ෆොටෝ ලන්ඩන් සහ රොජර් ෆෙන්ටන්

Photo London

සංස්කෘතික ධ්‍රැවයක් ලෙස නමක් දිනා සිටින ලන්ඩනය 2015 වසර වන තෙක්ම Paris Photo සහ Rencontres d’Arles වැනි ඡායාරූපමය සැණකෙළියක අඩුකමින් පෙළුන නගරයකි. ඒ අඩුව පුරවමින් පැවැත්වෙන Photo London අන්තර්ජාතික ඡායාරූප උළෙල මේ වසරේදී දිග හැරුණේ විසි වන වතාවටයි. ඒ වෙනුවෙන් කල්තියාම පසුගිය මැයි මස 17 වන සිකුරාදා මා නිවාඩු වෙන් කරගෙන තිබුනේය. ලොව පුරා පිළිගත් ප්‍රමුඛ කලාගාර සහ නැගී එන කුඩා කලාගාර ඇතුළත් 100 කට මඳක් වැඩි ප්‍රදර්ශන කුටි ප්‍රමාණයකින්ද, සිව්දිනක් පුරාම ඡායාරූප සම්බන්ධ කතිකාවන් විසි හතකින්ද මේ සැණකෙළිය සමන්විත  වීය.

Photo London
Photo London

උදේ 11 සිට සවස 7 පමණ වන තෙක් රස්තියාදු වන්නේ කෙසේද යන්න, දළ සැලැස්මක් ලෙස මගේ හිතේ සටහන්ව තිබුනේය. මොළයට අවම වධ හිංසාවක් වන පරිදි මනා අවධානයක් උවමනා තැන් අයාලේ යන මාර්ග සිතියමේ ලකුණු කරගෙන තිබිනි. මේ මුළු පැය 8 පුරාවටම මා දන්නා අඳුනන කිසිදු ලාංකිකයකු මුණ ගැසුනේ නැත. මානුෂික වූ සියල්ල කෙරෙහි ප්‍රියජනක හැඟීම් ඇතිව පවුලේ අය සමග පන්සල්වල කටයුතු සඳහා සම්බන්ධ වන අවස්ථා වලදී බොහෝ ලාංකිකයෝ මුණගැසෙති. ඔවුහු පූර්ණ අන්තරාවර්තිත (Introverted) පුද්ගලයෝ නොවනවා පමණක් නොව සංගීතය, ප්‍රසාංගික කලා සහ සිනමාව ගැන උනන්දුවක් දක්වන සහ ඒ පිළිබද පුළුල් දැනුමක් ඇත්තෝ වෙති. මේ අය චිත්‍ර, මූර්ති, ඡායාරූප අයත් වන අවකාශමය කලාව (Spacial art) පිළිබඳ ප්‍රකට කරන ඌන උද්‍යෝගයට හේතුව ලංකාවේදී සම්ප්‍රදායික ලෙස මේ කලාවන්ට නිසි තැනක් නොලැබීම නිසා ලද පුරුද්ද නැතිකම හේතුවෙන් දැයි මට ඇත්තේ සැකයකි.

අතර මැද කේවල් කරුවෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික Robert Hershkowitz  ගේ අධීක්ෂනයට යටත්ව සංවිධානය කර තිබූ The Essential Fenton ප්‍රදර්ශනය සුවිශේෂී අවධානයක් දිනා ගති. සියවස් එකහමාරකට පෙර තවත් බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප ශිල්පියකු වූ රෝජර් ෆෙන්ටන් (Roger Fenton 1819-1869) විසින් රුසියාවේදී, එංගලන්තයේදී සහ ක්‍රයිමියාවෙදී ගන්නා ලද ඡායාරූප වලින් වැඩි ප්‍රමාණය V&A කෞතුකාගාර ඒකතුවෙන් සහ ඉතිරිය වෙනත් කලාගාර සහ පෞද්ගලික ගොනු වලින් තෝරා ගෙන තිබුනේය. Wet Plate Collodion ක්‍රමයේ වීදුරු සෘණ ඵලක යොදා ගන්නා විශාල ප්‍රමාණයේ කැමරා භාවිත කළ ෆෙන්ටන්, ක්‍රයිමියානු යුද්ධය ආශ්‍රිතව ගන්නා ලද ඡායාරූප මුල්ම රූපමය යුධ වාර්තා ලෙස සැලකේ. ඔහු භාවිත කළ චිත්‍රාගාර කැමරා යුද්ධයේ බිහිසුනුබව ක්‍ෂණයෙන් වාර්තා කිරීමට කොහෙත්ම නොගැලපුනු අතර, වීදුරු සෘන ඵලක භාවිතා කළ, තරමක් හෝ එහෙ මෙහෙ ගෙන යා හැකි කැමරා නිපදවන ලද්දේ 1890 දශකයේදී බවද සැලකිය යුතුය. මේ තතු යටතේදී ඔහු වාර්තා කරන ලද The Valley of the Shadow of Death නැමති ඡායාරූපය වැඩි වටිනාකමක් දිනා ගනී.

The Valley of the Shadow of Death (Roger Fenton)

 ත්‍රිකෝණාකාර භූමි කොටස් තුනක් හෝ හතරක් සහ හිස් අහස නිරූපිත මේ සවිමත් වස්තු සැකැස්ම, සම්භාව්‍ය චිත්‍ර කලාව ඇසුරු කිරීමෙන් ලද පරිචය ප්‍රකට කරයි. තාක්ෂණයේ පෙර කී ප්‍රාථමික බවට යටත්ව මෙහි යුධ වදින මිනිසුන් නිරූපනය නොවේ. ඒ වෙනුවට ඒ මිනිසුන් එකිනෙකා වැනසීමට විදි තාලතුවක්කු උන්ඩ (Connon Balls) දෙපස උස්බිම් දිගේ පෙරලී විත් තැන්පත් වී ඇති නිම්නය පෙන්වයි. මේ යකඩ බෝල විසීරී ඇති බිම්කඩ නිසැකව සිදුවූ අපරාධයක් වාතලයේ හොල්මන් කරන සොහොන් බිමකි. ෆෙන්ටන් සිය පරිකල්පන ශක්තියෙන් මේ ඡායාරූපය ගොඩනැගූ බවටද සාධාරණ සැකයක් ඇතමෙක් මතු කරති. කලාවේ සීමාවේදී අඩු සැකයක් හා විද්‍යවේ බිමේදී වැඩි සැකයක් සහිත වීම නුවණට හුරු බව මගේ හැඟීමයි. 

Photo London
Photo London

ක්‍රයිමියානු යුද්ධය මූලිකව ආගමික යුද්ධයකි. ආගම තමා ඇතුළට  හැරී ගවේශනය කිරීමට මිනිසා පොළඹවන අතර අධ්‍යාත්මික විමුක්තිය අරමුණු කරයි. මේ අභ්‍යන්තර ලෝකය ප්‍රත්‍යක්ෂයන් මත හෝ අනුභූතීන් මත පදනම් නොවන තේරුම් ගත නොහැකි නිසාම ඉදිරියේ අද්භූත බලවේගයන්ගේ පැවැත්ම විශ්වාස කරන ප්‍රදේශයකි. මේ ගුප්ත බලවේග සහ තත්‍ය ලෝකය අතර ගනුදෙනුව සලසන්නේ දේශපාලන අනුග්‍රහය සහිත පූජකයන්ය. දැඩි ආගමික භක්තිකයන් බොහෝ විට පූජකයන් හරහා දේශපාලන අධිකාරිය නිකුත් කරන අණ, ආඥා පිළිගැනීමට දත මැද සිටින, මිත්‍යා විශ්වාසයන්හි දැඩිව ගිලී වසන, පෙර නිමිති සහ අසුභ ලකුණු විශ්වාස කරන සහ අනපේක්ෂිත ව්‍යසනයක් පිළිබඳ නිතර බියෙන් වසන අසරණයන් පිරිසකි. හාරදහසක් පමණ ආගම් අදහන බැතිමතුන් අන්‍ය ආගමිකයන් මිත්‍යාදෘෂ්ඨිකයන් සේ සලකන බැවින් එකිනෙකාට එරෙහිව ගල් කැබලිති අතට ගැනීමට පහසුවෙන් පෙළඹෙයි. මොවුන් එක් කෙටි පණිවුඩයකින් අන්තවාදීන් බවට පත් කළ හැකි පිරිසකි. 

View of Crimean War Battlefield (Timothy Eugene O’Tower)

කලාව සංකල්ප රූපමය ලෙස ලෝකය ඥාණනය කිරීමට මිනිසා පොළඹවයි. ලොව අපමණ මනස්කාන්ත දැකුමෙන් ලෝලනය වන ලෞකික මිනිසා සිය අධ්‍යාත්මය වෙනුවෙන් ලෝකෝත්තර විෂයයක් ලෙස කලාව පිහිටුවයි. වඩා උසස් කලාවක් විඳීමට සමත්, පොහොසත් අධ්‍යාත්මයක් එමගින් උදා කර ගනී. ඔහු පිටත ආලෝකමත් ලෝකය වෙත හැරී මිනිස් සබඳතා ගොඩනැගීමේ මාධ්‍යයක් ලෙස කලාව භාවිත කරයි. අනෙකා තේරුම් ගැනීමට එහිදී දරණ ප්‍රයත්නයේදී ලොව අනේක වූ විවිධත්වය ඇගැයීමට හුරුවේ. අධිකාරී බලයෙන් අනිකා යටත් කිරීමට වඩා පොදු ජයග්‍රහණයන්හි ප්‍රතිඵල අන් අය සමග බෙදා ගැනීමට සිහින දකී. දේව කතා හා පුරාවෘත්ත මිනිසාගේ අනාගත අභිලාශයන්හි ඡායා සළකුණු සේ තේරුම් ගනී. ආත්ම විශ්වාසය සහ අනෙකා පිළිබද විශ්වාසය හේතුවෙන් අනියත සැක බිය තුරන් කර ගනී. ටෙරි ටවර් (Terry Towery , born 1963) තමා විසින් සොයා ගත් බවට පවසමින් ප්‍රකාශයට පත් කළ සිය පූර්වජ ඡායාරූප ශිල්පී Timothy Eugene O’ Tower ගේ View of Crimean War Battle Scene නැමති ඡායාරූපය වෙත ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ඔහු ෆෙන්ටන් හා සමකාලීන වික්ටෝරියානු යුගයේ ඡායාරූප ශිල්පියකු ලෙස ටවරිගේ හිතලුවක පමණක් ජීවත් වන පරිකල්පිත චරිතයකි. මේ ඡායාරූපය මේසයක් මත ඇටවූ වස්තු සංවිධානයක් හරහා ෆෙන්ටන් ගේ ඡායාරූපයට ආසන්න මවා පෙන්වීමක් කිරීමට දැරූ උත්සාහයකට වඩා පුද්ගල චරිතයක්ද ඒ වටා ඉතිහාසයක් ද ගොඩනගමින් අපූර්වත්වයක් ජනිත කිරීමට කළ වෑයමක් ලෙස පෙනී යයි.

2 Responses

  1. View of Crimean War Battle Scene නමින් සෙවීමේ දී, එකිනෙකට වෙනස් පින්තූර සිය ගණනක් පෙන්නුම් කරනු ලබයි. එනිසා මේ නියම ඡායාරූපය ම ලිපියට එකතු කළේනම් මැනැවැයි සිතමි.

    ඒ සමග ම මුලින් සඳහන් කර ඇති The Valley of the Shadow of Death ඡායාරූපය ද ලිපියට ඇතුළත් කරන්නැයි යෝජනා කරමි.

Comments are closed.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත