“ගම්පෙරළිය නාගරික සභ්‍යත්වයට හසුවන ගැමි ජීවිත, ගැමි චරිතත් නිරූපණය කරන්නක් මිස ගමක විපර්යාසය නිරූපණය කරන්නක් නොවේ
(1964 – සරසවිය සිනමා වාරිකය) – මාර්ටින් වික්‍රමසිංහ
පාඨකයන් හා ප්‍රේක්ෂකයන් එදා මෙසේ අවුස්සාලූයේ ලංකාවට රජත මයුර සම්මානය දිනා දුන් “ගම්පෙරළිය” චිත්‍රපටය ගැන එය පාදක කරගත් මුල් කෘතිය වූ “ගම්පෙරළිය” නවකතාවේ හිමිකරුයි. ඔහු සිංහලයේ මහගත්කරු වූ ආචාර්ය මාර්ටින් වික්‍රමසිංහයන්ය. ඔහු සිය කෘතියේ තමන් නිරූපිත චරිතයක් වූ ජිනදාසගේ චරිතයට ගාමිණී ෆොන්සේකා මහතා තෝරාගත් මොහොතේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ට සිය විරෝධය තදබල අයුරින් එල්ල කොට ඇත. එහෙත් ආචාර්ය ලෙස්ටර් සිය අකීකරුකම පෙන්වමින් ගාමිණීව එම චරිතයට යොදවා ගනියි.
“මගේ නවකතාවේ ජිනදාස හීන් කෙසඟ මිනිහෙක්. ගාමිණී වගේ මල්ලවපොරකාරයෙක් නොවේ.”
මේ එදා වික්‍රමසිංහයන් තමන්ට කන් නොදුන් ලෙස්ටර්ට කියූ කතාවයි. එහෙත් ගම්පෙරළිය චිත්‍රපටයේ මංගල දර්ශනයේදී වික්‍රමසිංහයන් ගාමිණීගේ අත අල්වා ගනියි.
“ මම හිතුවේ නෑ ඔබ ජිනදාසගේ චරිතය මෙතරම් හොඳට නිරූපණය කරයි කියලා. “ රන්මුතු දුවේ” මා දුටු සැහැල්ලු සටන්කාමී වීරයා වෙනුවට මෙහි සිටියේ මගේ සිතේ මැවුණු සැබෑ ජිනදාස”
ශ්‍රී ලංකාවේ ආරම්භයේ දී සිනමා ගත වූයේ එවකට පැවැති නාටක. ඒඅතරට ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ පොත් ද එකතු වුණා. එහෙත් “ ගම්පෙරළිය” චිත්‍රපටය සිංහල සිනමා වංශ කතාවේ කිසියම් පෙරළියක් කළ චිත්‍රපටයක් වූයේ එයට මේ රටේ කිසියම් විචාරක විරෝධතා එල්ල වෙද්දී භාරතයේ පැවති සිනමා උළෙලකදී “රජත මයුර” සම්මානය හිමිකර ගනු ලබයි. එසේ ම එය මේ රටේ බිහිවූ මහගත්කතු යැයි විරුදාවලි ලත් මාර්ටින් විකුමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතාවලියේ පළමු කෘතිය පාදක කරගනිමින් නිර්මාණය විය.

පසුකාලීනව ද නවකතා, කෙටිකතා මෙන්ම කවි කතාද පාදක කරගනිමින් චිත්‍රපට රාශියක් බිහිවිය. ජී. බී. සේනානායකයන්ගේ “පළිගැනීම” කෙටි කතා සංග්‍රහයේ “නිධානය” නිර්මාණ සාහිත්‍යය පදනම් කරගෙන මෙරට නිපද වූ සාර්ථක චිත්‍රපටයකි. එය ශ්‍රී ලංකාවේ මෙතෙක් නිපදවූ හොඳම චිත්‍රපට දහයේ මුල් අංකනය හිමිකරගෙන සිටියි. එසේ ම කේයස් විසින් සිංහලයට නැගූ “සුදෝසුදු” කාව්‍ය සංග්‍රහය මෙරට චිත්‍රපට ගත වූ මුල්ම කාව්‍ය සංග්‍රහය ලෙස ද සැලකිය හැකිය. එයින් ඉක්බිතිව මේ වෙද්දී ටී. බී. ඉලංගරත්නයන්ගේ “මංගලා” “තිලක හා තිලකා”, “නෑදෑයෝ” හා “අඹ යාළුවෝ” ද ජී. බී. සේනානායකගේ “අවරගිර” ද ඩබ්ලිව්. ඒ. සිල්වාගේ “දෛවයෝගය” “කැළෑහඳ” “රදල පිළිරුව”, “හිඟන කොල්ලා”, ඒ. පී. සී. ජිනදාසගේ “කෙලී” නවකතාව ඇසුරෙන් “සොඳුරු යුවල”, අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල පරිවර්තනය කළ “මනුතාපය” ඇසුරෙන් “දුප්පතාගේ දුක”, ටී. ජී. ඩබ්ලිව්. සිල්වාගේ “මහරෑ හමු වූ ස්ත්‍රිය”, අයිලින් සිරිවර්ධනගේ “අහසින් පොළොවට”, මානෙල් අබේරත්නගේ “මායා”, ඇරැව්වල නන්දිමිත්‍රගේ “මල්දෙනියේ සිමියොං” හා “ස්ත්‍රී” ද ලෙටීෂියා බොතේජු ගේ “ගඟ අද්දර”, සයිමන් නවගත්තේගමගේ “සාගර ජලය” හා “සුද්දිලාගේ කතාව”, සෝමවීර සේනානායකගේ “මවකගේ ගීතය” හා “මැණික් නදිය”, කරුණාසේන ජයලත්ගේ “ගොළු හදවත”, “ගැහැණු ලමයි”, “යහළු යෙහෙළි”, මහගමසේකරගේ “තුංමං හන්දිය” , සාගර පලන්සූරියගේ “සිරිබෝ අයියා”, ලෙනාඩ් වුල්ෆ් ගේ “Village in the Jungle” නවකතාව ඇසුරෙන් ඒ. පී. ගුණරත්නයන් පරිවර්තනය කළ “බැද්දේගම”, දෙනගම සිරිවර්ධනගේ “අයෝමා”, කුලසේන ෆොන්සේකාගේ “පාලම යට”, එච්. ඒ. සෙනවිරත්නගේ “සොල්දාදු උන්නැහේ”, පියදාස වැලිකන්නගේගේ “සුදු සෙවනැලි”, සුනන්ද මහෙන්ද්‍රගේ “සෙවනැලි ඇද මිනිස්සු”, සුගතපාල ද සිල්වාගේ “බිත්ති හතර”, කුමාර කරුණාරත්නගේ “ආදර රත්නේ”, කේ. එස්. පෙරේරාගේ “භව දුක”, එඩ්වඩ් මල්ලවආරච්චිගේ “ලොකුදුව”, ගුණදාස අමරසේකරගේ “කරුමක්කාරයෝ”, චම්මින්ද වෙලගෙදර ගේ “සක්කාරං” හා තවත් නව කතා හා කෙටි කතා කිහිපයක් ම සිංහල සිනමා නිර්මාණ වශයෙන් තිරගත වී ඇත. මේ අනුව බලන විට දේශීය සිනමා කර්මාන්තයේ සැලකිය යුතු ප්‍රමාණයක් මෙරට නිර්මාණ සාහිත්‍ය පදනම් කරගෙන චිත්‍රපට බවට පත් වී ඇත. විදේශීය වශයෙන් බොහෝ චිත්‍රපට බටහිර නවකතා ඇසුරෙන් නිර්මාණය වී ඇති අතර ජපානය හා අපගේ අසල් වාසී රට වන ඉන්දියාවේ ද නිර්මාණ සාහිත්‍යය තමන්ගේ චිත්‍රපට සඳහා යොදාගෙන ඇත.
මේ වන විට ජනප්‍රිය නවකතා හෝ සම්මානිත නවකතා ඇසුරෙන් නිර්මාණය වූ දේශීය හා විදේශිය චිත්‍රපට කෙරෙහි පැරණි හා වත්මන් සමාජයේ විවිධ චෝදනා මෙන් ම පිළගැනීම් ද රාශියක් ඇති වී ඇත. සිනමාව නිතරම තමන්ගේ ප්‍රේක්ෂක සහභාගීත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් චිත්‍රපට නිර්මාණය කරයි. එහිදී චිත්‍රපටයක ඉතා වැදගත් වන්නේ කතාව සහ දෙබස් මතු කර ගන්නා තිර පිටපතයි. බටහිර ඇති ප්‍රබල ආකල්පය වන්නේ සාර්ථක තිර පිටපතක් සාර්ථක චිත්‍රපටයක් නිර්මාණය කරණ බවයි. එහෙත් සාර්ථක නොවන තිර පිටපත් පවා ඇතැම් නිර්මාණනීය අධ්‍යක්ෂක වරුන්ගේ දක්ෂතාව නිසා සාර්ථක චිත්‍රපට බවට පත්වූ බව ද අසා ඇත්තෙමු. එ ලෙසින් ම සාර්ථක පිටපත්, අධ්‍යක්ෂවරයා තමාගේ තනි මතයට ගැනීම නිසා අසාර්ථක වූ චිත්‍රපට ද නිර්මාණය වී ඇත. මෙහිදී දෙපාර්ශවයම තම තමන් ඇඟිලි දික්කරගන්නා අවස්ථාවක් වන්නේ තිරපිටපත පාදක කරගන්නා නිර්මාණයයි. විශේෂයෙන් ම නවකතාවක් ඇසුරෙන් පිටපත ලියන තිරපිටපත් කරුවා ඉතා අපහසුතාවකට පත්වන්නේ පාඨකයා නවකතාව තුළින් චිත්‍රපටය බැලීමට යාම නිසාය. අධ්‍යක්ෂකවරයා නවකතාවක් තමාගේ චිත්‍රපටය වෙනුවෙන් තෝරාගන්නේ නවකතාවේ හෝ කෙටිකතාවේ ජනප්‍රියතාවය මෙන්ම සිනමාත්මක ගුණයක් රැඳී තිබීම නිසාවෙනි. මෙහි දී මොහුට මුහුණ දීමට සිදුවන අභියෝගය වන්නේත්, ගෞරවය හෝ ජනප්‍රියතාවය දිනූ නවකතාව මගින් පාඨකයා විඳි රසය චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාට ලබා දීමයි. මෙහිදී නවකතා කරුවා සිය කෘතියෙදී භුක්ති විඳින වරප්‍රසාද හා නිදහස චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සතු නොවීමයි. නවකතාකරුවා හෝ කෙටිකතාකරුවා සිය වචන මැටි පිඩක් සේ අදියි. කොටයි, තලයි. කපයි. හදයි. කඩයි. එහෙත් චිත්‍රපට කරුවා ප්‍රාණවාචී පුද්ගල සම්බන්ධතාවක සිටියද එය මතු කරගත නොහැකි වෙයි.
ලංකාවේ දී නවකතාකරුවා විසින් අඳිනු ලබන චිත්‍රය චිත්‍රපටි කරුවා ව්‍යච්ඡේදනය කිරීමට යාමේදී බොහෝ විට සිදුවන්නේ වෙනස් දෙයකි. සමහරවිට මුල් නිර්මාණයේ ඹ්ජෝ ගුණය හා රසය එහිදී මගහැරී යයි. නිර්මාණකරුවාට පොතේ දී තමන්ගේ චරිත උඩු යටිකුරු කළ හැකි වුවද චිත්‍රපටයේ දී ප්‍රාණවාචී නළු නිලියන්ගෙන් වුවද එම වෙනස අධ්‍යක්ෂකවරයාට ලබාගැනීමට අපහසු විය හැකිය.
මේ නිසාබොහෝ විට සිනමා කෘතියට වඩා ඉදිරියෙන් නවකතාකරු සිටගනියි. ඔහු සිත සිතා ලියන දෙය පාඨකයාගේ සිත් හි චිත්තජ රූප මතු කරයි. එහෙත් චිත්‍රපටකරුවාට එම වාසනාව කැමරාකරු මෙන්ම නළු නිළියන්ගේ හා ආලෝකනය සමග ශබ්දය ද පසුබිම් සංගීතය යෙදවුව ද චිත්‍රණය කිරීම උගහට වන අවස්ථා විශාලය. ඒ නිසා නවකතාකරුවා පිටු ගණනකින් විස්තර කියන අතර සිනමාකරුවා උපරිමය විනාඩි 120 ක දී කියා ගැනීමට යාමේ දී ඔහු අසරණ වන අවස්ථා එමටය. පොතක් ආපසු කියවීමේ භාග්‍යය පාඨකයා ලබයි. එය විටෙක ඔහුගේ පරිකල්පනය සමග ගනු දෙනුවක් බවට පත් වෙයි. එහෙත් චිත්‍රපටයක දී එම අවස්ථාව උදාවන්නේ ඉතා සුළු වශයෙනි. මෙනිසා චරිත විකාශයේ දී නිර්මාණකරු ලබන ප්‍රවේශය මෙන්ම නිදහස ද සිනමා නිර්මාණකරුවාට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එහෙත් ඇතැම් විට දක්ෂ සිනමාකරුවකු නවකතාකරුවකුට හසු නොවූ තැනකින් පටන් ගෙන එයිට වඩා උසස් හා වින්දනාත්මක කෘතියක් චිත්‍රණය කරණ අවස්ථා ඇත. නිදසුනක් ලෙස දේශිය සිනමා වංශ කථාවේදී “පලිගැනීම” කෘතියේ තිබූ ජී. බී. සේනානායකගේ “නිධානය” ඉහළ කියවීමට බඳුන් වූයේ ලෙස්ටර්ගේ “නිධානය” චිත්‍රපටයේ දීය. ඒ සඳහා ශූර පිටපත් රචකයකුගේ මතුවීම ඉවහල් වූ බව පෙනේ. එහිදී නවකතාකරු සුරතල් නොකළ ආකාරයේ වචන මැටි පිඩක් කරගන්නේ තිස්ස අබේසේකරයන් සිය පිටපත් රචනයේදී ය. ඒ කෙසේ වෙතත් බහුතරයක් නවකතා චිත්‍රයට නැගීමේදී සාර්ථක වන්නේ ඉතා කලාතුරකිනි. එහිදී වගකීම ඇත්තේ පාඨකයා සතුව යැයි මම සිතමි. ඔහු රස විඳිය යුත්තේ තමා ඉදිරියේ දිග හැරෙන අධ්‍යක්ෂකවරයාගේ ආඛ්‍යානය විනා ගෙදර තබා පැමිණි නවකතාකරු ගේ කෘතිය නොවිය යුතුය. ඔහු එය චිත්‍රපටයක් ලෙස විනා නවකතාවේ රසය චිත්‍රපටයෙන් සොයන්නට ගියහොත් විසල් අතරමං වීමකට පත්වේ. නවකතාවකින් නිර්මාණය කරන චිත්‍රපටයක් යනු එකම මවකගේ නිවුන් දරුවන් දෙදෙනෙකු වෙනස් ගති ගුණ පෙන්නුම් කරන්නාක් වැනි ක්‍රියා සංසිද්ධියකි.
ඒ කෙසේ වෙතත් බටහිර සිනමාවේ දී හෝ එතෙර සිනමාවේදී අප නව කතා වලින් නිර්මාණය කළ බොහෝ චිත්‍රපට ඇති බව දනිමු. ලෝක සිනමාවේ 2018 දී එවන් චිත්‍රපට 30ක් පමණ නම් කොට ඇත්තේ නවකතාවට වඩා ඉහළ ආස්තානයක් හිමි කරගත් ඉතා සාර්ථක වූ චිත්‍රපට වශයෙනි. ඊට අමතරව හැමදාටම වෙනස් කළ නොහැකි නවකතා වලින් බිහිකළ සාර්ථක චිත්‍රපටි 10ක් අන්තර්ජාලය විසින් නම්කර සිටී.
01 The Wizard of Oz (1939)
02 The God Farther (1972)
03 Colour Purple (1985)
04 Jurassic Park (1993)
05 The Shawshank Redemption (1998)
06 The Lord of The Rings (2001)
07 Harry Potter and The Prisoner of Azkabav (20014)
08 Atonement (20017)
09 Gone Girl (2014)
ඒ අතරම දැනට නවකතා වලින් නිපදවා අසාර්ථක වූ චිත්‍රපට 10 ක් ඇති බව විචාරකයන්ගේ මතයයි.
01 Odyssdy
02 The Dark Tour
03 The Shining
04 The Giver
05 The Great Gatsby
06 Harry Potter and The Goblet of Fire
07 Tahrenheit 451
08 The Habit
09 How the Grinch Stole Christmas
10 The Lost World Jurassic Park
යන සිනමා කෘතීන්ය
සමහර චිත්‍රපට පොතේ මුල් නාමයෙන් ම නිර්මාණය කොට ඇත. මේ අනුව බලන විට නවකතාවකින් චිත්‍රපටයක් නිර්මාණය කරද්දී වැඩි වාසිය හිමි වන්නේ නවකතාවට ය. එහෙත් ඇතැම් සාර්ථක සිනමා නිර්මාණ කෘති ඇසුරෙන් බිහිකොට ඇත්තේ පොතේ එන කතා තේමාව යටි පෙලක් ලෙස තබා නැවුම් සංදර්භයක් සිනමාව තුළින් ගොඩ නගමිනි. එහිදී පාඨකයාගේ සිත එම කෘතිය කියවීමේ දී ඔහු බලාපොරොත්තු වූ උච්චස්ථානයට වඩා එය ඉහළ යාමක් නම් පාඨකයා එය අගය කරණු ලබයි. එසේ නොවන්නට පාඨකයා සිය පරිකල්පනය සමග කරන ගනුදෙනුවේ දී ඔහු දකින නිර්මාණය චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා සිය නිර්මාණය මගින් දිග හැරෙන අවස්ථාවේ දී ඔහු නිරායාසයෙන් ම චිත්‍රපටයට ඉහළ ලන්සුවක් තබයි. ඒ අනුව නවකතාවකින් චිත්‍රපටයක් කොට සාර්ථක වීම දැළිපිහියෙන් කිරි කෑමකි. සමහරුන් මෙහිදී රැවුළත් කැඳත් බේරා ගැනීමට යාමට ගොස් අතරමගදී දෙකම නැති කර ගනියි.

