සිනමා ලෝකය යනු එහෙම පිටින්ම කෘතිම දෙයකි. මායාවකි. මිනිස් ඇසේ පවතින සුවිශේෂී ගුණයක් වන “දෘෂ්ඨියේ අඛණ්ඩතාවය” උපයෝගී කොටගෙන නිශ්චල රූප පද්ධතියකට චලනය ලබා දීම මගින් චිත්‍රපට නිර්මාණය කෙරේ. ඒ අනුව අප සජීවී කලා මාධ්‍යයක් ලෙස සැලකුවද සිනමාව යනු එහැම පිටින්ම මායාවකි. ප්‍රක්ෂේපිත රූපාවලියකි.
දෘෂ්ඨියේ අඛණ්ඩතාවය (Persistence of Vision) යනු මිනිස් ඇසේ පවතින සුවිශේෂී ගුණයකි. මිනිස් ඇසට පෙනෙන රූපයක් තත්පර දහ අටෙන් එකක කාලයක් තුළ ඇසේ දෘෂ්ඨි විතානය (Retina) මත තැන්පත් වේ. එනම් යම් වස්තුවක් එක් මොහොතකදී දර්ශනය වී ඉවත් වුවද ඉවත් වූ මොහොතේ සිට තත්පර දහ අටෙන් එකක කාලයක් ඉක්ම යන තුරු අපගේ මතකයේ තැන්පත් වේ. සිනමා පටයක සෑම රූප රාමු දෙකක් අතර ඇති කළු තීරුව අපට නොපෙනෙන්නේ එහෙයිනි.
සිනමාව කලාවක් වන්නේ සිනමාකරුවා තුළ පවතින නිර්මාණාත්මක ගුණය මගින් ප්‍රේක්ෂකයාගේ භාවාත්මක හැඟීම් අවදි කොට ඔහු කිසියම් මනෝ ලෝකයක සිර කරමින් ඔහුගේ පරිකල්පනය මෙහෙයවීමේ හැකියාව මතය. එය සජීවී කලා මාධ්‍යයක් වන්නේ ඒ අරුතිනි.
ලෝක සිනමාවේ දේශපාලනික චිත්‍රපට
මැක්සිම් ගෝර්කිගේ එනමින් යුත් නවකතාව ඇසුරින් 1926 වසරේදී පුඩොව්කින් අධ්‍යක්ෂණය කළ අම්මා චිත්‍රපටය පසු කලෙක සුවිශේෂී ධාරාවක් ලෙස අනන්‍යතාව ගොඩනඟා ගත් දේශපාලන සිනමා ප්‍රවාහයක තිඹිරිගෙය ලෙස සැලකිය හැකිය.
1925 වසරේ දී අයිසන්ස්ටයින් නිර්මාණය කළ “Battleship Potemkin” නම් මූ චිත්‍රපටිය මේ සඳහා අඩිතාලම සකස් කළ බව කිව යුතුය. පොටෙම්ප්කින් නෞකාවේ නාවිකයන් විසින් ඇති කරන ලද කැරැල්ල මැඩ පැවැත්වීම තේමා කොටගත් මේ චිත්‍රපටය න්‍යායාත්මකව දේශපාලන සිනමාවක පිඹුරුපත් සැකසීය.
පුඩොව්කින් නිර්මාණය කළ Mother (1926), The End of St.Petersburg (1924) සහ Storm of Asia (1928) වැනි චිත්‍රපට ද අයිසන්ස්ටයින් නිර්මාණය කළ “Battleship Potemkin” (1925), “October” (1928) සහ The General Line (1929) වැනි චිත්‍රපටද යථාර්ථය චිත්‍රපට මාධ්‍යයේ අවියක් කොට ගෙන සිනමා කලාව පෝෂණය කිරීමට දායක විය. ඇලෙක්සැන්ඩර් දොව්ෂෙන්කෝගේ Arsenal (1929), Earth (1930) සිනමා කෘතිද කතානාද යුගය එළැඹීමට පෙර බිහිවූ විප්ලවීය තේමාවන් රැගත් කැපී පෙනෙන රුසියානු චිත්‍රපට විය.
දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව ලතින් ඇමරිකානු සහ කියුබානු අධ්‍යක්ෂකවරුන් සිය අත්දැකීම් ප්‍රකාශ කිරීම සඳහා සාධු සම්මත ලෙස ස්ථාවර වූ සිනමාත්මක හා සෞන්දර්යාත්මක සීමාවන්ට අභියෝග එල්ල කරන්නට වූ අතර බ්‍රසීලයේ ග්ලෝබර් රෝෂා (Glauber Rosha), කැනඩාවේ ගිල්ස් ග්‍රව්ල්ක්ස් (Gills Groulx) සෙනෙගල්හි ඔස්මානේ සෙම්බීන් (Ousmane Sembene), ආර්ජන්ටිනාවේ ෆර්නැන්ඩෝ සොලනාස් (Fernando Solanas) කියුබාවේ ග්‍රාසියා එස්පිනෝසා (Gracia Espinosa) වැන්නෝ මෙහිදී මූලිකත්වය ගත්හ.
එසේම කල් ගත වෙද්දී කියුබානු චිත්‍රපටකරුවෙකු වූ සන්තියාගෝ අල්වාරේස් (Santiago Alvares) දේශපාලන සිනමා සම්ප්‍රදාය වඩාත් විප්ලවීය ආකාරයකට ව්‍යාප්ත කළහ.
“සිනමාව වූ කලී සංස්කෘතියේ ප්‍රකාශනයකි. එමෙන්ම එය දේශපාලන විමුක්තියෙහිද අවියක් වන්නේය” යනුවෙන් Groulx කළ සඳහන ද “මගේ හැම චිත්‍රපටයක්ම හදන්නේ ජනතාව සඳහා ය. ජාතිවාදී සංස්කෘතියක් සඳහාය. ධනේශ්වර ප්‍රේක්ෂකයන්ට ඒවා තේරුම් ගැනීමට අසීරු නම් එසේ වන්නේ ඔවුන්ට ජනතාවාදී සංස්කෘතිය නොතේරෙන නිසාය.” යනුවෙන් වූ Rocha ගේ ප්‍රකාශයද “කැමරාව වූ කලී ක්ෂය කළ නොහැකි අපසර්ජනය පිළිබඳ රූප ආයුධයක් ය. “ප්‍රක්ෂේපණ යන්ත්‍රය වූ කලී තත්පරයකට රූප රාමු විසිහතරෙන් වෙඩි තැබිය හැකි තුවක්කුවකි” යන Solanas ගේ නිර්වචනයද දේශපාලන සිනමාව පිළිබඳ ඔවුන් වෙත වූ දැඩි අභිලාෂය කියා පායි.
ප්‍රංශයට එරෙහි ඇල්ජීරියානු විමුක්ති සටන පාදක කොටගෙන ඉතාලි ජාතික මාක්ස්වාදියෙකු වූ Gillo Pontecorvo 1966 දී නිර්මාණය කළ The Battle of Algiers අතිශය දේශපාලනික චිත්‍රපටයකි. විමුක්ති සටන ඇති වූ බිම් වලදීම, සැබෑ සිදුවීම් වලින් අනතුරුව වැඩි කල් ගත වන්නට පෙර නළු නිළියන් යොදාගෙන මෙම චිත්‍රපටිය ඒ ආකාරයෙන්ම රූගත කොට තිබිණ.
ලතින් ඇමෙරිකානු සිනමාකරුවකු වූ ආජන්ටිනාවේ ෆර්නැන්ඩෝ සොලනාස් 1968 දී නිර්මාණය කළ Hour of Furnace (උදුන දැල්වෙන පැය) චිත්‍රපටය ආජන්ටිනාවේ පැවති ඒකාධිපති පාලන ක්‍රමයේ කෲරත්වය හා ආර්ජන්ටිනාවේ ජනතාවගේ විමුක්ති අරගලය පදනම් කොට ගත්තේය.
1972 දී පමණ චිලියේ මිගූඑල් ලිටින් අධ්‍යක්ෂණය කළ “පොරොන්දු දේශය” නම් වූ චිත්‍රපටය 1930 ගණන්වල දී චිලී ඉතිහාසයේ සමාජවාදී යුගයක් ආරම්භ කරන්නට ගොවීන් හා කම්කරුවන් දැරූ ප්‍රයත්නයත් එය අසාර්ථක වීමට හේතූත් විග්‍රහ කරයි.
මෙම චිත්‍රපටය නිර්මාණය කෙරුණේ සැල්වදෝර් අයියන්දේගේ පාලන සමයේදීය.1973 දී අයියන්දේ ඝාතනය කොට පිනෝෂේ විසින් රාජ්‍ය බලය පැහැර ගැනීමෙන් පසුව මේ චිත්‍රපටයේ රඟපෑම නිසා සමහර නළු නිළියන්ට වධ බන්ධනයට ලක්ව වද විඳ මැරුම්කෑමට සිදුවිය. අධ්‍යක්ෂවරයාට රටින් පලායාමට යන්තමින් අවස්ථාව සැලසිණි.
1968 දී කියූබාවේ නිෂ්පාදනය වූ තෝමස් ගැතීරස් අලියාගේ “Memories of Under Development” චිත්‍රපටිය පශ්චාත් විප්ලව සමයේ කියුබානු සමාජය පෙළූ ගැටලු, ප්‍රතිවිරෝධතා හා සමාජ යථාර්ථය නිරූපණය කළේය. විප්ලවයත් ඒ කෙරෙන් ජනිත වන නව සමාජ යථාර්ථයත් ගැඹුරින් හා වාස්තවිකව ගවේෂණය කිරීම මේ චිත්‍රපටයෙන් සිදුවිය.
1967 දී ප්‍රදර්ශනය වූ බ්‍රසීල චිත්‍රපටයක් වන ග්ලෝබර් රෝෂාගේ Tera Em Transe (පීඩාවට පත් දේශය) මහා පරිමාණ, දැවැන්ත ශිල්පෝක්‍රම සමෝධානයක් වූ දේශපාලන චිත්‍රපටයකි. ලතින් ඇමරිකානු සමාජ රටාවේ පැලපදියම් වී ඇති දේශපාලන ආගමික හා සංස්කෘතික තලයන්හි පවතින මතිමතාන්තර, ආරවුල් පිළිබිඹු කරන මෙම චිත්‍රපටය රුසියානු “බැට්ල්ෂිප් පොටෙම්ප්කින්” මෙන් ශිල්පීය න්‍යායාත්මක ක්‍රමවලින් නිර්මිතය.
පෝලන්ත සිනමාකරුවකු වූ andrzej Wajda (අන්ද්‍රේ වජ්ඩා) සිය චිත්‍රපටිවලින් ඓතිහාසික හා දේශපාලන සංසිද්ධීන් පිළිබඳ අවධානය යොමු කළේය. “Man of Marble”, “Man of Iron”, “Danton” යනු වජ්ඩා අධ්‍යක්ෂණය කළ දේශපාලන චිත්‍රපට වේ.
1975 දී ඉතාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක Francesco Maselli (ෆ්‍රැන්සෙස්කෝ මැසෙල්ලි) නිර්මාණය කළ ඓතිහාසික-දේශපාලනික චිත්‍රපටයක් වන Sospetto(The Suspect), ෆැසිස්ට්වාදය හමුවේ කොමියුනිස්ට් සටන්කාමීන්ගේ ක්‍රියාකාරීත්වය පාදක කොට ගනු ලැබීය.
1975 දී තිරගත වූ ඇල්ජීරියානු-ප්‍රංශ දේශපාලන චිත්‍රපටයක් වූ “Z” (ඉසෙ(z)ඩ්) කොස්ටා ගව්රාස් කොන්ස්ටන්ටීන්ගේ අධ්‍යක්ෂණයකි. එය ග්‍රීසියේ මර්ධනකාරී රෙජිමේන්තුවට චෝදනා පත්‍රයක් විය.
චෙකොලොස්වාකියානු කොමියුනිස්ට්වාදීන් එකොළොස් දෙනෙකු ඇමෙරිකානු රාජ්‍ය තන්ත්‍රය සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් ඝාතනය කරනු ලැබීමේ සත්‍ය සිද්ධිය පාදක කොටගෙන 1969 දී නිර්මාණය කළ “The Confession” ද ටුපැමාරෝ ගරිල්ලාවරු හා සංවිධානයේ ආශිර්වාදය ලද උරුගුවේ රෙජිමේන්තුව අතර ගැටුම පාදක කොටගත් “State of Siege” ද ගව්රාස්ගේ චිත්‍රපට වෙයි. 1973 දී චිලී දේශයේ ඇලෙන්ඩා පාලනයට එරෙහිව ඇමරිකානු උදව් ලැබූ පිනොෂේ මෙහෙය වූ කැරැල්ල පාදක කොටගත් “The Execution of Charles horman” නැමැති නවකතාව අනුසාරයෙන් 1981 දී ඉංග්‍රීසි භාෂාවෙන් Missing චිත්‍රපටය නිමවූ කොස්ටා ගව්රාස් අතිශයින්ම දේශපාලන සිනමාකරුවෙකි.
ආසියානු කලාපයේ රටවලින් බිහිවූ දේශපාලන සිනමාවකට නෑකම් කියන චිත්‍රපට කිහිපයක් වේ. ලතින් ඇමරිකානු රටවලින් බිහිවූ සෘජු හා ගැඹුරු දේශපාලන තේමාවන්, කතිකාවන් හා සංසිද්ධීන්ගෙන් යුතු චිත්‍රපට මෙන් නොව ආසියානු කලාපයේ දේශපාලන සිනමාව ඊට වඩා වෙනස් මඟක් ගනියි. හුදු දේශපාලකයෙකුගේ චරිතයක් දේශපාලන සිදුවීමක් පාදක කොට ගත් පමණින් එය දේශපාලන චිත්‍රපටයක් වන්නේ නැත.
1950 දී සිදු වූ “White Terror” (ධවල ත්‍රස්තය) නමින් හැඳින්වූ දේශපාලනික විපර්යාසය පාදක කොටගෙන චිත්‍රපට කිහිපයක් බිහි විය. Hou Hsino Hsien ගේ “Good men, Good women”, Wan Jen ගේ “Super Citizen Ko” ධවල ත්‍රස්තය පදනම් කොට ගත් අතර Hsu Hsiao Ming ගේ “Heart Break Island” 1979 දී තායිවානයේ දක්ෂිණ නගරයක් වන කායෝසියුංග් හි ඇති වූ ෆොමෝසා සිද්ධිය නිරූපණය කළේය.
පිලිපීන ජාතික සිනමාකරුවකු ලීනෝ බ්‍රෝකා ද දේශපාලන චිත්‍රපට ගණනාවක් නිර්මාණය කළේය. සිනමාව යනු සමාජ මෙහෙවරක් බවද, සිනමාව කතා වස්තුවක මූලික අධ්‍යාශය විය යුත්තේ නිර්ධන භාවය නොව නිර්ධන භාවයේ හේතු ප්‍රත්‍යයන් ගවේෂණය කිරීම බවද පැවසූ බ්‍රෝකා අධ්‍යක්ෂණය කළ “Dirty Affair” පිලිපීන රාජ්‍යතන්ත්‍රය හා එහි දේශපාලනය වෙනුවෙන් උපන් භාවමය උද්වේගයක් ලෙස නිර්මාණය වූවකි.
1951-53 කාලයේදී ජපානයේ කියෝතෝ විශ්ව විද්‍යාලයේත්, ශිෂ්‍ය ව්‍යාපාරයේත්, නායකයකුව සිටි, රාජ්‍ය මර්ධනය විසින් ශිෂ්‍ය ව්‍යාපාරය තලා දැමූ අවදියේ ශිෂ්‍ය ජීවිතය හැර දමා චිත්‍රපට නිර්මාණයට අවතීර්ණ වූ නගීසා ඔෂීමාගේ “The Sun’s Burial” හා “Night and Fog in Japan” කාලීන දේශපාලන ප්‍රශ්න තේමා කොටගත් චිත්‍රපට වෙයි. 1968 දී නගීසා ඔෂීමා අධ්‍යක්ෂණය කළ “Death by Hanging” නැමැති චිත්‍රපටය රාජ්‍යයත්, රාජ්‍ය සතු පීඩාකාරී අන්තනෝමතික බලයත් විවේචනය කරයි.
භූගෝලීය මෙන්ම සංස්කෘතිමය වශයෙන්ද අපට වඩාත් සමීප ඉන්දියාවේ බිහිවූ දේශපාලන චිත්‍රපට අතර 1970 ගණන් වලදී මිර්නාල් සෙන් අධ්‍යක්ෂණය කළ “කල්කටා 71” හා “පදතික්” නැමැති බෙංගාලි චිත්‍රපට සඳහන් කළ යුතුය.
“කල්කටා 71” චිත්‍රපටයේ අඩංගු හැම කතාවක්ම දිළිඳුකම හා එහි ප්‍රතික්‍රියා නිරූපනය කරයි. පවුලක් මෝසම් වැසි කාලයේදී පීඩනයන්ට නිහඬවම මුහුණ දෙන ආකාරය රැගත් පළමු කතාව මෙන් නොව අවසාන කතාවේදී මේ කතා එකිනෙක ඈදන පුද්ගලයා ප්‍රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා දක්වා ඝාතනයට ලක්වේ.
පදතික් යනු ගරිල්ලා භටයාය. හිරෙන් පැන යන දේශපාලන අන්තවාදියෙකු ධනේශ්වර වටපිටාවේ තම දේශපාලන ව්‍යාපාරය ප්‍රශ්න කරනු ද රහසිගත ව්‍යාපාරය හෙළිදරව් කරනු ද මෙම චිත්‍රපටයේ දක්නට හැකිය.
දිළිඳුකම හා සූරාකෑම ඉන්දීය සමාජයේ බිහිසුණු ජීවන යථාර්ථයක් වශයෙන් සලකා එම කටුක යථාර්ථය අවංක ලෙසත් සමාජ දේශපාලන දැක්මක් ඔස්සේ ප්‍රකාශ කිරීමට මිර්නාල් සෙන් උත්සාහ කළේය.
කල්කටා නගරය කේන්ද්‍ර කොටගෙන නිර්මාණය කළ “ඉන්ටර්විව්”, “කල්කටා 71”, “කෝරස්”, “පදතික්” නිසැක වශයෙන්ම දේශපාලන නැඹුරුවක් ප්‍රකට කරයි.
ඉන්දීය සිනමාව තුළ සුවිශේෂී අනන්‍යතාවය සනිටුහන් කරමින් කැරලිකාර ලෙස චිත්‍රපටකරණයේ යෙදුණු ඝටක් ඉතා පැහැදිලි ලෙසම දේශපාලන සිනමාකරුවෙකි.
1953 දී බෙංගාලි බසින් නිමවූ “නාගරික්” (පුරවැසියා) චිත්‍රපටයෙන් විවරණය වන්නේ රැකියාවක් සොයා යන තරුණයකුගේ කතාවකි. යහපත් ජීවිතයක් ගැන සිහින දකින තරුණයා සෑම සම්මුඛ පරීක්ෂණයකින් ම බලාපොරොත්තු අලුත් කරගනී. අවසානයේ දී යථාර්ථයට මුහුණ දෙන ඔහුගේ පවුල විනාශ මුඛයට තල්ලු වී යයි. ඔහු ඉදිරියේ ඇති එකම පිළියම වන්නේ ප්‍රචණ්ඩතාවය හෝ විප්ලවයයි.
ඝටක්ගේ විශිෂ්ටතම සිනමා කෘතිය වශයෙන් ගැනෙන “මේඝ ධකා තාරා” (වළාකුලින් වැසී ගිය තාරකාව) චිත්‍රපටය නැගෙනහිර පකිස්ථාන අනාථයන්ගේ ඉරණම දැක්වෙන අයුරින් නිර්මිත අතර බෙංගාලය දෙකඩ වීමේ කටුක යථාර්ථය වාස්තවිකව නිරූපණය කරයි.
ඔහුගේ අවසන් චිත්‍රපටය වන්නේ රජයට එරෙහිව ආයුධ සන්නද්ධ අරගලයේ යෙදී සිටි තරුණ පිරිසක් පාදක කොට තැනූ “ජුක්කි තාකෝ ඕ ගපු” (විවාදය සහ කතාව) ය. එය නිසැක වශයෙන්ම ඉන්දියාවේ නැක්සලයිට් ව්‍යාපාරය ගැන කෙරුණු බැරෑරුම් සහ සංකීර්ණ විවරණයකි.
ඝටක්ගේ ගෙන් පසු ඉන්දීය සිනමාවේ දේශපාලන චිත්‍රපට නිර්මාණය කළ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන්නේ ගෝවින්ද් නිහලානි සහ කේ. ඒ. අබ්බාස්ය.
දේශපාලන ප්‍රවේශයකින් හා සංවේදීතාවයකින් යුතු සිනමා කරුවකු වූ ගොවින්ද් වාරණයට ගොදුරුවිය. ඔහු අධ්‍යක්ෂණය කළ “තමාස්” (අන්ධකාරය) චිත්‍රපටය හින්දු-සික් ඝට්ටනය හා පංජාබ් අර්බුදයේ මුල් අවධියේ ජාතිවාදී පෙළඹවීමක් උත්සන්න වූ ආකාරය විග්‍රහ කළ ප්‍රබල ප්‍රකාශනයකි.
ගොවින්ද් නිහලානිගේ “ද්‍රෝහ කාල්” (ද්‍රෝහී වීමේ අවස්ථාව) චිත්‍රපටයට පාදක වන්නේ ත්‍රස්තවාදයයි. ත්‍රස්තවාදී සංවිධානයකට රිංගා එය විනාශ කිරීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පැවරෙන වගකීම අනුසාරයෙන් ඉදිරිපත් වුවද ආඛ්‍යාන ඉක්මවා යමින් දූෂණය, මංකොල්ලකෑම, මරණීය තර්ජන නිසා නොමඟ ගිය මුළු මහත් සමාජ ක්‍රමයම හෙළිදරව් කිරීමට මෙහිදී උත්සාහ ගෙන ඇත.
නැක්සලයිට් නමින් කේ. ඒ. අබ්බාස් නිර්මාණය කළ චිත්‍රපටය හැඟීම්වලින් ආවේශ වුණු දේශපාලන දර්ශනයකින් තොර අතිධාවනකාරීන් රැසක් සිය අරමුණු සාක්ෂාත් කර ගැනීමට දරන්නා වූ උත්සාහය තේමා කොට ගනී.
කල්කටාවේ හැඟීම්බර තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, පාදඩ පංතියේ මිනිසුන්, රික්ෂෝ පදවන්නන් වැනි පීඩිත කොටස් තුවක්කු හා අත් බෝම්බ කෙරෙහි විශ්වාසය තබා කරන අති ධාවනකාරී විප්ලවයක් ගැන කියවෙන මේ චිත්‍රපටය පැහැදිලිවම දේශපාලන චිත්‍රපට ප්‍රවාහයට අයත් වේ.
සිංහල සිනමාවේ දේශපාලනික චිත්‍රපට
සමාජයේ පවතින පන්ති විෂමතාව හේතුවෙන් මතුවන සූරාකෑම, දරිද්‍රතාවය, විරැකියාව වැනි සමාජ ප්‍රශ්න යථාර්ථවාදී ව විග්‍රහ කිරීමෙන් නොනැවතී ධනේෂ්වර ක්‍රමය ඉදිරියේ තරුණ පරම්පරාව මුහුණ දෙන ජීවන අතෝරයන් පිළිබඳ යථාර්ථය වාස්තවිකව නිරූපණය කළ ධර්මසේන පතිරාජගේ “අහස් ගව්ව” සිංහල සිනමා වංශයේ දැනුවත් දේශපාලන දැක්මක් හා පිවිසුමක් සහිත ප්‍රථම චිත්‍රපටය විය.
1974 දී තිරගත වූ “අහස් ගව්ව” චිත්‍රපටය තරුණ පරපුරේ අවිනිශ්චිත අනාගතයත් ඔවුන්ගේ නන්නත්තාර පැවැත්ම හේතුවෙන් පැන නගින වෙනත් සමාජයීය ප්‍රශ්න තේමා කොට ගනිමින් නිර්මිත සිංහල සිනමාවේ දේශපාලන සිනමාවේ තිඹිරිගෙය ලෙස නම් කළ හැකිය.
නිෂ්පාදකයාගේ ශ්‍රමය මත ද, අන්‍ය පුද්ගලයන්ගේ ශ්‍රම පරිහරණය මතද, ප්‍රතිපත්තියක් වශයෙන් ඉතා වෙනස් වූ පුද්ගලයන් පුද්ගල දේපොළ ක්‍රම දෙකක් මත යැපෙන ධනේශ්වර ක්‍රමයේ බිහිසුණු බව ප්‍රකට කරමින් මුහුදුකරයේ ආර්ථික රටාව නාගරික වෙළඳ පන්තිය විසින් ආක්‍රමණය කරනු ලබන ආකාරය විශද කෙරෙන ධර්මසේන පතිරාජගේ “බඹරු ඇවිත්” චිත්‍රපටය දේශපාලන සිනමාවක් කරා යන ගමනේ මීළඟ කඩයිම විය.
1978 දී තිරගත වූ “බඹරු ඇවිත්” රාජ්‍යතන්ත්‍රය යනු පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායම් අතර ඇතිවන ගැටුම් සමථයකට පත්කරන ආරක්ෂාකාරී අවියක් යන මිථ්‍යාව කීතු කීතු ඉරා දමයි. මේ චිත්‍රපටය ධනේශ්වරයේ ද ඔවුන්ගේ රාජ්‍ය යන්ත්‍රයේ ද පීඩනය ගැමියන් මත නිර්දය ලෙසින් බලපාන ආකාරය දේශපාලනිකව විග්‍රහ කරයි.
ධනේශ්වර ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී ගිය තරුණ පරපුරේ ජීවන රිද්මය හා හෘද ස්පන්දනය මැනවින් ග්‍රහණය කොටගත් ධර්මසේන පතිරාජගේ “පාර දිගේ” තිරගත වූයේ 1980 දීය. “පාර දිගේ” යනු අත්‍යන්තයෙන්ම දේශපාලන චිත්‍රපටයකි. එය සිංහල සිනමාවේ දේශපාලන සිනමා ප්‍රවණතාවේ ප්‍රදීපස්ථම්භයයි.
මුළු මහත් සමාජ ක්‍රමයෙන්ම පරාරෝපිත වූ තරුණයකුගේ ජීවිතයේ පවතින අසංවිධිතභාවය පිටුපසින් දිවෙන ඛේදය ඉතා සංවේදීව ප්‍රතිනිර්මාණය කරමින් ගමෙන් නගරයට සංක්‍රමණය වී ගෙන්දගම් පොළොවේ කොන්ක්‍රීට් වනාන්තරයේ අතරමං වී නන්නත්තාර වන තරුණ පරම්පරාවේ ඛේදවාචකය යනු මෙරට දේශපාලනයේ පවතින මිලේච්ඡ අධිකාරීවාදයෙහි පිළිබිඹු බව පසක් කොට දෙන “පාර දිගේ” චිත්‍රපටය අන්තර්ගතයෙන් මෙන්ම ඉදිරිපත් කරන විලාසය ද දැවැන්ත දේශපාලන කතිකාවකට පාදක විය.
සිංහල සිනමාවේ දේශපාලන සිනමා කූටප්‍රාප්තිය සනිටුහන් කරන්නේ ධර්මසේන පතිරාජගේ “සොල්දාදු උන්නැහේ” චිත්‍රපටියයි. 1981 දී තිරගත වූ “සොල්දාදු උන්නැහේ” ධනේෂ්වර ක්‍රමයේ ඉහළම අදියරේ දී දියත් කෙරෙන අධිරාජ්‍යවාදී යුද්ධය, ව්‍යාජ නිදහස, ජනතා පරමාධිපත්‍යය අති ප්‍රබල ආකාරයෙන් ප්‍රශ්න කරනු ලබන චිත්‍රපටයකි.
සිංහල සිනමාවේ ප්‍රබලතම දේශපාලන චිත්‍රපටය වන “සොල්දාදු උන්නැහේ” එකී ගමන් මගේ කූටප්‍රාප්තිය සනිටුහන් කරයි. චිත්‍රපටයේ පාත්‍ර වර්ගයා සමඟ අනන්‍ය වීමට ප්‍රේක්ෂකයාට ඉඩ නොතබන පතිරාජ තදාත්මක විඝටනය මගින් ප්‍රේක්ෂකයා කෘතියෙන් පරිබාහිරව රඳවයි.
චිත්‍රපටිය ප්‍රශ්න කරන්නේ නිදහස, ස්වෛරීභාවය, පරමාධිපත්‍යය යන සංකල්පයන්ය. චිත්‍රපටය විවේචනය කරන්නේ මේ සමාජ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යමින් ජනතාව පෙළන පාලන තන්ත්‍රයයි. පාලකයන්ගේ ඇතැම් දේශපාලන ක්‍රියාවන්හි පවතින විසුළු සහගත බව හා හිස් බව මැනැවින් නිරූපණය කරන “සොල්දාදු උන්නැහේ” චිත්‍රපටිය නිදහස යනු ව්‍යාජයක් බවත් සැබැවින්ම නිදහස භුක්ති විඳින්නේ පාලන තන්ත්‍රය බවත් ප්‍රේක්ෂක මනසට නිරායාසයෙන්ම ගම්‍යමාන වීමට ඉඩ හරියි.
එනයින් බලන කළ සිංහල සිනමාවේ දේශපාලන චිත්‍රපට බිහි කිරීමේ ගෞරවය හිමි වන්නේ ධර්මසේන පතිරාජයන්ටය. 2017 වසරේ තිරගත වූ පතිරාජගේ අවසන් චිත්‍රපටය වන “ස්වරූප” ධනවාදය මගින් මිනිසාට කොතරම් විපරිත මෙන්ම පීඩාකාරී ජීවිතයක් උදා කොට දෙන්නේ ද යන්නත්, ඒ හාම නූතන පවුල කවරාකාර අභාග්‍ය සම්පන්න ජීවිතයක් අත්පත් කොට ගන්නේ ද යන්නත්, ආදරය, කරුණාව වැනි මානව වටිනාකම එමගින් සිඳී යන ආකාරයත් පාදක කොටගෙන පශ්චාත් යටත්විජිතවාදී පවුලක ඛේදවාචකය අභූත හා විකාරරූපී ආකාරයකින් ගෙනහැර පායි.
අන්තර්ගතය ආකෘතිය, ආඛ්‍යාන රටාව හා සිනමා භාෂාව හැසිර වීම යන කාරණා ගැන සලකා බැලීමේදී “ස්වරූප” යනු සිංහල සිනමාවේ දේශපාලන සිනමා ගමන් මගේ හැරවුම් ලක්ෂයක් වේ. එය සැබැවින්ම ධර්මසේන පතිරාජයන්ගේ දේශපාලන සිනමා ගමන්මගද රූපාන්තරණය ට ලක් වූ මොහොතයි.
මින් ප්‍රකට වන්නේ වසර තිහක සිනමා ගමන් මගෙහි පතිරාජ විසින් විවිධාකාර අරුත් මැවීමේ ශක්‍යතාව පෙන්නුම් කරන සමාජ විග්‍රහයෙහි අස්වැන්නයි.
ධර්මසේන පතිරාජ ගිය ගමන් මග යන අතිශය දේශපාලනික සිනමාකරුවන් දක්නට නොලැබෙන සිංහල සිනමාවේ පතිරාජ යනු හුදකලා අහම්බයකි.
සිංහල සිනමාවේ දේශපාලන චිත්‍රපට භාවිතය යනු ඉතිහාසයට එක් වූ තවත් ප්‍රභේදයක් වන්නේද නිතැතිනි.