වාර්තා වැඩසටහන් නිෂ්පාදනය (03) – ඉතිහාසය ප්‍රක්ෂේපණය කරණ යුද වාර්තා වැඩසටහන්

Reporting War

දෙවන ලිපිය

2019 වර්ෂය වන විටත් ලෝකය පුරා අරගල, ගැටුම්, ජනවාර්ගික අර්බුද, යුද්ධ දෙසියකට බෙහෙවින් ඉහළ ප්‍රමාණයක් පිළිබඳව  තොරතුරු මාධ්‍යයෙහි වාර්තා වෙයි. ලොව ප්‍රබල රට රාජ්‍යයන් තමන්ගේ බලපරාක්‍රමය ව්‍යාප්ත කිරීමට හෝ තහවුරු කර ගැනීම උදෙසා  යුද මගට පිවිසි අතීතයක් ලෝක ඉතිහාසය පුරාම විද්‍යමාන වෙයි. ලංකා ඉතිහාසය තුළින් අනාවරණය වන්නේ අනුරාධපුරයේ පැවැති අගනුවර, පොලොන්නරුව දඹදෙනිය, ගම්පොල, කෝට්ටේ සහ මහනුවර දක්වා වරින් වර මාරුවීමට ප්‍රධාන වශයෙන් ම බලපා ඇත්තේ උතුරින් එල්ල වූ ආක්‍රමණ හේතු වූ  බවය. දුටුගැමුණු රජතුමා එළාර රජු සමග සටන බලය අරබයා සිදු වූවකි. අනුරාධපුරයේ තිබුණු අගනුවර කාශ්‍යප රජතුමා විසින් සීගිරියට ගෙන යෑම ද ස්වකීය සහෝදරයා වූ මොග්ගල්ලාන යුද වැදීමට සූදානම් වීමේ ප්‍රතිඵලයකි. වලගම්බා රජතුමා රටේ තැනින් තැනට පලා යමින් සැඟවී සිටියේ ද ආරක්ෂාව සදහාය. බටහිර ජාතීන් පෙරදිගට හා ඇමෙරිකාවට යොමු වන්නේ ද බලය උදෙසාය. අපේ රටේ මෑත ඉතිහාසයේ 1971, 1983, 1988/89 සිද්ධි සහ 30 වසරක යුද්ධය අත්දැකීම් සමූදායක් ශේෂ කර තිබේ. සමස්ථ ලෝකයම ලෝක යුද්ධ දෙකකට මුහුණ දී අප්‍රසන්න අත්දැකීම් සමුදායකට උරුමකම් කියා ඇත්තෙමු. ලිඛිත සහ අලිඛිත සාධක සමුදායක් සෑම රටක ම සංරක්ෂණය කරනු ලැබ ඇත.

  සිනේ මාධ්‍ය  හා ටෙලිවිෂනය භාවිතයට පැමිණීමත් සමගම යුද්ධ අළලා වාර්තා වැඩසටහන් අප්‍රමාණ සංඛ්‍යාවක් නිෂ්පාදනය කිරීමට උනන්දුවක් තිබුන බව මාධ්‍ය ඉතිහාසය සාක්ෂි දරයි. යුද්ධ අවශ්‍යයෙන් ම සුනු විසුණු වූ ගම් නියම්ගම්, නගර, විනාශ වූ ජීවිත, අතපය අහිමි වූවන්, අවතැන් වූවන්, සරණාගතයින් සොල්දාදුවන්, නැවියන්, ගුවන් භටයින්, රාජ්‍ය නායකයින්, දේපල විනාශ ආදිය පිළිබඳව ජනතාවට තොරතුරු සපයන වාර්තා වැඩසටහන් නැරඹීමට ප්‍රේක්ෂක නැඹුරුවක් වෙයි. 

යුද්ධවල මුග්ධ බව, මිනිසා විසින් තම වර්ගයා විනාශ මුඛයට ඇද දමා ඇති ආකාරය වගේම ජන මතයක් නිර්මාණය කිරීමට ගන්නා උත්සාහාය යුද වාර්තාවලින් ප්‍රක්ෂෙපණය කෙරෙයි.

මෙම ලිපිය අවධානය යොමු කරන්නේ ඉන් කිහිපයක් පිළිබඳව පමණි. ඇමෙරිකා එක්සත් ජනපදයේ NBC, ABC මෙන්ම මහා බ්‍රිතාන්‍යයේ  BBC ටෙලිවිෂන සේවා ප්‍රවෘත්ති වාර්තා (News Reels) සහ නිල යුද වාර්තා (Official film material) ප්‍රයෝජනයට ගනිමින් ‍ඓතිහාසික වැදගත්කමකින් යුක්ත වාඩසටහන් ඉතිරි කර තිබේ. 1914 – 1918 අතර කාලය තුළ පැවති ප්‍රථම ලෝක සංග්‍රාමය හා 1940 -1945 අතර පැවැති දෙවැනි ලෝක සංග්‍රාමය, ඇමෙරිකාවේ සිවිල් යුද්ධය, හිරෝෂිමාවේ මහා ඛේදවාචකය, වසර ගණනාවක් තිස්සේ වියට්නාමයේ ඇමෙරිකානු සොල්දාදුවන් මුහුණ දුන් භයානක අත්දැකීම්, මෙන්ම අදටත් ඉන්දියාව හා පකිස්ථානය සමග ඇති දේශ සීමා සටන, මැද පෙරදිග සටන් අපට අවධානරණය කරන්නේ යුද්ධයේ භයානක ආනිසංශය. 

Victory at sea, War in Air, Valiant Years  යන වැඩසටහන් ප්‍රවෘත්ති වාර්තා (News Reels) සහ නිල පුවත් වාර්තා අනුව නිර්මිත යුද වාර්තා වැඩසටහන් අතර ප්‍රධානය. 

Winston Churchil

ඇමරිකාවේ ABC ( American Broadcasting Company) පසු කලෙක මහත් කතාබහට ලක්වූ The valiant Years (වික්‍රමාන්විත වසර ගණනාවක්) බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් ගේ දෙවැනි ලෝක යුද්ධයේ මතක වාර්තා සහ වැඩසටහන ඉදිරිපත් කිරීමේදී සාමාන්‍ය පුද්ගලයින්ගේ මෙන්ම ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ගේ ප්‍රකාශ ද උපයෝගී කර ගෙන තිබේ.

Night and Fog වාර්තා වැඩසටහන Alain Resnaiqs විසින් නිර්මාණය කරන ලදී. මිනිසා විසින් තම වර්ගයා විනාශයට ඇද දමන ආකාරය ප්‍රබලව චිත්‍රනය කරන වාර්තා වැඩසටහනක් ලෙස හඳුන්වා දී තිබේ. මෙම වාර්තා වැඩසටහන මගින් ජනමතයක් නිර්මාණය කිරීමට සමත් වූ බවද ප්‍රකටය.. නාසි කඳවුරු නිදහස් වීමෙන් වසර දහයකට පසුව කරන ලද මෙම වාර්තා වැඩසටයන හිට්ලර්ගේ පාලනය යුගය අනාවරණය කරයි. හිට්ලර් ගේ වද හිංසන වලට ගොදුරු වූවන්ගේ සිතුවම් මගින් අනාවරණය කරන්නේ කෲරත්වයයි. මේ එක් උදාහරනයක් පමණි. 

මේ ශානරයට අයත්වන තවත් වාර්තා චිත්‍රපටයකි 1955 – 1976 දක්වා කාලය තුළ  ඇමෙරිකානුවන් විසින් වියටනාමයේ පවත්වාගෙන ගිය යුද්ධය පිළිබදව ප්‍රංශ ජාතික Schoerdoerffer නමින් අප දන්නා වාර්තා වැඩසටහන් නිර්මාණකරුවා  ගේ The Anderson Platoon නම් සම්මානනීය වැඩසටහන සති හයක පමණ කාලයක් යුද්ධයේ අත්දැකීම් අත්විඳිමින් කරන ලද මෙම වැඩසටහන තම රටේ දුප්පත්කම නිසා යුද සේවයට බැදී වෙනත් රටක දුක් විදිමින් යුද වදින සෙබලුන්ගේ ඛේදවාචකය අපට කියා පායි. එසේම මෙම චිත්‍රපටය ඇමෙරිකානුවන් තුළ ජනමතයක් ගොඩනැගීමට ද සමත් වී තිබේ. The Anderson Platoon වාර්තා වැඩසටහන කථන මාධ්‍යයෙන් ඉදිරිපත් කර ඇති අතර ඒ හා සමාන A face of War නම් වාර්තා වැඩසටහන සමග සන්සන්දනය කරන විචාරක මතය වී ඇත්තේ දෙවැන්න (A Face of War) සිද්ධි වලට කතා කිරීමට ඉඩ දී ඇති බවය. එසේම A face of war වැඩසටහන ඹ්නෑම රටක සිදුවන යුද්ධ සිහිපත් කරවයි. The Anderson platoon ඒ අතරින් වියටනාමයේ කෙරුණු යුද්ධයට ම සීමා වී තිබීම විශේෂත්වයකි.

Face of War

ජපානයට ගිය අවස්ථා දෙකකදී ම හිරෝෂිමාවේ යුධ ස්මාරක කෞතුකාගාරයට ගිය විටෙක දී එම නගරය හා නාගසාකි නගරවලට ඕපන්හයිමර්  විසින් සොයාගත් පරමාණු බෝම්බය කළ විනාශය ගැන බොහෝ දේ දැක ගැනීමට හැකි විය. මේ පිළිබඳව කර ඇති වාර්තා වැඩසටහන රටකට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන ආකාරය පිළිවෙලින් පෙන්වයි. ඇමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයා හා බ්‍රිතාන්‍යයේ වින්ස්ටන් චර්චිල් අග්‍රාමාත්‍ය වරයා හා මිත්‍රපාක්ෂික රටවල නායකයින් ජපානයට එරෙහිව පෙළ  ගැනුණු ආකාරය හා අවසානයේ තත්පර දහයකින් මුළු ලෝකයම කම්පා කරමින් ලක්ෂ දෙකකට වැඩි ජීවිත සංඛාවක් එසැනින්ම බිමට යට කළ දර්ශනය බලය හමුවේ ඕනෑම දෙයක් කිරීමට ඇති උවමනාව පැහැදිලි කරයි. මරණවලට අමතරව අදටත් පරමාණු බෝම්බයේ විෂ නිසා දුක් විදින අය ජපානයේ දක්නට ලැබේ. පිලිකා රෝගයට ගොදුරු වූවන් අති විශාලය. එය එසේ වුවද වාර්තා වැඩසටහනට ඇතුලත් නොවුව ද ජපානය රුදුරු යුද්ධයකට මැදිව සිට යලිත් දියුනුව කරා පිය නගා හිරෝෂිමා නගරය නිර්මාණය කර ඇති අයුරු පුදුම සහගතය. අප තිස් අවුරුදු යුද්ධයකට මුහුණ  දී අවුරුදු 10ක් ගතවී ඇතද තවමත් කතා කරමින් සිටින අතර ජපානය ආදර්ශයට ගන්නේ නම් යුද්ධය ජයගෙන යලි යථා තත්වයට පත්වීමට උදාහරණයකට ගත හැකිය.

Hiroshima

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත