කව් සිත්තම

Alochana-kav-siththama

වෙදකමක් සොයමු අපි…!

රැජනක් නොවුණු

ඔටුනු නොපළන් රාජිනී

ඔබ සටන් කළේ

මනුස්සකම වෙනුවෙන්ම විතරයි

භේදයක් තිබුණෙ නැහැ එහි

දෙමළ, සිංහල, මුස්ලිම් කියා

ජාතියක, වර්ගයක ලේබල් ගසා

කිතුණු, බොදුනුය,ඉස්ලාම් කියා

ආගමක සන්නාම ගැට ගසා

 

නිරායුද වූ ඔබව

අපෙන් උදුරා ගන්න

පිටුපසින් පැමිණිවුන් 

කොකා ගැස්සූ වාර කොපමණද?

මිනිසකම නොදන්නා තිරිසනුන්

විමුක්තිය උදෙසා උන්ගෙ

පතිත කර දමන ලද ඔබ සිරුර

නිසල කොට, ලේ විලක් මධ්‍යයේ

රාජිණී . . . . ඔබ . .  .!

 

විසල් වූ තල් රුකක් 

බිඳී බිම වැටුණු හැටි . . . !

 

මහා ලොකු පාළුවක්

පාඩුවක්

අපට දැනුණා තමයි

තවම ඒ අඩුව දැනෙනව තමයි

 

රාජිණි…..!

යාල්පානම් පුරේ

තල් ගසින් සෙවන ලද,

තල් ගසම කප් රුකක් වූ බිමේ

සදා සැතපුණු සොයුරි

රාජිණී,

තවම සුවපත් නොවුණු  තුවාලද

ලප කැළල්

ආයෙමත් පෑරුණා රාජිණී

මේ ළඟදි . . . 

ඔව් . . . . මේ ළඟදි

පල්ලි, හෝටල් ඇතුළෙ 

අපෙ කිට්ටු නෑසියන් 

ම්ලේච්ඡව මරා දැමු විලාසෙන්

හොඳටෝම  

පෑරුණා එ’තුවාල 

රාජිණී . . . . !

 

ලේ ගලන එ’තුවාල

ඔඩු දුවන එ’තුවාල

සුව කරන වෙදකමක්

හොයමු අපි, රාජිණී . . .

වර්ණ, ආගම්, ජාති

කුල භේද වලින් තොර . . .

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත