ශ්‍රී ලංකා ටෙලි නාට්‍ය කළා ඉතිහාසයේ පරම්පරා විශ්ලේෂණය

රූපය යන්න විශ්ව භාෂාවක් යන්න විවාදාත්මක ප්‍රකාශනයකි. රූපයක් වටහා ගැනීමට (කියවීමට) ප්‍රේක්ෂකයා සතු සංජානන හැකියාව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. රූප රාමුවට හසුවන ප්‍රදේශය තීරණය වන්නේ කැමරාව පිහිටුවන ස්ථානය හා කැමරා කාචයේ නාභිදුර අනුවය. නාභිදුර හෝ කැමරාව පිහිටුවන ස්ථානය අනුව රූපයෙන් ප්‍රකාශිත අරුත වෙනසකට ලක් වීමක් සිදු වේ. සැබෑ ලෝකයේදී මෙන් පංචේන්ද්‍රියන් හරහා සැබෑ ජීවිතය වටහා ගැනීමට හැකියාවක් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මගින් නොලැබේ. නමුත් රූපවාහිනියේ හෝ සිනමාවේ රූපයට ජීවය ලබා දෙනුයේ චලන රූප මගිනි.  

කලකට පෙර ගෙදරක රූපවාහිනී යන්ත්‍රයක් තිබීම ආඩම්බරයක් මෙන්ම සමාජ තත්වයක් පෙන්නුම් කරන්නක් විය. එවකට අවට නිවැසියෝ ද වැඩසටහන් නැරඹීමට රූපවාහිනියක් ඇති නිවසකට එක් රොක් වූහ. එදා එය රූපවාහිනිය අයිතිකරුට ගරුත්වයක් ලබා දුණි.

1982 පෙබරවාරි 15 වෙනි දින ජාතික රූපවාහිනිය 1982 අංක 6 දරණ පාර්ලිමේන්තු පනත යටතේ ස්ථාපිත කෙරිණි. පවුලේ වැඩසටහන් සඳහා විකාශ කාලයක් ජාතික රූපවාහිනිය මගින් වෙන් කර දීම සමාජ අර්ථ ක්‍රමයේ පරිවර්තනයක් ලෙස සැලකිය හැකිය. ටෙලිනාට්‍ය කලාව එවකට  රූපවාහිනී විකාශ කාලය තුළ ප.ව.08.30 සිට 09.00 දක්වා වූ අඩ හෝරාවක කාල සීමාව, කාල සීමාව වෙන් කිරීම මෙරට විනෝදාශ්වාදය මෙන්ම පවුල් සංස්තාව තුළද වෙනත් සමාජ සටහනක් තැබීමක් විය. ජාතික රූපවාහිනියේ විකාශය වූ පළමු ටෙලිනාට්‍යය “දිමුතු මුතු” ය.

ඉන් පසු  “ළාහිරු දහසක්” පරාක්‍රම නිරිඇල්ල විසින් අධ්‍යක්ෂණය කර ප්‍රේක්ෂක සමාජය වෙත තිළිණ කළ ඉතා අපූර්ව අත්දැකීමකි.

