ගුණසිංහ මහත්මයා

පුරා තිස් වසරක් ම මා රැකියාව කළේ මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධවයි, ඒ දුර්ග මාර්ගය දිග එකක් වූ බව මට ටක්කෙටම කියා දෙන්නේ කැඩපතයි.

ඒ කැඩපතේ ඡායා සාදන බොහෝ දේ අතර මා දැන හැඳින- සිත් හසර ස්පර්ශ කළ බොහෝ දෙනා   සිටිති. ඒ ඡායා කීපයක් ගැන සටහන් තබන්නට අකුරු කිහිපයක් වැය කිරීම මැනැවයි හැඟේ.

මාධ්‍ය දිවියට අත තබන්නට මට බොහෝ සේ දායක වූයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයයි. විශ්වවිද්‍යාලයේත්, කලා පීඨයේ ගෙම්බා කැන්ටිම යි. දිවයින ශාස්ත්‍රීය අතිරේකයට ලිපියක් ලියා එය පළ වූ දින කැන්ටිමේ බොහෝ වේලාවක් ගත කළෙමි. මගේ මිතුරන් කවුරුන් හෝ ලිපිය කියවාවිදැයි දැනගැනීමට උනන්දුවෙන් වාඩි වී සිටියෙමි. කිසිවෙකුත් ඒ ලිපිය නොකියෙව්වත් ලොකු අකුරෙන් ලියා තිබුණු මගේ නම දැක කීප දෙනෙක් සුබ පැතූ බව මතකය. ඒ යුගය අපි බොහෝ දෙනා තුළ බලාපොරොත්තු ඇති කළ යුගයක් විය. ඊට හේතු වූයේ අලුත් ආරක පුවත්පතක් ලෙසින් “දිවයින” ආරම්භ වීමයි.

ඒ අලුත් ආරම්භය ගැන දකුණේ සිට කොළඹට පැමිණි, කිත්සිරි නිමල්ශාන්ත සහ ජයනාත් ගුණවර්ධන බොහෝ දේ කියා දුන්හ. ඒ කියූ දේ අතර සටහන් වු සුවිශේෂී ප්‍රකාශයන් වූයේ දයාසේන ගුණසිංහයන් සමඟ වැඩ කිරීමේදී ලද අපූර්වත්වයයි.

ලාංකීය පුවත්පත් ඉතිහාසයේ ඉන්ද්‍රඛීලයක් වූ දයාසේන ගුණසිංහයන් මට හමුවී ඇත්තේ දෙවරක් පමණි පළමු අවස්ථාව නම් 1986 දී ය .ඒ ඔහුගේ අදීනත්වය මැනවින් ප්‍රකට කරමින් ලියූ කතුවැකිය හේතුවෙන් අනිවාර්ය නිවාඩු යෑමෙන් දින කිහිපයකට පසුවය. හමුවූ ස්ථානය පිළිබඳව නිච්චියක් නැතත් සිදුවීම නම් මතකය. 1986 ජුනි මස දෙවන ඉරිදා දිවයින පුවත්පතේ කතුවැකිය පිළිබඳව, අයෝමය හස්තයකින් රට පාලනය කළ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රශ්න කොට තිබින. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා අදටත් ගැලපෙන අපූරු කියමනක් එදා ප්‍රකාශ කළේය. ‘තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගත යුතු’ බව විධායක ජනාධිපති රස්නයෙන් ඔදවැඩී සිටි ජයවර්ධනයන් කියා සිටි විට අදීන මිනිසෙකු වූ ගුණසිංහයන් හට එය දිරවාගත නොහැකි වූ තැන ඔහු තම පෑන මෙහෙය වීය. තමන්ගේ ආරක්ෂාව තමන් විසින් ම සලසා ගත යුතු බව කියන රාජ්‍ය නායකයෙක් කුමක් කළ යුතුදැයි ගුණසිංහ මහතා පහදා දුන්නේ ලුණු ඇඹුල් සහිතවය. රාජ්‍ය නායක කාර්යය නිසි පරිදි ඉටු කළ හැකි අයෙකුට වගකීම් භාර දී නිදා ගත යුතු බව ගුණසිංහයන් පැවසීය. සාපේක්ෂ වශයෙන් බලය හා කේවල් කිරීමේ හැකියාවක් තිබූ උපාලි විජේවර්ධන මහතා ගුණසිංහ මහතාට පඩි සහිත අනිවාර්ය නිවාඩු දී ජාම බේරා ගත්තේය. පසු කලෙක ‘කේතුමතී හෝටලයේ රාත්‍රියක්’ නම් කෘතියේ පෙරවදන ලියද්දෙී ඔහු මෙසේ පැවසීය. “හර්දය සාක්ෂියට එකඟව පුවත්පත් කලාවේ නිරත වීම හේතුවෙන් මා ලද අනපේක්ෂිත විවේකය මගේ සාහිත්‍යය මෙහෙවරට පමණක් නොව ජීවිතය හා මනුෂ්‍යයා පිළිබඳ ඉතා දුර්ලභ ගණයේ අත්දැකීම් සම්භාරයක් සපයනු ලැබීය”

දෙවෙනි වතාවේ ද මට දයාසේන ගුණසිංහයන් හමු වූයේ ඔහු දිවයින කර්තෘ තනතුරෙන් බැහැර වී ‘සිව්දෙස’ සඟරාව කරමින් සිටියදීය. මා එ කල, (90 දශකයේ මැද භාගයේ දී) කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ආචාර්‍ය තනතුරක්දරමින් සිටි අතර සිසුන් හා එක්ව මාධ්‍ය සම්මාන උළෙලක් සංවිධානය කිරීමේ වැඩ කටයුත්තකට අතගසා සිටීයෙමි. එහි ප්‍රධාන සම්මාන ලාභියා ලෙස දයාසේන ගුණසිංහයන් තෝරා ගැනුණේ ඒකමතිකව ය.

සම්මාන ප්‍රදාන උළෙල දා ගුණසිංහයන් කල්තියාම පැමිණි හෙයින් බොහෝ වේලා ඔහු සමඟ කතාබස් කිරීමේ අවසරය ලදිමි. එදා කතාබහට නිමිත්ත වූයේ මා අදත් දේශන වලදී උපුටා දක්වන ගුණසිංහ මහතාගේ කියමනකි.

“හරකෙක් කඹයකින් බැඳි විට හරකාට කඹය ලබාදෙන දුරට ගොස් තණකොළ කෑම කළ හැකිය. එසේත් නැත්නම් කඹය කණුව වටා ඔතා ගෙන ඒ සීමිත ප්‍රදේශය තුළ තණ කොළ කමින් සංතර්පණය විය හැකිය. මාධ්‍යයේදී නම් තේරීම ජනමාධ්‍යවේදියා සතුය”.

ගුණසිංහයන් හුවා දැක්වූයේ මාධ්‍ය නිදහස යන කාරණයේදී ජනමාධ්‍යවේදියාටත් භූමිකාවක් තිබෙන බවය. ගුණසිංහයන් මේ පිළිවෙත තදින්ම විශ්වාස කළ අයෙක් විය. දිවයින පුවත්පතෙන් ඉවත්ව යනවිට ගුණසිංහයන් කියා තිබුණේ ‘ජීවිතේ හැටි එහෙම තමයි’ යනුවෙනි. අසාමාන්‍ය පෞරුෂයකින් හෙබි ඇසූ පිරූ තැන් ඇති දයාලු ගුණයෙන් යුතු මිනිසෙකු වු  ගුණසිංහයන් හට එසේ කියන්නට සිදුවීම අප බොහෝ දෙනාගේ අභාග්‍යයකි. අප අද එහි පළ නො මඳ ව භුක්ති විදිමින් සිටිමු.

ඡායාරූපය අප වෙත ළබා දුන් භානු වත්තේගම මහතාට අපගේ ස්තූතිය

5 Responses

  1. මට ඔබව හොඳින් මතකයි. සුනිල් ජයරත්න, ජයන්ත අමරසිංහ, ෂමීන්ද්‍ර ප්‍රනාන්දු වැනි අය සමග. විශ්වවිද්‍යාලයෙන් ඔබ පිටවූ පසුත් හමුවුණා කොළඹ දී මට මතක ආකාරයට.

  2. මේ ලිපිය කියවීමෙන් දයාසේන ගුණසිංහ පිළිබඳ මගේ මතකය අවදි වුණා ….මුලින්ම මට ඔහු හමු වුණේ මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුව සිටියදී උකුස්සා කොලම සඳහා තොරතුරු ලබා දීමට ගිය අවස්ථාවේදී. තමන් ඒ කොළම ලියන බව නොකිවූ ගුණසිංහයන් පැවසුවේ හරි මම උකුස්සාට මේක දෙන්නම් කියලයි.
    අවසාන වතාවට මට ඔහු හමු වුණේ ගම්මාන පාරේ එතුමාගේ නිවසේදී…”සරණාගත කඳවුරේ යුවතියගේ මල්වර මගුල” කෙටිකතා පොතට පෙරවදනක් ලියා ගන්නට ගිය මා සමඟ බොහෝ වේලාවක් සිය අත්දැකීම් පවසමින් සිටියා. ගුරුතුමා මහත්තයා මං ගිහින් එන්නම් කියා මා පැවසූ පසු ඔහු කීවේ යන්නම ඕනේ නම් ඉතින් ගිහින් එන්න කියලයි …පෙරවදන ගන්නට ආපහු ඔහුගේ නිවසට යන්නට පෙර එතුමා එතුමා යන්නම ගියා.

    1. * ගුණසිංහ මහත්තයා මං ගිහින් එන්නම්.. ඉහත කොමෙන්ටුවේ voice typing කරද්දී ගුණසිංහ, ගුරුතුමා වෙලා.

  3. ගුණසිංහ මහත්තයා ගැන මතක් වෙච්ච එක ලොකු දෙයක්- බුද්ධි

  4. ගුණසිංහ මහත්තයා ගැන මතක් කිරීම ගැන සතුටුයි. ඒත් එක කරුණක් නිවැරැදී කළ යුතුයි. ජේ.ආර්. ගැන කතුවැකිය සිද්ධියට වන විට උපාලි විජේවර්ධන ජිවතුන් අතර සිටියේ නැහැ. සමහර විට ඔහු ජිවතුන් අතර සිටියා නම් ඒ සිද්ධිය එසේ නොවන්නටත් ඉඩ තිබුණා.

Comments are closed.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත