අද්‍යතන ශ්‍රී ලාංකේය නිර්මාණ සාහිත්‍ය වෙනදා නොවූ තරම් අන්තරායකාරී ගමන් මගකට පිවිස ඇති වගක් පෙනේ. මේ තත්ත්වය නවකතාව, කෙටිකතාව හා කවිය අතර ඉතා කුමන්ත්‍රණකාරී ව්‍යසනයකට දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව ගමන් ගන්නා බව පෙනේ. මුල් කාලීන ශ්‍රී ලාංකේය සාහිත්‍ය ධාරාව නියෝජනය කළේ බෙහෙවින්ම සංස්කෘතික, ආගමික හා භාෂාත්මක ව්‍යාපාරයකි.
පසුව එය යථාර්ථවාදී නිර්මාණ සාහිත්‍ය වශයෙන් කිසියම් බටහිරවාදී ඌරුවකට නැඹුරු වූ පෙරළිකාර ගමනක යෙදුණි. එය එතෙක් තිබූ කවිය, කෙටිකතාව හා නවකතාව කිසියම් සමාජ සත්ථා යථාර්ථවාදී රීතියකට අනුව විශ්ව සාහිත්‍යයේද ආභාෂය ලබමින් ද්විභාෂා උගතුන්ගේ පරිශීලනයක් බවට පත්විය. එහිදී පේරාදෙණි ගුරුකුලය විසින් එහි නවතාවය සේම කිසියම් අවසානයක්ද ලකුණු කළ බව පසුකාලීනව විචාරක මතය වුයේය. එහෙත් එහිදී කවිය කෙටිකතාව හා නවකතාව හිමිකරගත් සාර්ථක බව අදටත් ඉතිරිව ඇති එම යුගයේ යහපත් අංග හා සන්ධිස්ථාන බවට පත්ව ඇත.
ඉන්පසු අද්‍යතන නිර්මාණ සාහිත්‍ය බොහෝ දුරට පරිශීලනය කිරීමට යොමු වූවෝ වූයේ හුදු සියබස පමණක්ම හදාරා එහි කිසියම් පරිචයක් ලද්දවුන් බහුතරයකි. මේ බහුතරය ආරම්භයේදී කිසියම් සරළ සුගම ව සුමට වූ ගමනක යෙදුණු අතර පසුව එය දිරිමත් කිරීමේ අරමුණක් හෝ ප්‍රකාශකයින්ගේ අධිකාරිය විසින් හසුරුවාළීම නිසා හෝ සම්මාන උදෙසා නිර්මාණ සාහිත්‍ය යොමු වූ බවක් පෙනේ. එහිදී එය හුදු වාණිජ්‍ය විසින් ගිලගත් බවක් දිස් වූයේ හුදු සම්මාන නිසාම නොවේ.
කවිය ගීතයක් කිරීමට ගත් උත්සාහය, කෙටිකතාව ඒකාංග නාට්‍යයක් කිරීමට ගත් වෑයම, නවකතාව සිනමා පටයක් හෝ රූපමාලා නාටකයක් බවට විකුණාගැනීමේ අනාගත ආයෝජන චින්තනයද වාණිජ්‍ය වූ අරමුණක අතු ඉතිය.
මේ සියලු තත්ත්වයන් දෙස විචක්ෂණශීලීව, කටාක්ෂ නිරීක්ෂණයකින් යුතුව බැලීමට හැකි කීප දෙනෙකුට අපගේ සමාජයේ ඉතිරිව සිටිති. ඔවුනතරින් වර්තමානයේදී ඒ උදෙසා වඩාත් යෝග්‍යම පුද්ගලයා ඔහු බවට විවාදයක් ඇති විය නොහැකිය.
මම “ආලෝචනා” සයිබර් අවකාශය වෙනුවෙන් ඔහු සොයා ගියෙමි. දින ගණනක් කඩින් කඩ නමුත් දිගින් දිගටම ඇදහැලුණු වට වැස්ස පායා ගොසිණි. එහෙදු අවකාශය තවත් පුපුරා යන්නට හැකි වැහි බිත්තර වලින් හුදකලා වී නොතිබිණි.
මම එතුමන්ට මග එන බව දැන්වූයේ වසර පහළොවකට පමණ පසුව යන ගමන් මග වැරදී ගිය බැවිනි. මම අපේක්ෂා නොකෙළෙමි. අවුරුදු අනූ එකක් වයසැති එතුමන් මා සොයා පෙර ගමන් එතැයි කියා. “ඊනෝ” විසින් සැපයූ රැකවරණය සමඟින් එතුමන් යහපත් ගමනින් එනු දුටු මම සිතින් ඔහුට දීඝායු පැතුවෙමි.
ඔහු 1955 දැනට වසර හැට පෙර සිය පළමු කාව්‍ය සංග්‍රහය “භාවගීත” නමින් කළ එළි බැස්සුවේය.ඉන්පසු 1960 දී “අමල් බිසෝ ද” 1962 දී “ගුරුළුවත” ද 1975 දී “ආවර්ජනා” ද “උයනක හිඳ ලියූ කවි” ද “අසක්දා කව” ද 2014 දී “මතක වත” කාව්‍ය සංග්‍රහයද පළ කළේය. ඔහු කෙටිකතෙකරුවෙකු හා නවකතකරුවෙකු ලෙසින් “රතු රෝසමල”, “ජිවන සුවඳ”, “එකම කතාව”, “කතාපහ”, “එක් ටැමෙන් මහ පොළොවට”, “ගල් පිළිම සහ බොල් පිළිම”, “යළි උපන්නෙමි”, “දෙපා නොලද්දෝ”, “ගන්ධබ්බ අපදානය”, “අසත්‍ය කතාවක්”, “ප්‍රේමයේ සත්‍ය කතාව”, “කරුමක්කාරයෝ”, “ගමනක මුල” සිට “ගමනක අග” දක්වා කෘති නවයක්ද එයට අමතරව “අනගාරික ධර්මපාල මක්ස්වාදී ද?”, “අබුද්දස්ස යුගයක්”, “අලියා සහ අන්ධයෝ”, විනෝදය සහ විචාර” හා “සිංහල කාව්‍ය සම්ප්‍රධාය” ද මේ වෙන විට සිංහල සාහිත්‍ය වෙත තිලිණ කොට දී ඇත.
ඔහු වරෙක මහත් ආන්දෝලනයක් සිංහල නවකතා කලාව තුළ ඇති කළේ “යළි උපන්නෙමි” නවකතාව මගිනි. එසේම සිනමාවට නැගුණු ඔහුගේ “කරුමක්කාරයෝ” එදා තවත් සිංහල සිනමා කඩයිමක් බවට පත් විය. සිංහල කවිය, කෙටිකතාව, හා නාට්‍යය පිළිබඳවද වරින් වර ඔහු දැක්වූ මත එදා මහත් විවාද පන්න වූ අතර අද එම කියමන් සිංහල සාහිත්‍යයේ උදෘත පාඨ බවට පත්ව ඇත.
දැන් දන්නවා ඔබ කවුද මේ කියලා.
නමින් ඔහු ගුණදාස සුරියාආරච්චි අමරසේකර.
දකුණු පළාතේ යටලමත්ත ග්‍රාමයේ හෙන්ද්‍රික් සුරියාආරච්චි අමරසේකර වෙද මහතාට හා යටලමත්තේ ගැහැණු විද්‍යාලයේ ප්‍රධානාචාර්ය ඇග්නස් අමරසේකරට දාව උපන් ඔහු අගනුවරට පැමිණ පාසල් අධ්‍යාපනය නිමවා පේරාදෙණියෙ දන්ත වෛද්‍ය පීඨයෙන් පිට වන්නේ දන්ත වෛද්‍යවරයෙකු ලෙසිනි.
වර්තමානයේ දී ඔහු අපට සිටින ප්‍රවීණතම නිර්මාණවේදියා සේම මෙරට ජාතික චින්තනයේ නිමවුම්කරුවායි. ඔහු ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකරයන් වෙයි.
ආලෝචනා –
ඔබ තුමාගේ නවකතා ගැන, කවි ගැන කෙටි කතා ගැන වර්තමාන සමාජය එතරම් දැනුම්වත් නොවන්නට පුළුවන්. එහෙත් ඔබගේ “ගමනක මුල” සිට “ගමනක අග” දක්වා වූ නිර්මාණ චාරිකාව මගින් ඔබ ජාතික චින්තනය කරා රැගෙන ගිය සංවාදය ඉතා ප්‍රබලව සාකච්ජාවට බඳුන් උණා. මේ මගින් ඔබ මාක්ස්වාදී චින්තනය වගේම සමස්ථ සමාජයම නිර්දය විචාරයට ලක්කරනවා.
ආචාර්ය අමරසේකර –
“ඔව් එදා ජනතාවට කරුණු කියාදුන් නායකයින් කළේ ඔවුන්ට සභ්‍යත්ව විඤ්ඤාණයක් ලබාදීම පමණයි. එයින් එපිටට ගිය දේශපාලන විප්ලවයක් උදෙසා ඔවුන් ජනතාව දැනුවත් කරවා නෑ. එය කරන්නට චින්තන විප්ලවයකින් තොරව බැහැ. එහෙත් එහෙම මෝරා යාමක් නොතිබීම ජනතාවගේ පැත්තෙන් ලොකු අඩුවක්. මේ නිසා සමාජයේ අවකාශයක් තිබුණා බුද්ධිමය වෙනසකට.ඒක අවමකර ගන්න පුළුවන් චින්තනය වෙනස් කිරීමෙන්. වෙනස් කොට නිර්මාණය කළ යුත්තේ ජාතික චින්තනයන්. ඒ නිසා මේ රටේ හරියට පැළ පදියම් නොවුණු මාක්ස්වාදයත් දේශපාලන දැක්මක් නොතිබුණු සභ්‍යත්ව විඤ්ඤාණයත් සකසා ගන්නට අවශ්‍ය පසුබිම තමයි එයින් සිද්ධ කළේ. මං මේ නවකතා නවයෙන් කළේ විඤ්ඤාණවාදී චරිත වල සමාජමය ලක්ෂණයක් සාකච්ජාව කිරීම. මොකද ඔවුන්ට සමාජය අමතක වෙනවා. පියදාසගේ චරිතයෙන් මං කළේ එම තත්ත්වය පැහැදිලි කරලා පියදාස කිසියම් හර පද්දතියක් ඇති චරිතයක් බවට පත් කරල මේ රටේ සමාජවාදී රටක්, ආර්ථික රටක්, ප්‍රඥාවන්ත සමාජයක රටක් බවට පත් කරන්න නොයෙක් පැති වලට යැවීම. එයින් මානවවාදී රටක් හදන්නට උත්සාහ ගන්නවා. එය ප්‍රඥාසම්පන්න උත්සහයක්.”
ආලෝචනා –
ඔබ එහිදී තර්කයක් නගනවා. “සාදුකින් පෙළෙනවුන් නැගිටියව්” කියන අතරම සාදුකින් ඉන්නවුන් වගේම සාදුකට පත්කරනවුන් ගැනත් කතා කළ යුතුයි කියා. එය පැවති සමාජවාදී අර්ථ කථන යළි කියවීමක් නොවේද?
ආචාර්ය අමරසේකර –
“පියදාසගේ චරිතය මෙහිදී මුලදී තිබුණු මතවාදය ඉවත් කරනවා. ඔහු දේවමිත්තගේ විඤ්ඤාණවාදී අදහස් වලින් මිදෙනවා. ලෝකය දකිනවා. ඔහු තායිලන්තයට යනවා. එදා එහි තිබුණ බෞද්ධ සමාජවාදය හදාරනවා. ඔහු එහිදී ප්‍රබෝධයක් හා දැනුවත් වීමට හදනවා. ඔහුට අවශ්‍ය ආර්ථික මානවවාදී සමාජ වාදයක් හදන්න. ඔහු එහිදී විවිධ සමාජ ස්ථර ගැන කතා කරනවා. සිද්ධි ගැන කතා කරනවා. මේ නිසා ඔහු මුලින් යොමුවන සමාජවාදයෙන් දුරස් වෙනවා. ඇත්තටම ඔහු උත්සාහ කරන්නේ මේ රටට හුරු, පහසු මානව හිතවාදී ප්‍රඥා සම්පන්න සමාජවාදී රජයක්. මේක තමයි ජාතික චින්තනයක මුල් ලක්ෂණය හා එහි අවසන් අදියර විය යුත්තේ. මෙහිදී ඇත්තෙන්ම සිදු කරන්නේ විඤ්ඤාණවාදී දේශපාලනය ඉවත්කර දැමීමයි. රටක චින්තන විප්ලවයෙන් තොරව එය කළ නොහැකිය.”
අතුරු කියවීම : එතුමා තමන් වසර ගණනකට පෙර ලියූ වෙළුම් නවයකින් යුතු නවකතාවක් ගැන අද විග්‍රහ කරන්නේ. එහෙත් එහි එකදු වෙනසක් නොමැතිව අමතක වීමකින් තොරව මේ අනූඑක් වියට ආසන්න වන මිනිසා ඉතා පැහැදිලිව අපට විස්තර කරයි. ඒ අතර ඔහුට බෙහෙවින් ආදරය කරන “ඊනෝ” ඔහු අසල එහාට මෙහාට යයි. අප දැනුම්වත් කළ පරිද්දෙන් මේ හුරතල් බැල්ලිය විසින් මේ ගෙදර ඇත්තන් බලාගන්නේ වැඩිහිටි මිතුරෙකු ලෙසින්ලු. එතුමා කිසිදු අපහසුතාවයකින් තොරව කතා කරද්දී ඔහු තමන් කැපවුණ ජාතික චින්තනය වෙනුවෙන් කොතරම් පරිත්‍යාගශීලි කැපවීමක් කරන්නට ඇතිද?
ආලෝචනා –
අනගාරික ධර්මපාල තුමා මක්ස්වාදීද? කියලා ඔබතුමා ප්‍රශ්න කරනවා. ඔබගේ දේවමිත්ත චරිතය නිර්මාණය වෙන්නේ මේ අනුරුවට සරිලන පරිද්දෙන්ද?
ආචාර්ය අමරසේකර –
“රටක විප්ලවයක් කිරීමට ප්‍රථම ඒ රටේ චින්තන විප්ලවයක් විය යුතුයි. එහිදී අප හඳුනාගත යුත්තේ එය කුමන ආකාර ගත යුතුද කියා. අනගාරික ධර්මපාලතුමා මුලදී උත්සාහ කළේ චින්තන විප්ලවයකට යාමයි. ඔහු හැදුවේ ජනතාවට අමතක වුණු සභ්‍යත්වය මතක් කර දීමයි. එය හොඳයි. නමුත් වැරදුණු තැනත් ඒකයි. අපේ වාමාංශික දේශපාලකයන් කළේත් මේකයි. ඔවුන්ට තිබුණේ අනගාරික ධර්මපාලතුමා නවත්තපු තැන සිට පටන් ගැනීමයි. එහෙත් එය සිදු වූයේ නෑ. සමහරවිට අනගාරික ධර්මපාලතුමන් විඤ්ඤාණවාදියකු වීම නිසා විය හැකියි. එහෙත් ඔහු ජාතික වශයෙන් කළ දේශීය පිබිදවීම ඉතා කාලෝචිත ව්‍යායාමයක්.”
ආලෝචනා –
මෙතැනදි ගැටලුවක් මතුවෙනවා. අනගාරික ධර්මපාලතුමා එහිදී අරගෙන ගියේ හුදකලා සටනක්ද කියා.
ආචාර්ය අමරසේකර –
“මෙතැනදී චෝදනාවක් මතුවුණා එතුමා භාෂාව ගැන කතා කළේ නෑ කියා. ආගම හා සංස්කෘතිය ගැන පමණක් කතා කළේ කියලා. එතැනදි එතුමා සාහිත්‍යකාරයෙක් නොවූ නිසා එය වෙන්න ඇති. එහෙත් මෙහිදී එතුමා නොකළ ඒ කටයුත්ත කරන්න තවත් බොහෝ දෙනෙකු හිටියා. පියදාස සිරිසේන, ජෝන් ද සිල්වා, මුනිදාස කුමාරතුංග, මාර්ටින් වික්‍රමසිංහ වැනි අය එම කටයුත්ත කළා. ඒ සියලුම දේවල් කළේ අනගාරික ධර්මපාල ව්‍යාපාරයෙන් බිහිවුණු ඉහත නම් සඳහන් කළ අයගෙන්. එය හොඳටම පේන දෙයක්. එදා පියදාස සිරිසේන නැත්නම් මාර්ටින් වික්‍රමසිංහ කෙනෙක් අපට අද නෑ කියලා මං කියනවා. එතුමා පමණක් නොව අර නම් කියූ අයත් එකතුව.
පසුකාලීනව සිදුවූ බොහෝ දේවල් සිදුවුණේ අනගාරික ධර්මපාලතුමාගේ ව්‍යාපාරයෙන් කියලා අපිට මේ අනුව කියන්න පුළුවන්.
ඒ අනුව එදා අනගාරික ධර්මපාලතුමා හුදෙකලා වූ වගක් අපට සිතන්නටවත් බෑ නේද?”
ආලෝචනා –
ඔබව යළිත් අප මුලින් හඳුනාගත් කවියා නැත්නම් සාහිත්‍ය කරුවා වශයෙන් දැක්කොත් මතුවෙන ගැටලුවක් තියෙනවා. ඔබ පසුකාලීනව කියනවා 1955 “භාවගීත” ලීවේ අවිඤ්ඤාණිකව, එහෙත් ඔබ “අමල් බිසෝ” ලියන්නේ සවිඤ්ඤාණිකව කියලා.
ආචාර්ය අමරසේකර –
“එය ඉතා වැදගත් ප්‍රශ්නයක්. මම කවියේ විරිත වගේම බොහෝ දේවල් ගැන භාවගීතය මම ලීවේ පස්මත් විරිතෙන්. එය කුවේණි අස්නයේත් තියෙනවා. මම අවිඤ්ඤාණිකවයි ඒ විරිත ගන්නේ. අමල් බිසෝ වෙද්දි මම පස්මත් විරිත ගැන ගැමි කවිය ගැන, විරිත ගැන මම සවිඤ්ඤාණිකව අධ්‍යනයක යෙදෙනවා. අසක් දා කව වෙද්දි මා සොයා යන එම විරිත්, කවි බස පිළිබඳ මා තවත් සොයා බලනවා. ඒ අනුව මා තවත් සවිඤ්ඤාණිකව එය යොදා ගත්තා. ඒ අනුව අසක් දා කව වගේ කාව්‍ය ගමන් මගේ කිසියම් පරිණාමයක්.
ඒ කියන්නේ ගැමි කවිය දිගු ගමනකට ඉඩ මදි. සම්භාව්‍ය කවිය මෙහිදී යොදා ගන්නට වෙනවා. ඒ නිසා කෝට්ටේ යුගයෙන් අවසන් වුණු ඒ සම්භාව්‍ය කාව්‍ය විරිත, අපේ ගැමි කවියේත් ගැඹුරු කියවීමකට යා යුතු වූවා. හේතුව බොහෝ ගැඹුරු දේ වලට යාමේදී අපේ කාව්‍ය විධි අමතක කරන්න බෑ. ඒ දෙකින් අපි අලුත් කවි බසක් හදා ගත යුතුයි. මා “සිංහල කාව්‍ය සම්ප්‍රදාය” කෘතියෙන් කියා ඇත්තෙත් එයයි. මම සිංහල කවිය හෙම්බත්ව සිටි යුගයක තමයි පස්මත් විරිත නැත්නම් වෘත්තගන්ධි ශෛලය යොදා ගත්තේ. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. ඇත්තෙන්ම අදත් හුඟක් දෙනෙක් ඒ පස්මත් විරිතෙන් ලියනවා. හැබැයි ඒ බව නොදැන. සමහරු එය නිසඳැස් කියනවා. නමුත් එය අපේ “සැහැළි” වල තිබුණා. අපේ කවියට විරිත අවශ්‍යයි. විරිත නැතුව කවියකට පවතින්න බෑ. මොවුන් නිසඳැස් හදන්නේ විරිතකින් තොරව. සිංහල කවියම විරිතකින් යුතු දෙයක්. මේක ඉතා හොඳින් විමල් දිසානායකයන් අවබෝධ කරගෙන තියෙනවා. එතුමා අලුතින් රචනා කරපු “අරුත හා විරිත” පොතේදී කියන වැදගත් දෙයක් තියෙනවා. “අරුතෙම කොටසක් තමයි විරිත” කියලා. එය සිංහල භාෂාවේ විශේෂිතම ලක්ෂණයක්. විරිත අපේ බසේම කොටසක්.”
ආලෝචනා –
ඔබගේ “ගණ’දුරු මැදියම දකිනෙමි අරුණලු” 1988 රචනා කරනවා. එය දෙමසකින් සියල්ල අළෙවි වී දෙවන මුද්‍රණයකටත් යනවා. මෙය “අබුද්දස්ස යුගයෙන්” අරඹන ජාතික චින්තනය උදෙසා වූ ව්‍යායාමයේ තවත් දිගුවක්ද? මෙය ජාතික චින්තනයේ සාර්ථක වීමක්ද?
ආචාර්ය අමරසේකර –
“මම “ගණ’දුරු මැදියම” ලීවේ මේ රටේ තරුණයන් එදා ඒ විදියට කටයුතු කළාට ඔවුන් නියම මගකට ආ හැකි පිරිසක්. ඔවුන්ට ඒ මගට එන්න පුළුවන්. ආවොත් එය සාර්ථක වෙන දෙයක්. මා එය එදා දුටුවේ එහෙමයි. ඇත්තෙන්ම මේ රටේ අනාගතය තරුණයන්ට බාරයි. ඒ නිසයි මා ලීවේ ඔවුන් මේ රටේ සභ්‍යත්වය, සමාජය හා ආර්ථිකය දැනගත යුතුයි. ඇත්ත වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණෙන් විමල් වීරවංශ වැනි අය අයින් වුණේ මේ තත්ත්වය තේරුම් ගැනීමෙන් කියලයි මා හිතන්නේ. ඔහුට වැටහුණා මාක්ස්වාදය මෙහේ පැළ කරන්න බැහැ. මේ රටේ සභ්‍යත්වය සංස්කෘතිය ආගම දර්ශනය ගැන නොදැන කියලා. ඒ නිසා මා හිතනවා මා ලියූ දේ සාර්ථක වුණා කියලා.”
ආලෝචනා –
ඔබ එදා කතා කරපු ජාතික චින්තනයේ මල් ඵල ගැනීමක්ද? මේ සැරේ ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීම. එසේම ඔහු ලැබූ අති බහුතර බලයට දායක වී ඇත්තේ මෙරට සිංහල බෞද්ධයින් බවයි දේශපාලන විචාරක මතය.
ආචාර්ය අමරසේකර –
“මම හිතන්නේ එක්තරා විදියකින් එය සම්පූර්ණයෙන්ම අපේ ජාතික චින්තන වැඩපිළිවෙලින් කියල කියන්න බැහැ. හැබැයි ගෝඨාභය රාජපක්‍ෂ දිනපු වේලාවේ කීවා “මේ ජයග්‍රහණය ලැබුවේ සිංහල බෞද්ධ ඡන්ද වලින් කියලා.” ඔව් මේ ජයග්‍රහණයට බලපෑවේ සිංහල බෞද්ධ ඡන්ද කියන එක ඇත්ත. ගෝඨාභයගේ ජයග්‍රහණයෙන් පෙන්නුම් කරන්නේ මේ රටේ සිංහල මිනිසුන්ගේ උරුමය සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබුණේ මේ අවස්ථාවේ කියලා. මොකද මීට පෙර හැම වතාවේම නිදහස ලැබුණායින් පස්සේ බලයට ආව හැම ආණ්ඩුවක්ම බලයට ආවේ සුළුජන වර්ගවල පිහිටෙන්. පළමු වරට සිංහල මිනිසුන්ට පුළුවන් උණා තමන්ගේ කියල ආණ්ඩුවක් පිහිටුවා ගන්නට. මොකද ඒක සිංහල රටේ උරුමක්කාරයෝ. මේ රටේ සම්පත් වල උරුමය. මේ සැරේ ඒක මතු කර ගන්න පුළුවන් වුණා. එතනදි මා හිතනවා ඒ උරුමය තමයි ගෝඨාභය රාජපක්‍ෂට මතු කර ගන්න පුළුවන් වුණේ. එතනදි අපේ ජාතික චින්තන ව්‍යාපාරයත් කිසියම් දායකත්වයක් දරන්නට ඇති.”
ආලෝචනා –
මෙවන් වර්තමානයක සිට ඔබට පෙනෙන අනාගතය ගැන මම අසන්නට කැමතියි.
ආචාර්ය අමරසේකර –
“අද අපි කිසියම් සන්ධිස්ථානයකට ඇවිල්ලා. මා පෙරත් කීවා සේම අපි අද උරුමය සොයා යන ගමනකට අවතීර්ණ වෙලා. ඒ නිදහස ලැබුණායින් පසුව. මේ මග දිගේ ඉදිරියට ගියොත් අපිට සෞභාග්‍යමත් අනාගතයක් ලබන්න පුළුවන් වෙයි. එහෙම නැතුව අපි ආයෙත් අර අනුකාරක ලෙසින් පරණ විදියට ගමන ගියොත් අපිට මේ ජයග්‍රහණයේ ඵලය ලබන්න බැරිවෙයි. ඒ නිසා මේ ජයග්‍රහණයේ යථාර්ථය අප තේරුම් ගත යුතුයි. අපි ඒ සමාජය අලුතින් ගොඩනගා ගත යුතුයි. එය වටහා ගත යුතුයි.එය තමයි මේ ජයග්‍රහණය වටහා ගැනීම කියන්නේ.”
ඊනෝ අපත් සමඟ හොඳටම මිතුරු වෙලා. ඒ වගේම ආචාර්ය අමරසේකරයන් හා කළ රූපමය සංවාදයේදී ඔහුත් තමන්ගේ හිමිකම එහිදී තැනින් තැන රඳවන්න අමතක කරලා නැහැ.
උදෑසන ආ අපි ආලෝචනා කණ්ඩායම මද්දහනේ වෛද්‍ය ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගෙන් සමු අරගෙන එළියට එද්දි අර අහස පුරා කැටි වෙලා තිබුණු වැහි බිත්තර කැට තවත් එහෙම ඉන්න බැරිසේයාවක් අරගනිමින් තිබුණා.
එතුමා ගණ’දුරු මැදියම දුටු අරුණලු මේ වහින්න යන වැස්සෙන්, මේ ලබපු ජනතා මනාපය මල් ඵල ගන්වන්නට මේ රටේ පාලකයෝ මෙන්ම අන් අයද සිය මනෝ හා ක්‍රියා මූලික චෛතසිකය බවට පත් කර ගනු ඇතැයි සිතුවිල්ල මට ඇති කළේ මේ ඉන්න වර්තමානයේ අපට සිටින බහුශ්‍රැති, ප්‍රවීණ නිර්මාණකරුවා නොවේද යන්නයි.
එබැවින් මම ඔහු යටලමත්ත ප්‍රාඥයා ලෙස සලකන්නේ කොග්ගල ප්‍රාඥයා වූ මාර්ටින් වික්‍රමසිංහයන්ට ඇවැසි නිසි බුහුමනද දෙමින්.