i – අකුරේ විප්ලවය සහ අපි

2007 ජනවාරි මාසයේ දවසක ඇපල් ප්‍රධාන විධායක නිලධාරි ස්ටීව් ජොබ්ස් සුපුරුදු ඇඳුමින් වේදිකාවට ඇවිත් ලෝකය සදහටම වෙනස් කරපු පහත වාක්‍යය කිහිපය කියනවා. 

“අද මම උපාංග තුනක් හඳුන්වා දෙන්න යනවා. පළමුවෙනි එක පුළුල් තිරයක් සහිත අයි පොඩ් (iPod) එකක්, දෙවෙනි එක සුවිශේෂී දුරකථනයක්, තුන්වැනි එක අන්තර්ජාලය හරහා සන්නිවේදනය කළ හැකි නවතම උපකරණයක් ” 

ටික වෙලාවකට පස්සෙ ශාලාවේ අතුරු සිදුරු නැතිව පිරී හිටපු පිරිස සහ ලෝකය ම දැන ගන්නවා ස්ටීව් ජොබ්ස් පැවසීමට යෙදුණේ උපාංග තුනක් ගැන නොවේ, මේ ලක්ෂණ ඔක්කොම එකතු කරපු එක උපාංගයක් ගැන කියන ඒක. ඒ උපාංගය තමා අපි සැවොම දන්න අයිෆෝන් (iPhone) එක. පළමුවැනි iPhone එක අඟල් 3.5 ක තිරයක්, මෙගාපික්සල් (MP) 2 කැමරාවක්, මෙගාබයිට් (MB) 120 ක රැම් (RAM) මතකයකින් සමන්විත වුන දුරකථනයක්. පළමුවැනි IPhone ඒක ගිගාබයිට්(GB) 4, 8 හෝ 16 මතක ධාරිතාවෙන් මිළ දී ගන්න පුළුවන් වුනා.

එතැනින් අවුරුදු දහතුනකට පස්සෙ ඇපල් සමාගම මෑතක දී එළිදක්වපු iPhone 12 Pro Max දුරකථනය අඟල් 6.7 ක විශාල තිරයකින්, මෙගා පික්සල් 12 ක කැමරා තුනකින්, ගිගාබයිට් 6 ක රැම් (RAM) මතකයකින් සමන්විත යි. මේ දුරකථනය ගිගාබයිට් 128, 256 හෝ 512 මතක ධාරිතාවන්ගෙන් මිලදී ගන්න පුළුවන්. 

ඇපල් (Apple) දුරකථනයක් නිකුත් වන හැම කාලයක වගේම ඇපල් (Apple) ද? ඇන්ඩ්‍රොයිඩ්(Android) ද? විවාදය මේ දින වලත් අන්තර්ජාලය පුරාම පැතිරෙනවා. අලුත් iPhone එකේ අලුත් විශේෂාංග නිසා එය මිලදී ගන්න බලාපොරොත්තු වෙන පිරිසක් වගේම අලුත් iPhone එක සැලකිය යුතු කිසිම නව්‍යතාවයක් එක්ක වෙළඳපොළට ඇවිල්ලා නෑ කියලා කියන පිරිසකුත් හැමදාමත් වගේම ඉන්නවා. 

මේ සරල කතාබහෙන් මදක් ඔබ්බට ගොස් පළමුවැනි ඇපල් දුරකථනය නිකුත් කළ දා සිට අද වනතුරු ජංගම දුරකථනය අපේ එදිනෙදා ජීවිතය සහ අප අන්තර්ජාලය පරිහරණය කරන විදිය කොපමණ දුරකට වෙනස් කරලා තියෙනවා ද කියන දේ ගැන නැවත සිතා බැලීම ඉතා වැදගත්. ඇපල් සමාගම iPhone සමඟින් ගෙන ආ ස්මාර්ට් ෆෝන් (Smart Phone) සංස්කෘතිය සහ ආර්ථික මොඩලය පසු කලෙක ගූගල් (Google) සමාගම විසින් ඇන්ඩ්‍රොයි‌ඩ් මෙහෙයුම් පද්ධතිය එළිදැක්වීමට හේතු වුණා. ඉන් පසුව පැමිණි මිල අඩු ඇන්ඩ්‍රොයිඩ් දුරකථන අන්තර්ජාල ව්‍යාප්තියට ඇති ආර්ථික බාධක බිඳ දමමින් අන්තර්ජාලය සීග්‍රයෙන් සාමාන්‍ය ජනතාවට අතරට ගෙන යන්න හේතු වුණා. 

පළමුවැනි ඇපල් ජංගම දුරකථනයෙන් පසුව ආරම්භ වූ, වෙනස් ම විදියකට අන්තර්ජාලය පරිහරණය කිරීමේ සංස්කෘතිය අද වෙන විට අන්තර්ජාලය හරහා තොරතුරු එළියට දෙන මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් කර හමාරයි. පරිගණකයක් ඉදිරිපස සිට යතුරු පුවරුවක් හරහා දෙන විධාන වලින් අන්තර්ජාලය පරිහරණය කරන්න පුරුදු වෙලා හිටපු අපි අද වන විට අන්තර්ජාල පරිහරණය කරන ප්‍රධාන මාධ්‍යය බවට පත් කරගෙන තිබෙන්නේ ජංගම දුරකථනයි. අද වන විට අන්තර්ජාල පරිහරණය කරන්නන්ගෙන් 50% ට වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය පරිහරණය කරන්නේ ජංගම දුරකථන භාවිතයෙන්. ලෝක ජනගහනයෙන් බිලියන හතරකට ආසන්න ප්‍රමාණයක් ජනතාව ජංගම දුරකථනය හරහා අන්තර්ජාලය පරිහරණය කරනවා. 

සාපේක්ෂව ඉහළ මිලක් ගෙවා පරිගණකයක් මිලදී ගෙන පමණක් භාවිතා කළ හැකිව තිබූ අන්තර්ජාලය සාපේක්ෂව අඩු මිලට මිලදී ගත හැකි ජංගම දුරකතනයක් හරහා භාවිතා කිරීමට හැකි වීම අප විසින් ලද ජයග්‍රහණයක්. කොරෝනා වසංගත තත්ත්වය නිසා ලොව පුරා සාම්ප්‍රදායික අධ්‍යාපනය අඩාල වන විට අඩු මිලට සපයා ගත හැකි ජංගම දුරකථන හරහා අප වැනි රටවල සිසුන්ට ද යම් තාක් දුරට අධ්‍යාපන කටයුතුවල යෙදීමට හැකි වී තිබීම හොඳ ප්‍රවණතාවක්. 

2017 වර්ෂයේ ලෝකය පුරා ගෙන තිබූ ඩිජිටල් ඡායාරූප වලින් 85% ක් පමණ ගෙන තිබුණේ ජංගම දුරකථනවලින්. ජංගම දුරකථන නිසා ඇති වූ තවත් සුවිශේෂීම වෙනස්කමක් වන්නේ සුළු පිරිසකට පමණක් පමණක් සිදු කිරීමට හැකියාව තිබූ ඡායාරූප ගැනීම ඕනෑම කෙනෙකුට පහසුවෙන් සිදු කළ හැකි දෙයක් බවට පත් වීමයි. කාලයකට ඉහතදී ඡායාරූපාගාරයකට ගොස් ඡායාරූප ගත් අපට, දැන් ක්ෂණිකව ජංගම දුරකථනය භාවිතයෙන් ඡායාරූපයක් ගැනීමට හැකියි. මේ නිසා ලෝකයේ සාම්ප්‍රදායික මාධ්‍යකරණය තව පියවරකින් ඉදිරියට ගොස් පුරවැසි මාධ්‍යකරණය ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතිනවා. එසේම සමාජ මාධ්‍ය හරහා භාණ්ඩ හා සේවාවන් විකිණීම සඳහා, ඡායාරූප ගැනීම සඳහා වෘත්තිකයන් ගේ සේවය ලබාගැනීම දැන් අත්‍යවශ්‍යම නැහැ. අවශ්‍ය වන්නේ ජංගම දුරකථනය හා දැනුම පමණයි.

දශකයකට කලින් නම් අප වීඩියෝවක් නැරඹීමට, රූපවාහිනිය හෝ පරිගණකයක් ඉදිරියේ ඉඳ ගෙන සිටිය යුතුයි. නමුත් ජංගම දුරකථන මගින් අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ,ඡායාරූප නැරඹීම සහ කියවීමට හැකි වීම නිසා අද වන ගමනාගමනයේ යෙදෙන අතරතුර සහ විවිධ වැඩ අතරතුර ලැබෙන කෙටි විවේක වලදී ද මේවා නැරඹීමට අපට හැකියාව ලැබී තිබෙනවා. අද වන විට යූටියුබ් (YouTube) අඩවියට පිවිසෙන 70% ක් දෙනා එයට පිවිසෙන්නේ ජංගම දුරකථන හරහා. 

එසේම ජංගම දුරකථන නිසා ඇති වූ නව වෙළඳ පොළ අවස්ථා රාශියක් තියෙනවා. ඌබර් (Uber) වැනි සේවාවන් පවත්වා ගත හැකි ව ඇත්තේ ජංගම දුරකථන හරහා අන්තර්ජාලය පරිහරණය කරන පාරිභෝගිකයන් නිසාමයි. මීට වසර ගණනාවකට පෙර භාණ්ඩ හා සේවා පාරිභෝගිකයා වෙත ගෙන යාමට අධික පිරිවැයක් දරා වෙළඳ සැලක් ආරම්භ කළ යුතුව තිබුණා. නමුත් අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීම නිසා වෙළඳ සැලක අවශ්‍යතාව නැතිව, ඕනෑම අයකුට පහසුවෙන් භාණ්ඩ හා සේවා විකිණීමට හැකියාව ලැබී තිබෙනවා. 

ජංගම දුරකථන හරහා, අන්තර්ජාලය හරහා වීඩියෝ ඡායාරූප නැරඹීම නිසා එයටම සුවිශේෂී වූ වෙළඳ පොළක් නිර්මාණය වී තිබෙනවා. අන්තර්ජාලය හරහා වීඩියෝ නිර්මාණය හා වෙළඳ ප්‍රවර්ධනය වැනි කටයුතු කරන නව නිර්මාණකරුවන් පරපුරක් අද වන විට අන්තර්ජාලය හරහා මුදල් උපයනවා. ඒවගේම ජංගම දුරකථන හරහා භාවිතා කිරීමට මෘදුකාංග නිර්මාණය ( App Developing) ලෝකය පුරා බොහෝ ජනප්‍රිය ආදායම් උපදන ක්‍රමයක්. ඉන්දියාව වැනි ආසියාතික රටවල තරුණයන් මෙම නව අවකාශය භාවිතා කරමින් බොහෝ මුදල් උපයන අතර අප රටේ මෙවැනි ව්‍යවසායකයන් ඇත්තේ සාපේක්ෂව අඩුවෙන්. 

ජංගම දුරකථනය මගින් කළ විශාලතම විප්ලවය වන්නේ ලෝක ව්‍යාප්ත ජාලය ( World Wide Web) සාමාන්‍ය ජනතාව අතර ව්‍යාප්ත කිරීමයි. ඇපල් සමාගමේ අනාගතවාදී දැක්ම නිසා වරප්‍රසාදලත් පිරිසකට පමණක් පිවිසීමට අවකාශ තිබූ තොරතුරු හා වෙනත් බොහෝ සේවාවන් අද සාමාන්‍ය ජනතාවට ඉතා සමීප වී තිබෙනවා. 

ලෝකය පුරාම ජංගම දුරකථනය නිසා තොරතුරු වලට පිවිසීම පහසුව ඇති සමයක, අපගේ ඇති සමහර පසුගාමී ආකල්ප නිසා අපි ජංගම දුරකථනය කෙරෙහි අනවශ්‍ය භීතියක් මවා තිබෙනවා. ස්මාර්ට් දුරකථන (Smart Phone) මඟින් ලෝකයේ ඇති කර ඇති සමාජ ආර්ථික විප්ලවය නොදකින අපි එය භාවිතයෙන් සිදු කළ හැකි සමාජ විරෝධී ක්‍රියා ගැන පමණක් සිතා අපි අපගේ ළමා හා තරුණ පරපුර තාක්ෂණයෙන් ඈත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. අන්තර්ජාලය හරහා වන අපයෝජනයන්ගෙන් අපගේ ළමා සහ තරුණ පරපුර රැක ගැනීමට හැකි හොඳම ක්‍රමවේදය වන්නේ ඔවුන් ඒ පිළිබඳ දැනුම්වත් කොට තාක්ෂණය පදනම් කරගත් ඉදිරි අනාගතයට සූදානම් කිරීම මිස ඔවුන් තාක්ෂණයෙන් ඈත් කොට නැවත අතීතයට යැවීම නොවේ. 

අන්තර්ජාලය සහ සහ ජංගම දුරකථන පිළිබඳ අපගේ සාම්ප්‍රදායික ආකල්ප විසි එක් වන සියවසට ගැළපෙන ලෙස වෙනස් කර ගෙන තාක්ෂණය හා තොරතුරු පදනම් කරගත් අනාගත ලෝකයේ තරඟකාරීව ජීවත් විය හැකි සුහුරු පරපුරක් බිහි නොකළහොත් අපි ආඩම්බරයෙන් iPhone මිලදී ගෙන භාවිතා කරන, අනුන් නිර්මාණය කරන ලද තාක්ෂණය මත යැපෙන, දුපත් වැසියන් සමූහයක් පමණක් ම වනු ඇති…

වර්ගීකරණය
සංරක්‍ෂිත