මෙම ටෙලිනාට්‍ය නිරන්තරයෙන් මුහුණපාන ගැටලුවක් වන ප්‍රේක්ෂක සමීපතාව අඛණ්ඩව රැකගත් ටෙලිනාට්‍යයක් වීම නිසාම ඊට පසු නිර්මාණය වූ “යශෝරාවය”,“බුමුතුරුණු”, “අඹයහළුවෝ”, “ගම්පෙරලිය”, “මවකගේ ගීතය”, “චරිත තුනක්”, “සුදු කපුරු පෙති”, “ගජමන් නෝනා”, “සෙනුරි”, “දූලි පින්තාරු”, “රන්සිරිමල්” යනාදී මාලා නාට්‍ය හා “විශ්වාන්තර” ඒකාංගික ටෙලිනාට්‍ය මාලාව විසින් ටෙලිනාට්‍ය පටන් ගත් මොහොතේ සිට අවසානය දක්වා ප්‍රේක්ෂක අවධානය හා කුතුහලය රඳවා තබා ගැනීමට සමත් විය. නමුත් වේදිකාව හෝ සිනමාව තුළ ප්‍රේක්ෂකයා රැඳී සිටින්නේ වෙනම ම ප්‍රේක්ෂකාගාරයකය. මෙම රැඳවීම නිසා තිරය මත හෝ වේදිකාව මත දකින කලා කෘතිය කෙරෙහි ප්‍රේක්ෂකයා සාමූහික සංවේදිතාවයක් දක්වයි. නමුත් තමාගේ නිවසේදී ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂකයාට එය සාමූහික අත්දැකීමකට වඩා පෞද්ගලික අත්දැකීමක් බවට පත් වෙයි. ටෙලිනාට්‍යයක් නරඹන අවස්ථාවේ නිවසේ පවතින තත්ත්වය ද, ප්‍රේක්ෂකයාගේ පෞද්ගලික තත්ත්වය ද, ටෙලි නාට්‍ය ග්‍රහණය කර ගැනීමේ වපසරියට බලපානු ලබයි. ටෙලිනාට්‍ය කලාව චිත්‍රපට කලාවේ මූලික මාධ්‍ය වූ දෘශ්‍ය රූපයත්, ගුවන්විදුලි නාටකයේ ප්‍රකාශන මාධ්‍ය වූ ශ්‍රව්‍ය රීතියත්, වේදිකාවේ මූලික ප්‍රකාශන මාධ්‍ය වූ රංගන රටාවත් එකට මුසුකර ගත් විශේෂිත වූ කලාවකි. ටෙලිනාට්‍යකරුවා මෙකී මූලික සිද්ධාන්ත කේන්ද්‍රීය කොටගෙන රූපවාහිනිය ඔස්සේ කතාවක් පවසයි. ශ්‍රී ලාංකික ගැමි සංස්කෘතිය තුළ කතා කීමේ කලාව ඉතා ඈත අතීතයේ සිට ප්‍රචලිතව පැවති එකකි. මාගේ මතකයේ හැටියට අපි කුඩා කල ආච්චි අම්මාගෙන් කතාවක් අසා නින්දට යාමට පුරුදුව සිටියෙමු. එහි එන චරිත ටෙලිනාට්‍යයක රූප හා සමකළ හැකිය. එකී චරිත සියල්ල මා සිතෙහි ඉතා අපූරුවට චිත්‍රණය වේ.මෙය එදා මා සිතින් නැරඹූ “චිත්ත රූපවාහිනියයි.” මේ හැරුණු කොට පොදු ස්ථානවල රඟමඩලට රැස් වුණු කතාකරුවන් කියු කතාද මා අසා ඇත්තෙමි. අතීතයේදී කතා ඇසීමට තවකෙකු වටා රැස් වූ පිරිස වර්තමානයේ රොක් වන්නේ රූපවාහිනී යන්ත්‍රය වටාය. මෙසේ රූපවාහිනියේ ටෙලිනාට්‍ය විකාශය ආරම්භ වීමෙන් පසුව ග්‍රාමීය කතා කියන්නන්ද අසන්නන්ද රූපවාහිනියේ පොදු ප්‍රේක්ෂකයා බවට පත්විය.

ආරම්භයේදී ටෙලිනාට්‍ය සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවකට සීමා වුවද රූපවාහිනී යන්ත්‍රවල ව්‍යාප්තිය සමග එහි ඇදහිය නොහැකි වර්ධනයක් ඇති විය. එදා ගුවන්විදුලියේ විකාශය වූ මොණරතැන්න, මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍ය සඳහා එක්වූවාසේම, ටෙලිනාට්‍ය නැරඹිම සඳහාද ප්‍රේක්ෂාමය සමාජයක් නිර්මාණය විය. මේ පසුබිම නවතම කලාවේ ආකෘතික හැඩගැස්මට හිතකර පසුබිමක් උදා කළේය.

ඒකාංගික ටෙලිනාට්‍ය කිහිපයකට පසුව “දිමුතු මුතු”, “ළාහිරු දහසක්” ටෙලි නාට්‍ය ජාතික රූපවාහිනියෙන් විකාශය වීම මේ නවතම ප්‍රකාශන මාධ්‍යයේ සමාරම්භය සනිටුහන් කිරීමයි. ආරම්භයේදී මෙම ටෙලිනාට්‍ය කොටස් 28කට සීමා විය. මෙලෙස ඇරඹුණු ප්‍රාසංගික ටෙලිනාට්‍ය කලාවේ තීරණාත්මක කාර්යභාරය පැවරුනේ ජාතික රූපවාහිනියටයි. “ටෙලිනාට්‍ය” යන වචනය අපට දායාද කළේ ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයේ ආරම්භක ප්‍රධානියා වන ධම්මජාගොඩයන් විසිනි.

 වසර 5 ඉක්ම යන්නට පෙර වේදිකා නාට්‍ය, චිත්‍රපය යන කලාවන් අභිබවා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තේය. මෙසේ ප්‍රාසංගික ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක සමූහයකගේ විඥාණය කෙරෙහි සාධනීය බලපෑමක් ඇති කිරීමට සමත් විය. ආරම්භයේදී සීඝ්‍රයෙන් වෙනස්වන සමාජ, සංස්කෘතික, දේශපාලනික, ආර්ථික ව්‍යුහයක සිර වූ ජනතාවට ආස්වාදයක් ගෙන ඒමට තරම් ටෙලිනාට්‍ය සමත්වීම නිසාම, ස්වභාවයේ ගතිකයන් නිරවුල්ව හා යථාවාදීව විශ්ලේෂණය මගින් සමාජ ප්‍රගමනයට දායක විය යුතුයි යන කලාව සුරක්ෂා කිරීම අවැසි බව සංකල්පීය ලෙස ගොඩනැගුණි. මෙම හැඩතල නිර්මාණය කිරීමේ අභියෝගය පැවරුණේ ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශයටයි. මෙම අභියෝගය භාරගත් අයවලුන් අතර ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් හැරුණුකොට ආරම්භක අවදියේ ටෙලිනාට්‍ය කලාවට සම්බන්ධ වූවන් අතර, බහුතරය වුයේ නාට්‍යවේදීහුය.

  ධම්ම ජාගොඩ, පරාක්‍රම නිරිඇල්ල, ලූෂන් බුලත්සිංහල, බන්දුල විතානගේ, තිලක් ගුණවර්ධන, වේදිකාවෙන් ටෙලිනාට්‍ය කලාව වෙත අත්පොත් තැබුවෝ වූහ.

දෙවැනි පරම්පරාවේ නිර්මාණකරුවන් අතර ටෙලිනාට්‍ය නිර්මාණ කෙරෙහි වැඩිම දායකත්වයක් දැක්වූ විමලරත්න අදිකාරි මනුෂ්‍ය සම්බන්ධතා අනුවේදනීය අයුරින් ගවේෂණයට ලක් කළ ටෙලිනාට්‍යකරුවෙකි. ටෙලිනාට්‍යයේ ජනප්‍රිය ලක්ෂණ නැවුම් මුහුණුවරකින් ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නයක සිඩ්නි චන්ද්‍රසේකර නිරත විය. මීට අමතරව මහාචාර්ය ආරියරත්න ඇතුගල, ජයන්ත චන්ද්‍රසිරි,සුදත් රෝහණ හා නාලන් මෙන්ඩිස් , දයාරත්න රටගෙදර , සිඩ්නි චන්ද්‍රසේකර ආදී වූ දෙවෙනි පරම්පරාවේ ස්වාධීන නිර්මාණකරුවෝ වෙති. 90 දශකයේ මැද භාගය වන විට පෞද්ගලික රූපවාහිනී නාලිකා කරළියට පැමිණීමත්, ටෙලිනාට්‍ය නිර්මාණය කෙරෙහි තරගකාරීත්වයක් ගොඩනැඟීමෙහිලා හේතු සාධක විය. ටෙලිනාට්‍ය කර්මාන්තයක් ලෙස ස්ථාපනය වන්නේ මේ කාලවකවානුව තුළදීය. රූපවාහිනී නාලිකා අතර, ටෙලිනාට්‍ය විකාශය කර ගැනීමේ තරඟය ඇතිවීමත් සමඟ ගුණාත්මක බව නොව ප්‍රමාණය ටෙලිනාට්‍ය නිෂ්පාදනයේ අගය ද ක්‍රමයෙන් පහළ වැටෙන්නට විය. අඩු වියදමින් වැඩි කොටස් ප්‍රමාණයක් අඩු කාලයකදී නිමකිරීම කර්මාන්තයේ ප්‍රමිතිය බවට පත් විය. මෙය ටෙලිනාට්‍ය කලාවට ඇති වූ අර්බුදකාරී තත්ත්වයකි. මෙම තත්ත්වය 2000 වසර ආරම්භ වනවාත් සමගම ඇති විය. සිංහල දෙබස්කැවූ ඉන්දීය දීර්ඝ ටෙලිනාට්‍ය විකාශය ඇරඹීමත් සමග ටෙලිනාට්‍ය ගුණය, හරය පිළිබඳ අර්බුදය වඩා තීව්‍ර වන්නට විය. ඊට පිළියමක් ලෙස ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍යකරුවා දීර්ඝ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්නට ඉදිරිපත් වූහ. මෙම දීර්ඝ ටෙලිනාට්‍ය බිහිවීමේ ප්‍රවණතාව වඩවඩාත් ප්‍රවර්ධනය කිරීමට ලාංකේය ටෙලිනාට්‍යකරුවා ඇපකැප විය. මොවුන් බොහෝ දෙනෙකු ගුරුකොට ගත්තේ දීර්ඝ ටෙලිනාට්‍යයේ නිෂේධනීය ලක්ෂණය. මුල් කාලයේදී දීර්ඝ ටෙලිනාට්‍ය ප්‍රථමයෙන් විකාශය වූයේ ජාතික රූපවාහිනියේය. ඒ අතර “දූ දරුවෝ” සහ “සෙනෙහෙවන්තයෝ”  වැනි නිර්මාණ ගුණයෙන්, හරයෙන් ද සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතිණ. පසුකාලීනව දීර්ඝ ටෙලිනාට්‍ය තුළ අභව්‍ය හුදු සංවාද පමණක් මූලික කරගත්, ඉතා ආධුනික බවක් දක්නට ලැබුණු රගපෑම්වලින් යුක්ත වූ ටෙලිනාට්‍ය බිහිවන්නට විය. මෙසේ අංගසම්පූර්ණ තිර රචනයකින් තොරව එදිනෙදා දර්ශන තලයේ ස්වභාවය අනුව කෙරෙන වෙනස්වීම් සහිත වූ ටෙලිනාට්‍ය ප්‍රවණතාව, කලාත්මක හැඩතල මූලික කරගත් ටෙලිනාට්‍ය කෙරෙහි එල්ල කරනු ලබුවේ බලවත් අභියෝගයකි. මෙම ටෙලිනාට්‍ය වාණිජ අරමුණු ප්‍රමුඛ කොට නිර්මාණය වීමත් සමග ප්‍රේක්ෂකයාගේ අරමුණ බැහැර කොට, හුදු හිස් සංවාදවලින් හා කතා රටාවලින් යුත් අර්ථ ශූන්‍ය නිර්මාණ බවට පසුව පත්වේ.

දෙවන කොටස

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත