ආනන්ද භවන් එකේ තෝසෙ ගිළින දුටුගැමුණු ලා සමග හුළං ගහන එළාර ලා

යුද්ධය ඇතිවුණු හැම මිනිස් සමාජයකම ඊළඟට අලෙවි වන්නේ සාමයයි. බොහෝවිට එය යුද්ධයට වඩා අලෙවි වෙයි. හේතුව, යුද්ධ ඇති වන්නේ සියලු යුද කාරක භාණ්ඩ අලෙවි වීමෙන් අනතුරුවය. එනිසා පසුකාලීන යුධවාදී සමාජයක දී පහසුවෙන් අලෙවි කළ හැක්කේ සාමයයි. සාමය විවිධ මුහුණුවරින් අලෙවි වෙයි. එය ආගමික, සංස්කෘතික හා නිර්මාණාත්මක වශයෙනි. බොහෝ දෙනකුට රතුකුරුස හෝ පළමු හා දෙවන ලෝක සංග්‍රාම ඉතිහාසයේ යුද්ධ පමණි. එහෙත් ලංකාවේ ඇතිවුණු තිස් අවුරුදු යුද්ධයේ අත්දැකීම් වර්තමානයේ ජීවත්වන බහුතරයකට ඇත. එහි දී බිහි වූ නව පරපුරේ වෙළෙන්දා, සාම වෙළෙන්දා ය. මෙලෙසින් සාමය අලෙවි වුවද මෙතෙක් යුද්ධයෙන් බැට කෑ උන්ගේ හෝ යුද්ධය දිනා දී දී ඇතැම් එක්තැන් වූ වන්ගේ හෝ සිත් දිනා ගත් බවක් නොපෙනේ. උතුරු නැගෙනහිරට මංමාවත් පාලම් ගොඩනැගිලි හැදුවත් රණවිරුවන්ට රණවිරු ගම්මාන හැදුවත් ඔවුන්ගේ හදවත් හැබෑවට සතුටු කළ බවක් අපට නො පෙනේ.

කෙසේ වෙතත් සාමය තවමත් නාමික ය.

එහෙත් එය අසදෘශ්‍ය භාණ්ඩයක් වශයෙන් දෘශ්‍යමය ලෙසින් තවමත් විකිණෙමින් තිබේ.

මේ වෙලේ “ආලෝචනා” ට සාමය සිහිපත් වූයේ ඇයිද කියලා ඔබ සිතනවා ඇති. මේ කතාව මතුවෙන්නේ පරණ ගැයූ ගීත දෙකක් ඇසණු මොහොතක, සිත පුරා හීන් විදුලියක් වගේ කොටා යමින් ඇති කළ හැඟීමක් නිසා…

මේ ගීත දෙක ඇතැමෙකුට අනුව සුභාවිත හෝ බහුශ්‍රැත ගීත නොවේ. ඒවා වැටෙන්නේ පීචං ගණයටය. ගායකයා ද ප්‍රබුද්ධ ගීත ගායකයෙකු නොවේ. ඇතැම් ප්‍රබුද්ධයින් ට අනුව පේව්මන්ට් ගායකයෙකි. ඔහු දීපාල් සිල්වා ය. මා හැකි අයුරින් රචකයාගේ නම සොයා ගන්නට ගත් උත්සාහය දිගින් දිගටම ගැනීම නිසාම, මෙය ලියා තැබීමට ද ප්‍රමාද කෙරෙව්වේය. සාම වෙළෙන්දන්ට අසු නොවූ තැන් කීපයක් ඔහු ඔහුගේ දැනුමට අනුව අපට කියයි. එය ප්‍රබුද්ධ යැයි ලේබල් අලවා ගත්තවුන් දෙන ටොකු පාරකට වඩා ප්‍රබලය. හැබෑවට ම කියනවා නම් ජාතික ගීයටත් නටන උන් මඳක් හිතුවොත් මේක අප හැමෝටම දෙන මෝල් ගස් පාරකි. මේ මෝල් ගස් පාර තබා එය බොහෝ දෙනෙකුට වේවැල් පහරක් කරමින් හෝ නොදැනී ඇත්තේ, තවමත් මෙය නො අසා සිටින නිසා විය හැකිය. මට නම් හිතෙන්නේ ඇසුවත් ඇතිවිය හැක්කේ වෙනසක් ඇති නොවන බව ය. ඒ තරමටම අද අපි සියල්ල දත් හා සියල්ල අතහැර දැමූ වර්ගයකි. 

යුද්ධයට සාමය පතා සමහරු පිරිත් පැන් ඉසිති. සමහරු සුදු නෙලුම් කර තබාගෙන තවලම් ගියහ. තවලම් යාම නම් ඔවුන්ට කදිමට ගැලපෙන්නේ ඔවුන් කළ කී දෑ දෙස අද හැරී බලද්දී ය. දකුණින් උතුරට නෑ ගම් ගියත්, උතුරින් දකුණට නෑ ගම් ආවත් ඒවා ප්‍රචාර පඩංගු වල එතුණු දේශපාලන ව්‍යාපෘති වූයේය. එනිසාම ඒවා ඔය උතුරේ හෝ දකුණේ මිනිසාගේ හදවත සනසා ලූ යේ නැත. එය නොතකන දීපාල් සිල්වා කරන්නේ පුංචි සිදුවීම් දෙකක් ගීතයකට නැගීමයි 

“ආනන්ද බවන් එකට වැදී තෝසෙ ගිලිනවා 

එලියට ඇවිදින් යාපනෙ දෙමලුන්ට බනිනවා”

මේ ගීතය සාර්ථක සාහිත්‍යාත්මක ගීත රචනාවලියක් නොවේ. එහෙත් එය ගීතයක් වශයෙන් කෙනෙකුගේ ශ්‍රවණ මාධූර්යය ඇති නොකරතැයි කිව හැකි ද නොවේ. එහි ගලා යන ශබ්ද රසයට අවනත නොවූ සිතින් වචනාර්ථය ගත් කළ මේ රචකයා කියන්නේ මේ රටේ වත්මන් වීරෝධාර සිංහලයාගේ සංහිඳියාව සාමය සමානාත්මතාව හා අපි සිංහල බෞද්ධ යන සියලුම අනන්‍යතා ලකුණු නොවේද? මේ ගීතයේ පද හුදු දෙමළ මිනිසාට පමණක් නොව සිංහලයා ද සිදුකරන්නේ ය. සිංහලයා විසින් සිංහලයාට ද මෙය සිදු කරයි. මෙහිදී සිංහල යනු ශ්‍රී ලංකික යයි. සිංහල බස කතා කරන කතා කරන මහා ජාතිය යැයි කියාගන්නා එකා ආගමික වශයෙන් කුල වශයෙන් හා පන්ති වශයෙන් ද බෙදිලා ය. මුස්ලිමුන් යැයි කියා ගන්නා එකා ප්‍රදේශ වාදය අනුව බෙදිලා ය. මුතූර් මුස්ලිම් මිනිසා අම්පාරේ මුස්ලිම් මිනිසාට මට්ටයා ය. සමන්තුර මුසල්මානුවාට අක්කරේපත්තුව මෙන්ම කල්මුනේ ද ප්‍රදේශ වාදයට යටත්ය. උතුරේ දෙමළ මිනිසාට මඩකලපුවේ දෙමළ මිනිසා තමන්ට වඩා අඩුය. මේ දෙපැත්තේ ම එකාට වතුකරයේ හා යාපනයේ ඇතැම් ප්‍රදේශවල දෙමළ මිනිසා පහළ ය. කතෝලිකයන් අතරද එවන් බෙදීම් තැන් තැන්වල දක්නට ලැබෙයි. එසේ නම් අපි අපෙන්ම කා බී උදව් උපකාර අරගෙන ඔහුටම බැණ නොවැදී දැයි දැ? මේ අනුව දීපාල්ගේ ගීතය හුදු එකම ඉසව්වකට පමණක් කෝණ නො වේ.

