21 සියවස සඳහා ආගමික පරිණාමයේ අවශ්‍යතාවය

වඩා යහපත් අනාගත ලෝකයක් සඳහා අනෙක් මනුෂ්‍ය කටයුතු මෙන්ම ආගම් ද පරිවර්තනය විය යුතුය. දැනට අප අතර රජකරන ආගම්වල ස්වභාවය සමාජ –  ඓතිහාසික ක්‍රියාදාමයන් විසින් විපරිණාමය කර ඇත්තේ මනුෂ්‍යයාගේ සහ ජීව පද්ධතීන්ගේ යහපැවැත්මට හිතෛෂී ආකාරයෙන්ම නොවේ. ආක්ෂික යුගයේ ( ක්‍රි. පුර්ව 9 වැනි සහ 3 වැනි සියවස් අතර ) පැන නැඟි මනුෂ්‍ය විඥානය නව විශ්වවේදයන් තුළ පුළුල් කළ, ගැඹුරු කළ ආධ්‍යාත්මික උල්පත් කිහිපයක් අද පවතින ප්‍රධාන ආගම් වල ඉතිහාසයට සම්බන්ධය. එහෙත් එකී සමාරම්භක ආගමික ධාරාවන් ඉතිහාසය හරහා ගලා ඒමේදී රාජාණ්ඩු / වැඩවසම් යුගයේ රජවරුන්ගේ, ප්‍රභූන්ගේ, ඉඩම් හිමියන්ගේ දේශපාලනික බලවේග මැද ගැඹුරු විකරණයන්ට ලක් වෙමින් ආයතන ගත විය.

එසේ පැමිණි ආගමික සම්ප්‍රදායයන් අනතුරුව පසුගිය ශතවර්ෂ කිහිපය තුළ ව්‍යාප්ත වූ නූතන ක්‍රියාදාමය විසින් 20 ශතවර්ෂය වෙත ගෙනා කාර්මික වර්ධක ( Industrial – Growth society ) කෑදර තිරිංග නොමැති ආර්ථික ක්‍රමයකට හා පාරිභෝගික සංස්කෘතියකට ගැලපෙන පරිදි නැවත නැවතත් ආයතනික හා කතිකාමය වශයෙන් ප්‍රතිසංස්කරණය විය. තව දුරටත් පැහැදිලි කළොත්, නුතනත්වය විසින් ගෙන ආ නිෂ්පාදන හා වෙළඳ වැඩපිළිවෙළ සමග එක්ව වර්ධනය වූ සංස්කෘතික සාමාජික සදාචාරීය ලෝකයට විවිධාකාර ලෙස අනුගත වූ ආගම්ය අප අතර ඇත්තේ. වර්තමානයේ අප දැන් නිරීක්ෂණය කරන්නේ ලොව ව්‍යාප්තව ඇති ආගමික සමාජ තුළින් ඉහත කී පරිවර්තනයන්ට දෙආකාරයක ප්‍රතිචාර දක්වන බවයි.

Culture Nallor

පළමුවැන්න නම් වැඩවසම් – පීතෘමූලික හෙවත් සම්ප්‍රදායික/ මූලධාර්මික ප්‍රවේශයන් තුළින් මතුවන ප්‍රතිචාරයයි. එය යෝජනා කරන්නේ නූතනත්වය සෑම අතින්ම මනුෂ්‍යයාට පරිහානික වූ බවත්, තම ආගම සතුව පරම සත්‍යය ඇති බවත්, අනාගතය දෙස බැලිය යුත්තේ අතීතයේ රජ කළ යහපත් බලවත් සම්ප්‍රදායයන් පදනම් කොට බවයි.

අනෙක් ප්‍රතිචාරය අනාගතවාදී එකකි; එය තමන්ගේ ආගමික සංස්කෘතීන් දෙස විචාරාත්මක ඇසින් බලයි. අතීතයෙන් පැමිණි පරිහානිකාරක ගැටලු ගැන එම ප්‍රතිචාරය විවේචනාත්මකය. මෙම අනාගතවාදී ප්‍රතිචාරය සමාරම්භක ආධ්‍යාත්මික උල්පත් නැවත මතුකොටගැනීමේ අවශ්‍යතාව ගැන අවධාරණය කරයි. යහපත් අනාගතයක් සඳහා සාමූහික මනුෂ්‍ය විඥානය නව අදියරක් කරා පරිවර්තනය වීමට අවශ්‍ය බවත්, ඒ සඳහා එකී උල්පත්වල ආධ්‍යාත්මික සම්පත් නිර්මාණශීලීව පරිවර්තනය කරගත යුතු බවත් එහි යෝජනාවයි. මේ ප්‍රවේශය ගැන මඳක් විමසා බැලීම සුදුසුය.

ඉහත කී නූතනත්වය මේ වනවිට සෑම අතින්ම අර්බුදයකට ගොස් තිබේ. මෙහි එක් මානයක් නම් මනුෂ්‍යයාගේ සම්බන්ධතා තුනම ( තමා සමග, අනෙකා සමග, පරිසරය සමග ) රෝගී වීමයි. නූතන ආගම් දෙස විමසිල්ලෙන් බැලුවොත් අන්‍යොන්‍ය ලෙස බැඳුණු මේ සබඳතාවන් ආවරණය කිරීමට ඒවාට නොහැකි බව පෙනෙයි. ඒවා සෑම විටම පොරොන්දුවන්නේ හුදෙක් තනි පුද්ගලයාට විමුක්තිය ලබා දීමටය. එහෙත් පුද්ගලයා සිටින්නේ අර කී සබඳතා ත්‍රිත්වය තුළ නම් ?

20 ශතවර්ෂයේ මුල් භාගය අවසන් වන්නට පෙරම වාගේ, දෙවන ලෝක යුද්ධයට පසුව ආගමික විමුක්ති කතිකාවන් තුළට සමාජය/ සාමූහික ජීවිතය පිළිබඳ නාභිගතවීමක් ක්‍රමානුකූලව පැමිණියේය. ( යටත් විජිත පද්ධතිය බිඳවැටීමත් මීට විශේෂ පිටුබලයක් වූ බව නිසැකය.) මේ නිසා උල්පත් නැවත පාදා ගත යුතුය./ නොඑසේ නම් මූල සංහිතා නිවැරදිව අර්ථකථනය කළ යුතු බව අවධාරණය වන්නට පටන් ගත්තේය. ඉන්පසු දැන් දැන් පරිසරය නම් වූ නාභියද ඊට එකතු වෙමින් පවතී. මේ නම් ජීව ධරණී ශිෂ්ටාචාරයකට – ජීවයම රැක බලා ගැනීම අරමුණ කරගත් ඉතිහාස යුගයකට අවශ්‍ය දේයි. මිනිස් සබඳතා ත්‍රිත්වයම සුවපත් කර ගැනීමට සමාජයට මග පෙන්වීම දැන් ආගම් භාර ගත යුතු අභියෝගයයි. ඒ සඳහා ආගම් ප්‍රතිසංස්කරණය විය යුතුය.

කතෝලික සමාජයේ ජාත්‍යන්තර වශයෙන් විහිදෙන ප්‍රතිසංස්කරණ ව්‍යාපාර හා කතිකාවන් 1970 දශකයේ සිට වඩා ශක්තිමත්ව නැගී ආ බව පෙනෙයි. යුරෝපය, ලතින් ඇමෙරිකාව, ආසියාව හා අප්‍රිකාව අලලා යන එකී අභ්‍යන්තර විර්‍ප්‍යකාරක ව්‍යාපාර වල පොදු දිශානතිය විමුක්ති දේව ධර්මය ( Liberation Theology ) යන සන්න නාමයෙන් නාමකරණය කළ හැකිය. මෙම ක්‍රියාදාමය විසින් මතුකළ විවිධ යහපත් ජයග්‍රහණ අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වැනි උතුම් මිනිසෙක් එම සාසනයේ ඉහළ  මාලයට සම්ප්‍රාප්ත කරනු ලැබීම සුළුපටු දෙයක් නොවේ.

ඔවුන් විසින් මහත් අභියෝග හා අවදානම මැද උඩ සිට දියත් කරමින් සිටින විපර්යාස ක්‍රියාදාමයේ ආලෝකය, විය යුතුවා සේම අනෙක් ආගමික සමාජ හරහාද ගමන් කරයි. එමෙන්ම වෙසෙසින්ම කිව හැක්කක් නම් ආසියානු විමුක්ති ධර්ම නායකයින් විමුක්ති කතිකාවේ හිස් තැන වශයෙන් තිබූ පරිසර ප්‍රශ්නය ඊට එකතු කිරීමට පුරෝගාමී වෙමින් සිටින බවයි.

බෞද්ධ සමාජයේ ද ජාත්‍යන්තරව විකාශය වන විර්‍ප්‍යකාරක කණ්ඩායම් හා ජාලා මෙන්ම කතිකාවක් තිබේ. එය මැදිහත්කාරක බුද්ධාගම ( Engaged Buddhism ) නමින් හඳුන්වනු හැකිය. මේ ප්‍රතිසංස්කරණවාදී ධාරාව, නැගෙනහිර ආසියාවේ රටවල් කිහිපයකද ( තායිලන්තය, වියට්නාමය, ජපානය සහ දකුණු කොරියාව ) යුරෝපයේ හා විශේෂයෙන්ම අමෙරිකාවේද ක්‍රමානුකූලව ශක්තිමත් වෙමින් පවතින්නේ යයි කිව හැකිය ; දලයි ලාමා, වියට්නාම් ජාතික තිච් න්හත් හාන් වැනි භික්ෂුන්ද, තායිලන්තයේ මහාචාර්ය සුලක් සිවාරක්ෂාද සමාරම්භකයින් අතර වෙසෙසින් නම් කළ හැකිය. බොහෝ විට මැදිහත්කාරක බුද්ධාගමේ විර්‍ප්‍යකාරක කතිකාවට විශාලතම පිටුබලය දෙන ආගමික නායකයින් ජාත්‍යන්තර වශයෙන් ගත් කළ මහායාන සම්ප්‍රදාය ආශ්‍රිත බව පෙනුනත්, කැම්පුචියාවේ මහා ඝෝෂානන්ද, මෙන්ම තායිලන්තයේ ආරණ්‍ය සම්ප්‍රදායයෙන් එන ( අජාන් භික්ෂුන් ) තානිස්සරෝ, බ්‍රහ්මෝ වැනි ථෙරවාදී භික්ෂුන් රැසක්ම අනුපමේය මෙහෙයක් මෙම පරිවර්තනය වෙනුවෙන් සිදු කරති. 

සිදුවිය යුතු ලෙසින්ම මුස්ලිම් ලෝකය තුළින් ද ඉහත කී පදනම් සබඳතා අවධානයට ගන්නා ප්‍රතිසංස්කරණ ව්‍යාපාර මතුවෙමින් පවතී. ඉන්දියාවේත් අවශේෂ ලෝකය පුරාත් විර්‍ප්‍යකාරක මෙහෙයක් සඳහා ජීවිතය කැපකරන ගිහි සහ පූජක මුස්ලිම් ධර්මවේදීන් සහ ශාස්ත්‍රවේදීන් රාශියකි. එම පුද්ගලයින් හා කණ්ඩායම් අතරින් ගෝලීය ප්‍රතිසංස්කරණ ජාලයක්ද නිර්මාණය වී ඇත. එය මුස්ලිම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ( Muslim Reform Movement ) නමින්ම හැඳින්වේ. එහි ප්‍රකට නායක නායිකාවන් අතර Tawfik Hamid, Dr. Jasser, Asra Nomani, Raheel raza වැනි අය වෙති. ඔවුන්ගේ ද ආස්ථානය 21 ශතවර්ෂය සඳහා දහම අලුතින් අර්ථ කථනය කළ යුතු බවත් එහිදී මුල් දහමට අයත් මානව ගෞරවය හා සමාජ සාධාරණත්වය නැවත සොයා ගත යුතු බවත්ය. දහම දේශපාලනීකරණය කිරීමට සහ රාජ්‍ය ගොඩ නැගීමේ බල අභිලාෂයන්ට එය බිලි කිරීමට එරෙහිව ඔව්හූ තදින් ක්‍රියාත්මක වෙති.

ආගමික ප්‍රතිසංස්කරණ කතිකාව සම්බන්ධයෙන් ලංකාවේ ආගමික ප්‍රජාවන් විසින් තදින් උනන්දු විය  යුතු මොහොතකට අපි පැමිණ සිටිමු. සිංහල – බෞද්ධ ප්‍රජාවට ද, හින්දු, කතෝලික හා මුස්ලිම් ප්‍රජාවන්ට ද, 21 ශතවර්ෂයේ නව ජනරජයක් තුළ සාමකාමීව එකට ජීවත්වීම සඳහා සිය ආගමික ජීවිතය ගැන අලුතින් සිතන්නට බල කෙරී ඇත. ලංකාවේ මේ සෑම ප්‍රජාවක් තුළම ප්‍රතිසංස්කරණවාදී  ගැහැණු – පිරිමි සිටිති.

කතෝලික ප්‍රජාව මේ කරුණ සම්බන්ධයෙන් වඩාත්ම ඉදිරියට ගොස් ඇති බව මගේ වැටහීමයි. එහි ජාත්‍යන්තර කතිකාවට දායකවන මට්ටමේ දීප්තිමත් දේවධර්ම ශාස්ත්‍රවේදීන් කිහිප දෙනෙක්ම සිටින්නේ යැයි කිව හැකිය. එමෙන්ම වසර 25 – 30 ක් තිස්සේ සංවිධිතව ක්‍රියාත්මක වන විර්‍ප්‍යකාරක කණ්ඩායමක් දෙකක් ද ඇත. ලාංකික බෞද්ධ සමාජය මේ කරුණ සම්බන්ධයෙන් වඩා දුර්වල මුත් ගිහි පැවිදි තනි ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙක් මේ මොහොතේ සිටින අතර, ප්‍රතිසංස්කරණවාදී මූලධර්ම සහිත ආයතනයක් හෝ දෙකක් ගොඩ නැගෙන බවක් පෙනේ. මුස්ලිම් ප්‍රජාව තුළත් මගේ දැනීමේ හැටියට විකල්ප අදහස් දරණ ආගමික නායකයින් හා කුඩා සංවිධාන පවතී. ඔවුන් දුර්වලය. විශේෂයෙන්ම ගැහැණුන්ගෙන් සැදුණු ලාභ ශ්‍රමය මැදපෙරදිගට පැටවීමේ සන්දර්භය තුළ, 90 දශකයේ සිට ලංකාව වෙත එල්ල වන ගෝලීය මුස්ලිම් මූලධර්මවාදී ( වහාබ්වාදී ) අබියෝග හේතුවෙන් ඔවුන්ගේ කටයුතු වඩාත් දුෂ්කර වී ඇත.

ලංකාවේ දූෂිත දේශපාලන සංස්කෘතිය වනාහි අපගේ සියලුම ආගමික ප්‍රජාවන් විසින් මතුකරන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයන්ට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රධාන උවදුරු තත්වයකි.

One Response

  1. It’s great to hear that some kind of transformation is going to happen. I believe many people expect this. But nobody has the voice to say it.

Comments are closed.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත