සිතුවේ විභාගය කල් යයි කියාය. ඒ වන විටත් රට පුරා කිසියම් නොසන්සුන් බවක් පැතිරෙමින් තිබුණේය. එහෙත් ඒවා කෙටි සිදුවීම් විය.
විභාගය අවසන් වී ගෙදර පැමිණි දෙවෙනි දවසේ නගරයට ගොස් පැමිණි පියා, තමා රැගෙන ආ පුවත බිරිඳට හා පුත්‍රයාට කීවේය.
“ ග්‍රාමසේවක මහත්තයෙකුයි තව දෙන්නෙකුයි බෙල්ල කපල මරල. හෙට කඩවල් වහන්න කියල.” එතැන් සිට හතරදිග්භාගයේ පැතිර ගියේ මරණය පිලිබඳ කතා පුවත්ය. හැම දෙයක්ම ක්‍රියාත්මක වූයේ වේගයෙනි. මරණය බෙහෙවින් නොසන්සුන් විය. එය කුරිරු විය. එය තරුණයාගේ ජීවිතයෙන් වෙන්ව පැවතුණි. එහෙත් සෙනසුරාදා රාත්‍රියේ වාහන දෙකකින් අවි අතැතිව පැමිණි හත් දෙනෙක් නිදා සිටි තරුණයා මැද සාලයට ගෙනාවෝය.
“ වීරසේකර යාලුවෙක් ද?”
තරුණයා හිස වනා එය පිළිගත්තේය. මවත් පියාත් දණගැස්සවූ අතර, තරුණයාගේ දෙ අත් පිටුපසට කර බැඳ දෙනෙත් කනප්පුවේ තිබූ රෙද්දෙන් වසා බැඳ දැම්මේය.
වාහනයේදී අසනු ලැබු ප්‍රථම ප්රශ්නය බෙහෙවින් මිත්‍රශීලී විය.
“වෙන කවුද යාළුවො?”
තරුණයාට සැණින් සිහිපත් වූයේ හෙට හමුවීමට සපථ කර සිටි නිශාය.
“ කවුරුත් නෑ “ තරුණයා කීවේය.
එය ඔහුගේ අවසන් පිළිතුර විය. කිසිදු පිළිතුරක් නොලබා ඒ ප්රශ්නය යළි යළිත් අසනු ලැබූ අතර, තරුණයාගේ සිරුර රිදුම් දෙමින් හිරිවැටී ගියේය. ප්‍රථම අවස්ථාවේ තරුණයාට හැඟී ගියේ තමා ඉරණම විසින්ම බිහි කරනු ලැබුවෙකු ලෙසය. අනතුරුව එය තරුණයා ගොදුරු කරනු ලැබූ ඒකීය සිතිවිල්ලක් බවට පත් විය.
එහෙත් දැන් තරුණයා දකිමින් සිටින්නේ ප්‍රකෘතියයි. එම ප්‍රකෘතිය තුළ ඔහුට සිහිපත් වන්නේ තම මව සහ පියාය. හැම අතින්ම තමාට රැකවරණය දුන් ඔවුන් දෙදෙනා දැන් නොකා නොබී තමා සොයමින් පොලිසියක් ගානේ යනු ඇත. තමා විසින් රැක බලා ගතයුතු මවුපියන් මෙසේ අකාලයේ හුදකලා කරනු ලැබුවේ කවර වරදක් නිසාද?
ඒ අම්මටයි තාත්තටයි නිශා ලේලියක් වූවා නම් කෙතරම් මැනවිද? ඇය හැමදාමත් ඇන්දේ දිග සායකි. ඇගේ හිස කෙස් බොහෝ සිනිඳු විය. දිගු කෙස් රොද සුළඟින් විසිරෙයි. සිනාසෙන විට ඇගේ දෙකම්මුල් වල ගැසේ.
ලේ කැටි සමග රිදුම් දෙන හිස ඔසවා නැගී සිටින්නට වෑයම් කළ තරුණයා වාරු රහිතව යළි ඇද වැටුණේය. ක්‍රමයෙන් ක්ෂය වී යන ශක්තිය තුළ තමාගේ අවසානය සමීපවී ඇතැයි තරුණයා සිතුවේය. එය වීරසේකර තමාට කියූ එහෙත් තමා පිළිනොගත් සියලු කතා පුවත් ප්‍රායෝගිකව අත්විඳිමකි. වීරසේකරගේ පරම පවිත්‍ර සත්‍යය සනාථ වීමකි. තමාට මෙසේ සිදුවී නම්, එකම කාමරයේ පාඩම් කළ මතවාදයන් හිසින් ගත් වීරසේකරට කුමක්වූවා විය හැකිද?
කොරිඩෝරයෙන් ඇසෙන්නේ ළං ළංව පැමිණෙන පාවහන් හඬවල්ය. ඒවා බරැතිය. ඒ පියවි හඬ තරුණයාට සිහි කළේ බිත්තර හිසක් ඇතිව තමාට කොතෙකුත් පහර දුන් කොට හිසකෙස් සහිත කපිතාන්ගේ මුහුණය. එය තරුණයා මේ කෙටි ජීවිතය තුළ දුටු අප්‍රසන්නම මුහුණයි.
කාමරයේ දොර ඇර ආ තිදෙනෙක් තරුණයා අසල බලා සිටියහ.
“ මූට ගිනි තියන්න දෙයක් ඉතුරුවෙලා නෑ “ කිසිවෙකු කීවේය.ඔවුන් ඉන් පසු කතා කළේ පෙර දවසක පුළුස්සා මරා දැමුවකු පිළිබඳ තොරතුරුය. රළු විස්තර කිරීම් වලින් යුතු ඒ කතා බහ අතරතුර ඔවුන්ගෙන් නැඟුණේ ද රළු සිනහ හඬකි.
පරීක්ෂාකිරීමේ පදනම මත පැමිණි ඔවුන් ගිය පසු තරුණයා යළිත් හුදකලා විය. ඉවසිය නොහැකි රිදුම් දෙන වේදනාවන් සමග තරුණයා සොඳුරු ප්‍රකෘතිය පසුබිම් කර ගත් සැහැල්ලු යෞවනයක් පිළිබඳ යළි ප්‍රාර්ථනා නොකළේය. එය කොහෙත්ම යළිත් ප්‍රාර්ථනා කළ නොහැකි ක්ෂයවී ගිය අතීතයක් බව ඔහු හෙමිහිට පසක් කළේය. තමන් සහ තම මිතුරන් සැහැල්ලු ලෙස සිතූ මරණය කුරිරු ලෙස නියත ලෙස දැන් තමා අභිමුඛයට පැමිණ තිබේ.
“ මරණය ඒකාකාරියි. එත් මරණය ඒ පිළිබඳ නිගමනය කරන්නේ ඒක සිද්ධවෙන ආකාරය අනුවයි.” වීරසේකර තම ගුරුවරයා ගඟ දිගේ සමුදුර බලා පාවෙන්නෙකියි තරුණයාට සිතෙන්නේ දැන් ය. සූරාකෑම, මර්ධනය, ව්‍යවස්ථාගත කළ වුන් මරණයද ඒසඳහා සම්මත කර ඇත්තේය. එහිදී තමාද ඒ නින්දිත මරණයට නොහොල්මනේ මුහුණ දිය යුතුද?
අළුයම දෙකට ආසන්නව තිබියදී තරුණයාගේ අත් දෙකෙන් බිමදිගේ ඇදගෙන ගිය නිලධාරියෙකු ඔහු කැබ් රියේ පිටුපසට විසි කළේය. හිරි වැටුණු තට්ටම් දෙක බිම වැදුණු තරුණයා කෙඳිරිල්ලක් සහිතව නිසල විය. ඉදිරියෙන් ගමන් කළ සුදුපැහැති වෑන් රිය පසුපසින් ගිය කැබ් රියේ ඇන්ද උඩ වාඩිවී සිටියෙකුගේ පාවහන් සහිත දෙපා තිබුණේ තරුණයාගේ පපුව මතය.
වාහන දෙක ගමන් කළේ ගුරුපාර දිගේය.සෘජුව තාර පාරට යනවා වෙනුවට ඔවුන් තෝරාගෙන තිබුණේ කඳුවැටියක් උඩින් ගමන් කිරීමය. වාහන දෙකම කන්ද මුදුනේ නවත්වනු ලැබීය.
පාරේ වම් පසට වන්නට ඇත්තේ මඳක් ගැඹුරැති ප්රපාතයකි. එහි පාමුල පඳුරු සහිතය. එක දිගට පෑවිල්ල නිසා පඳුරු අතර වියළී ගිය කොළරොඩුය. අතුරිකිළි පවා බොහොමයක් වෙළිලාය.
නැගෙනහිර අහස තවමත් අඳුරුය. අරුණෝදයක් පිළිබඳව බොඳව විසිරගිය සේයාවක් පමණක් එහි සටහන් විය. ඉහළ අහසේ දුරින් තරු පමණක් විසිරිලාය. බඳ පටියේ පිස්තෝලය ඇතිව ප්‍රථමයෙන් වල් ඌරෙකුසේ බිමට බැස්සේ කපිතාන්ය. සගයන් තරුණයා ඇදගෙන ආ අතර, ඔහු පාරේ කෙළවරට වන්නට බෑවුම මුදුණේ තැබීය.
කපිතාන්ගේ සගයන් මෙයින් පසු සිදුවන සිදුවීම් පිළිබඳව පූර්ව අත්දැකීම් සහිතය. පෙට්‍රල් දමා ගිනිතැබූ විට සැකකරුවන් වේදනාවෙන් ළතෝනි දෙමින් නැගී සිටියි. නැතහොත් බිම පෙරළෙයි. එහි අවසන් මොහොත උදා වන්නේ, කපිතාන්ගේ පාපහරක් සමග සැකකරුවන් ප්‍රපාතයට මහා ගිනි ජාලාවක් සමග විසිවී යෑමය.
“ වාඩිවෙයන් බැල්ලිගෙ පුතෝ” කපිතාන් තරුණයාගේ හිසකෙස් වලින් උස්සා ඔහු වාඩි කර වූයේය. සිදුවන සියල්ල පිළිබඳ සංවේදීතාවක් ඇතිව සිටි තරුණයා ක්ෂය වන තම ශක්තිය රඳවාගනිමින්, වෙවුලමින් වාඩිවිය. ඔහුගේ ඇඟ පත පුරා වක්කරනු ලැබූ පෙට්‍රල් සීතලය. තරුණයා මඳක් දඟලනු දකින කපිතාන්ගේ ගොරොද්දයක් සේ නැඟී සිනා හඬ හතර දිග් භාගයේ පැතිරිණි. එවිට සගයින් ද ඒ සමග සිනාසීම ආරම්භ කළහ. සාක්කුවෙන් ලයිටරය ගත් කපිතාන් තරුණයාට මඳක් ඈත්ව දුන්නක් සේ නැමී එය දල්වා ඔහුගේ කලිසමේ කෙළවරකට ගිනි තැබීය. සැනින් එය ගිනි ජාලාවක් බවට පත්විය.
මෙයින් පසු සිදුවූ සියල්ල ගැළපිය හැකි වුයේ පශ්චාත් බහුවිධ වාර්තාවක් පදනම් කරගෙන බව සඳහන් කළ යුතුය. එහි මුල් වාර්තාව ප්‍රධාන ආරක්ෂක ඒකකයට ඒ රාත්‍රියේම වාර්තාවූ අතර පසුකාලීනව එය වඩාත් ප්‍රචලිත කාරණාවක් විය. මෙහිදී කපිතාන්ගේ සගයන් විවිධ ස්ථානවල දී කරනු ලැබූ ප්‍රකාශ බෙහෙවින්ම වැදගත් විය.
මහා ගිනි ජාලාවක් බවට පත්වූ තරුණයා ප්‍රථමයෙන් බිම පෙරළී අනතුරුව යළිත් වාඩිවී නැගී සිටින්නට උත්සාහ දැරීය. දෙ අතින් මුහුණ වසාගනිමින් ඔහු නැගී සිටි මොහොත ගිනි ජාලාවක් මත නැටුමක් ඉදිරිපත් කරන්නාසේ විය. මොනම හේතුවක් නිසාවත් විලාපයක් නො නැඟූ තරුණයා වෙත කපිතාන් ඊ ළඟ මොහොතේ ළඟා වූයේ සුපුරුදු පා පහර දීමටය.
සගයන් කියන පරිදි තරුණයා ඊ ළඟ මොහොතේ උඩ පනිමින් ඉදිරියට විසිවී ගියේය. මේ කාර්යය සඳහා ඔහු තම අවසන් ශක්තිය මුදා හැරියා විය යුතුය. විදහාගත් ගිනිගත් දෙ අතින් තරුණයා ඊළඟට කළේ පහරදීමට සූදානමින් සිටි කපිතාන් දැඩි ලෙස බදාගැනීමය.
දෙ අත් දෙනෙත් පිළිස්සෙමින් තිබූ තරුණයාගේ සමාප්තිමය ශක්ති ප්රවාහයට අභියෝග කිරීමට කිසිවෙකුට හෝ නොහැකිවිය. බෙල්ල මිරිකනු ලැබූ ඌරෙකු සේ කපිතාන් තැබූ ගොරොද්දේ මත ඔවුන් දෙදෙනාම පෙරළී ගියෝය. මහා ගිනි ජාලාව ප්‍රපාතයට පෙරළී ගිය අතර, කලිනුත් පිලිස්සී තිබූ තණ පඳුරු යළිත් අමුතුවෙන් ගිනි ගත්තේය.
අඳුරේ මහා දුම්කඳක් අහසට නැඟිණි. සිහිල් පරිසරයේ දුම් කඳ අහසට නැංගේ හෙමිහිටය. විසිරුණ තරු නොපෙනී යන තරමට දුම් කඳ ඝන විය.
සුළග ගලා ගියේ හෙමිහිටය. එහෙයින් අහස වසාගත් දුම් කඳ විසිර යෑමට අඩ හෝරාවක් පමණ ගත විය. එවිට රෑ අහස යළි දැක ගත හැකි විය.
අහස අරුණෝදයට ලං වූවත් තවමත් තිත්ත කළුවරය. එහි තනියට විසිරුණු තරු බබළන්නේය. රාත්‍රියට නිවී නිවී දිලිසෙන තරු සුන්දරය.