මම දිල්ලි දුම්රියපළ ඉදිරියෙහි වූ බස්නැවතුමට වී අවට දසුන් නරඹමින් සිටියෙමි. එය දීපවාලී උත්සවයට පෙර සති අන්තය වූ බැවින්, නගරය වෙනදාටත් වඩා ජනාකීර්ණ විය. දුම්රියක් පැමිණෙන සෑම විටකම, පිටවීමේ දොරටු තුළින් එලියට ගලා එන සෙනඟෙහි විවිධ චරිත දැකිය හැකිය. ලිපිකරුවන්, ශිෂ්‍යයන්, කම්කරුවන්, ගැමියන්, වර්ණවත් ඇඳුමින් සැරසුණු ගැහැනුන්, වෙළෙඳුන්…… ඒ හැම, නගරයේ මහ සෙනඟට මුහුව විසිර යති.
ඇසට දිස්වන මානයේ කඩින් කඩ, විමසිල්ලෙන් බලා සිටින විට නොයෙක් අපූරු දෑ දැකිය හැකිය. දුම්රිය පළ පැත්තේ පදික වේදිකාවේ, දීපාවලිය සඳහා විශේෂයෙන් තැනුණු මැටි පහන් හා ප්‍රතිමා විකුණන වෙළෙන්දෙකි. මමද මොහොතකට පෙර ඔහුගෙන් ගණදෙවි පිළිම දෙක තුනක් මිලදී ගතිමි. ඒ ලංකාවට ගිය විට මගේ මිතුරන්ට තෑගි කරනු පිණිසය. මේ වෙළෙන්දා බැලූ බැල්මටම අහිංසක ගැමියෙකි. ඔහු ඈත ගම් පෙදෙසක සිට දුම්රියෙන් දිල්ලියට පැමිණෙන්නෙකු විය හැකිය. ලෝකයේ කොතැනත් පදික වේදිකාවලින් බඩු ගැනීමේදී පරිස්සම් විය යුතුය. ඉන්දියාවටද එය පොදු බව අමුතුවෙන් කිව යුතු නැත. පසුගිය දිනෙක මා හා පැමිණි ශ්‍රී ලාංකික මිතුරෙක් පාරේ නවතා තිබූ ලොරියකින්, රුපියල් පණහකට පාවහන් යුගලක් රැගෙන ආවේය. කාමරයට පැමිණ පෙට්ටිය විවෘතකර බැලූ විට හෙලිවූයේ, එහි ඇත්තේ වම් පයටම දැමිය හැකි එකම වර්ගයේ පාවහන් දෙකක් බවය. වහාම එය මාරුකරගැනීමට ගිය ඔහු දුටුවේ, ලොරිය එතැනින් නික්ම ගොස් ඇති බවය.
මා හෝටලයේ ගේට්ටුවෙන් පිටතට එන විටම, එහි සිටි ආරක්ෂක නිලධාරියා මට අවවාද කළේ ගැටකපන්නන්ගෙන් ප්‍රවේශම් වන ලෙසය. මම ඊට පෙරම ඒ ගැන දැනුම්වත්ව සිටියෙමි. ඉන්දියානු ගැටකපන්නන්ගේ අලුත්ම උපක්‍රමය කුඩා පිහි තලයකින් කලිසම් සාක්කු, අත් මලු හෝ ගමන් මලු කැපීමයි. ඉන් පසු ඔවුන් කරන්නේ, බිම පතිතවන දේ ඇහිඳ ගැනීමයි. ඒ සඳහා “කැපුම්” ලද පුද්ගලයන් පසුපස සැතපුමක් දෙකක් ලුහුබැඳ යාමට ද ඔවුහු මැලි නොවෙති. බිම වැටී ඇති දෙයක් ඇහිඳ ගැනීම සොරකමකැයි කීමටද දෙවරක් සිතිය යුතු නොවේද?
බස් නැවතුම අසල ද, කිළිටි ඇඳුම් හැඳගත්, කෙසඟ පුද්ගලයින් කීප දෙනෙකුම ගැවසෙනු දුටුවෙමි. ඔවුන් එකිනෙකා හා කතාබස් නොකළ ද, ඒ සැවොම එකම කණ්ඩායමක සාමාජිකයන් යැයි මට සිතේ. බස් නැවතුමෙන් මඳක් ඈතට ගිය මම, යළිත් පරිසරය විඳින්නට වූයෙමි. මග යනෙන දෙනෝ දාහක් දෙනා අතර, මා කියවා ඇති තාගෝර්, මුල්ක් රාජ් ආනන්ද් ආදීන්ගේ සිට ආර්. කේ. නාරායන්, සලමන් රුෂ්ඩි, කුෂ්වන්ත් සිං දක්වාම වන ඉන්දීය ගත් කරුවන්ගේ ප්‍රබන්ධයන්හි එන චරිතයන් හා සමාන වූවන් දැක ගත හැකිය.
පා පැදියක නැගී ගමන් කරන, මැදි වියේ පුද්ගලයෙකු වෙත මගේ අවධානය යොමු වූයේ මෙසේ බලා සිටින අතර ය. (ඇත්තෙන්ම සිදුව තිබුණේ එහි අනික් පැත්තය). මා දෙස ද බලමින් ගමන් කළ පාපැදිකරු, මගින් හරවා, දුම්රියපළ දෙසට ගොස්, රවුමක් ගසා යළිත් මා සිටි තැනට ගමන් කරන්නට විය. මෙවර ඔහු වේගය අඩු කොට, මා වෙත විමසුම් බැල්මක් ද හෙළීය. ඔහුගේ මුවඟ මඳ සිනාවක් ද තිබුණා විය යුතුය. මා පසු කර යාර දහයක් පමණ ගමන් කළ ඔහු, පා පැදිය නතරකොට ආපසු හැරී බැලුවේය. මම වහා ඉවත බලා ගතිමි.
(සමහර විට ඔහු බැලුවේ මා දෙස නොවන්නට ද පිළිවන. එහෙත් අනවශ්‍ය අවධානයට ඉඩ දීම, අනතුරකට හෝ කරදරයට අත වැනීමකි)
ඊ ළඟ මොහොතේ පා පැදි කරුවා, පා පැදියෙන් බැස, එය තල්ලු කරගෙන මා දෙසට එන්නට විය. බොහෝ ඉන්දියානුවන්ට සුපුරුදු පරිදි, අත් දිග කමිසයක්, කලිසමට යට නොකර හැඳ සිටි ඔහු, සමින් කළ පටිසපත්තු දෙකක් පැළඳ සිටියේය. හිස කෙස්, තෙල් ගා පැත්තකට පීරා තිබුණි. පදික වේදිකාව අද්දර යකඩ බටයට පා පැදිය හේත්තු කළ ඔහු, මා හා සිනාසුණේ, කලක සිට දන්නා හඳුනන අයකු ලෙසිනි. මම ද යන්තම් කට ඇද කළෙමි. රවුල් කොට මතුවුණු, වයසට වඩා වියපත් මුහුණ හා දුඹුරු පැහැති ඇස් ඔහුගේ දුෂ්කර ජීවිතය පිළිබඳ අවංක චරිත සහතිකයක් බඳු විය. ලගේජයේ බැඳ තිබූ කුඩා සම් මල්ලක් තුළින්, කවර දැමූ පොත් දෙකක් අතින් ගත් පා පැදිකරු මා ඉදිරියටම පැමිණියේය. යළිත් සිනාසුණු ඔහු, ඉංග්‍රීසියෙන් කතා කරන්නට පටන් ගත්තේය.
“ ඔබ කවුරු හරි බලාපොරොත්තුවෙන්ද ඉන්නෙ ?
“ නෑ “
මා එසේ කියූ නමුත්, “ ඔව් “ කිව්වා නම් වඩා හොඳ යැයි එවෙලේම සිතුණි.
“මට ඔබට ටිකක් කතා කරන්න පුලුවන් ද ? එය කරදරයක් ද?“
“ඔබට මොනවද මාත් එක්ක කතා කරන්න තියෙන්නෙ?“
මම පිළිතුරු දෙනු වෙනුවට, ප්‍රශ්නයක් ම නැඟුවේ, වහා මේ කරදරයෙන් මිදෙන අදහසිනි.
“ඔබ ශ්‍රී ලංකාවෙන් නේද ?“
ඔහුගේ ප්‍රශ්නයෙන් මම මඳක් තිගැස්සුණු නමුදු, එය නොපෙන්වා සිටීමට උත්සාහ ගත්තෙමි.
“කොහොමද එහෙම කියන්නෙ?“
“ඔබ දිල්ලියෙ කෙනෙක් නං, ඔහොම ඔතන හිටගෙන ඉන්න වෙලාවක් නෑ… අනික අපේ මිනිස්සුන්ගේ මුහුණුවල තියෙන කනස්සලු ගතිය, කලබල ගතිය ඔබේ මුහුණෙ නෑ.”
ඔහු සිනාසුණේය. තවත් පියවරක් මට ලං වුණේය.
“මම දිල්ලියෙ නොවෙන බව ඇත්ත… ඒත් මම ශ්‍රී ලංකාවෙ කියල කොහොමද කියන්නෙ?“
“මම ඔබ ලංකාවෙ කියල දැන ගත්තෙ, ඇඳුම් වලින්. ඒක ස්ථිර කර ගත්තෙ, ඔබ ඉංග්‍රීසි කතා කරන විදිහෙන්.“
මොහුගේ අනුමාන කිරීමේ හැකියාවට ලකුණක් දිය යුතුය. එහෙත් කතාව ද ඉක්මනින්ම නතර කළ යුතුය.
“ඔව් මම ලංකාවෙ තමයි. ඉතින් මොනවද මගෙන් දැනගන්න තියෙන්නෙ? මට ඉක්මනට ආපහු යන්න ඕනැ.“
“ඔබ ඉන්නෙ හොටෙල් නමශ්කාර් එකේ නේද?“
“ඔව්“
එය දිල්ලියට එන බොහෝ ශ්‍රී ලාංකිකයන් නතර වන, තරමක් ලාබදායි හෝටලයක් නිසා, මෙවර පා පැදිකරුගේ අනුමානය වඩා පහසු වූවකි.
“එහෙම නං පයින් යන දුර නෙ. ඒ වුණත් මම ඔබෙන් වැඩි වෙලාවක් ගන්නේ නෑ.“
එවර ඔහු තම අත තිබූ, කිළිටි කවර සහිත පොත් දෙකින් එකක මුල් පිටුව පෙරළා මට පෙන්වීය. Palmistry for All – Pandit Vishnu Sharma.
“මේ මම කාලෙකට උඩදි ලියපු පොතක්. මේ පොත හොඳට විකුණුනා. මුද්‍රණ විස්සක් පළ කෙරුණා. ඒත් ප්‍රකාශකයා මට වංචා කෙරුවා. රුපියල් පන්සීයයි හම්බ වුණේ.“
ඔහු එසේ කියමින් අනවසරයෙන්ම මගේ දකුණත අල්ලා ගත්තේය.
“ඔබ කැමතිද මගෙන් සාස්තරයක් අහන්න. මම හස්ත රේඛා විශේෂඥයෙක්. පාරේ දකින දකින හැමෝටම සාස්තර කියන්නේ නෑ. ඒත් මට ඔබව දකින කොටම හිතුණා, ඔබේ අත බලන්න ඕනෙ කියලා.“
මා ශාස්ත්‍ර කීම පමණක් නොව, ගුප්ත විද්‍යා කිසිවක් නො අදහන්නෙකු බව පවසා මුලින්ම ඔහු අධෛර්යමත් කිරීමට සිතුණ ද, එ සැණින් හටගත් කිසියම් කුහුලක් නිසා, මොහොතකට නිහඬ වීමි.
පා පැදිකරු (මා මෙතැන් සිට ඔහුට සාස්තරකරු යැයි කියමි) මගේ දකුණතේ ඇඟිලිවලින් අල්ලාගෙන, අල්ලේ රේඛා දෙස බලා සිටී. ඔහු දැනටමත් වැඩ පටන් ගෙනය. නාඳුනන රටක වුවද මට කිසියම් ලජ්ජාවක්ද දැනේ. මම වටපිට බැලුවෙමි. කිසිවෙකුගේ අවධානය මා වෙත යොමුව නැත. මා පසුපස පිහිටි විවිධ පැකට් වර්ග හා පැණි බීම බෝතල් වලින් වැසීගිය පෙට්ටිකඩය තුළ සිටින මහලු වෙළෙන්දා ද උදාසීනව ඉවත බලා සිටී.
“ඔබ අකැමැත්තෙන් නම් දුන්නෙ, මම මේ වැඩේ නවත්තන්නම්. ඒත් ඔබේ රේඛා දැක්කම, මට විශේෂ අනාවැකි දෙකක් කියලම යන්න හිතෙනවා.”
සාස්තරකරු මගේ අත, අත්නොහැරම දෑස දෙසට තියුණු බැල්මක් හෙළයි.
“ඒකට කමක් නෑ. ඒත් මුලින්ම කියන්න ඕනෙ, මට මේ වෙලාවෙ ඔබට ගාස්තුවක් ගෙවන්න නම් විදිහක් නෑ.“
“මම ඔබෙන් ඉල්ලුවද? මට සතයක්වත් එපා මගේ ශ්‍රී ලාංකික මිත්‍රයා. මම පණ්ඩිත් විෂ්ණු ශර්මා. මම පාරෙ ඉන්න මිනිස්සුන්ගෙන් සල්ලි හිඟාකන්නෙක් නෙවෙයි. මට ඕන තරම් වැඩ තියෙනවා. ඒත් දැන් මට වයසයි. හුඟක් වැඩ කරන්න බෑ. මහන්සියි… මේ ඉස්සරහ ස්ටේෂන් එකේ, එස් එම් ගෝපාල් මගේ හොඳ ක්ලයන්ට් කෙනෙක්. එයාගෙ හැමදේටම මම නැතුව බෑ.”
“කරුණාකරල ඉක්මන් කරන්න… අර කියපු විශේෂ අනාවැකි දෙක විතරක් කිව්වත් ඇති.“
සාස්තරකාරයා – පණ්ඩිත් විෂ්ණු ශර්මා – තම දබරැඟිල්ල මගේ අල්ලේ රේඛා මත දිවැවීය.
“ඔබ විවාහකයි.“
“ඔව්”
“ඔබට දරු දෙන්නෙක් ඉන්නවා.”
“ඔව්“
“ඔබේ බිරිඳ ගුරුවරියක්.“
මම ඔහු සතුටු කරනු පිණිස එයට ද ‘ඔව්’ කියූ නමුදු, මගේ බිරිඳ ගුරුවරියක නොවේ. සාස්තරකරුවනට පොදු, සාම්ප්‍රදායික මුල් අනාවැකි දෙකෙන් ඔහු ජයගත් නමුදු, තෙවැනි අනාවකියේදීම එම විශ්වාසය බිඳ ගත්තේය. කෙසේ වෙතත් මා විවාහාපෙක්ෂාවෙන් සිටි මගේ පළමු පෙම්වතිය දැන් පුහුණු ගුරුවරියකි. සාස්තරකරුට පොඩි පැටලීමක් වුණා විය හැකිය.
“ඔබ වෘත්තියෙන් ගුරුවරයෙක්…?“
ඔහු මා දෙස බලා සිටී.
“නෑ.“
මම උපහාසාත්මක සිනාවක් පෑවෙමි.
“නැති වෙන්ඩ බෑ මිස්ටර්… අනුන්ට උගැන්වීමට තරම් බුද්ධියක් ඔබ සතුයි.”
ඔහු මා දෙස තියුණු බැල්මක් හෙළා සිටී. මා ගුරුවරයෙකු නොවන නමුදු, ඉඳහිට පාසලක, දෙකක නාට්‍ය වැඩමුළුවලදී දේශන පවත්වා ඇති බව නම් සත්‍යයකි. ඇතැම් විට සාස්තරකරුට යළිත් පැටලුණා විය හැකිය.
“ඔව්, එත් මම දැන් ගුරුවරයෙක් නෙවෙයි”.
මම සාස්තරකරු අස්වැසුවෙමි. ඔහු ජයග්‍රාහී සිනාවක් පාමින් මගේ අත මිරිකුවේය.
“ඔබ ගුරු වෘත්තිය අත් හරින්නෙ, දෙමව්පියන්ගේ දේපළ බලා කියා ගන්න… ඔබ දැන් කරන්නෙ පියාගෙම ව්‍යාපාරේ.”
“මොකක්ද ඒ ව්‍යාපාරේ?“
“ලිපිද්‍රව්‍ය ව්‍යාපාරයක්… දැන් ඔබට හොඳ වත්කමක් තියෙනවා.”
මට සිනාව මැඬ ගත නොහැකි විය. එය ඔහුගේ වාසියට තේරුම් ගත් නිසාදෝ, සාස්තරකරු මගේ අත අතැර සිනාවක් පෑවේය.
“මිස්ටර්, ගොළු බෙල්ලෙක් යූ ටර්න් එකක් ගහනවා බලං ඉන්න විවේකයක් තියෙන්නෙ, අනුන්ගෙ ධනයක් උරුම වුණු කෙනෙක්ට විතරයි.“
එසේ නම් මා ධනවතෙකු යැයි ඔහු පවසන්නේ ද, අනුමානයෙනි. මා තවදුරටත් මෝඩයෙකු නොවන වග ඔහුට අඟවා, වහා මෙතැනින් පැන ගත යුතුය. කමිස සාක්කුවෙන් රුපියල් විසිපහක් ගත් මම, එය ඔහු අත තැබුවෙමි.
“බොහොම ස්තුතියි පණ්ඩිත් ශර්මා… මට තව වැඩ තියෙනවා… මම යනවා හෝටලේට.“
සාස්තරකරු, මා දුන් මුදලද මිට මොලවාගෙන, මා පසුපසින් එන්නට විය.
“මිස්ටර්… මට තව විශේෂ අනාවැකි දෙකක් කියන්න තියෙනවා… ඒකත් අහලම යන්න… මේ සල්ලි මට එපා. මේක අරගන්න…”
එසේ කියූවද, ඔහු තැත්කරන්නේ මා දුන් මුදල් ආපසු දීමට නොව, මා තව දුරටත් නවතා ගෙන වැඩි ගණනක් “කොටා ගැනීම” ට බව පැහැදිලිය. විශේෂ අනාවැකි දෙක අසා ගැනීමට මා තුළ කුහුලක් ඇති නොවුණා නොවේ. එහෙත්, මේ නුහුරු රටේ, වඩා නුවණට හුරු, වහා පළා යාම ය. තව මොහොතකින් මොහුගේ සගයින් පැමිණ මා වටකොට, අතැති සියල්ල උදුරා ගන්නට ද ඉඩ ඇත.
මම ආපසු නොබලාම ඉක්මන් ගමනින් හෝටලය වෙත යන්නට වූයෙමි. තරමක් දුර ගොස් ආපසු හැරී බැලුවෙමි. නොනැවතී ගමන් කරන වාහන කන්දරාව අතරේ, සාස්ත්රකරුගේ පා පැදිය දක්නට නැත.
හෝටල් ගේට්ටුව අසලදී, ආරක්ෂක නිලධාරියා මට සැලියුට් කර සිනාවක් පෑවේය.
“ සර්… කරදරයක් හෙම වුණේ නෑ නේද? “
“ නෑ… නෑ…“
බොරු සාස්තරකාරයෙකුට හසුව, රුපියල් විසිපහකට තට්ටු වූ බව, ඔහුට කිව යුතු නැත.
මා හෝටලය තුළට යන විට, මගේ අනෙක් ශ්‍රී ලාංකික මිතුරෝ ද, සාප්පු සවාරියකින් හෙම්බත්ව එහි පැමිණ සිටියහ. මම ඔවුනට ද, මගේ අත්දැකීම හෙළි නොකළෙමි.
අප මෙහි පැමිණ සිටින්නේ, පරිසරවේදීන්ගේ සමුළුවකට සහභාගීවීමටය. එය පැවැත්වෙන්නේ උතුරු ඉන්දියාවේ, හිමාල කඳුවැටි පාමුල පිහිටි “රිශිකේෂ්” නගරයෙහිය. හෙට උදෑසන 9 ට අප එහි යාමට පිටත්විය යුතුය.
දිවා ආහාරයෙන් පසු, කෙටි නින්දකට වැටුණු මම, සවස හිරු බැස යාමට ආසන්න මොහොතේ, කාමරයේ වම් පස පිහිටි කවුළුවෙන් පිටත බලා සිටින්නට වීමි. මගේ කාමරය පිහිටියේ තෙවන මහලේ බැවින්, එහි සිට නගරයෙන් කොටසක් ද, හෝටලය පාමුළ පිහිටා ඇති කුඩා නිවාස පෙළක් ද දැකගත හැකිය.
එම නිවාස පෙළෙහි, පසුපස මට මනාව දැකගත හැක. එහි එක් කෙළවරක උස තාප්පයකි. නිවාස පෙළට පිවිසෙන ගේට්ටුවෙන් එන්නෙකුට, එම තාප්පයත් නිවසත් අතර ඇති අඳුරු පටු තීරයෙන් ද, පිටුපසට ආ හැකි බව පෙනෙන්නේ, එහි ගමන් කරන අය නිසාය.
තද රතු සාරියකින් සැරසුණු මැදිවියේ ගැහැනියක්, වැලක වනා ඇති රෙදි අතට ගනිමින් සිටී. කුඩා ළමුන් කීපදෙනෙක් ඇය අසල ගැවසෙමින් සෙල්ලම් කරති.
එක්වරම මගේ නෙත ගැටුණේ, තාප්පය අසල අඳුරු පටු තීරුව ඔස්සේ එන පාපැදිකරුවෙකි. ඒ අන් කිසිවෙකු නොව, පණ්ඩිත් විෂ්ණු ශර්මා ය. කුඩාවුන් ඔහු දැක කෑගසමින් ඉදිරියට දිව යන්නට විය. ලගේජයේ බැඳ තිබූ මල්ල අතට ගත් සාස්තරකරු, එ තුළින් කඩදාසි මල්ලක් ගෙන, පොඩිවුන්ට දුන්නේය. රතු සාරිය හැඳි ගැහැනිය, වැලේ තිබූ රෙද්ද ඔසවාගෙන, සිය පුරුෂයා පසුපසින් ගෙතුළට ගමන් කළේය. සාස්තරකරු ඇය හා මොන මොනවාදෝ කියනු පෙනුණි.
හිරු බැස ගියේය. සාස්තරකරුගේ නිවසේ කවුළුවකින් දුබල එළියක් විහිදෙයි. පොඩි එකෙකු උස් හඬින් හඬනු ඈතට ද ඇසෙයි. දුම් කවුළුවකින් නැගෙන සිහින් දුමක්, අළු පැහැති සේලයක් මෙන් ඒ මේ අත සැලෙමින්, අහස් කුස විසිර සැඟව යයි.
ඈත දිස්වන නගරයේ, නේක වර්ණ විදුලි එලි සහ ගමන් කරන වාහනවල ආලෝක ධාරා මවන දසුන අලංකාරය. එහෙත්, මසිත අඳුරුය. කනස්සල්ලෙන් බරය. සාස්තරකරුගේ මුහුණෙන් කියැවුණු චරිත සහතිකයෙහි නොදුටු බොහෝ දෑ මගේ පරිකල්පනය තුළ මැවෙයි.
මසිත පසුතැවෙයි. සාස්තරකරුගේ විශේෂ අනාවැකි දෙක, කුමක් වුවත් මට එය ද අසා, ඔහුට වැඩිපුර මුදලක් දිය යුතුව තිබුණි. මා ඒ මොහොතේ බියවූයේ බොරුවටය. එහෙත් දැන් සැබෑව පසක් වෙයි. ඔහුගේ පොත ද, නම ද, අනාවැකි ද අසත්‍ය බව සැබෑ ය. එහෙත් දැන දැනම හෝ ඊට හසු වුණේ නම් මැනවයි මසිත කියයි.
පසු දින උදෑසන, අපි විශේෂ බස් රථයකින් “රිශිකේෂ්” බලා යාමට පිටත් වීමු. ගෙවල් පේළිය පසුකර යන විට, මම කවුළුවෙන් එදෙස බැලුවෙමි. සාස්තරකරු පෙනෙන්නට නොසිටියේය.
අනාගතයෙහි කිසියම් දිනෙක මා යළිත් දිල්ලියට යැවෙනු ඇත. එහිදී, සාස්තරකරු ද මුණගැසෙන්නට ඉඩ ඇත. ඒ වතාවේ නම්, මම ඔහුගෙන් විශේෂ අනාවැකි දෙක ඇසීම කිසිසේත් මග නොහරිමි.
One Response
අමුතුම මාදිලියේ කතාවක්. කපිලගේ කතා අතීතයේ සිටම කියවීමේ අභිරුචිය වඩවන ඒවා බව දන්නෝ දනිති. විශිෂ්ඨයි.
Comments are closed.