සරත් අමුණුගම සිය ආචාර්ය උපාධිය දිනාගත්තේ මානව විද්‍යාව විෂයටයි. ශ්‍රීලංකා විශ්ව විද්‍යාලයයේ සමාජ මානව විද්‍යා විෂය පිළිබද කථිකාචාර්යවරයෙක් වූ හෙතෙම ඉන් පසු සිවිල් සේවයට බැඳී මෙරට කීර්තිමත් සිවිල් නි ලධාරියකුගේ භූමිකාවකට ප්‍රාණය දුන්නේය. විවිධ අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරයකු වූ හෙතෙම ඉතා නිර්භය තීරණ ගත් සිවිල් සේවකයෙකු වූ අතර ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඔහු එදා වඩාත් දියුණු කළ “දෙසතිය” පුවත් සඟරාව මෙරට සඟරා ඉතිහාසයේ දැවැන්ත පෙරළියක් කළ නිර්මාණාත්මක සඟරාවකි.
අමුණුගම මහතා අදීන විචාරකයෙකු මෙන්ම මෙරට ප්‍රබල සමාජ හා මානව විද්‍යඥයෙකි. ග්‍රන්ථ කතුවරයෙකි. ඔහු එච්. ආර්. ජෝතිපාලයන් මියගිය පසු මොහු හා බැඳී ගිය සමාජ මතවාද ගරු කරමින් ලියූ “කනත්තේ විප්ලවය” මෙරට ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳව එතෙක් පැවති විචාර කලාවට නව එළැඹුමක් ගෙන දුන්නේය.
අවංක හා දක්ෂ නිලධාරියෙකු වශයෙන් ජනතාවගේ සිත් තුළ හරසර හිමිකර ගත් ඔහු පසු කාලීනව දේශපාලකයකු වී විවිධ ආණ්ඩු යටතේ, මුදල්, අධ්‍යාපන, විදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන යන අමාත්‍යධූර රැසක්ම දැරුවේය. එහෙත් ඔහු ජනතාව තුළ අදටත් මෙරට ගෞරවනීය උගතෙකි, බුද්ධිමතෙකි, රාජ්‍ය නිලධාරියෙකි.
– ආචාර්ය සරත් අමුණුගම –
~ ආචාර්ය සරත් අමුණුගම සමග සංස්කාරක මණ්ඩලයේ චම්මින්ද වෙලගෙදර ~
ඇවිස්සීම:
“මෑත කාලීන ශ්‍රී ලංකේය ජන සමාජයේ සංස්කෘතිය පිළිබද විවිධාකාර කියවීම් තියෙනවා. මේ රටේ සංස්කෘතියට ජනප්‍රිය සංස්කෘතිය යන්න බෙහෙවින් සාකච්ඡාවට හා විවාද පන්න වූයේ එච්. ආර්. ජෝතිපාලයන් ගැන ඔබතුමා ලියූ ලිපියකින්. අද මේ පවතින සංස්කෘතිය ගැන ඔබ සිතන්නේ කුමක්ද?”
මතු කිරීම:
“සංස්කෘතිය යන්නට විවිධ නිර්වචන තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ ජනතාව සංස්කෘතිය ගැනහිතන්නේ බුදු දහම හා එයට අනුබද්ධ කලා නි්ර්මාණ ඔස්සේ බණ, බෞද්ධ වැඩසටහන්, වත් පිළිවෙත්, වගේම පන්සල් වල කෙරෙන ඉදිකිරීම් හා ඒවායේ පැවැත්වෙන උත්සව වලටයි සංස්කෘතිය කියලා කියන්නේ. හැබැයි ඒවා සංස්කාතියේ එක් අංගයක් පමණයි.”
හරස් ඇවිස්සීමක්:
“මේකට නේද ඇතැම් සමාජ විද්‍යාඥයන් සිංහල බුද්ධාගම කියල යොදන්නේ”
මතු කිරීම :
“ඔව් ඇතැම් බෞද්ධ යැයි කියන්ඩ බැරි ඇදහිලි පූජා ක්‍රම තියනවා. ඒත් ඒවා දීර්ඝ කාලයක් පුරාවට ගැමියන් ගේ ජීවිත එක්කලා බැඳිලා ගිය සංස්කෘතියක් බවට පත් වෙලා. ඒ නිසා ඔවුන් ඒ ඇදහිලි අද වෙද්දි බුදධාගමත් එක්ක මිශ්‍ර කරගෙන. මේ නිසා තමයි මානව විද්‍යාඥයින් ඒක ගැමි බුද්ධාගම (Folk Religion) කියලා හඳුන්වන්නේ. ඒකම අද වෙද්දි සිංහල බුද්ධාගම කියලත් යොදනවා.
“සමාජ විද්‍යාඥයා සංස්කෘතිය ලෙසට නිර්වචනය කරන්නේ ජීවන රටාවයි”
සමාජ විද්‍යාඥයා සංස්කෘතිය නිර්වචනය කරන්නේ වෙනස් විදියකට. ජීවන රටාවයි ඔවුන් සංස්කෘතිය ලෙසට දකින්නේ. අපි බැලුවොත් හැම සමාජයකටම හර පද්ධතියක්, ආගමක්, අධ්‍යාපන ක්‍රමයක් යනාදි වශයෙන් මූලික අත්තිවාරමක් තියෙනවා. සමාජය කියල කියන්නේ මේ සංස්කෘතික අත්තිවාරම මත ගොඩ නැංවුණු නිවසක්. ඒ පදනම රටින් රටට, ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට, කලාපයෙන් කලාපයට වෙනස් වෙන්න පුළුවන්. මේ දැන් මතුවෙලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ උප සංස්කෘතින් සමතලා කරලා පළල් සංස්කෘතියක් ඇති කළ යුතුද කියන එක. තව මාවතක් තමයි එම සංස්කෘතික විවිධත්ව රැක ගනිමින් පොදු සංස්කෘතික අංග මොනවාදැයි විමසීම. දැන් සාම්ප්‍රදායික සමාජ විද්‍යාව අනුව ඒ ඒ සංස්කෘතීන් හුදෙකලා වූ සංස්කෘතීන් ලෙසටයි විභාග වන්නේ. එක්කෝ ගමක නැත්නම් ඈත දුපතක, නගරයක ජන සමූහයා හුදෙකලා කොට ගනිමින් ඒ ඒකකයන් තුළ තිබුණු අභ්‍යන්තර සබඳතා විභාග කළා. නමුත් මේ පැරණි ක්‍රමය වත්මන් නූතන සමාජයට ගැලපෙන්නේ නෑ. ඊට හේතුව ඉහත සදහන් හැම කොටසක්ම කෙරෙහි බලපාන සංස්කෘතික විපර්යාස හෙවත් නූතනත්වය බලපා ඇති නිසයි. මේ පළල් බලපෑම් බොහෝ විට සමාජ ශෝධකයින් දකින්නේ හතුරු බලවේග විදියටයි. තමන්ගේ නිර්මල සංස්කෘතිය ආක්‍රමණය කරමින් පැමිණි හර පද්ධතීන් උඩු යටිකුරු කරමින් නව සංස්කෘතියක් පැතිරෙනවා යැයි බොහෝ විට විවේචනාත්මකව සදහන් වන්නේ මෙහිදීයි. මෙහිදී අපි සිහියේ තබාගත යුතු දෙයක් තියෙනවා. මෙවැනි කුඩා ප්‍රාන්ත සීමාවන්ගෙන් ඔබ්බට ගිය මහා සම්ප්‍රදායක්, විශේෂයෙන්ම භාරතීය හා චීන ශිෂ්ඨාචාර තුළින් පැතීරී ගිය හැටි අප විසින් අවබෝධ කරගත යුතු බව.”
අතරු බාධාවක්:
“එදා භාරතය විසින් බුදුදහමත්, අද වෙද්දි විවිධ රටවල චිත්‍රපට හා රූපමාලා නාටක මගිනුත් කරන්නේ මෙයම නොවේද. එය එක්තරා ලෙසකට සංස්කෘතික ආක්‍රමණයක් නොවේද?”
මතු වීම ගලා යමින්:
“ඔව් ඒය නිවැරදියි. එහෙත් සංස්කෘතික ආක්‍රමණයක් වන්නේ කිසියම් සංස්කෘතියක් විසින් තවත් සංස්කෘතියක් යටපත් කර මතුවීම. එහෙත් කිසියම් සංස්කෘතියක් මගින් පැවැති දුබල හා නොදියුණු සංස්කෘතියක් විධිමත් ලෙස හා වඩාත් සංවර්ධනාත්මකව සිද්ධ වෙනවා නම් ඒ යහපත් ප්‍රවණතාවක්. බුද්ධාගමේ විකාශය මේකට හොඳම නිදසුනක්. බුදුන් වදාළ දහම එදා සීමා වුණේ උතුරු ඉන්දියාවට පමණයි. නමුත් අශෝක අධිරාජ්‍යයා එය මුළු ආසියාකරයටම පතුරුවා හැරියා ඔහුගේ දේශපාලන බලය තුළින්. මේ නිසා ඒ ඒ ප්‍රාන්ත තුළ මොන මොන සංස්කෘතීන් තිබුණත් ඔවුන් ඒවා තුළ බුදු දහමත් පහසුවෙන් එක්කාසු කරගෙන ලොව මවිත කරන බෞද්ධ ශිෂ්ඨාචාරයක් ඇති කළා. ඒ නිසා ලංකාව, තායිලන්තය, බුරුමය වැනි ථෙරවාදී රටවල් හා ජපානය, වියට්නාමය හා චීනය වැනි මහායාන රටවල් හා තන්ත්‍රයානය මුල් කරගත් ටිබෙට් රට හා ඊට සමීප සමාජ හෝ සියල්ලම බෞද්ධ ශිෂ්ඨාචාරයේ කොටස් බවට පත්වුණා. තවත් විදියකට කියනවා නම් ඒ සෑම සමාජයක්ම තමන්ගේ පෙර පැවති උරුමයන් පිටින් ලැබුණු බුදු දහමේ පණිවුඩයත් මනා ලෙස සංකලනය කරමින් බෞද්ධ මෙන්ම දේශිය, මිශ්‍රිත සංස්කෘතියක් නිර්මාණය කර ගත්තා.”
අතුරු ඇවිස්සීමක්:
“තොරතුරු තාක්ෂණය මගින් ලෝකයම එක යායක් කියන්නේ මේ යටපත් කිරීමට නේද?”
මතු කිරීම ගලා යමින්:
“විවිධ අර්ථකථන තිබුණත් එය නතර කිරීමට අපහසු දෙයක්. දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව වුවත් මිනිස්සු අලුත් දේවල් වලට කැමතියි. එය එක් අතකින් සංස්කෘතික විනාශයක්. අනිත් අතින් වෙළෙද ජයග්‍රහණයක්. පුර්වාදර්ශයක් ලෙස බැලුවොත් නූතන ලෝකයේ නවීකරණය විග්‍රහ කළ හැකියි. එක පැත්තකින් දේශීය සංස්කෘතියක් තියෙනවා. අනිත් පැත්තෙන් තාක්ෂණය මුල් කරගත් සන්නිවේදනය තුළින් ගෝලීය හර සමුදායන්, හා සංස්කෘතියක් දිනෙන් දින විකාශනය වෙනවා. පසුගිය අඩ සියවස තුළ සන්නිවේදන කේෂ්ත්‍රයේ වෙනස් වීම් තුළින් සෑම සියලු පුද්ගලයෙක්ම එකට බැඳ තබනවා. විශේෂයෙන් අද ජංගම දුරකතන ආශ්‍රිත කැමරාකරණයන්ගෙන්, බොහෝ අය පවසන පරිදි ලොව එකම යායක් කරනවා වාගේ දේවල්. අපි තරුණ කාලයේ කැමරාවක් හා කැමරාකරණය කියන්නේ වෙනම විෂයයක්. සුවිශේෂී කලාවක්. අද ආදීවාසීන් පවා කැමරාකරුවන් බවට පත් වෙලා. මේක සරළ නිදසුනක්. නමුත් අපි ගත්තොත් ගුවන් විදුලිය තුළින් සන්නිවේදනය කිරීම පෙර මෙන් රජයට පමණක් අයිති වස්තුවක් නොවෙයි. අද කුඩා සමාජ වල පවා වෙනම තොරතුරු විකාශය කළ හැකියි. මේ විපර්යාස රටක සෑම සංස්කෘතික අංශයක් කරාම බලපානවා. සරල නිදසුනක් විදියට ඔබටත් සමීප නවකතාව හා කෙටිකතාව ගම්මු. ඇත්ත වශයෙන්ම මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, ජී. බී. සේනානායක වැනි අයගේ නිර්මාණවලින් හා රුසියානු නවකතා හා කෙටි කතා වල ආභාෂය සිංහල පාඨකයන්ට දැණුනා. නමුත් වර්තමානයේ ලතින් ඇමෙරිකාවේ අද විකාශනය කරන ඉනද්‍රජාලමය යථාර්ථය (Magical Realism) වැනි දේ අද සිංහල නව කතාව කෙරෙහි බලපාලා. තාත්වික වාදය මුල් කරගෙන ගොඩ නැගුණු සිංහල නවකතාවට මෙය අලුත් අත් දැකීමක්.”
ඇවිස්සීම:
“ඔබ සිතනවාද මේ තත්ත්වය අපි ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙනවා කියලා. එහෙම නැතිව ඒක රැල්ලක් කරගත්ත අච්චාරුවක් නොවේද?”
මතුවීම:
“සාම්ප්‍රදායික සිව්පදය හෝ සිලෝවලට සීමා වූ කවිය නිසදැස් කවිය නිසා වෙනසට භාජනය වුණා. අද සිංහල නාට්‍ය ක්ෂේත්‍රය දිහා බැලුවොත් විශාල ප්‍රමාණයක් බටහිර නාට්‍ය පරිවර්තන. තරුණ සිනමා කරුවන් ආදර්ශයට ගන්නේ බටහිරින් නිපදවන ලද සිනමා භාෂාවක්. එවිට දැනට ඇති ප්‍රශ්නය මේ වෙනස් වීම් සිදු වන අතර නව සංකලනයක් ඇති කරගන්නේ කෙසේද යන්නයි. දැන් බටහිර කොදෙව් වැනි රටවල් දේශීයත්වය යටපත් කරගනිමින් ගෝලියකරණය වෙලා. නමුත් ඉන්දියාව ලංකාව වැනි රටවල කලාකරුවන් මේ යථාර්ථය සමග පොර බදනවා. මෙහිදී කිව යුත්තේ මා ඉහත සදහන් කළ විග්‍රහය අසම්පූර්ණ බවයි. ඇයි මා එසේ කියන්නේ, මේ පසුබිම තුළ හොඳ හා නරක අතර වෙනසක් පැහැදිලි කර ගැනීම අත්‍යවශ්‍ය වන නිසයි. නූතනත්වයට යට වුණු සෑම කෘතියක්ම උත්තම ගණයේ කෘතීන් නොවෙයි. බොහෝ විට එළියට පනින්නේ ඔබ කියන ලෙස අච්චාරුවක්. එය අතරමංවීමක ඵලයන් වාගේ. එසේනම් මේ කෘති වල රස නීරස විනිශ්චය කරන්නේ කෙසේද?
මේ විනිශ්චය කිරීමට තවත් දුෂ්කර වෙන්නේ සන්නිවේදනය හා සම්බන්ධ වූ නූතන ජනප්‍රිය සංස්කෘතීන් තුළින් හුදෙක්ම විනෝදාශ්වාදය පතන ප්‍රේක්ෂක හා පාඨක සමාජයක් නිර්මාණය වීමයි. මේ නව පාඨක හා ප්‍රේක්ෂක සමාජයේ සන්ත්‍රාසය සදහා කරන ඉල්ලුම ජීවිතය පුරාම ඉහළ තත්ත්වයක් තුළ නිර්මාණය කරන කලාකරුවන් අභිබවා යාමට ඉඩ තිබේ. නිදසුනක් ලෙසින් අද සිංහල නවකතා පොත් දාහකට වඩා අලෙවි වන්නේ කලාතුරකින්. විදග්ධ නාට්‍ය හා චිත්‍රපට සදහා සීමිත ඉල්ලුමක් ඇති නිසා ජාතික විත්‍රපට සංස්ථාව අද අර්බුදයක පැටළිලා. මේ තත්ත්වය ඉතා තදින් අවධාරණය කර සිටින්නේ කුමක් ද? ද්විභාෂා හැකියාවක් ඇති අදීන විචාරකයින්ගේ අවශ්‍යතාවයි.”
ඇවිස්සීම:
“ඔබ කියන්නේ මේ සමාජ සංස්කෘතික දීනත්වය නිසි මගට ගත යුත්තේ විචාරකයින් කියාද? මේ විචාරයේ විකලත්වය නිසාද ඔබ හැකියාව හා අදීනත්වය පිළිබඳ අවධාරණය කරන්නේ.?”
මතුවීම:
“ඔව් ඔබ එය හඳුනාගත්තා. ජන සමාජයකට විචාරයේ කෙවිට අවංකව දරණ පුද්ගලයෙකුට පුළුවන් විශාල මෙහෙවරක් කරන්න. වත්මන් සමාජය ඉතා සංකීර්ණයි. ඒ් වගේම භයංකාරයි. ඉතින් මේ සංකීර්ණ සංස්කෘතික පරිසරය තුළ කලා හා සාහිත්‍යය කෘතීන් අවබෝධ කරගෙන විචාරයේදී සුන්දර මෙන්ම අසුන්දර ලක්ෂණ පෙන්වාදීම විචාරකයෙකුගේ යුතුකමයි. සරච්චන්ද්‍ර මහතා කී පරිද්දෙන් “විචාරකයා යනු පිරිපුන් පාඨකයාගේ ප්‍රතිමූර්තියකි.”
හැම පාඨකයාටම පිරිපුන් දැනුමක් ඇතත් ඔවුන් විචාරකයාගේ කාර්ය කිරීමට භය වෙනවා. නමුත් එවැනි විචාරකයෙකු තරමට දැනුමක් ඇති පාඨකයින් සොයා ගැනීම ඉතාම අපහසුයි.
“විචාරකයා යනු පිරිපුන් පාඨකයාගේ ප්‍රතිමූර්තියකි.”
~මහාචාර්ය සරච්චන්ද්‍ර~
ඒබැවින් මේ සංකීර්ණ පසුතලය මත අප සමාජය තුළින් පිළිගත හැකි දැනුමකින් යුක්ත විචාරකයින් අත්‍යවශ්‍ය වී තිබෙනවා. මා මෙතනදී සිහිපත් කළ යුත්තේ අප රටේ ඒවැනි විචාරකයින්ට මාධ්‍යය තුළින් ඉඩක් ලැබී නොමැති බවයි. බොහෝ විට මාධ්‍ය තුළින් විචාරකයින් ලෙස එලියට එන්නේ විවිධ සබඳතා හා පක්ෂපාතිකම් අනුව පෑන හසුරුවන අයයි. රූපවාහිනිය තුළ දිනපතා නරඹන්නන් වෙත එල්ල කරගන්නේ වැදගත් විචාර නොව අති සරල වාචාල දෙඩවීමකට ඉඩ සලසා දීමයි.
මේ නිසා මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුත්තේ හරවත් විචාරයකට. එයට මාධ්‍ය අතදිය යුතුයි. එසේ නොවන්නට මතු වෙන්නේ හා පැතිර යන්නේ හරසුන් කරවන සංස්කෘතික මිථ්‍යාවක්. මානසිකත්වයක්. ක්ෂණික මනස් පුතුන්ගේ සමාජයක්. ඒ වගේම ආවිචාරවත් භාෂණයක්.එහිදී දන්නවා යැයි පෙන්වන බොහෝ දෙනෙකු කතාකරන්නේම ඔවුන් නොදන්නා විෂයයන් ගැන විය හැකියි. එහෙත් මාධ්‍යයට අවශ්‍ය වන්නේ ඔවුන් නොව ඔවුන්ගේ නිල බලය පමණක් විය හැකියි. ඒ අනුව පැතිර යන්‌නේ මුග්ධ මනසක්. ඒ්වා හැගීම්බර මෙන්ම ආශ්වාදනීය විය හැකිය. එහෙත් යොමු කරන්නේ විනාශයකටයි. මේ අවිචාරවත් බව විනාශ කළ හැක්කේ යහපත් හා දනුම්වත් විචාරයකිනුයි. මේ නිසා මාධ්‍ය මගින් කළ යුතු වැදගත්ම දෙය තමයි යහපත් විචාරකයාට වඩ වාඩාත් ඉඩ ලබාදීම වගේම හරසුන් වැඩසටහන් වලින් මෑත් වීම. මාධ්‍ය අධ්‍යාපනය නම් වූ නව විෂයය මගින් සුපසන් මාධ්‍ය කරණය වෙනුවෙන් කළ යුත්තේ වැදගැම්මකට නැති සරල සම්ප්‍රප්ප්‍රලාප වලින් ප්‍රේකෂකයා හා පාඨකයා මුදවා ගත හැකි සමාජයක් නිර්මාණය කිරීමයි. වර්තමානයට ගැලපෙන්නේ එම තත්ත්වය අවබෝධ කර ගත හැකි සංස්කෘතික සමාජයක්.
(2019 – 06 – 19 වන දින කොළඹ 05 සිරිපා පාරේ අංක 50/1 දරණ නිවසේ දී ආචාර්ය සරත් අමුණුගම මහතා සමග චම්මින්ද වෙලගෙදර නම් වූ ම විසින් කළ සම්මුඛ සාකච්ඡාව.)