තීර්ථ යාත්රිකයාගේ විසිරුනු සිතුවිලි

සරච්චන්ද්‍රයන්ගේ “මළගිය ඇත්තෝ” සහ “මළවුන්ගේ අවුරුදු දා” මට මුන ගැහෙන්නේ වයස අවුරුදු දාහතේ දි.  

ලමාවියත්, යෞවන වියත් අතර ගන්ධබ්බ අවධියේදි. ඒ මම, රියුනොසුකෙ අකූනගාව ගේ ‘ලැහැබකදී’ දී (පසු කාලයක අකිරා කුරෝසාවා නිර්මානය කළ ‘රශෝමොන්’ චිත්‍රපටයට පාදක වුන එක කෙටි කතාවක්) ‘ජිගොකුහෙන්,  land of Kappa ආදි කෙටිකතා කෙටි නවකතා කියවා මත්ව සිටි අවධියයි

ප්‍රේමය නම් නුහුරු, නුපුරුදු, නොයෙක් හීනවලින් මනස වසඟයට ගන්නා, ආගන්තුක එළඹුම ලැජ්ජාශීලිව බලාපොරොත්තුවෙන් සිටි මම, මෙම නවකතා දෙකේ වාක්‍යයෙන් වාක්‍යයට ආසක්තව එහි කිමිදී සමවැදුනා යැයි කිව හැකියි.

එතෙක් මෙතෙක් වේගයෙන් අවුරුදු ගසාගෙන යද්දී මම මගේ උපන්දින සනිටුහන් කලේ, එදිනට, චාරිත්‍රයක් පරිදි මෙම නවකතා දෙක පරිශීලනය කිරීමෙන්. ‘මළගිය ඇත්තෝ’ හි ආබාධිත සෙබළා ගයනා;

මම දුප්පත් හිඟන කෙනෙක්
යන්තමින් දෙවේලෙ යැපෙන
ඒ අය නම් පොහොසත් අය
පළඳින හොඳ සිනිදු ඇඳුම්…….

…………………………………………

ඉක්මනින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්නට හැකි
මළගිය ඇත්තන් කැටුව ම……

තරම් තවත් තැනක් මහද සසල නොකරන තරම්; වචන වල අරුත කුමක් වුවත්, දෙවෙන්දොරා සං අත්විඳින වික්ශෝභය, වචන වලින් ඔබ්බට ගිහින් චිත්ත සන්තානයේ අදුරුම තැන් ඒකාලෝක කොට විදහා පාන අයුරු, වෙන නවකතාවකදී මම අත්දැක ඇත්තේ ඉතා කලාතුරකින්.

ඔබ භීම්පලාසි රාගයේ තුම්රි වාදනයක් හෝ ගායනයක් අසා සිටී නම්, ඊට සමවැදී ඒකාත්මික වුනේ නම්, ඊට පසු
කෙනෙක් එම වාදනයේ / ගායනයේ පනිවිඩය/තේරුම ඇහුවොත් ඔබ වික්ෂිප්ත වෙනවා.

මොකද ඔබ ඊට සමවැදී ලබන ආනන්දය/ප්‍රඥාව තාර්කික,සූත්‍රගත විද්‍යාවන්ට බොහෝ එපිටින් තියෙන
අවස්ථාවක්,සතියක් බැවින්. 

හිතාමතා ම තාර්කික ප්‍රායෝගික තීරන මග අරිමින්, දෙවෙන්දොරා සං ජීවිතය හරහා යන ගමන් අපට ලබාදෙන ආනන්දනීය ප්‍රඥාව,තාර්කික වචන සහ වාක්‍ය යන සීමිත රාමුව පිමිපෝරුවක් ලෙස භාවිතා කරමින් අපට විදාරනය කර සරච්චන්ද්‍රයන්   කරන්නේ බෝධිසත්ව ක්‍රියාවක්. ලොකු කුඩා අනේකවිධ සිදුවීම් අතරින් ගලායන දේවේන්ද්‍රගේත්, (දෙවෙන්දොරා සං) නොරිකොගේත් ඉරනම්, කිසියම් නිශ්චිත අන්ධ අවසානයකින්( dead end) කෙළවර වන්නේ ඔවුන් ඊට එරෙහිව ගත හැකි සියලු පියවර ගනිද්දී.

දශක තුනක් තිස්සේ යළි යලිත් පූර්ව  නිශ්චයන්ගෙන්
තොරව කියවන්නට උත්සාහ දැරූ මුත්,  මාගේ තාර්කික මනසට මේ ශෝකාන්තය සූත්‍රගත කර, විසඳා අත පිසදා ගැනීමට බැරි වෙලා.

වසර තිහක් තිස්සේ අධ්‍යයන මංපෙත් ජයගනිමින්, අනේකවිධ විශය පථයන් ඔස්සේ දැනුම සහ තාක්ශනික ශක්‍යතා ලගා කර ගනිමින් ප්‍රේමයන්, වියෝවීම්, හිත් කඩාවැටීම්, විවාහය, දරුවන්, දිනෙන් දින වගකීම් වැඩි වෙන රස්සාව ආදී නොයෙක් අංශ ඔස්සේ අත්දැකීම් බහුල වීත්,  දෙවොන්දරා ටත් නොරිකොටත් වෙන දේ මෙන්න මේ කියා මටම පහදා දී ගන්න බෑ.

හැබැයි මේ දීර්ඝ කාලය පුරාම නිරීක්ශනය කර දේ නිසා මට මේ ශෝකාන්තයත්, ශෝන් පෝල් සාත්‍රේගේ “හෙවනැලි නැති මිනිස්සු” (Men without shadows) ධර්මසිරි බන්ඩාරනායකගේ “ධවල භීශන” ත් අතරේ කිසි වෙනසක් පේන්නෙ නෑ; “මළගිය ඇත්තෝ” සෙන් බුදු දහමේ බලපෑම  මොනවට ප්‍රකට කරන නවකතාවක්. ධවල භීශන සාංදෘශ්ඨිකවාදී නාට්‍යයක්. 

එතකොට ඇත්තටම අපට අපගේ ඉරනම (පුද්ගල ඉරනම /සමාජ ඉරනම) වෙනස් කළ නොහැකි ද? උපනිශද් වල එන පරිද්දෙන් සියල්ල විය යුතු ආකාරය තීරනය වී හමාර ද? අප නිකම්ම නිකම් එහෙ මෙහෙ ඇදෙන ඉත්තන්ද , ඉමක් නොපෙනෙන ශ්‍රව්‍ය දෘශ්‍ය කාව්‍යක? ………………… .

තෝකියෝ නුවර; වසන්ත සමය.

බැලූ බැලූ අත සකුරා මල්  

නූතන යුරෝපීය ඇඳුමෙන් මෙන්ම කිමෝනා ඇදගත් ජපන් ජාතිකයෝ, පන්සල් වතු වල, මල් උද්‍යාන වල,කෝපි හල් ඇති වීදි දිගේ රංචු ගැසී වස්සාන සමය තව තවත් උද්දීපනය කරද්දී………

හුදෙකලා මම,

දෙවෙන්දොරා සං මෙන්, ඔවුන් අතරේ….. 

දෙවෙන්දොරා, නොරිකො වෙස්මුහුනු  හුවමාරු කර ගන්නට  ඈත්තේ
කොයි හරියේද? නකජිමා සොහොන කොහේ නම් ඇතිද?

( ලේඛකයාගේ ඉල්ලීම පරිදි මේ ලිපියෙහි අක්ෂර වින්‍යාසය සංස්කරණයෙන් තොරව එලෙසින්ම ඉදිරිපත් කොට ඇත)
ඡායාරූපය – හේමන්ත අරුණසිරි)
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත