මරදානේ ‘අයි පී බී’ එක කියන්නේ හැම කලා ශානරයකම වගේ දැඟලිල්ලක් තිබුණු කලා රංචු ගොඩබැහැපු තිප්පොළක්. තිප්පොළක් කිව්වට මේක ප්‍රින්ටින් ප්‍රෙස් එකක්. නාට්‍යයක නම් හෑන්ඩ් බිල් – සුවනියර් – පෝස්ටර් දක්වාත්, අනිත් අවශේෂ කලා නිමැයුම් වල මුද්‍රණ තීන්තෙන් පෙඟෙන ඕනෑම මුද්‍රාවක් නිමවුනෙත් ‘අයි පී බී’ එකේම තමයි. මේකේ මැනේජර් සෝමේ අයියා කොයි කලා කාරයාගේත් දුප්පතාගේ හිතවතා වෙලා හිටියෙ. ඒ කාලෙ ෆේස්බුක් නොතිබුණත්, මහාචාර්ය සරච්චන්ද්‍රගේ පටන් නාඹර විශවවිද්‍යාල ගැටයෙක් වුණ අශෝක හඳගම දක්වා හැම කලා සහ පුවත්පත් කලාවේදී චරිතයක්ම ‘අයි පී බී’ සොමේගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටියා. ඒ වගේමයි කවුරු අතින් වුනත් එළි දකින කලා නිර්මාණයක මුල්ම ප්‍රේක්ෂක, පාඨක, ශ්‍රාවක, සහ රසික තනතුර දැරුවෙත් ‘අයි පී බී’ සෝමේ.
මේ අසූව දශකයේ මුල් අවධියේ සිද්ධියක්. දවසක් මම අයි පී බී සෝමේ එක්ක සාමීචියක යෙදිලා ඉන්නකොට එතෙන්ට ආවේ අපේ කාගේත් ගරු කටයුතු පත්තර ගුරු දයාසේන ගුණසිංහ මහත්තයා. ඒ දවස් වල එතුමාගේ මුඛ්‍ය කටයුත්ත වුණේ සාර ගර්භ ආකාරයට සිළුමිණ පත්තරේ ශාස්ත්‍රීය සංග්‍රහය සංස්කරණය කරන එක. සොමේත් එක්ක ආ ගිය තොරතුරු කතාකරපු ගුණසිංහ මහත්තයා එක පාරටම සෝමෙ ගෙන් මෙහෙම ඇහුවා.
“ සෝමේ ඊයේ අපේ සිළුමිණ අතිරේකය කියෙව්වද?”
පත්තරේ ගත්තත් සෝමේ එක බලලා තිබ්බේ නෑ.
“ අද ගෙදර ගිහින් බලපන්. මම ඒකෙ දැම්මා කෙටි කතාවක්, මේ අළුත් කොල්ලෙක්ගේ. නම “චිත්‍ර ප්‍රදර්ශනය සහ පෙම් යුවළ.” කතන්දර කලාවෙන් පිට පන්නලා වෙනම ෆෝම් එකකට බස්සපු එකක්.”
“ ඒක ලියල තියෙන්නෙ කවුද?”සෝමේ ඇහුවේ කුතුහලයෙන්.
“ කපිල කුමාර කාලිංග, නුවර පැත්තේ කොල්ලෙක්, මට හිතෙන්නෙ ඌත් කවද හරි අපේ කල්ලියේම ඉඳියි.”
දයාසේන ගුණසිංහ මහත්තයා කිව්වා. එතුමාගේ විවරණයත් එක්කම මම දැන් ආපහු අවුරුදු ගාණක් පස්සට පනිනවා.
ඒ අපි මහනුවර ධර්මරාජේ නමයේ පංතියේ ඉගෙන ගත්තු කාලේ, අවසන් වාර දෙකට අපට සිංහල විෂයයට ගුරුවරයෙක් නැති වුණා. දවසක් විදුහල්පතිතුමා උසස් පෙළ පංතියක වැඩිමහල් අයියා කෙනෙක් අපේ පංතියට එක්ක ආවා. ඉදිරි වාර දෙක අපට සිංහල උගන්වන ගුරුවරයා ඔහු බවත්, ඔහු අප වෙනුවෙන් පැමිණෙන්නේ ඔහුගේ අධ්‍යාපන කටයුතු කරන අතරෙදි බවටත් කරුණු විදුහල්පති පැවසුමේ අඩංගු වුණා. එයාගේ නම කපිල කුමාර කාලිංග.
ඔහුගේ ප්‍රවිෂ්ටය අපේ පංතිය මොන වගේ හැඩයකට හරවන්න ඇතිද? ගුරුවරු උගන්නන වෙලාවටත් ඩෙස්ක් එක යට හංගගෙන ඩීමන් ආනන්දගේ පොත් බලපු කාලෙ තමයි ඒ. “ගං තෙර හොල්මන, මළ මිනියට හාද්දක්, විලිස්සන හිස් කබල, සිරා නොහොත් කහ බළලා, මහාචාර්ය ගොල්ගොතා, 019 ජේමිස් බණ්ඩා” පැලපදියම් වෙලා හිටපු අපේ ලෝකය ටිකෙන් ටික මිරිකලා පුංචි තිතක් බවට පත් කරන්න ඔහු ගත කළේ එක පීරියඩ් එකයි. අපිව එක සැරේටම මාර්ටින් වික්‍රමසිංහ පැත්තට යොමු නොකර කරුණාසේන ජයලත්ගේ නවකතාවල නිරූපිත පරාජිත ප්‍රේමය සහ බීර බෝතලේ ඩීමන් ආනන්දගේ කතාවලට වඩා අර්ථවත් බව ඔහු වටහා දුන්නා. ඉන් පස්සේ ක්‍රම ක්‍රමයෙන් මාර්ටින් වික්‍රමසිංහ ප්‍රමඛ ඒ.වී.සුරවීර, ජී.බී.සේනානායක, මක්සිම් ගෝර්කි, ඇන්ටන් චෙකොෆ්, ගොගොල්, ඔස්ත්රොව්ස්කි, ෆ්‍රාන්ස් කෆ්කා, සමර්සෙට් මෝම්, අර්නස්ට් හෙමිංවේ ඇතුළු විශ්ව සාහිත්‍ය කණ්ඩායමකට ඇතුල් වෙන්න පුංචි දොරටුවක් ඔහු නිර්මාණය කළා. ඒ කණ්ඩායමත් එක්ක එකතුවුණු කපිල අයියා, සිංහල විෂයයට අමතරව අපට ජීවිතයත් කියලා දුන්නා කිව්වා නම් තමයි හරි.
ඒ අපි නව යෞවන වියට පා තබමින් හිටි වකවානුවෙ කපිල අයියා විවර කරලා දුන්නු අලුත් කවුළුවෙන් ලෝකය දිහා බලන කොට අපි හිටියෙත්, ඉන්නෙත් මොන තරම් පුංචි පාඨක කොදෙව්වක ද කියන එක ඇත්තටම අපිට දැනෙන්න පටන් ගත්තා. ඒ කාලේ නාට්‍ය ලෝකයේ කිරළු දරපු දැවැන්තයෙක් වුණ උපාලි අත්තනායක මහතා තමා ලියූ නාට්‍ය පිටපතක් අරගෙන කොළඹ ඉඳන් නුවර ඇවිත් ධර්මරාජයේ ගැටව් ටිකක් එක්ක වුණා. ඔහුගේ සහයෝගය ඇතිව එය අධ්‍යක්ෂණය කළේ විද්‍යා අංශයේ ගුරුවරයෙකුව සිටි ජිනේන්ද්‍ර පතිනායක මහතා විසින්. ඒකෙ නම “අමුත්තා”. කපිල කුමාර කාලිංගත් ඒ නාට්‍යයට රංගනයෙන් දායකවුණු හැටි මට මතකයි. පස්සේ අපි උසස් පෙළට සංක්‍රමණය වෙනකොට ප්‍රාථමික පාසල්දිවියේ පටන් උසස් පෙළ අවසානය දක්වාම ධර්මරාජ පරිශ්‍රය ආශ්‍රිතව උඩු ගං බලා පිහිනමින්, අපේ ජීවිත පරිකල්පන අච්චුවේ හැඩය පවා වෙනස් කළ කපිල අයියා පාසැල් දිවියෙන් සමු අරන්.
ඔය කාල වකවානුවේදී ලංකාවට රූපවාහිනිය නම් වන සන්නිවේදන අතරමැදියෙක් ගොඩබහියි කියලා ආරංචියක්වත් තිබුණේ නැහැ. අපි කාගෙත් වීරත්වයේ සහ ආකර්ශනයේ මෙවලම බවට පත්වෙලා තිබුණේ හැම ගෙදරකම කැබිනට් එක උඩ තිබුණ රේඩියෝ පෙට්ටිය තමයි. ඒ කාලේ එක එක පවුල්වල වත්පොහොසත්කම් පවා තීරණය කළේ ඒ ගෙදර තිබුණ රේඩියෝ එකේ බාහිර භෞතික ප්‍රමාණය. එතකොට ප්‍රබලම සන්නිවේදන මාධ්‍යය තමයි ගුවන් විදුලිය. ඒ වෙනකොට “මුවන් පැලැස්ස“ දිවයින පුරා ශ්‍රාවක ප්‍රසාදය ඉහළින්ම හිමි කර ගත්ත රියැලිටිය කිව්ව නම් හරි. බෙහෙත් කොටන තුවක්කුවත් කරපින්නාගෙන විමසිලිමත්ව බැද්දේ අඩිපාරවල් දිගේ කදිරා ඇවිදින කොට අපිත් එයා පස්සෙන් යනවා වගේ දැනෙනවා. ඒ වික්ටර් මිගෙල් කියලා මොහොතකටවත් හිතුනේ නැහැ..ඒ වගේමයි විජේරත්න වරකාගොඩ කෝරළේ මහත්තයට පණ දෙනකොටත් එයාගේ මූණේ මැවෙන ගාම්භීරත්වයේ පිළිබිඹුව අපේ මනසේ සටහන් වෙලා ඉවරයි. ගැමුණු විජේසූරිය, නෙතලි නානායක්කාර, ධර්ම ශ්‍රී මුණසිංහ ඇතුළු අනෙක් ශිල්පීන් කණ්ඩායමත් මේ අයට දෙවෙනි වුණේ නැහැ. ඒ වයසේදී අපේ හිතේ මතු වුණ ලොකුම ගැටළුව ඒ ඒ නිරූපණයන්ට උචිත විදිහට මේ ගුවන් විදුලි පිටපත් රචනය කරන්නෙ කොහොමද කියන එකයි. මේක හරියට පොතක්, පත්තරයක්, කතාවක් කියෙව්වම ලැබෙන හැඟීමට, දැනීමට වඩා හාත්පසින්ම වෙනස් එකක්.
සතියකට වතාවක් දවසක රේඩියෝ එකේ ඇහෙන පැය බාගේ ගුවන් විදුලි රඟමඬලත් ඒ වගේම බාල මහලු අසන්නන් පිරිවරා ගත්තු එකක්. මාධ්‍ය ප්‍රවීණයෝ රචනා කළ ඒ නාට්‍ය නිෂ්පාදනය වුණේ සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, පී. වැලිකල වගේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකයන් අතින්. කෙමෙන් කෙමෙන් මේ නාට්‍ය රචකයන්ගේ නම් ලැයිස්තුවට කපිල කුමාර කාලිංග කියන නමත් එකතු වුණා. ඔහු රචනා කළ ගුවන් විදුලි රඟමඬලවල් අතර “වැස්ස” හැමදාම මගේ හිතේ තියෙන ගුවන් විදුලි රඟ මඬලක්. මොර සූරන වැස්ස වෙලාවක ඔබේම කාමරයේ තනිවෙන ඔබගේ හැඟීම් ඔබටම ශබ්දස්වරයෙන් අසන්න සැලැස්වූ ගුවන් විදුලි පිටපත තමයි “වැස්ස.” ඔය කාලයේදීම කොටස් වශයෙන් සතිපතා විකාශනය වුණු ගුවන් විදුලි නාට්‍යයක පිටපතක් ලිවීමේ වගකීම කපිලට පැවරෙනවා. ඒ ත්‍රාස රසය පදම් කොට අනා කුතුහලය නම් වාහකය ඔස්සේ රසඥතාවය ආමන්ත්‍රණය කරන්ට කපිලට ලැබුණු මා හැඟි වරම. නාට්‍යය – “මකරාගේ තානායම”.
මැදියම් රැයේ කත්මන්ඩු නුවර සිට මඩ දුවිලි අරක් ගත් කැලෑබද පාළු මාවතක් ඔස්සේ මකරාගේ තානායමට දිවෙන අශ්ව කරත්තයේ ගමන් විලාශය අපේ ඇස් ඉදිරිපිට ඇඳී අවසන්. මේ හොල්මන් මන්දිරයක් බඳු තානායමේ, තානායම් පල්ලාගේ චරිතය නිර්මාණය කරන්නට ඔහු ලද විශ්ව සාහිත්‍ය අභාෂයත්, දාර්ශනික දෘෂ්ටියත් මනා සේ ඉවහල් වෙන්න ඇති. එය ඒ තරමටම ජීවිත පරිඥානයෙන් අගතැන්පත්. විශේෂයෙන් එහි ත්‍රාස උත්පාදක වූ ‘ සුදු රැවුලා’ ගේ චරිතය ප්‍රතාපවත් වුණේ බණ්ඩාර විජේතුංග ගේ පෞරුෂය පිරි හඬින්. ( ධර්මසේන පතිරාජගේ “බඹරු ඇවිත්” චිත්‍රපටයේ ප්‍රචාරක මෙහෙයුමට හඬ දුන්නෙත් මේ බණ්ඩාර විජේතුංග ම තමයි ) ඇත්තෙන්ම ඒ දවස්වල ‘මකරාගේ තානායම’ ඇහුවා කියන්නේ “ඩ්රැකියුලා“ ෆිල්ම් එකක් බැලුවා හා සමාන වැඩක්. ඒ මැවෙන රූප ත්‍රිමාන චිත්‍රපටියකටත් වඩා ආකර්ශනීයයි නේද කියලත් හිතෙනවා. කපිල අති සියුම් ලෙස ගුවන් විදුලි කලාවේ අස්සක් මුල්ලක් නෑර ගවේෂණය කර, එහි මාත්තුව සොයා ගත්තා.
ඔය කාලෙම සිළුමිණ පත්තරේ නාට්‍ය දැන්වීම් තීරුවේ පුංචි දැන්වීමක් අපේ නෙත ගැටෙනවා. ඒ කපිල කුමාර කාලිංග අධ්‍යක්ෂණය කළ “බිංගේ“ නමින් යුත් නාට්‍යයක් ලුම්බිණි රඟහලේ වේදිකා ගතවෙන වග. අපි ඒ කිව්වේ කපිල අයියාගෙන් සිංහල ඉගෙනගත්තු කීපදෙනෙක් මේක බලන්න නුවර ඉඳන් කොළඹ එනවා. ඒ කාලේ හැටියට මේක වේදිකාවේ කළ අළුත් අත්හදා බැලීමක්. මම නීල් අලස් කියන නළුවා මුලින්ම දැක්කෙත් “බිංගේ“ නාට්‍යයෙන්. ඉන්පස්සේ අසූහතරේදී කපිල තම දෙවැනි වේදිකා රංගාවතරණය විදිහට ගේන්නෙ ඉයුජින් අයනේස්කො ගේ “රයිනෝසිරස්”. මේකේ පරිවර්තනය සහ නිෂ්පාදනය කපිල අතින්ම සිදුවෙනවා. ඉන් පස්සේ කපිලගේ “සිහින සාප්පුව“ නීල් අලස් අතිනුත්, “උක් දඬු ගින්න“ නිමල් ඒකනායක අතිනුත් වේදිකා නාට්‍ය දෙකක් ලෙස ජීවය ලබනවා. පස්සේ කපිල අසූහතේදී ඔහුගේ මී ළඟ වේදිකා වැයම “නෙළුම් පොකුණ“ නමින් ලුම්බිණියට රැගෙන එනවා. මෙයත් වේදිකා නාට්‍ය ආකෘතිය අතික්‍රමණය කළ නිෂ්පාදනයක්. මේ නාට්‍යය අවසන් වෙන්නේ ජයලත් මනෝරත්න සහ එච්.ඒ.පෙරේරා දෙපළ අත් අල්ලාගෙන “සත් පියුමින් සැදී පොකුණක් බලන්න අපි යනවා. කවුරුද එන්නේ – කවුරුද එන්නේ” ගීතය මුමුණමින් ප්‍රේක්ෂකාගාරයේ ආසන පේලි අතර ඇති හිස් තීරුවෙන් එලියට ඇවිදගෙන යාමෙන්. ඒ අවස්ථාවේදී මේ චරිත දෙකට පසුපසින්, එනම් වේදිකාව දෙසින් එල්ල කරන ආලෝක කදම්බය ප්‍රේක්ෂක අප වෙත රැගෙන ආ දිගු සෙවනැලි මගින් උද්දීපනය කරවූ අර්ථ රසය සිනමා රූපයකට සමීපයි කියලා මට හිතුණා. කපිලගේ නවතම වේදිකා නාට්‍යයත් “බැංකු වීරයා“ නමින් මේ දිනවල වේදිකාවේ දැකගන්න පුළුවන්. හොරෙක්වීම හොරකමට වඩා, ජනප්‍රියත්වයට සහ වීරත්වයට තුඩු දෙන අන්දමත් අවසානයේ එයම ඔහුගේ විනාශයට මුල් වන අන්දමත් නම් වන සනාතනික සහ සදාතනික ධර්මතාවය ප්‍රේක්ෂකයා සමග නාට්‍යමය අත්දැකීමක් ලෙස බෙදා ගැනීමට ඔහු සමත් කම් දක්වනවා. “නෙළුම් පොකුණ සහ බැංකු වීරයා” නාට්‍යද්වයේම ප්‍රචාරක කටයුතු සඳහා ඡායාරුප ගතකිරීම් කරන්න බාර වුණේ මට.
ඔහුගේ අනිත් නිර්මාණාත්මක ශක්‍යතාවය එළි දැක්වෙන්නේ ගීත රචකයෙක් විදිහට. දැනට කපිල රචනා කොට ඇති ගීත ප්‍රමාණය එතරම් ඉහළ ඉලක්කම් ගණනක නොවුනත්, ඒ විෂයයෙහි ඔහු දක්වන ප්‍රතිභාව නම් අති සාධනීය බව සටහන් කොට තැබිය යුතුමයි. කවුරුත් පාහේ ජීවිතයේ එක වරක් පමණක් අත්විඳින අත්දැකීමක සන්දර්භය සෞන්දර්යාත්මක ආකෘතියක් මත පිහිටුවා ඇති අයුරු මඳක් පිරික්සා බලමු. මේ අසූදෙකේදී විතර කපිල අතින් ලියැවෙන ගීතයක්. සියුම්ව මේ ගීතයට වචන අනුයුක්ත කොට ඇති අයුරු බලන්න. මෙහි තනුව නිර්මාණය කර ගායනා කරන්නේ එඩ්වඩ් ජයකොඩි සංගීතවේදියා විසින්. මෙහි ප්‍රස්තුතය විවාහ මංගල්‍යය උත්සවයෙන් අනතුරුව, මධුසමයේ තනිවෙන යුවලකගේ සිතිවිලි. ඕනෑම කෙනෙක් තම ජීවිතයේ නිදහසේ ගත කරන අන්තිම කාල පරාසයට තමයි මධුසමය කියන්නෙ. ඔහුගේ මේ ගීතමය අනුරුව කෙතරම් අපූරුද, අනික සංගීතය නිර්මාණය කරන ශිල්පියාටත් මනා සේ ඒ කටයුත්ත සඳහා ඉඩ හසර ලබාදීමක් මේ වචන මාලාව ඔස්සේ සිද්ධ වෙනවා කියලයි මට හිතෙන්නෙ.
වසන්තයේ අග හමුවෙමු සොඳුරිය
ළවැලි තලාවක විසුළ කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අලුතින් සුසුමක් ගෙන වෙන් වී යමු
ලා සඳ නැගෙනා
හෝරාවේ………….
ගිමන් නිවන්නට ජීවිතයේ
යළි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු යොදුන් ගෙවා
දොරගුළු හැරලමු අපි දෙ හදේ
හිනැහෙමු පෙර අප පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක් අපේ ලොවේ.
වචන කියෙව්වා නම් දැන් මොහොතක් මේ ගීතයට සවන් දෙන්න. මේ කපිල කුමාර කාලිංග ගේ පද මාලාවත්, එඩ්වඩ් ජයකොඩි ගේ සංගීත රචනය සහ ගායනයත්, උපාලි ආරියසිරි ගේ රූප රචනයත් එක්වූ මොහොතක්.
පුවත් පත් කලාවේදියෙක් විදිහට “දවස” “ලක්බිම” පුවත් පත් වල විශේෂාංග කතෘ පදවිය දැරූ කපිල ඊටත් සෑහෙන ඉතිහාසයක පටන්ම පුවත්පත් වලට කවි, කෙට්කතා, ශාස්ත්‍රීය ලිපි සැපැයූ ලේඛකයෙක්. ඔහුගේ අවසන් ශෂ්‍ය මාරුව සිදුවෙන්නේ වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයටයි. එක් ආයතනයක දිගු කලක් එක දිගට සේවයේ නිරත නොවීමේ ස්වයං තීරණය පෙරදැරි කරගත් කපිල, මා දන්නා තරමින් වෝල්ටර් තොම්සන් සහ ෆීනික්ස් ප්‍රචාරක ආයතන වලට සේවා දායකත්වය ලබා දුන්නෙත් සීමිත කාලයකටයි. නමුත් ඒ විෂයයට අවතිර්ණවූ ඔහු ඉතා සංයමයෙන් යුතුව ඒ ශිල්පය අධ්‍යනය කරමින් විධිමත් ලෙස එය හැසිරවූ බව ඒ ක්ෂේත්‍රයේ නියුතු බොහෝ ප්‍රවීණයන්ගේ පැවසුමක්. එවරෙඩි විදුලි පන්දම වෙනුවෙන් “රෑට පායන හිරු” තේමා පාඨය සහ ඩේවිඩ් පීරිස් ආයතනය වෙනුවෙන් “උජාරුවට යන්න – බජාජ් එකක් ගන්න“ වැනි වාණිජ තේමා පාඨ කපිලගේ පෑන් තුඩින් එළි බට ඒවායි. අවසන් වශයෙන් ඔහු මේ ක්ෂේත්‍රයේ සේවය කළේ “සැලසිනේ“ ආයතනයේ නිර්මාණ අධ්‍යක්ෂවරයා හැටියටයි. ඕනෑම ආයතනයක මේසයක, පුටුවක එක දිගටම සේවා සදන්නෙකු වෙන්නට දැඩි අකමැත්තක් දක්වූ කපිල ඒ ආයතන වලින් අබිනික්මන් කොට, පිටත සිට නිදහස් සේවා සපයන්නෙකු ලෙස පුවත්පත් වලට සහ වෙළඳ දැන්වීම් වලට තම නිර්මාණාත්මක දායකත්වය ලබා දුන්නා.
කපිල අධ්‍යක්ෂණය කළ මුල්ම ඒකාංගික ටෙලි නාටකයේ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස මමත් කටයුතු කළා. ඒකෙ නම “සමුගැනීමේ නවාතැන“. අසූනමය, රටම භීෂණයෙන් ගිලිලා තිබුණු වකවානුවේ නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශය ආශ්‍රිතව තමයි රූපගතකිරීම් කෙරුණෙ. හවස පහෙන් පස්සේ කිසිම කෙනෙක් ගෙවල් වලින් එළියට බහින්නෙ නැහැ. ගෙවල් එහෙම පිටින්ම අඳුරේ. කිසිම සද්දක් නැහැ. මට මතකයි කපිල දර්ශන තලයේදීම (on location) පිටපත අලුත්වැඩියා කළ හැටි.
“මුළු ලෝකෙම අළු පාටයි”
ප්‍රදීපා ධර්මදාසගේ දෙබසට අලුත් වචන හතරක් එකතු වෙනවා.
“ මම හිතන්නේ නිශ්ශබ්ද විලියම් ඉපදෙන්න ඇත්තෙත් මේ වගේ පැත්තක:”
එච්.ඒ.පෙරේරාගේ දෙබසටත් අලුත් වචන නාමයක් එකතු වෙනවා.
නිර්මාණශීලිත්වය යන්නට තවත් අටුවා ටීකා කුමටද?
මින් පස්සෙත් කපිල ටෙලි නාට්‍ය කීපයක්ම නිර්මාණය කළා. දනටත් ඔහු අඛණ්ඩව ටෙලිනාට්‍ය පිටපත් රචනයේ නියැලී සිටිනවා. ධර්මසේන පතිරාජගේ “පාරදිගේ” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකයෙක් ලෙස කටයුතු කිරීමත් ඔහුගේ කලා ශක්‍යතාවයන් ලද තවත් නිර්මාණාත්මක පන්නරයක්.
පසුගිය සාහිත්‍ය මාසයේදී ඔහු ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයෙන් වසරේ හොඳම නවකතාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන ස්වර්ණ පුස්තක සම්මානයට සහ ත්‍යාගයට උරුමකම් ලැබුවා. මා දන්නා තරමින් කපිල නවකතා රචනයට එළඹෙන්නේ, කලා කෙතේ අනෙක් සෑම වපසරියකම කරක් ගැහුවට පස්සෙයි. ඇත්තෙන්ම එයට නිමිත්ත වු “අදිසි නදිය” කියවන්න මා හට තවමත් අවස්ථාවක් නොලැබීම මගේ අවාසනාවක් වෙන්න ඇති. නමුත් එක දිගට ආයාසයකින් තොරව කියවාගෙන යා හැකි ඔහුගේ ප්‍රථම නවකතාව වන “පියසි කවුළුව” සහ දෙවැනි, තෙවැනි නවකතා වන “සැප්තැම්බරයේ දිග දවසක්, කන්දේ වීදිය” ත්‍රිත්වය මගේ ජීවිත පරිඥානය පුළුල් කළ කෘති ත්‍රිත්වයක්. තමා අවතීර්ණවූ සෑම කලා සහ මාධ්‍ය මාවතකම සන්සුන්ව ඇවිද ගිය කපිල, කිසි විටෙක තම ගමනට කුලුනු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් තොරාගත්තේ නැහැ. ඔහු තවමත් ගමන් කරන්නේ පටන් ගත් වේගයෙන්මයි. ඇත්තෙන්ම ඒ ඔහුගේ ක්‍රමවේදයයි.
කපිල කුමාර කාලිංග ඇතෙක් බරට කහවනු ලැබුවත් නැතත් ඔහු සැමදා එදා අපට සිංහල ඉගැන්වූ ගුරුවරයාම ය. අදත් අප දකින්නේ ඔහුගේ නිහතමානී කම මය. ඒ නොවෙනස් සිනහව මය. හුරු පුරුදු භාෂණය මය. සියල්ල වෙනස්වන ලෝකයේ කිසිදාක වෙනස් නොවෙන ඔහුගේ පෙනුම මය. කලා කෙතේ එකකට එකක් සමගාමීව විවිධ විෂයය මං පෙත් ගවේෂණය කරමින් නිර්මාණකරණයේ නිරතවුවත්, කෙටිකතා කරුවෙකු ලෙස ඒ ශානරය තුළ ඔහු ප්‍රකට කරන ප්‍රස්තුත ගවේෂණය, වස්තු බීජ විවරණය, චරිත අභ්‍යන්තර ගැටුම් විමසුම් මනසින් ප්‍රතිනිර්මාණය කිරීම සහ ටේබල් ටෙනිස් පන්දුවකටත් වඩා වේගයෙන් හසුරුවන වචනවල ඖචිත්‍යය දැනුදු ඉදිරි පෙළ මෙහෙවරකම නිරතවන වග නොකියා නොහැක්කේය. එදා දයාසේන ගුණසිංහ මහතා අයි.පී.බී. සෝමේ ට පැවසූ “චිත්‍ර ප්‍රදර්ශනය සහ පෙම් යුවළ“ කෙටි කතාවේ
ප්‍රස්තුතය සාරානාත් නම් චිත්‍ර ශිල්පියෙකුගේ චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීමට කලාගාරයකට ගොඩවන පෙම් යුවලකගේ හැසිරීමේ හරස්කඩක්. ඒකෙ පටන් ගැන්ම මෙහෙමයි.
“ඇත්තටම අපට නිශ්චිත අරමුණක් තිබුණේ නැත. කාලය ගතවුණේ, කාලයත් එක්කම ඔහේ ගැලත්ති ගැලත්ති සිටීමෙනි. අමාලිත් මාත් ඒ අපුරු කලාගාරයට ඇතුල් වුණෙත් වෙන කරන්ඩ දෙයක් තිබුණේ නැති මොහොතකය. අප එහි යනවිට, ඇතුළත ගෝලාකාර විදුලි පහන් දල්වා තිබුණි. එහෙත් පිටත එතරම් දැඩි අඳුරක් නොවීය. කෙසේ වෙතත් තව පැය බාගයකින් හෝ පැයකින් පමණ කලාගාරය වසා දමනු ඇත. ඊට පෙර උඩින් පල්ලෙන් හෝ චිත්‍ර නැරඹිය යුතුය. අද මෙම ප්‍රදර්ශනයේ අවසාන දවස බව, පුවරුවක සඳහන් වී තිබුණි.”
චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීම සහ කාලය ගෙවාගැනීම නම් වූ අවශ්‍යතා දෙකම පෙම්වතාගේ බඩු ලැයිස්තුවේ තිබුන ද, පෙම්වතිය ඔහුත් සමග මෙයට ගොඩවන්නේ පෙම්වතාගේ ඕනෑකමටම පමණි. පෙම්වතා චිත්‍ර රසවිඳින්නට දැඩි රුචියකින් පසුවන අතර, පෙම්වතිය ගේ සන්තානයට මෙය නුහුරු අත්දැකීමක් මෙන්ම දැඩි කැමැත්තකින් වියුක්ත වුවක්.
“අමාලි තාම්පුරාවක් සේ මොන මොනවාදෝ කොඳුරමින් මා පසුපස එන්නීය
“කාලය සහ මතකය”
සාරානාත් අපුරුයි ඔබේ වර්ණ රිද්මය, ඒ වුණත් සාරානාත්, මගේ හිතේ පැටලෙනවා දාලි ව. දාලි තමයි මිනිහා. දාලි ගේ ‘ද පර්සිස්ටන්සේ ඔෆ් මේමරී’. ඒ චිත්‍රයේ ඈතින් පේන්නේ මුහුදක්, දිරාගිය අත්තකින් පහළට රූරා වැටෙන ඔරලෝසුවක්.
‘අපි යමුද,……!’
අමාලි ඈනුමක් හරිමින් ඇසුවාය. අපි පිටවීම සඳහා ඇතුළුවීමේ දොරටුව වෙත ගියෙමු.
ප්‍රදර්ශන ශාලාවෙන් එළියට බට අපි අඳුරින් වැසුණු වීදිය දිගේ ඉහළට ගමන්කරන්නටවීමු. උසස්වීම් නොලබාම විශ්‍රාම යාමට ආසන්න මහළු පොලිස් භටයෙකු අප පසු කර රජගෙදර ගේට්ටුව දෙසට යයි.
කාලය, අවකාශය, පරිසරය, චරිත ස්වභාවයන්, ඒවායේ හැසිරීම් සහ උපකල්පනික යෙදුම්,- එදා දයාසේන ගුණසිංහ මහත්තයා නිරීක්ෂණය කරන්නට ඇත්තේ මෙයයි. එදා සිළුමිණ පුවත් පතේ පලවූ මේ කෙටිකතාව සහිත පත්තර පිටුව අදත් සුරැකිව මා සතුව ඇත. ඒ රචනා රිද්මය කපිල කුමාර කාලිංග ගේ විලාසයයි. ඒ රචනා විලාසයට අදත් මම බෙහෙවින් ඇලුම් කරන්නේ අපි උසස්වීම් නොලබාම විශ්‍රාම යාමට සදුසුකම් ලත් ගොන්නේ පසුවෙන අයවලුන් නිසයි.
2 Responses
කපිල ගුවන් විදුලි රඟමඬලේ කළ සමහර නාට්‍යය අදත් මගේ ඔලුවේ කැරකෙනවා. එකක් ‘රසල් ඇවිල්ලා ‘ අනිකේ නම අමතක වුනත් කතාවේ තිබුනේ පෙම්වතුන් යුවලක් ඉන්නා කාමරයක පොළොවේ පැල්මකින් යෝධ කාසියක් මතුවෙන කතාවක්. ඒක පවුමක්. එක පැත්තක රජතුමා අනික් පැත්තේ මකරා. කපිල මේ පිටපත් මුද්‍රණය කර හෝ ඉදිරියට ගෙනියනවා නම් අපූරුයි.
Nice piece of writing. Interesting.
Comments are closed.