මන්ද ඔහු එම ගීතයේ දී කියා පාන්නේ 

“හෙළයා හෙළයා හෙළයා හෙළයා” ලෙසට ය. හෙළයා යනු මේ රටේ වාසය කරන සියලු සිව් හෙළයාය ය. එසේම ඔහු සංහිඳියාව බිඳින අනතුර සුනාමි නලාවක් සේ හඬ නඟන්නේ;

“ජාතිවාදී ගින්නයි මේ එන්නේ ඇවිළී 

වෛර ක්‍රෝධ මතුවී මිනිසත්කම් යට වී”.

මෙය ඇත්තෙන්ම සුභාචිත ගීතයක් ලෙස කෙනෙකු නොසලකනු ඇත. එහෙත් මේ අදහස සුභාවිත නොවේ ද? සුභාවිත යනු ප්‍රබුද්ධ කියා අප පට්ටා ගසමු. එහෙත් සුභාවිත යනු ඉතා හොඳින් සේම බොහෝ විට භාවිතා කිරීම නොවන්නේ ද ? මේ අරුතින් මෙය මතුරක්සේ මැතිරිය යුතු පිරිසක් නොවේ ද මේ පේලි දෙක. අප හැමදාම කළේ මහජාතිය ලෙස සුලු ජාතියට ‘අයියා පාට්’ දැමීමත් තවත් සමහරක් තමන් සමාජවාදී හා ප්‍රබුද්ධ යැයි පෙන්වීමට මහ ජාතියට මෙන්ම සුළු ජාතියට ද මානුෂික අයිතිවාසිකම් ඇතැයි විකල්ප මත මෝස්තරවාදීව පැවසීමත් ය. මේවා කිසිදිනක යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී නොවූ හැසිරීම් ය.

එසේනම් නියම සංහිඳියාව හා සාමය ඇත්තේ ඊනියා වචන පිරවූ ගීතයක කවියක නාට්‍යයකට වඩා මිනිසාගේ හදවතින් ඉපදී කරන ක්‍රියාවලිය තුල ය. කවියෙන් ගීතයෙන් වෙනත් ලියමනකින් සාමය පිහිටුවන්නට ගිය හැමදාම සිදු කළේ අතේ පොල්ල තබාගෙන සතාට ඇඟිල්ල දිගු කිරීම ය. ඒ අනුව සැබෑ මිනිසත්කම මතුකරන්නට අපි අපේ කමට ගරු කළ යුතුය. අපේ කම යනු අපේ කුලය ජාතිය බස නොව මේ සෑම දෙයකින්ම සුසාග්‍රත වූ සැබෑ මිනිස් කමින් කටයුතු කිරීමයි.

දීපාල්ගේ දෙවන ගීතය කියන්නේ මීටත් වඩා නිර්මාණාත්මක සිද්ධියක් ය. එය නාට්‍යයක් ඇසුරෙන් ගායනා කරන ඔහු අපට මවා පාන්නේ ද වත්මන් සංහිඳියා නාටකයේ යටපත් කළ සැබෑ නාට්‍යයයි. 

“එළාර දුටුගැමුණු යුද්ධය තේමා වුණු

නාට්‍යයක් හැදුවලු ඉස්සර කාලේ 

දැන් කාලේ වගේමලු යුද්දේ කතා බලන්න ලු 

වැඩි දෙනා එකතු වුණේ 

 …..

මුහුණට මුහුණ ලා දෙන්න සටන් කරනවා

උඩ පැනපු දුටුගැමුණු ලාම්පුවට ගහනවා

කෑගහපු හූ කියපු හූ කියපු අය සයිලන්ට් වෙනවා

වේදිකාව කලුවරේම නොපෙනී යනවා 

නරඹන්නන්ගෙන් එළියක් කරළියට වැටෙනවා 

ටෝච් එළියට පැහැදිලිව දෙන්නාම පේනවා 

දෙන්නා ම ඇන තියාන මාරු වෙවී 

ලාම්පුවට හුලං ගහනවා”

එය ජාතිවාදී හැඟුමක් බිඳුවක් හෝ ගෑවිලා වත් ඇත්තේ නම් ඇත්තේ කුමන හෝ මුළාවකට හසුවන්නට ය. ඒ අප කාට කාටත් ඔහු නගන්නේ සදය වූ උපහාසයෙන් මයි. එයත් හරියට රූපවාහිනි⁣යේ දී ප්‍රේක්ෂකයින් ඉදිරියේ කෑ මොර ගසමින් උනුන් විනාශ කරගන්නේ දෙපිලක දෙදෙනෙකුට ලැබෙන විරාමයේදී කරට අත දමාගෙන එය බලන්නවුන්ට සිනාසෙන්නාක් මෙන් වූ ක්‍රියාවකි. එහෙත් මෙහි ඇත්තේ ඊට වඩා අර්ථවත් පණිවුඩයකි. එය ඊනියා දේශපාලකයන් ගේ මෙන් ඇන්දීමක් හෝ රැවටීමක් නොවේ. එය දෙදෙනාගේ ම සැබෑ කැපකිරීම වර්ණවත් කරවීමකි.

අනික් අතින් එය බුදු දහමේ ගැඹුරු පණිවිඩයක්ද මතුකරයි. ‘අනේ අනිච්චං’ යැයි නූගත් ගැමියා වුව ද වහරන බසේ ඇති සියල්ල අනිත්‍යයි යන්නයි. එම ගැඹුරේ අන්තයට නොගොස් යථාර්ථය ඉදිරියේ සිටගත යුතු වත්මන් අපගේ මිනිසා සිතිය යුත්තේ කුමක් ද? මේ ඇණ කොටා ගැනීම් කවර ජයක් උදෙසා ද? කුමන නැටුම් කෙළි කවට සිනා ද යන්න නොවේද මේ ප්‍රබුද්ධ නොවූ ගායනය ගීතය හා පදමාලාව යැයි ප්‍රබුද්ධ විචාරකයා ගේ අනන්‍යතා ලබන ගායකයා හා රචකයා සිදු කොට ඇත්තේ ?

මේ අනුව මේ ජාතිවාදය යනු නාඩගම කි. එය එසේ මෙසේ නාඩගමක් නොවේ. දේශීය ඉත්තන් යොදාගෙන ජාත්‍යන්තරව කෙරෙන වෙළෙඳ නාඩගමකි. දේශීය වශයෙන් පෙනී සිටින දේශපාලකයෝ මෙන්ම එන්ජීඕ කරුවන්ද මේ නාඩග⁣මේ වෙළඳ නියෝජිතයන් ය. එය හුදු මුදල් හා බලය මත කෙරෙන නාඩගම කි. එම නාඩගමට එහි පාරිභෝගික ජනතාව නො වී අප කළ යුත්තේ අපගේ නැතිවී ගිය මිනිසත්කමට හුලං ගැසීමයි. හුලං ගැසිය යුත්තේ පිපිරී යන ලෙස පිම්බෙන්න ට නොවේ. සියලු අතවර වලට සූරාකෑම්වලට රැවටීම් වලට මුහුණ දෙන්නට හැකි ශක්තියෙන් පිරී යාමටයි. එය අභියෝගයට අභියෝගයක් යන්න ට එහා ගිය ඇන්දවීමට අතුල් පහරක් යනුවෙන් සිතිය යුත්තකි.

මේ ගීතයෙන් නිරන්තරයෙන් ශ්‍රවණය වන්නේ නම් ප්‍රචාරණය විසින් අතරමං කොට ඇති, කරුවල් කර ඇති මිනිස් ප්‍රජාව ගේ මානසිකත්වය යළිත් පිබිදෙනු ඇත. අවම වශයෙන් ‘අපි කවුරු ද කියාවත් ඔවුන්ට සිතී යනු ඇත.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත