ආ මග සළකුණු

ප්‍රවිශ්ඨය

ඡායාරූප ශිල්පය යනු එකවර ලොව පහළ වූ ප්‍රාතිහාර්යයක් නොවේ. මීට වසර හාර පන් දහස් ගණනකට පෙර අධිකතර සූර්ය තාපයෙන් පෙලුණු චීන දේශයේ කාන්තාරවල වැලි අධික තාපයට බඳුන් වීමෙන් උණු වී විනිවිද පෙනෙන කුට්ටි සෑදෙන බව ද, ඉන් ආලෝකය වර්තනය වන වග ද, සමහර ද්‍රව්‍ය ආලෝකයට නිරාවරණය වූ විට එහි ගති සොබාවන් වෙනස් වන නිසා ආලෝක සංවේදී රසායනයන් ලොව ඇති වග ද මුලින් ම සොයා දැන ගත්තේ චීන ජාතිකයක් විසිනි. අති දුෂ්කර මුහුදු සහ ගොඩ බිම් මාර්ගවලින් චීන්නු සිය සේද සහ වෙනත් රෙදි වර්ග ලෝකය පුරා ගෙන ගියහ. එය සේද මාවත නම් විය. මේ සේද මාවත නිසා චීන්නුන්ගේ නව සොයා ගැනීම් ලෝකයේ වෙනත් රටවලට ද පැතිරුණේ ය. විශේෂයෙන් ම බටහිර ජාතීන් ඒවා තමන් සන්තකයට ගෙන වැඩි දියුණු කිරීම් කොට, නැවත තමන්ගේ සොයා ගැනීම් ලෙස ලෝකය පුරා විකිණූහ.

එසේ විකිණූ බොහෝ වැදගත් නිර්මාණ කිහිපයක් වන්නේ කාචය, කැමරාව සහ ඡායාරූප ශිල්පයයි.

එංගලන්තයේ දී සිදුවන සෑම ඡායාරූප ශිල්පයේ නව සොයා ගැනීමක් ම, ඊට සුලු දවස් කිහිපයකට පසු ලංකාවට ද පැමිණියේ ය. එසේ වූයේ එවකට ලංකාවේ සිය බලය පතුරාගෙන සිටි (තාමත් බලය ඇත්තේ ඔවුන්ට ය.) සුදු ජාතික නිලධාරීන් නිසා ය. ඔවුහු නිරන්තරයෙන් ම එංගලන්තය සහ ලංකාව අතර නැව් මගින් ගමනේ යෙදුනු අතර කාල පරතරය වූයේ මාස දෙක හමාරක් පමණ කෙටි කාලයකි.

සුදු ජාතික පරිපාලන නිලධාරීන් සහ වෛද්‍ය ඉංජිනේරු වැනි වෘත්තිකයන් ද (Professionals) දිසාපතිවරුන් වැනි සිවිල් සේවකයන් ද, චිත්‍ර ශිල්පයේ සහ ඡායාරූප ශිල්පයේ නියැලුනු අතර ඔවුන් ගෙන් බොහෝ දෙනෙක් දක්ෂ ලේඛකයන් ද වීම ඇත්තෙන් ම අපේ වාසනාවක් විය. ඔවුහු මේ පාරාදීසයේ සෑම බිම් අඟලකම කරක් ගැසූ අතර ම, එහි සාරය ද උපරිමයෙන් උකහා ගත්හ. ඉන් නොනැවතී තමන් දුටු සියල්ල ලියා තැබූහ. චිත්‍රයට නැඟූහ. ඡායාරූප ගත කළහ. නැවත සිය රට යද්දී තමන් සතු දැනුම, තමන් උගත් දේ, සහ තමන් විසින් සොයා දැන ගත් දේ ස්වදේශිකයන්ට දී යන්නට තරම් කාරුණික ද වූහ.

මුල් ම වකවානුවේ ලංකාවේ ඡායාරූප ශිල්පයේ යෙදුනේ ස්වදේශික වෛද්‍ය සහ ඉංජිනේරු වැනි වෘත්තිකයෝ ය. ඊට බලපෑ ප්‍රධාන ම හේතුව වූයේ එකල වෛද්‍ය සහ ඉංජිනේරු වැනි උපාධි ලබන්නට නම් අනිවාර්යයෙන් ම ඔවුන් එංගලන්තයට යා යුතු වීමත්, එසේ යන්නට තරම් වත්කමක් ඔවුන්ට තිබිය යුතු වීමත් ය. විවිධ මුදලි මුහන්දිරම් වැනි නිලතල ලැබූ ලාංකීය ධනපතියන්ගේ දූ පුතුන් ඒ වරම් ලැබූ අතර ඔවුන් විදේශයන්හි ගත කළ කාල සීමාවේ දී සිය අධ්‍යාපනයට අමතරව ඡායාරූප ශිල්පය ද හදාරන්නට තරම් වැදගතුන් විය.

ලංකාව නිදහස ලැබූ 1948න් පසු 40 දශකයේ අග භාගයේදීත් 50 වැනි දශකවලත් සාමාන්‍ය සිංහල සහ දමිළ ජනතාව තුළින් ඉස්මතුවූ, ස්වෝත්සාහයෙන් දියුණු වූ මුදලාලි පැලැන්තියක් බිහි විය. මේ මුදලාලි වරුන්ගේ ජීවන තත්ත්වයන් වඩ වඩා උසස් වීමත් සමග ම ඔවුන්ට තමන්ගේ තත්ත්වයන් අනෙකුන්ට ඇඟවීමේ අවශ්‍යතාවන් ද මතු විය. ඒ සඳහා ඡායාරූප ශිල්පය මහත් දායකත්වයක් සැපයූ අතර, ඔවුන්ගේ මඟුල් තුලා ඊට මහත් තෝතැන්නක් විය. ඔවුහු මුලු රටට ම ඇසෙන්නට, දැනෙන්නට මඟුල් කෑහ. ඒ මඟුල් කෑම දෙවනුව ඊට යට ස්තරයට ද බෝ විය.

මේ ලංකාවේ ගෘහ නිර්මාණ කලාවේ ද වෙනස් කම් සිදු වූ යුගයන් විය. සාමාන්‍ය වරිච්චියෙන්, මෝඩ ගඩොලෙන් බැඳි බිත්ති, ගඩොලින්, කබොකෙන් බැඳෙන්නට විය. රෝම ලන්දේසි ගෘහ නිර්මාණ කලාවේ ඌරුවට උස බිත්ති ද, ආරුක්කු දොරවල් ද, වට කණු ද ඊට අනිවාර්යයෙන් ඇතුළත් විය. ඒවා වලව් යන නමින් හැඳින්විනි. වලව්වක කාමර බොහෝ ගණනක් වූ අතර, මැද මිදුල් ද කිහිපයක් විය. විශාල ශාලාවක්, අශ්ව ගාල් සහ සේවකයන්ට වෙනම කාමර එහි තවත් අංග විය.

1956 සිදුවූ ජනතා පෙරැළියත් සමඟ සම්මත ධනවතුන්ට අමතර ව, නව ව්‍යාපාරික ප්‍රජාවක් බිහි විය. සිංහල කථා කරන, රෙදි බැනියම් අඳින මේ නව පෙලැන්තිය ද ඉහළ ස්තරයේ ගති පැවැතුම් ම ස්පර්ශ කරන්නට උත්සාහ කළ හ. මේ වකවානුවේ මුලික නගර වලින් බැහැර ව නව ජනපද බිහි වූ අතර, ඒවායේ පදිංචි වූ නිලධාරී පන්තියේ අය නව සංස්කෘතියක් බිහි කළ හ. මූලික ව පෙට්ටි හැඩැති, වැඩි උස් නොවූ, සාලය ද, කුස්සිය ද, කෑම කාමරය ද එකටම යාබද ව තිබූ, ඇමරිකන් පන්නයේ ගෙවල් සෑදීම පැතිරුනේ මේ වකවානුවේ ය. මේ ගෙවල් දොරවල් ඉතා ම සකසුරුවම් සහිත ඉඩ කඩකින් යුක්තවීම නිසා ම, තම සමාජ තත්ත්වය පෙන්වීමේ අවස්ථාවන් සඳහා ඔවුනට වෙනත් විකල්ප සොයා ගත යුතු විය.

මේ නව නගර නිර්මාණ සංස්කෘතියත් සමඟ අනිවාර්යයෙන් ම තානායම් සෑම නගරයක ම නිර්මාණය වූ අතර, වඩාත් ඉඩ කඩ ඇති තැනක් ලෙස තෝරා ගන්නට හැකි වූයේ මේ තානායම් ම පමණි. බොහෝ දෙනෙක් සිය නිවසේ ම මංගල්‍ය උත්සවය පැවැත් වූ අතර, නව යුවළ අනිවාර්යයෙන් ම සිය මංගල රාත්‍රිය ගත කිරීම සඳහා තනායම් වලට ගිය හ.

60 දශකයේ ආරම්භයේ දී විල්සන් හෑගොඩ මහතාණන් ගේ මඟ පෙන්වීම යටතේ, නව ඡායාරූප නිර්මාණ ශිල්පීහු රැසක් බිහි ව සිටියහ. රට පුරා තැන් තැන්වල දේශීය ව්‍යාපාරිකයන් සතු ඡායාරූප ශාලා බිහි විය. මෙතෙක් විධායක නිලධාරීන්, දොස්තර වරුන්, ඉංජිනේරුවන් සතුව තිබූ ඡායාරූප ශිල්පය ඊට පහළ තලයේ සාමාන්‍ය මිනිසුන් සතු වූ අතර, ඔවුනතුරින් බොහෝ දෙනෙක් ඉතාම කීර්තිමත් නිර්මාණ ශිල්පීන් බවට පත් විය.

මේ කාලය වන විට නව ධනපති පැලැන්තිය අතර, තම ඡායාරූප ගබඩා කර ගැනීම අත්‍යවශ්‍ය අංගයක් බවට පත් විය. වඩා මුදල් හදල් ඇත්තෝ වැඩිපුර ඡායාරූප ගත් අතර, එතරම් වත්කම් නොතිබුණු අය වුව ද මුළු මංගල්‍යය ම පාහේ ඡායාරූප එක දෙකකින් හෝ සටහන් කරවා ගත් හ. මේ කාර්යයන් ඉටු කරන්නට ගියේ ඉහළ පන්තියේ ඡායාරූප ශිල්පීන් නොව අලුතින් බිහි වූ නව පරම්පරාව ය.

77න් පසු බිහි වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා මුළු මහත් ලංකාවේ සංස්කෘතිය ම උඩ යට පෙරලුණේ ය. සියල්ල මුදලින් තක්සේරු වූ අතර, ඕනෑ ම කාර්යයක්, තත්ත්වයක්, පුද්ගල වටිනාකමක් මනිනු ලැබුවේ මුදල් ඒකක වලිනි. ඒ හා සමඟ විදේශ රැකියා අවස්ථා සුලබ විය. ගමේ ගොඩේ අක්කලා  නංගිලා සියල්ලෝ ම මැද පෙරදිග වහල් සේවයට ගිය අතර, අතරමැදි සංස්කෘතීන් ද, විදුලිමය ගෘහ උපකරණ ද, රට පුරා වැසි වසින්නට විය. මේ විවෘත ආර්ථික ජඩ ප්‍රවාහයට අසුව ගසා ගෙන ආ එක ම හොඳ දෙය වූයේ කැමරාවේ නව තාක්ෂණය සහ නව ප්‍රවණතා යි.

මේ නව සංස්කෘතික සෝදා පාලුවත් සමඟ නව වෙළෙඳ ආධිපත්‍යයක් ගොඩ නැගුණු අතර, එයින් දෙකෙළවරටම නැති නව ධනවතුන් රැසක් බිහි විය. ඔවුන් මිල මුදල් හරි හම්බ කළේ කුමන අයුරකින් දැයි කියන්නට කිසිවෙක් නොදත් හ. ඔවුහු හොඳට කෑවෝ ය. බිවුවෝ ය. අත දිග හැර වියදම් කළෝ ය. ඉන් වැඩි හරියක් වෙන් කරනු ලැබුවේ මංගල්‍ය උත්සවයන්ට ය. පැවැත්වෙන මංගල්‍ය උත්සව ප්‍රමාණයට තානායම් මදි වූ හෙයින් පිළිගත් සංචාරක හෝටල වෙත ඔවුහු නැඹුරු වූහ.

ඒත් සමඟ ම මේ මංගල්‍ය උත්සව වෙනුවෙන් ම නව වෙළෙඳ පොළක් බිහි විය. එහි හොඳින් ම අලෙවි වූයේ මිනිස් හැඟීම් ය. මේ කාගේවත් හැඟීම් තමන්ගේ තට්ටුවේ තබා අලෙවි කරන්නට බොහෝ දෙනා අලුතින් බිහි විය. කේක් නිර්මාණ කරුවෝ, මල් සැරසිලි කරුවෝ, ඇඳුම් මසන්නෝ, අන්දවන්නෝ, ආදී බොහෝ දෙනා මෙතෙක් මිනී පෙට්ටි සාප්පු කාරයන් අත තිබූ ව්‍යාපාරයක් තමන් සතු කර ගත් හ. ඡායාරූප ශිල්පීන් ද, සංගීත කරුවන් ද පමණක් නොව අෂ්ඨක ශිල්පීන්, බෙර වාදකයින්, නැටුම් ශිල්පීන් වැනි සාම්ප්‍රදායික කලා කරුවන් ද තමන්ට රිසි සේ අනුන්ගේ හැඟීම් අලෙවි කරන්නට පටන් ගත්තෝ ය.

මෙතෙක් දොස්තරවරුන්, ඉංජිනේරුවන්, සිවිල් සේවකයන් අත තිබූ ඡායාරූප ශිල්පය ක්ෂණිකව ම සාමාන්‍ය පුද්ගලයන් අතට මාරු විය. මුල් යුගයේ එවැන්නන් සිය විෂය පිළිබඳ හොඳ අධ්‍යාපනයක් ලද, එහි ප්‍රායෝගික සහ න්‍යායික අභ්‍යාසයන් ප්‍රගුණ කළ සැබෑ ඡායාරූප ශිල්පීන් ම විය. මැද පෙරදිග ගිය ශ්‍රමිකයන් අසීමාන්තික ව මෙරටට එවූ ඉන්ස්ටමැටික් කැමරා Instamatic Camera සමග මේ සියල්ල කණපිට හැරුණි. වැස්සකට පෙර මෙරු මතු වන්නාසේ, එකවර පහළ වූ, දැනුම් තේරුම් නැති මේ කැමරාකරුවෝ සහ වීඩියෝකරුවෝ ගෞරවනීය වෘත්තියක් තුට්ටු දෙකට ඇද දැමූහ.

ළඳු කැලයක අතරින් පතර ඇති, පළ දරණ තුරු ලතා මෙන් වූ සමහර නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙක් පමණක් සිය ස්ථාවරය ද, වෘත්තීය ගෞරවය ද, සිය සමාජ තත්ත්වය ද රකිමින්, නිර්මාණ කෞශල්‍යයෙන් මෙන් ම ආර්ථික ශක්තියෙන් ද පොහොසත් වෙමින් බැබලෙන්නට වූහ. ඒ 80 දශකයේ අග භාගයේ දී ය.

ඉන් සමහරෙක් මංගල්‍ය උත්සව ඡායාරූප විෂයයෙහි නව මානයන් ඇති කරන්නට තරම් දක්ෂ විය. ඉහළ මධ්‍යම පාන්තික සුළුතර ජන කොටසක් වෙනුවෙන් සිය සේවය කැප කළ, රත්මලානේ මහින්ද ප්‍රනාන්දු මහතා ලංකාවේ මුල් ම 8 x 13 ප්‍රමාණයේ වෙඩින් ඇල්බමය හඳුන්වා දුන්නේ ය. නුගේගොඩ ෆොන්සේකා ඇල්බම් ආයතනය එම ඇල්බමය නිම කළේ ය.

මුල් යුගයේ මංගල්‍ය උත්සවයක ඡායාරූපවලින් මුල් තැන ලැබුණේ උත්සවයේ සිද්ධීන්ට සහ පැමිණි පිරිසට ය. මනමාලියගේ ආලේඛ්‍ය ඡායාරූප (Portrait Photographs) කිහිපයක් ගැණුනු අතර, පසුතිර Backdrops භාවිතයන් තිබුණේ ම නැති තරම් ය. පසුතිර භාවිතා කළේ ඡායාරූප ගන්නා පසුබිමේ ඇති අල්මාරි වැනි ගෘහ භාණ්ඩ වසා දැමීමට ය. පසු ව එය ඉතා ම ඉක්මණින් මංගල්‍යය ආක්‍රමණය කළ අතර, පසුතිර යොදා ඡායාරූප ගැනීම අනිවාර්ය අංගයක් විය. දකුණු ඉන්දීය සිනමා ඡායාරූප නිර්මාණ කලාවේ ආභාෂයත්, සිය අවිධිමත් චිත්‍ර ශිල්පීය හැකියාවත් සංකලනය කළ දයාන් විතාරණ ඡායාරූප ශිල්පියා මංගල්‍ය උත්සව ඡායාරූප ඇල්බමය, අතිශය රොමැන්තික (Romantic) ආලේඛ්‍ය ඡායාරූප වලින් ම පමණක් නිම කරමින් තවත් නව යුගයක් නිර්මාණය කළේ ය. එම ඡායාරූප රටාවට ඇති වූ අධික ඉල්ලුම නිසා ම, ඉන්පසු බිහි වූ සෑම ඡායාරූප ශිල්පියෙක් ම දයාන් විතාරණ වගේ වූව ද, කිසිවෙක් මහින්ද ප්‍රනාන්දු ලා, ජෙරොම් කෲස් ලා වීමට උත්සාහ කළේ ම නැත.

ඉතා ඈත අතීතයේ දී ලාංකේය විවාහ චාරිත්‍රවලට එතරම් මුල් තැනක් ලැබුණේ නැත. එය ඉතා සරල යාන්ත්‍රණයක් විය. පසු කාලීනව ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසීන් සහ ලන්දේසීන් ලාංකික සිත් තුළ නව මතවාද ආරෝපණය කළෝ ය. ඔවුන් සිය ආගමට නැඹුරු කර ගැනීම එහි ප්‍රධාන ම අරමුණ විය. විවාහය ලියාපදිංචිය ද ඉන් එකකි. ලංකාවේ මුලින් ම විවාහ ලියා පදිංචිය ආරම්භ කළේ ලන්දේසි යුගයේ දී ය. එය සිදු කරනු ලැබුවේ ද ලන්දේසි පල්ලි තුළ, මිෂනාරි පූජක වරුන්ගේ මූලිකත්වයෙනි. පහතරට මනමාලිය මූණ වැසෙන්නට ෆේස් වේල් එකක් දැමීමේ චාරිත්‍රය විවාහ ලියාපදිංචිය තුළ මුල් බැස ගත්තේ මේ පල්ලි සම්ප්‍රදාය නිසා ය. උඩරට දී මේ පල්ලි ආක්‍රමණය එතරම් දැඩි නොවූ නිසා ත්, රදල ආකල්ප ඊට වඩා ප්‍රබල වූ නිසා ත්, උඩරට විවාහ පල්ලි තුළ ලියා පදිංචි නොකළ නිසාත් මේ ෆේස් වේල් උඩරට මනමාලිය ඇන්දේ නැත.

ලන්දේසීන් විසින් ලියාපදිංචි කරන ලද විවාහ වල මුල් පිටපත් සුරැකුෙණ් කොළඹ පිටකොටුවේ වුල්ෆැන්ඩල් පල්ලියේ ය. අදටත් ඒවා එහි සුරැකි ව ඇති අතර, සංරක්ෂණ ක්‍රමවේදවල දුර්වලතා නිසා ඒවා පරිහරණය කළ නොහැකි ය. 1906 වසරේ දී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුව විසින් පල්ලියට පිටස්තර ව මුල් ම විවාහ රෙජිස්ට්‍රාර්වරයා පත්කළ අතර එතුමා රත්නායක නම් විය. එය විවාහ රෙජිස්ට්‍රාර්වරයා යටතේ නගර ගම් දනව් සිසාරා විවාහ රෙජිස්ට්‍රාර්වරුන් පත් කළ ද, තවමත් අපේ ඇත්තෝ ෆේස්වේල් දමාගෙන හිතෙන් හෝ ලන්දේසි පල්ලියේ අල්තාරය මත දණ නමති.

ලංකාවේ විවාහ මංගල්‍ය උත්සව ඡායාරූපකරණය වසර 1912 තරම් ඈත අතීතයකට යයි. ඒ කාලයේ ඡායාරූප ශිල්පීන් බහුතරයක් සුදු ජාතීන් වූ අතර, යමක් කමක් ඇති පවුල් වල උදවිය සිය මංගල්‍ය උත්සවය මේ සුද්දෙකු ලවා එක් ඡායාරූපයකින් හෝ රූ ගත කරවා ගත්තෝ ය. මඟුල් ගෙදර සැවොම මිදුලට රැස් කර වා මේ ඡායාරූපය ගත් අතර, ඉඩ මදි නම් හෝ කැමරා කෝණයට බාධා වේ නම් හෝ වත්තේ වූ ප්‍රයෝජනවත් ගස් වුව ද කපා දමන්නට ඔවුන් පසුබට නොවූ හ.

කළුතර පලාතොට පාරේ රිච්මන්ඞ් කාසල් නම් වූ මාළිගාවක් වැනි රමණීය වලව්වේ පදිංචි ව සිටි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඩිකාර මුදලි තුමා සිය විවාහ මංගල්‍ය උත්සවය මුල සිට අග දක්වා ම ඡායාරූප ගත කරවූයේ ය. ඒ 1912 වසරේ දී ය. ඒ විවාහ මංගල්‍යයට පැමිණෙන අමුත්තන් සඳහා වෙනම ම දුම්රියක් යොදවා තිබූ අතර, කළුතර දුම්රිය ස්ථානයේ සිට මාළිගාව දක්වා අශ්ව කෝච්චි යොදා තිබිණි. කොළඹ ප්ලාටේ නම් ඡායාරූපාගාරයේ සේවය කළ සුදු ජාතික ඡායාරූප ශිල්පීන් විසින් ඒ සියල්ල ම ඡායාරූප ගතකළෝ ය. මේ උත්කර්ශවත් විවාහය ඉතාම අවාසනාවන්ත ලෙස කෙටි කළකින් ම නිමා වූව ද, අදටත් ඒ ඡායාරූප ඒ නිවසේ බිත්ති මත ප්‍රදර්ශනයට තබා ඇත්තේ ය. නිසි හිමි කරුවෙකු නොමැති බැවින් මහා භාරකාර තුමන් ගේ භාරයේ ඇති මේ දැවැන්ත මාළිගය ඔබට ද නැරඹිය හැකි අතර, නිසි අවසරයකින් පසු එහි දී ඔබට මංගල්‍ය ඡායාරූපකරණ වෙනුවෙන් ද භාවිතා කරන්නට පුලුවන.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත