සුන්දර කන්ද උඩරට අසුන්දර අමිහිරි මතක ඇතමුන්ට එක් කළ නිදහස ඇහිරු ඒ බිත්ති ඇති ගෙය සිපිරි ගෙය නම් විය. වර්ෂ 1876දී බ්‍රිතාන්‍යයේ පාලකයින් විසින් ඉදී කළ බෝගම්බර බන්ධනාගාරය ලෝක උරුමක් ලෙස සැළකේ. වසර 138කට වඩා ඉපැරැණි මෙම බන්ධනාගාරය ඉදි කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කළේ එවකට ප්‍රථම බන්ධනාගාර හා පොලිස් කොමසාරිස්වරයා වූ එන්. ආර්. සොන්ඩර්ස් මහතා යි. මෙහි ප්‍රථම ජේලර්වරයා ලෙස සැළැකෙන්නේ වෙලින්ටන් නම් තැනැත්තා යි. අතීතයේ මෙම ගොඩනැගිල්ලේ සියලු ඉදි කිරීම් සිදු කර තිබුනේ රජයේ වැඩ දේපාර්තමෙන්තුවෙන් වන අතර මෙම බන්ධනාගාරය සැකසීමට අවශ්‍ය පිඹුරු පත සකසන ලද්දේ ද එහිම සේවය කළ බ්‍රිතාන්‍යය ජාතික වයින් මහතා යි. එකළ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට ඇස්තමේන්තු ගත කළ මුදල රුපියල් ලක්ෂ 4 කට ආසන්න බව මුලාශ්‍රයන්හි සදහන් වේ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අණින් ඇහැලේපොළ කුමාරි හාමි දියේ ගිල්වා මැරූ බෝගම්බර වැවේ කොටසක් ගොඩ කරමින් සිරකරුවන් 90 දෙනෙකු ලවා මෙහී ඉදිකිරීම් කටයුතු සිදු කර තිබේ. වර්තමානයේ මහනුවර නගරය මධ්‍යයේ පිහිටියා වු වැව ඉන් අනතුරව ඉදි කර වුවකි. හෙක්ටයාර 5ක භුමි ප්‍රමාණය ක ඉදි වී තිබෙන බන්ධනාගාර ගොඩනැගිල්ල ඉතාමත් සුවිශේෂී එකකි. එයට හේතුව නම් එකම තනි අත්‍තිවාරමක් මත ඉදිකළ ආසියාවේ දිගම ගොඩනැගිල්ල මෙය වීමයි. සිරකරුවන් 400කට පමණ ප්‍රමාණවත් ඉඩ කඩ තිබුණ ද පසු කාලීනව මෙහි රැඳවියන් 2000කට ආසන්න ප්‍රමාණයක් තබා ගැනිණ. මෙහි තෙමහල් ගොඩනැගිල්ලක් තිබෙන අතර එය සිර මැදිරි 328කින් සමන්විත වේ.
බොගම්බර බන්ධනාගාරය තුළ සැරිසරන කාගෙත් දැඩි අවධානයට පාත්‍ර වන්නේ අධිරාජ්‍යවාදී සමයේ පටන් ක්‍රියාත්මක කළ එල්ලුම් ගසයි. වර්ෂ 1876ට පෙර මරණ දඩුවම ලබා දීමට යොදාගත් එල්ලුම් ගස ක්‍රියාත්මක කරනු ලැබුවේ මහනුවර වත්මන් වෙළද පළ ඉදිරි පිට ඇති හැග්මන්ස් හීල් නම් කුඩා කඳුගැටය මතයී. 1876 න් පසුව මරණීය දඩුවම ක්‍රියාත්මක කිරීම බන්ධනාගාරය තුළ ම සිදුවිය. මෙම එල්ලුම් ගසේ ඇති සුවිශේෂීත්වය නම් එකවර තිදෙනෙකු එල්ලා මැරිය හැකි ශ්‍රී ලංකාවේ එකම එල්ලුම් ගස එය වීමයී. 1876 සිට 1975 දක්වා මෙහී වැරදි කරුවන් 524 දෙනෙකු එල්ලා මරා තිබේ. මෙම බන්ධනාගාර පරීශ්‍රය තුළ එල්ලුම් ගස අභිමුඛයෙහි අවසන් වරට සුසුම් හෙළන ලද්දේ 1974 වසරේ මිනි මැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් සිපිරිගෙට එන ඩ්. ඒ. සිරිපාල හෙවත් මරුසිරා යි.
එකී මෙකී නොකී කතා රැසක් පොදි බැඳගත් එදා මෙදා තුර දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියු සිපිරිගෙය වර්තමානයේ නව දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත. අද වන විට බොගම්බර බන්ධනාගාරය නව සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත.