කෙටි මඟ

රතනජෝති හිමියෝ ආවාස ගෙයි දොරටුවෙන් පිටතට විත් මේ ඉදිරිපස බලන්නේ තුන්වෙනි වරට ය. පන්සල් බිම කිසිවකු පෙනෙන්නට නැත. දකුණු දෙස වූ ඉපැරණි විහාර ගෙය ද පාළුවට ගොසිනි. එහි මුදුන් වහල අබලන්ව දැන් ටික කලක් ගත වී තිබේ. නුවර යුගයේ පැරණි බිතුසිතුවම්වලින් යුත් මේ විහාර ගෙය පිළිසකර කිරීම අත්‍යවශ්‍ය කරුණක් වුවද, පුරා විද්‍ය දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව එසේ කළ නොහැකි බැවින්, දිගින් දිගටම එම කාරිය පමා වී තිබේ. දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගැනීම එතරම්ම අමාරු කටයුත්තකි.

පුරාණ රජ මහා විහාරයක විහාරාධිපති වහන්සේ වූ රතනජෝති හිමියන්ට එම පදවිය හිමි වූයේ උන්වහන්සේගේ ගුරු දේවයාණන් වූ කඹුරුපිටියේ විපස්සී මහා නාහිමියන්ගේ අපවත්වීමත් සමඟ ය. දැන් විහාරාධිපති ධූරය හෙබවූවද තවමත් මැදිවිය නොඉක්මවූ රතනජෝති හිමියන් පැවිදි බව ලැබුවේ ද තරුණ වියේදී ය. තම නිවුන් සොහොයුරා ද සමඟ එකම අවස්ථාවේ විශ්ව විද්‍යාලයට ඇතුළු වූ උන්වහනසේ විද්‍යාවේදී උපාධිය සඳහා ඉගෙන ගනිමින් සිට හදිසියේම පැවිදි වන්නට තීරණය කළේ සංසාර ගමන පිළිබඳ සැබැවින්ම ඇතිවූ කළකිරීම හේතුවෙනි. විද්‍යාවේදී උපාධිය ද අනතුරුව පශ්චාත් උපාධි ද ලැබූ උන්වහන්සේ ගේ නිවුන් සොහොයුරා වූ රතනපාල, ස්කොට්ලන්තයේ විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධිය ද ලැබ ආපසු පැමිණ දැන් කොළඹ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටියි.

අද උදෑසන සිට රතනජෝති හිමියෝ මේ බලා සිටින්නේ තම ගිහි සොහොයුරා පන්සලට පැමිණෙන බැව් දන්වා තිබූ හෙයිනි. පැවිදි වීමෙන් පසුව වුවද, නිරතුරුව තම සොහොයුරා සමඟ ලියුම්කියුම්වලින් ද, දුරකථනයෙන් ද, විද්‍යුත් තැපැල් මඟින් ද තොරතුරු හුවමාරු කරගන්නා උන් වහන්සේ තම සොහොයුරා මේ ඇස් දෙකෙන් දකින්නේ බොහෝ කලකට පසුව ය.

මහාචාර්යතුමා ගේ පැරණි ෆොක්ස්වාගන් රථය පන්සල් භූමියට ඇතුල් වූයේ උදෑසන දහයට පමණ ය. කළු පැහැති රථයේ ශබ්දය ආවාස ගෙයට ද ඇසිණ. කෙතරම් පහසුකම් තිබියදී වුවද, තීරුබදු රහිත වාහන අවසර පත‍්‍රයක් ලබා ගත හැකි වුව ද, ඔහු අලුත් මෝටර් රියක් ගන්නට සිතා නොතිබිණ.

අතින් තම බෑගය රැගෙන ආවාස ගෙයට ගොඩවුණු රතනපාල ”අපේ හාමුදුරුවනේ” යි කියමින් දණ බිම තබා හාමුදුරුවන්ට වැන්දේ සැබෑ සහෝදර ප්‍රේමයෙන්ම ය.

ආගිය තොරතුරු කතාවලින් ද, කුඩා සාමණේර හිමියකු ගෙනැවිත් දුන් තේ කෝප්පයක් පානය කිරීමෙන් ද ඉක්බිති රතනපාල හාමුදුරුවන් ඇමතුවේ කිසියම් බැරෑරුම් බවක් තම මුහුණට ආරූඪ කර ගනිමිනි.

”අපේ හාමුදුරුවනේ, මං මේ ආවේ ටිකක් විශේෂ කාරණයකටත් එක්ක.” රතනපාල පැවසී ය. ”පහුගිය දවස්වල මං මෙහේ හිටියෙ නැහැ නෙව. කියල එවපු විදිහට ස්කොට්ලන්තෙට ගිය මම පර්යේෂණ කළේ ටිකක් වෙනස් විෂයයක් සම්බන්ධයෙන්. මං ඊ මේල් එකකිනුත් කියල එව්වෙ, ආටිෆිෂල් ඉන්ටලිජන්ස්, ඒ කියන්නේ ‘කෘතිම බුද්ධිය’ ගැන. ඒක  ටිකක් වෙනස් කියල මං කිව්වේ පරිගණක විද්‍යාවට සම්බන්ධ වෙච්ච එකක් හින්දා. නමුත් එහෙදි මට ඉගෙන ගන්න ලැබුණේ එක්තරා මට්ටමකට විතරයි. එතැනින් මං ඇමරිකාවේ ටෙක්සාස්වලයි, මිචිගන්වලයි විශ්ව විද්‍යාලවලටත් ගියා. ඒත් මං දන්නවට වැඩි දෙයක් උගන්වන්න ඒගොල්ලොත් දැනගෙන හිටියේ නැහැ.”

හාමුදුරුවෝ තමා හිඳ සිටි හාන්සි පුටුවේ හරිබරි ගැහුණේ දිග කතාවකට සවන් දෙන්නට සූදානම්ව මෙනි. රතනපාල හිඳගෙන සිටියේ හාමුදුරුවන් ඉදිරියෙහි වූ තවත් සුවපහසු අසුනක ය.

”පස්සේ මං මෙහේ ඇවිල්ලා තනියම පර්යේෂණ කළා. ඒක ටිකක් සාර්ථක බව තමයි මට හැඟෙන්නේ. ඒ ගැන විශේෂයෙන් අපේ හාමුදුරුවොත් එක්ක කථා කරන්නයි මං මේ වැඩියත්ම ආවේ.”

”ඉතින් දැන් මොකක්ද ඔය කියන පර්යේෂණවල තත්වෙ?” රතනජෝති හිමියන් විමසුවේ දැඩි උද්යෝගයකිනි. සෑහෙන දුරට විද්‍යා අධ්‍යාපනය හදාළ උන්වහන්සේ තුළ එවැනි උද්යෝගයක් ඇතිවීම ස්වභාවික ය.

”මං පොඩි ප්‍රෝග්‍රෑම්  එකක් ලියල තියෙනවා. ඒක ටිකක් සුවිශේෂ විදියක එකක්. කොළඹ මගේ යාළු ශල්‍ය වෛද්‍යවරයෙක්ගේ උදව්වත් මට ලැබුණා. අපේ හාමුදුරුවනේ මෙහෙමයි, පුද්ගලයකුගේ මතකය එයාගෙ මොළේ කොතැනක හරි ස්ථානයක තැන්පත්ව තියෙන බව අපි දෙන්නම එදා ඉඳලා විශ්වාස කරපු දෙයක් නෙව. අපේ දොස්තර මහත්තයගෙ උපදෙස් අනුව කල්පනා කරලා හොයල බැලූවම කණට පිටිපස්සෙ කුඩා මොළයට සම්බන්ධ එක්තරා ස්ථානයක් ගැන මගේ පොඩි සැකයක් තිබුණා. අන්තිමේදී එතැනින් ඒ දත්ත ලබා ගන්න පුළුවන් විදියක් මං සොයා ගත්තා!”

”ඒ කියන්නෙ….?” රතනජෝති හිමියන් විමසුවේ තම සිරුර කෙළින් කර ගනිමිනි.

”ඔව් අපේ හාමුදුරුවනේ, ඒක ඒතරම්ම සංකීර්ණ පිළිවෙලක් නෙවෙයි.” කියූ රතනපාල තම කළු පැහැති බෑගය විවෘත කොට එහි තිබූ උපැස් යුවළ දෙකක් ද, මිනි කොම්පියුටරයක් වූ තම ජංගම දුරකථනය ද ඉන් එළියට ගත්තේ ය.

රතනජෝති හිමියෝ හාන්සි පුටුවෙන් නැගිට්ටේ ”අපි යමු මල්ලී මගේ කාමරේටම.” කියමිනි.

රතනජෝති හිමියන්ගේ කාමරයේ තුන් පැත්තක බිත්ති පුරා තිබුණේ පොත් පිරවූ රාක්ක ය. බෞද්ධ දර්ශනය පිළිබඳ පතපොත පමණක් නොව, සිංහල ඉංග්‍රීසි සාහිත්‍ය හා විද්‍යා පොත් ද ඒ් අතර විය. අනෙක් බිත්තියට හේත්තු කොට, කුඩා මේස දෙකක්, පුටු දෙකක්, හා පළලින් අඩු ඇඳක් ද වූ අතර එක් මේසයක් මත කම්පියුටරයක් තබා තිබිණ. හාමුදුරුවෝ කාමරයේ වූ එක් මේසයක් වෙත ගොස් පුටුවක හිඳ ගත්තේ අනික් පුටුව තම සොහොයුරාට පෙන්වමිනි.

එහි හිඳ ගත් රතනපාල එක් උපැස් යුවළක් අතට ගත්තේ ය. ”මේක අපේ හාමුදුරුවනේ, නිකම්ම කණ්ණාඩියක් නෙමෙයි. මේ තියෙන්නේ සාමාන්‍ය වීදුරු කෑලි දෙකක්. කනට තදවෙන මේ අඬු දෙකේ කෙළවර පොඩි ස්පර්ශක දෙකක් තියෙනවා. ඒකයි මේකෙ විශේෂත්වෙ. හාමුදුරුවො මේක පොඞ්ඩක් දාගන්නකො.”

රතනජෝති හාමුදුරුවන් උපැස් යුවළ තම දෑසෙහි පැළඳ ගත්තේ මඳ විමතියකින්ද යුතුවය. එහි අඬු දෙක කෙළවර වූ ස්පර්ශක මනා ලෙස කන පිටුපස සමට තද වී පිහිටිණ. ඉක්බිති අනෙක් උපැස් යුවළ තමාම පැළඳ ගත් රතනපාල තම ජංගම දුරකථනය ක්‍රියාත්මක කොට මේසය මත තැබුවේ රතනජෝති හිමියන්ගේ මුහුණට අඩි තුනක පමණ දුරකිනි.

ඉක්බිති හෙතෙම මෙසේ පවසන්නට විය.

”දැන් මං අපේ හාමුදුරුවන්ගේ මතකය පරීක්ෂා කරලා බලන්නයි හදන්නේ.” ඔහු ටික වේලාවක් දෑස පියාගෙන සිට ඉක්බිති ජංගම දුරකථනයේ තිරය දෙස බලා පැවසුවේ එහි කිසියම් අංකයක් තම ඇඟිල්ලකින් සටහන් කරමිනි. ඉන්පසු තමා පැළඳ සිටි උපැස් යුවළ නැවතත් සකස් කොට ගෙන දෑස් පියා ගත්තේ ය.

”හරි…….. ඊයතේ අපේ හාමුදුරුවෝ පන්සලේමයි හිටියේ…. හැන්දෑවේ ටිකක් අසනීප ගතියෙන්…. පැරසිටමෝල් පෙති දෙකක් අරං වේලාසනම නිදාගන්න ගියා?”

”ඔව්!”

”පෙරේදා මේ පන්සලේම විශේෂ බෝධි පූජාවක් තිබුණා. වෙහෙරගොඩ පන්සලේ ලොකු හාමුදුරුවොත් ඒකට  වැඩියා?”

”ඔව්!”

”පළමුදා අපේ හාමුදුරුවෝ තැන්නපල්ලෙ ගෙදරකට බණකට වැඩියා. හාමුදුරුවෝ දේශනා කළේ පරාභව සූත්‍රය  ඇසුරෙන් බණ ටිකක්?”

”හරි!”

”ගිය මාසේ විසිතුන් වැනි දා අපේ හාමුදුරුවෝ කොළඹ වැඩියා…. පුරා විද්‍යා කන්තෝරුවට ගියා. නමුත් ගිය වැඩේ  කෙරුණේ නැහැ?”

”හරි!”

”හාමුදුරුවෝ දැන් මං එන වෙලාවේ හිත හිත හිටියේ මගේ මේ පරණ කාර් එක ගැන?”

”ඔව්!”

තවත් විනාඩි දෙකක් පමණ නිහඬවම බලා සිටි රතනපාල ඉක්බිති තම කණ්ණාඩිය ඉවත් කළේ ය.

රතනජෝති හාමුදුරුවන් ද තම උපැස් යුවළ ඉවතට ගත්තේ රතනපාල එසේ කරන්නැයි ඉඟියෙන් පළ කළ පසුව ය. උන්වහන්සේ ගේ මුහුණෙහි වූයේ තරමක වික්ෂිප්ත ස්වභාවයකි. ”පරචිත්ත විජානන ශක්තිය මේ තරම් ලේසියෙන් ලබාගන්නට කවදාවත් පුළුවන් වේවි කියලා මම හිතුවේ නැහැ.” උන් වහන්සේ පැවැසුවේ සත්‍ය වශයෙන්ම කැළඹුණු මුහුණින් යුතුව ය.

රතනපාල හෙමිහිට සිනාසුණේ ය. “මේකෙන් ඊටත් එහාට යන්න පුළුවනි”. අපේ හාමුදුරුවනේ, අපේ පෙර ආත්ම ගැන මතකයත් ඔය මං කියන තැනම ගබඩා වෙලා තියෙනවා. නමුත් ඒ වෙනත් කේත ක්‍රමයකට. හාමුදුරුවන්ටවත් ඒක මතකයට නඟන්න බැරි ඒකයි. නමුත් මේ ප්‍රෝග්‍රෑම්  එකෙන් ඒකත් කරන්න පුළුවනි. උදාහරණයක් විදිහට මීට ඉහත ආත්මෙ අපේ හාමුදුරුවෝ ඉපදිලා හිටියේ බෙංගාලෙ, කල්කටාවල, චෞරංගි ලේන් එකේ ගෙදරක. නම ප්‍රදිප්තා සෙන්ගුප්ත. රස්සාවෙන් ගුරුවරයෙක්. ඉගැන්නුවෙ ගණිත සාස්තරෙයි ඉංගිරිසියි.”

රතනජෝති හාමුදුරුවන් තම ගිහි සොහොයුරා දෙස බලා සිටියේ අයාගත් මුවින් යුතුව ය.

”මං තව දෙයක් කියන්නම්. දැන් අපේ හාමුදුරුවෝ මතක් කරලා කියන්න බලන්න පහුගිය විසිතුන් වැනිදා මොනවද හාමුදුරුවො කළේ කියලා?”

”පහුගිය විසිතුන් වැනි දා?”

”ඔව්!”

”ආ….. විසිතුන් වැනි දා….. විසිතුන් වැනි දා මං….. හැබෑටම මට මතක නැහැ නෙව. විසි දෙවැනි දා මං මැද්දවත්තෙ දානෙකට ගියා. විසි හතර වැනි දා මාලිම්බඩ පන්සලේ බණක්…. එතකොට විසි තුන් වැනි දා…..? හැබෑටම මට මතක නැහැ නෙව.”

”ඒක තමයි හාමුදුරුවනේ, එදා නේ හාමුදුරුවෝ කොළඹ පුරා විද්‍යා කන්තෝරුවට ගියේ? ගියාට වැඩේ  කෙරුණේ නැත්තේ.”

”එහෙමද? මට මතක නැහැ නෙව?”

”ඔව් අපේ හාමුදුරුවනේ, මේකයි උනේ. මං හාමුදුරුවන්ගේ මතකයෙන් විසිතුන් වැනිදාට අදාළ දත්ත ඔක්කොම මකලා දැම්මා.”

”මකලා දැම්මා?”

”ඔව් හාමුදුරුවනේ, ඒක මම නිකමට කළේ. මේ ප්‍රෝග්‍රෑම්  එකෙන් කරන්න පුළුවන් දෙයක් පෙන්නල දෙන්නයි.” රතනපාල කීවේ ආඩම්බරයකින් නොව එහෙත් බැරෑරුම් ලීලාවකිනි.

රතනජෝති හිමියන් අසුනින් නැගිට්ටේ දැඩි කල්පනාවෙන් යුතුව ය. ඉක්බිති සිවුර සකසා ගත් උන් වහන්සේ කාමරය තුළ ඒ මේ අත ඇවිදින්නට පටන් ගත්තේ ය. ”දැන් මල්ලි මේ ගැන වෙන කාටවත් කියලා තියෙනවද?”

”තාම නැහැ.”

”අර කිව්ව දොස්තර මහත්තයටවත්?”

”නැහැ.. තාම නැහැ.”

”එහෙනම් දැන්ම මේව කාටවත් කියන්න යන්න  ඕන නැහැ. මේක ටිකක් බරපතල කාරණයක් නිසා කල්පනාවෙන් ඉන්න වෙනවා.”

”එහෙමයි අපේ හාමුදුරුවනේ, ඊටත් වැඩිය මේ පර්යේෂණය මම තව දුරටත් කරගෙන යන්නයි හිතාගෙන ඉන්නෙ. මොකද අපේ කුඩා මොළේ කොතනක හරි තවත් සුවිශේෂ තැනක තවත් විශේෂ තොරතුරු වගයක් ගබඩා වෙලා තියෙනවා. ඒ ගැනත් මං තරමක් සොයාගෙන තියෙන්නෙ.”

”ඒ කිව්වෙ?”

”අපේ හාමුදුරුවනේ, අපි මෙච්චර වේලා හෙව්වෙ සිද්ධ වෙච්ච දේවල්, ඒ  කියන්නේ අතීතය ගැන නෙව. මං මේ කියන්න හදන්නේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන.”

රතනජෝති හිමියන් ගේ මුහුණෙන් පළ වූයේ දැඩි විස්මයක සළකුණු ය. ”ඒ  කියන්නේ මේ හෙට අනිද්දා වෙන දේවල් නැත්නම් ඊළඟ ආත්මවල වෙන දේවල් ගැන?”

”ඔව් අපේ හාමුදුරුවනේ, ඒ  වැඩ කොටසත් බොහොම දුරට ඉවරයි. දැන් තියෙන්නේ අර මං කියපු සුවිශේෂ ස්ථානය තියෙන තැන හරියටම හොයාගන්න එක විතරයි. අපේ දොස්තර මහත්තයා ඒ  ගැන උදව් කරන්න මට පොරොන්දු වුණා. තව දවස් තුනක් ඇතුළත ඒ වැඩේ කෙරේවි.” රතනපාල පහදා දුන්නේ ය.

රතනජෝති හිමියන් තවමත් සිටින්නේ කාමරය තුළ එහා මෙහා සක්මන් කරමිනි. එසේ සිටි උන් වහන්සේ ඉද්ද ගැසුවා සේ වහා නැවතී තම නිවුන් සොහොයුරා දෙස බැලූවේ යමක් හදිසියේම මතක් වූ විලාසයෙනි.

”එතකොට ඒවත් අර විදියට මකලා දාන්න පුළුවන්ද?” උන් වහන්සේ විමසුවේ නැවතත් අයාගත් මුවින් යුතුව ය.

රතනපාල වෙත වූයේ පෙර නොවූ විරූ නිහඬ තාවයකි. ඒ මුහුණ හැඟීමෙන් තොර වූවක් දෝයි රතනජෝති හිමියන්ට සිතිණ. රතනපාල පිළිතුරු දුන්නේ හාමුදුරුවන්ගේ දෑස මග හරිමින්, ජනේලයෙන් පෙනුණ පැරැණි විහාර ගෙයි දිරා ගිය වහල වෙත නෙත් යොමු කරගෙන ඉතාමත් මුදු ස්වරයකිනි.

”අපේ හාමුදුරුවනේ, ඒක තමයි මං අද එන්න හේතු වෙච්ච ප්‍රධානතම කාරණේ. ඔව් හාමුදුරුවනේ, ඒක කරන්න පුළුවන්. ඊළඟ ආත්ම ගැන තොරතුරු මකලා දැම්මයි කියමුකො. එතකොට ඉතින් එයින් පස්සෙ ඉපදීමකුත් නැහැ නෙව.” එසේ කියූ රතනපාල නළලට අත තබාගෙන දෑස් පියා ගත්තේ ය.

බොහෝ වේලාවක් ඒ ඉරියව්වෙන්ම සිටි රතනපාල ඉක්බිති නැගී සිට දණ බිම තබා හාමුදුරුවන්ට වැන්දේ ”අපේ හාමුදුරුවනේ, මං ගිහිං එන්නම්. තව දවස් පහකින් ඒ කියන්නේ ලබන සෙනසුරාදා මං ආපහු එනවා.” යි පවසමිනි. උපැස් යුවළ දෙක ද තම ජංගම දුරකථනය ද බෑගයේ දමා ගත් ඔහු කාමරයෙන් පිටතට විත් මෝටර් රථය වෙත ගමන් ගත්තේ ඉතාමත් සෙමින් ය. රතනජෝති හිමියෝ ද ඔහු සමඟ රිය තෙක් ඇවිද ආවේ කල්පනාවෙන් තොර විලාසයෙනි.

”මල්ලි මේ ගැන කාටවත් දැන්ම කියන එක නුවණට හුරු නැහැ.”

”ඔව් හාමුදුරුවනේ, මම කියන්නෙ නැහැ. දොස්තර මහත්තයටවත් මම හරියට විස්තරය කියලා නැහැ. ලබන සෙනසුරාදා මෙහෙ එනතුරු මම මේ ගැන කාටවත් කියන්නෙ නැහැ.”

සුපුරුදු හඬ නංවමින් ෆොක්ස්වාගන් රථය පන්සල් දොරටුවෙන් පිටතට යනු රතනජෝති හාමුදුරුවන් බලා සිටියේ විස්මිත හදවතිනි.

හරියටම දින දෙකකට පසු, බදාදා උදෑසන හතට පමණ කළු පැහැති ෆෝක්ස්වාගන් රථය පන්සල් වත්තට ඇතුළු වූයේ අනපේක්‍ෂිත අන්දමිනි. තරමක වේගයෙන් පැමිණ වැලි මළුවේ නතර වූ රියෙහි රියැදුරු අසුනෙන් එළියට බැස්සේ අවුරුදු දහනමයක් පමණ වියෙහි වූ තරුණයෙකි. රියෙහි හඬ ඇසී ආවාස ගෙයින් එළියට ආ රතනජෝති හිමියෝ රතනපාලගේ පුතණුවන් දුරදී ම හඳුනාගත්හ.

වහ වහා හිමියන් වෙත ආ තරුණයා උන් වහන්සේගේ දෙපා වැඳ “හාමුදුරුවනේ, මං රත්නපාල මහත්තයගෙ පුතා, හදිසි පණිවිඩයකට ආවේ හාමුදුරුවනේ” යි පැවසුවේ කඳුළු පිරි දෙනෙතිනි.

”මොකද පුතා වෙලා තියෙන්නෙ?” හාමුදුරුවෝ ඇසුවේ විමතියට පත්ව ය.

”හාමුදුරුවනේ, අපේ තාත්තා, තාත්තා ඊයෙ ? ඇක්සිඩන්ට් එකක් වෙලා අන්තරා වුණා!” තරුණයා පැවසුවේ ඇසෙන නෑසෙන හඬිනි.

රතනජෝති හිමියන්ගේ හදවත නතර විය. තරුණයාට ඇතුළට එන්නැයි සන් කරමින් ආවාස ගෙට ගොඩ වූ උන්වහන්සේ හාන්සි පුටුවෙහි හිඳ ගත්තේ හිස බමන්නට වූ බැවිනි.

රතනපාලගේ පුත්‍රයාද හාමුදුරුවන් ඉදිරියේ වූ මිටි බංකුවෙහි හිඳ ගත්තේය.

තත්පර කිහිපයකින් හාමුදුරුවන්ට පියවි සිහිය ලැබිණ. ”පුතා, කොහොමද මේක වුණේ?” උන්වහන්සේ විමසූහ.

”හාමුදුරුවනේ, තාත්තට පයින් එහෙ මෙහෙ යන්න එපා කියල කොච්චර කිව්වත් අහන්නෙ නැහැ. ඊයෙ හැන්දෑවෙත් පාන් ගෙඩියක් ගේන්න කියල හන්දියට ගියා. තාත්තා හැමදාම යන්නේ හන්දියේ බේකරි කඩේට, දර පෝරණුවෙ පුච්චපු පාන් තියෙන්නෙ එතන විතරයි. ඉතින් කඩේ  ඉස්සරහදිම කොහෙන්දෝ පියඹලා වගේ ආපු පැජරෝ එකක් තාත්තව හප්පලා දාලා ගිහිං. කඩේ මිනිස්සු ඔක්කොම බලා ඉඳිද්දි සිද්දිය වෙලා තියෙන්නෙ. වාහනේ එලවගෙන ඇවිල්ල තියෙන්නෙ කලු මහත මිනිහෙක්ලූ. පිටිපස්ස සීට් එකේ ලස්සන තරුණ ගෑනු තුන්දෙනෙක් ඉඳල තියෙනවා. තාත්තව හප්පල දාල උන් ඉගිලිලා ගිහින්. බලන කොට වාහනේ නොම්මරයක් තිබිලත් නැහැ.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත